යදමින් බැඳි පොත් ඇති පුස්තකාල

අතීතයේදී පොව පොත් බහුල වුයේ නැත. මධ්‍යතන යුගයේදී පොත් යනු අතිශය දුර්ලභ වස්තුවක් විය. ග්‍රන්ථයක පිටපත් සීමා වීම මෙයට ප්‍රධාන හේතුවක් වු අතර බොහෝ විට ග්‍රන්ථයක පිටපත් සංඛ්‍යාව පැවතියේ එකකට සීමා විය. මේ යුගය වන විට ලොව මුද්‍රණ ශිල්පය හඳුනාගෙන සිටියේ නැත. එබැවින් පොත් ලියැවුනේ අතින් පමණි. පොත් පිටපත් වුවා නම් එය සිදුවුයේද අතින් පමණි. එබැවින් එම යුගයේ ග්‍රන්ථකරණය මෙන්ම ඒවා පිටපත් කිරීම යනු මිනිස් ශ්‍රමය පැය දහස් ගණනින් වැය වු අතිශය දුෂ්කර කාර්යයක් විය.

එය එසේ වුවද මධ්‍යතන යුගය උදා වත්ම යුරෝපයේ පුස්තකාල ක්‍රමය වඩා ප්‍රචලිත විය. දැනුම් පිපාසයෙන් පෙලෙන පිරිසට මෙම පුස්තකාල යනු දැනුම් ගබඩා බවට පත්ව තිබුනි. ඒ අනුව ඔවුන් මේවාට ගොඩ වැදි තමන්ට අවශ්‍ය පොත් පත් පරිශීනය කරන්නට විය. ඒ සමගම දුර්ලභ වු පොත් වලට හිමිව තිබු වටිනාකම තවත් ඉහල ගියේය. තම ග්‍රන්ථ එකතුවට වටිනා හා විවිධ ක්ශේත්‍රයන් ගැන ලියැවුනු පොත් එක් කර ගැනීමේ තරඟයක් ද පුස්තකාල අතර ඇතිව තිබුනි. මෙහි එක් ප්‍රතිඵයක් වුයේ පොත් සොරමයි. එය එකල බහුලව සිදුවු ජවාරමක් බවට පත්ව තිබුනි.

තමන් සතු වටිනා ග්‍රන්ථ වල ආරක්ෂාව පිළිබඳව වඩා වැඩි වශයෙන් අවධානය යොමු කිරීමට මේ අනුව පුස්තකාල බලධාරීන්ට සිදුවිය. එකල සිටි පුස්තකාලයාධිපතිවරුන් හා කාර්ය මණ්ඩල මුහුණ දුන් දුෂ්කරම අභියෝගයක් වුයේ තමන් සතු පොත් එකතු ආරක්ෂා කර ගැනීමයි. මේ සඳහා ඔවුන් යොදා ගත් උපක්‍රමය වුයේ සිය පුස්තකාලයේ වු පොත් වලට විලංගු යෙදීමයි. මෙහිදි සිදුවුයේ පොතේ කොනකට සවි කරන ලද මුදුවකට දම්වැලක් යොදා එහි අනෙක් කෙලවර රාක්කයකට හෝ මේසයට යෙදීමයි. මේ සඳහා ශක්තිමත් යදම් යොදා ගැනුනි. මේ දම්වැල සඳහා යෙදු අගුලේ යතුර වුයේ පුස්තකාලයාධිපතිවරයා සතුවය. පාඨකයාට පොත පරිශීලනය කරන්නට වුයේ එය යදමින් බැඳ දමා තිබියදීමය. මෙම ක්‍රමවේදය හරහා පොත් සොරකමට තිබු අවස්ථාව මගහැරී ගියේය. මේ නිසා එම යුගයේ මුල් කාලීනව පැවති පොත් සොරකම පසුකාලීනව අඩුව ගියේ එයට තිබු අවස්ථාව ඇහිරි ගිය හෙයිනි.

ලොව ක්‍රමයෙන් ඉදිරියට ගමන් කිරීමත් සමගින් තාක්ෂණයද ක්‍රමයෙන් දියුණු විය. ඒ අනුව මුද්‍රණ තාක්ෂණය ලොවට හඳුන්වාදීම සිදු වු අතර එය වේගයෙන් ලොව පුරා ප්‍රචලිත විය. මේ සමගම අතින් පිටපත් වු පොත් වල පිටපත් මුද්‍රණය ආරම්භ කෙරිණ. මේ නිසා පොත් පිටපත් සුලබ වු අතර තව දුරටත් පොත් යනු දුර්ලභ වස්තුවක් නොවීය. මේ නිසා තව දුරටත් පොත් සොරකම් කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනැගිණි. එබැවින් 1800 පමණ වන විට පොත් වලට තමන් බැඳ දාමා තිබු යදමින් මිදිමට අවස්ථාව උදා විය. පොත් නිදහසේ රාක්කවලට වී සිටි අතර පාඨකයා ඒවා රැගෙන පහසුවෙන් පරිශීලනය කරන්නට විය. ඒ සමගම පුස්තකාලව වු දම්වැල් ක්‍රමයෙන් අභාවයට ගියේය.

එහෙත් අදටද යුරෝපයේ රටවල් කිහිපයක පිහිටි පුස්තකාල අතීතයේ පොත් දුලබ යුගයේ ඒවා ආරක්ෂා කිරීමට යොදා ගත් ක්‍රමවේදය සංරක්ෂණය කරන්නට කටයුතු කර තිබේ. මෙහි අරමුණ වන්නේ ඒ ක්‍රමවේදය අනාගත පරපුරට දැක ගන්නට අවස්ථාව සලසා දීමයි. ඒ අනුව යදම් යෙදු පොත් ඇති සංරක්ෂිත පුස්තකාල 7 ක් අදටද යුරෝපයේ පිහිටා ඇත. මේ අතරින් පහක් එංගලන්තයේ ඇති අතර නෙදර්ලන්තයද එවන් එක් පුස්තකාලයක් පවත්වාගෙන යයි. අනෙක පිහිටියේ ඉතාලියේය.

හියර්ෆොර්ඩ් ආසන දෙව්මැදුරු දම්වැල් පුස්තකාලය

එංගලන්තයේ හියර්ෆොර්ඩ් හි පිහිටා ඇති මෙම පුස්තකාලය ආරම්භ කර ඇත්තේ 1611 දී වන අතර මෙය දම්වැල් යොදා පොත් ආරක්ෂා කල විශාලම පුස්තකාලය වේ. මෙහි සංරක්ෂණය කරන ලද දම්වැල් යෙදු පොත් අදටද දක්නට ලැබේ. මෙලස සංරක්ෂණය කරන ලද පොත් අතර රන්වන් හා විවිධ වර්ණ සහිත රූප සටහන් අඩංගු පොත් දැකිය හැකි අතර පැරණී අක්ෂරවලට කදිම නිදර්ෂකද ඒ අතර වේ. මෙහි ඇති ඉපැරණි පොත් අතර හියෆොර්ඩ් හී ඉපැරණී ගිතීකා අඩංගු පොතක්, හියර්ෆොර්ඩ් හී ශුභාරංචි ග්‍රන්ථයේ ඉපැරණීම වෙළුම, වසර 780 පැරණී ඇන්ග්ලෝ සැක්සන් ශුභාරංචි පොත, වයික්ලීෆ්ට් බයිබලය, 13 වන සියවසට අයත් හියර්ෆොර්ඩ් හී යාඥා සංග්‍රහය ද වේ. මෙම යාඥා සංග්‍රහයේ දැනට ඉතිරිව ඇති එකම පිටපතද මෙයයි. මීට අමතරව කැන්ටබරී හි ශාන්ත තොමස් ඝාතනය හා එහි අවසන් කටයු.ු සිදුවු ආකරය ගැන කියැවෙන ඉපැරණි පොතක් ද මෙහි ඇත. ඕක් ලීයෙන් කල මංජුසාවක බහා වටිනා ලෝහ වලින් ආවරණය කර ඇති මෙය රොමානු කතොලික පවුලකට අයත්ව තිබි ඇති අතර පල්ලිය වෙත පරිත්‍යාග කර ඇත්තේ කැනන් රසල් නැමැත්තෙකි.

ෆ්‍රැන්සිස් ටි්‍රගර් දම්වැල් පුස්තකාලය

1598 දී ආරම්භ කර ඇති මෙම පුස්තකාලය පිහිටා ඇත්තේ එංගලන්තයේ ග්‍රැන්තම් හීය. මෙම පුස්තකාලය එරට ප්‍රථම මහජන විමර්ෂන පුස්තකාලය වීමද විශේෂත්වයකි. මෙහි පැරණී පොත් අයිතම ලෙස 350 ක ලැයිස්තුගත කර ඇති අතර ඉන් 80 ක් ඉපැරණි ආරක්ෂීත ක්‍රමවේදය සිහිපත් කරමින් යදමින් බැඳ දමා තිබේ. 1884 දී මෙම පුස්තකාලයේ මෙහි දිරාපත්ව තිබු ආලින්දය නවීකරණය කර ඇති අතර එහිදි දම්වැල් යෙදුම්ද අලුත් කර තිබේ. වර්ෂ 1500 ට පෙර ලියන ලද පොත් ඇතුලත් දුර්ලභ ග්‍රන්ථ එකතුවක් පුස්තකාලය සතුය.

රාජකීය ව්‍යාකරණ පාසල් දම්වැල් පුස්තකාලය

මෙම පුස්තකාලය පිහිටා ඇත්තේ එංලන්තයේ ගිල්ෆොර්ඩ් හීය. මෙම පුස්තකාලයේ දම්වැල් යෙදු සංරක්ෂිත කොටස පවත්වාගෙන යනුයේ එහි පැරණි ගැලරියේය. 16 වන සියවසේ අග භාගයේදී ආරම්භ කරන ලද මෙම පුස්තකාලය 1800 දක්වා සැලකිය යුතු ග්‍රන්ථ එකතු කිරීම් සිදු කර ඇත. මෙහි ඇති පැරණිම පොත 1480 දී පමණ වැනිසියේදී ලියන ලද්දකි. 1500 දී පමණ ලියන ලද පැරණි ඉංග්‍රීසී පොතක් වයිකිංග් ඩී වොර්ඩේ ද මෙහි පොත් අතර තිබේ. 1897 පමණ සිට දම්වැල් යොදා ආරක්ෂා කර ඇති පොත් මෙහි ඇත.

විම්බර්න් මින්ස්ටර් දම්වැල් පුස්තකාලය

මෙය දම්වැල් යොදා පොත් සුරැකි දෙවන විශාලතම පුස්තකාලය වන අතර 1686 දී ආරම්භ කර තිබේ. මෙහි පොත් 150 ක් පමණ සුරක්ෂිත කර ඇත. එංගලන්තයේ විම්බර්න් හී මෙය පිහිටා තිබේ.

වෙල්ස් ආසන දෙව්මැදුරු දම්වැල් පුස්තකාලය

එංගලන්තයේ වෙල්ස් හී ස්ථාපිත මෙම පුස්තකාලයේ 1800 වර්ෂයට පෙර ලියන දේව ධර්මය, ඉතිහාසය, විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, ගවේෂණය, සහ භාෂාව වැනි විෂයන් ඇතුලත් වෙළුම් 2800 ක් පමණ සුරක්ෂිතව ඇත. 1472 දී වැනිසියේදී ලියන ලද ප්ලීනි නැචුරලියා හිස්ටොරියා ග්‍රන්ථය මෙහි ඇති පැරණිම පොතයි. මීට අමතරව 1555 දී ලියන ලද විසාලියුස්ගේ ඩී හියුමනීස් කොපොරීස් ෆැබ්රිකා ද මෙහි ඇති ඉපැරණි පොත් අතරට අයත් අතර ජීව විද්‍යා විෂයේ ව්‍යුහ විද්‍යාත්මක මුල්ම සම්පුර්ණ පොත ලෙසද සැලකේ. මීට අමතරව 1606 දී පමණ මුල්ම වරට ඉංග්‍රීසි බසින් එබ්රහම් ඔටේලියුස් විසින් ලියන ලද ඇට්ලස් ඔෆ් වර්ල්ඩ් ග්‍රන්ථයද මෙහි සුරක්ෂිතව තිබේ.

ලිබ්රිජේ දම්වැල් පුස්තකාලය

නෙදර්ලන්තයේ ගෙල්ඩර්ලන්ඩ් හී සුට්පෙන් නගරයේ මෙම පුස්තකාලය පිහිටියේය. එය ස්ථාපිතවි ඇත්තේ මෙම නගරයේ පිහිටි වෙල්බර්ගීස් පල්ලියේය. මෙම පල්ල්යේ ආරම්භය 11 වන සියවස දක්වා දිව ගියද මෙහි පුස්තකාලයක් පිහිටුවා ඇත්තේ 16 වන සියවසේදීය. මෙම ගොඩනැගිල්ල හා එහි අභ්‍යන්තරය යුග ගණනාවක් නොවෙනස්ව පැවතීමද විශේෂත්වයකි. මෙහි ඉපැරණි පොත් මේස වලට යදම් යොදා බැඳ දමා ඇති ආකරය දැකිය හැකිය.

බිබ්ලියොටෙකි මාලාටෙස්ටියනා දම්වැල් පුස්තකාලය

ඉතාලියේ කැසේනා හී පිහිටි ඉපැරණී ෆ්‍රැන්සිකැන් ආරාමයේ මෙම පුස්තකාලය පිහිටුවා ඇති අතර එය විවෘත කර ඇත්තේ 1454 දීය. මෙහි කියවන මේස වලට පොත් දම්වැල් යොදා සවි කර ඇති අයුරු දැකිය හැකිය.

නයනකේෂී විජේකෝන්

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart