මටත් කවියක් ලියන්න – 6 කොටස

සඳුදා දින එළඹියේ වේගයෙනි. විවාහයෙන් පසු රැකියාවට යන පළමු දින නිසාත්, කුරුණෑගල ශාඛාවේ රැකියාව යන පළමු දිනය නිසාත් මා සිටියේ තරමක් නොසන්සුන්වය.
අලුයම අවදිව අම්මා හා එක්ව ආහාර පිළියෙල කළේ නෙලුකට හා මට රැකියා ස්ථානවලට ගෙන යෑමටත් සමඟ ය.
අම්මා ද විශ්‍රාමික ගුරුවරියක වූ නිසා කිසිදු විටෙක මගේ රැකියාවට ඇය එරෙහි නොවුණාය. අම්මාට වැඳ නෙලුක සමඟින්ම පිටත් වූයේ මට වාහයෙන්ම ගොස් ළදරු පාසල අසලින් බැසිය හැකි නිසාය.
“එන්නේ කොහොමද මැණික ඔයා..?”
“බස් එකේ එන්නම්..”
“හොයාගන්න පුළුවන් වෙයි ද..?”
නෙලුකගේ හඬට එක්ව තිබුණේ නොසන්සුන් බවකි.
“බැරිවෙයි නේද..? මම කොහෙ යන බස් එකක නඟී ද දන්නේ නෑ.. ඔයාට බැරිද දවල්ට ඇවිත් මාව ගෙදරට දාන්න..”
මම බියපත් මුහුණක් හා හඬක් මවා ගනිමින් මිමිණුවෙමි.
“ටයිම් එකක් තිබ්බොත් නම් එන එක අවුලක් නෑ.. ඒ වෙලාවට මීටින්ග්ස් වගේ වැටුණොත් තමයි ප්‍රශ්නේ..”
ඔහු යටිතොල සපාගෙන මොහොතක් කල්පනා කළේය. මා තෝරා දුන් අළු පැහැති කලිසමෙන් හා කළු පැහැති කමිසයකින් සැරසී අලු හා සුදු මිශ්‍ර ඉරි සහිත ටයි පටියක් පැළඳ සිටි ඔහු කඩවසම් විය. සිය දබරැඟිල්ලෙන් යටිතොල පිරිමදිමින් කල්පනා කරන නෙලුකව දකිද්දී පෙරදින රැයේ එම දෙතොල් මගේ සිරුර පුරාම සංචාරය කළ අයුරු සිහිපත් වූයේ ගතම හිරි වට්ටවමිනි. මම ඔහුගේ කලවා මත සුරත තද කරමින් ඔහුගේ සිරුරට තරමක් බර වූයෙමි.
“මොකෝ සුදු මැණික.”
මදෙස නෙත් කොණ් බැල්මක් හෙලා විමසද්දී මම උරහිසට හිස බර කළෙමි.
“නිකම්.. ළඟට එන්න හිතුණා..”
“හ්ම්ම්.. කොන්දේ අමාරුව හැදෙයි ඔහොම ඇදේට ඉඳලා..”
ඔහු මෘදු ස්වරයකින් පවසා මගේ හිස සිප ගත්තේ මාර්ග සංඥා ඉදිරිපිට නවතමිනි. දෙපස වාහනවලට අප ගැන අවධානයක් නොමැති බව තහවුරු කර ගත් මම කොළ පැහැති සංඥාව දැල්වීමටත් තව තත්පර 30ක් තිබෙන බැවින් එක්වරම ඉස්සී නෙලුකගේ දෙතොල් සිප ගතිමි. ඔහු විසල් කර ගත් දෙනෙතින් ගල් ගැසුණාක් මෙන් සිටියේ එවැන්නක් බලපොරොත්තු නොවූ නිසාය. ඔහුගෙන් ඈත්ව අසුන මත නිසි අයුරින් තැන්පත් වෙද්දීත් ඔහුගේ මුහුණේ වූ පුදුමය පහව ගොස් නොතිබිණි.
මම උස් හඬින් සිනාසුණේ ඔහුගේ මුහුණේ ස්භාවයටය. තරවටු බැල්මක් මදෙස හෙලුවත් කොළ පැහැති සංඥා දැල්වුණෙන් රථය ඉදිරියට ගැනීමට සිදුවිය.
“මොකද ආ.. නාපු පාර මොළේ පෙඟුණ ද..?”
“නෑ… තාත්තිට ආදරේ හිතුණා..”
“මම, වාහනේ ඩ්‍රයිව් නොකළා නම් කෙල්ල අද මොන්ටිසෝරි යන්නේ නෑ…” ඇගේ කලවය තදින් තෙරපමින් ඔහු මිමිණුවේ සරාගීවය.
මා නිහඬ වූයේ යළි ඔහු අවුස්සා ගැනීමට අවැසි නොවූ නිසාය. මගේ දකුණත, සිය අතට සිරකරගත් ඔහු ඒ මත වරින් වර සිපුම් තැබුමේ මාර්ගය දෙසට නෙත් හෙලාගෙනමය.
“සුදු මැණික, මම ඔයාව පික් කරන්න එන්න උපරිම ට්‍රයි කරනවා.. බැරිම වුණොත් මම වෙන වාහනයක් හරි ඇරේන්ජ් කරලා එවන්නම්..”
ළදරු පාසැල පෙනෙන මානයේදී ඔහු පැවසුවේය.
“අනේ එපා තාත්ති.. මට බස් එකේ යන්න පුළුවන්..”
මෝටර් රථය මාර්ගයේ පසෙකට කර නවතාලමින් ඔහු මදෙස බැලුවේ බැරෑරුම්ව ය.
“අව්වේ ගිහින් ඔලුවේ කැක්කුම එයි.. අනික, අපේ පාරේ බසුත් නිතරම නෑනේ .. ඔයා ත්‍රීවීලර් එකක් කතා කරගෙන යන්න..”
“හරි.. මම ඕෆ් වෙලා කොහොම හරි යන්නම්කෝ.. දැන් මම වැඩට යන්නම් හොඳේ…”
සිනාමුසු වූ මම, අසුනේ සිටම දෑත් එක් කොට ඔහුට වැන්දෙමි.
“මැණික..”


ඔහු වහා මගේ දෙව්රෙන් අල්ලා ගත්තේ කලබලයෙනි. “ඇයි මේ..?”
“ඇයි අහන්නේ ඇයි..? වැන්දා ඔයාට මම..”
“පිස්සු කෙල්ල.. එහෙම කරන්නේ ඕනේ නෑ.. බුදු සරණයි මගේ මැණිකට.. ඕෆ් වෙලා කෝල් කරන්නකෝ.. මට එන්න පුළුවන් වුණොත් එන්නම්..”
මගේ නළලත හා කොපුලත හාදු තවරමින් ඔහු මිමිණුවේය.
ඔහුට සමු දී මා ළදරු පාසලට ඇතුල් වූයේ තරමක නොසන්සුන්තාවයකිනි. කොළඹ ළදරු පාසලේ ඉගැන්නුවත් කුරුණෑගලට ශාඛාවට මා ආගන්තුකයෙකු විය. fදාරටුව අසළ සිටි මුරකරුට මගේ සේවය ලබා ගැනීමේ ලිපිය පෙන්වමින් ඇතුළට යන්නට අවසර ඉල්ලා සිටියේය. නොසන්සුන් ලෙසින් නමමින් දිග හරිමින් තිබූ මගේ අත එක්වරම උණුසුම් දෑතක් තුළ සැඟවී ගියේය. තිගැස්සි හිස හරවා බැලුවේ මගේ සිතුවිල්ල නිවැරදිදැයි තහවුරු කර ගන්නටය. සිතූ අයුරින්ම මා අසළ සිටගෙන සිනාසෙමින් සිටියේ නෙලුක ය.
“ඔයා ගියේ නැද්ද..?”
“ඔයාව ඇතුළට ගිහින් ඇරලවලම යන්න හිතුණා..”
ඔහු මෘදු සිනාවක් පාමින් පැවසුවේ මගේ සියලු නොසන්සුන්කම් ඉවතලමිනි. මා මුව පුරා සිනාසෙද්දී ඔහු මගේ සුරත දරාගෙනම කාර්යාලය තුළට පිවිසියේය.
විදුහල්පතිනිය ලෙස නාම පුවරුවක් තැබූ මේසයට එහා පසින් වාඩි වි සිටියේ ප්‍රසන්න පෙනුමැති මැදි වයසේ පසුවෙන කාන්තාවකි.
මම, මාව ඇයට හඳුන්වා දී නෙලුකව ද හඳුන්වා දුන්නෙමි. මා සුහදව පිළිගත් විදුහල්පතිනිය අප දෛනාගේ තොරතුරු විමසන්නට වූවාය. ඇගේ සුහද බව වඩාත් වැඩි වූයේ ඇගේ සැමියා හා නෙලුක එකම ආයතනයක සේවය කරන බව දැන ගත් විටය.
“එහෙනම් මිස් ශෙනායා, අපි දැන් ක්ලාස් එකකට යමු.. අදට නෝර්මල් බබාලට හෙල්ප් කරලා ටීචර්ලට හෙල්ප් කරලා ස්කූල් එකට හුරු වෙන්නකෝ.. හෙට ඉඳලා අපි ෂෙඩියුල් එකකට වැඩකරමු..”
“තැන්ක් යූ මැඩම්..”
මම, ඇයට සමගාමීව අසුනින් නැඟී සිටියෙමි.
“මම යන්නම් එහෙනම්.. කෝල් එකක් දෙන්නම්.. ගිහින් එන්නම් මැඩම්..”
විදුහල්පතිනියට උපරිම ගෞරවය ලබා දෙමින් පැවසූ නෙලුක මගේ අතැඟිලි මිරිකා, හිස ද යන්තමින් පිරිමදිමින් කාර්යාලයේ පිටව ගියේය.
“මිස්ටර් නෙලුකට, මිස්ව දාලා යන්න බෑ බෑ වගේ නේද..?”
විදුහල්පතිනිය සරදම් ස්වරයෙන් අසද්දී මම යන්තමින් සිනා සී බිම බලා ගත්තෙමි.
ඇය මා බාර දුන්නේ ‘තමරා’ නැමැති ගුරුවරියටයි. ඇය ප්‍රධාන ගුරුවරිය වූ අතර මා සමඟ පාසැල වටාම ඇවිද ගියේ එහි විවිධ ස්ථාන පිළිබඳ පැහැදිලි කරමිනි.
මෙම පෙර පාසැලේ, පෙර පාසැල් වයස සම්පූර්ණ කළ ළමුන් වෙනුවෙන් පන්ති කාමර තුනක් තිබිණි. කුඩා දරුවන් (ප්ලේ ගෲප්) වෙනුවෙන් පන්ති කාමර දෙකක්ද, පෙර පාසැල් කාලයෙන් පසු රැඳී සිටින දරුවන් වෙනුවෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ද විය.
“අපි ක්ලාස් රූම් එකකට ගිහින් පොඩ්ඩක් බබාලව හැන්ඩ්ල් කර ගමු ද..?”
“හරි තමාරා..”
මා ආසාවෙන් බලා සිටි මොහොත එළඹෙන විට එයට එකඟ නොවී සිටීමට කිසිදු හේතුවක් නොතිබිණි.
පන්ති කාමරයට පිවිසෙද්දී නිල් පැහැති කොට සාය හා කලිසම්වලට සුදු පැහැති කමිස හැඳ ගත් කුඩා දරුවන් මා දෙස බැලුවේ කුතුහලයෙනි.
“ගුඩ් මෝර්නින්ග් බබාලා… අද ඔයාලට අලුත් ටීචර් කෙනෙක් අඳුන්නලා දෙනවා..”
තමාරා සිංහල හා ඉංග්‍රීසි මිශ්‍ර කරමින් කතා කළාය. “ටීචර්ම, බබාලට, එයාව අඳුන්නලා දෙයි…”
තමාරා මට ඉඩ දෙමින් පසෙකට වූවාය.
මම දරුවන්ට මා හඳුන්වා දෙමින් ඔවුන්ගේ නම් ද විමසුවෙමි. එකිනෙකා නැඟිටිමින් සිය නම් පවසද්දී සියල්ල මතක තබා ගැනීම පහසු නොවුණත් මම ඊට උත්සාහ දැරුවෙමි.
“සුදු ටීචර්..”
හුරුබුහුටි පෙනුමැති කුඩා පිරිමි ළමයෙකු මා ඉසළට දිව ආවේය.
“ටීචර්ට දැම්මම නමක් දාගෙන.. මේ කොල්ලා තමයි ටීචර්ලා සේරටම නම් දන්නේ..”
තමාරා පැවසුවේ කුඩා පිරිමි ළමයාගේ කම්මුල මිරිකමිනි.
“නෝ… ඩෝන්ට් ටච් මී..” ඔහු, ඇයට රවමින් පවසා මගේ අතේ එල්ලුණේය.
“ඔයා හරි ලස්සනයි ටීචර්.. ආදරේ හිතෙනවා.. අයි ලව් යූ..”
ඔහු මුමුණද්දී මා සිනාව සඟවා ගත්තේ දැඩි ආයසයකිනි.
“ලව් යූ ටූ බේබි.. ඔයාගේ නම මොකක්ද..?”
“අයෑම් මෙත්සිඳු..”
“බියුටිෆුල් නේම්..”
“අයි නෝ..”
ඔහු පැවසුවේ තරමක ලොකුකමිනි.
“හරි එහෙනම්, ටීචර් හෙට ඉඳලා එයි ඔයාලත් එක්ක ඉන්න.. සේ බායි..”
ඇය පවසද්දී සියල්ලෝම එක හඬින් ‘බායි’ යැයි පැවසූහ.
මෙත්සිඳු මා හට පහත් වෙන්න යැයි ඉඟි කළෙන් මම ඔහු වෙතට නැඹුරු වූයෙමි.
“උම්මා..” යැයි පවසමින් මගේ කොපුල මත දෙතොල් තද කළ දඟකාරයා සිය අසුන වෙතට දිව ගියේය.
ආයාසයෙන් සිනාව සඟවාගෙන පන්තියෙන් සෑහෙන දුරකට පැමිණි තමාරාත් මාත් සිනාව මුදා හැරියේ බැලුමක් පුපුරා ගියාක් මෙනි.
“ඕකා හෙන ඇම්ඩා.. ටීචර් ලස්සන නම් බේරෙන්නම බෑ..”
තමාරා සිනාව අයාසයෙන් නවතා ගත්තාය.
“තාත්තා වගේ ඇති එහෙනම්..”
“වෙන්න පුළුවන්.. තාත්තාත් ලස්සනයි..”
ඇය ඇසක් ද ඉඟිමරමින් පවසා මගේ අතින් අල්ලා ගත්තාය.

යළි හමුවෙමු.

3 thoughts on “මටත් කවියක් ලියන්න – 6 කොටස”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart