මටත් කවියක් ලියන්න – 13

වෛද්‍යවරයාගේ කාමරයෙන් පිටතට පැමිණි නෙලුක, ඖෂධහල අසළ පුටුවකට බර දෙන විට මම ඖෂධ මිලට ගැනීමට ගියෙමි.
නෙලුක දියවැඩියාවෙන් හා අධි රුධිර පීඩනයෙන් පීඩා විඳිමින සිටියෙන් වෛද්‍යවරයා ඔහුට ඖෂධ නියම කළේ ආහාර ද පාලනය කරන්නට උපදෙස් ලබා දෙමිනි.


තෙදිනක්ම, නෙලුක මා හා ඒකාත්මික වීමට උත්සාහ කළත් ඔහුගේ සිරුරේ ඇති වූ දුර්වලතාවය එලෙසින්ම පැවතිණි. ඔහු බොහෝ සේ නොසන්සුන් බවටත්, වේදනාවට සේම කෝපයටත් පත් වන විට බලෙන් මෙන් මම ඔහු වෛද්‍යවරයෙකු හමුවට රැගෙන ආවෙමි. වෛද්‍යවරයා සිදු කළ යුතු බවට පැවසූ පරීක්ෂණයන්ගේ වාර්තා ද රැගෙන අපි යලිත් වෛද්‍යවරයා හමු වීමේ ගියේ දෙදිනකට පසුවය.
“මේක තාවකාලික තත්ත්වයක්.. දියවැඩියාව නිසයි මෙහෙම වෙලා තියෙන්නේ… රුධිරයේ සීනි මට්ටම වැඩි වෙද්දී ශිෂ්ණය සෘජු නොවීම වගේ ලිංගිකත්වය සම්බන්ධ ගැටලු ඇති වෙනවා විතරක් නෙමෙයි ලිංගික ආශාවත් අඩු වෙනවා.. ඔයාලා තව මහ ලොකු වයසක ළමයි නෙමෙයිනේ.. දැන්ම සීනි පාලනය කර ගන්න.. එතකොට ඔය තත්ත්වේ මඟ ඇරිලා යයි.. කලබල වෙන්න එපා.. ස්ටේ‍රස් වෙන්න එපා.. ස්ටේ‍රස් එකත් ඔය වගේ තත්ත්වයන්ට බලපානවා..”
වෛද්‍යවරයාගේ වදන් සිහිපත් කරමින් මා හිස හැරවූයේ නෙලුක වෙතටයි. ඔහුගේ දෙනෙත් ද මා වෙතටම යොමුව තිබුණෙන් යන්තම් සිනාවක් පා නෙත් ඉවතට හැරවූවෙමි.
“යමු.. බෙහෙත් බීලා රිලැක්ස් වෙමු අපි..”
මා ඖෂධ ගෙන අවසන් වෙත්ම නෙලුක මා අසළට පැමිණියෙන් මම ඔහුගේ අතේ දැවටුණෙමි.
“හ්ම්ම්.. ඩිනර් එක අරන් යන් කොහෙන් හරි…”
දිගු කලකින් ඔහු හා තනිවෙන්නට ඇවිදින්නට අවස්ථාවක් ලැබීමත්, ඔහුටම එය සිතීමත් මට ගෙන ආවේ ප්‍රීතියකි. එහෙත් එසැණින් සිහිපත් වූයේ අපගේ ආර්ථික තත්ත්වයයි.
“ඕනේ නෑ තාත්ති.. අපි ගෙදර යමු..”
මා පවසන විට ඔහු මදෙස දෙනෙත් කුඩා කර බැලුවේ මෙවැනි අවස්ථාවන් මා ලෙහෙසියෙන් මඟ නොහරින නිසාය.
“නැහැ මේ.. බෙහෙත්වලටත් ගියා පන්දහකට කිට්ටුව..”
“මට ජොබ් එක නැති වුණාට ගෑනිට කන්න බොන්න දෙන්න බැරි තත්ත්වයක් නෑ.. මාත් එකක් යන්න නිකම් ලැජ්ජාවක් අවුලක් වගේ තියෙනවා නම් ගෙදර යන්.. සල්ලි ප්‍රශ්නයක් කර ගන්න එපා..”
අඩක් සරදම් ස්වරයෙන් ද අඩක් වේදනාවෙන් ද පවසනා විට මම හිස ගස්සමින් මෝටර් රථයේ අසුන් ගතිමි. බ්ලූ බර්ඩ් වර්ගයේ මෝටර් රථය ඔහුට සිය තාත්තාගේ ඇවෑමෙන් උරුම වූවකි. එය නිතර භාවිතා නොකළත් හොඳින් නඩත්තු කර තිබුණෙන් එය අවශ්‍ය විටක ධාවනය කිරීම ගැටලුවක් නොවිණි.
මෝටර් රථය, කුරුණෑගල වැව පෙනෙන මානයේ සුඛෝපභොගී අවන්හලක නතර වන විට මා ඔහු දෙස බැලුවේ පුදුමයෙනි. එහෙත් ඔහු බැල්මක්වත් මා වෙතට නොහෙලා වටෙන් පැමිණ fදාර විවර කළේ මුදු සිනාවක් සමඟිනි.
“යමු සුදු මැණික…”
ඔහුගේ ආදරණීය වදන් හමුවේ මට දැනුණේ බොහෝ දිනක් පීඩා විඳිමින් සිටි තුවාලයකට ඖෂධ ලැබුණාක් වැනි හැඟීමකි. මා ඉක්මණින් රථයෙන් බැස ඔහුගේ අතේ පැටලුණේ සිනාසෙමිනි.
ඇණවුම් කළ ආහාර පැමිණෙන තුරු අප දෙදෙනා එකිනෙකාට දෙස හොරැහින් බලමින් සිටියේ පළමු වතාවට හමු වූ යුවලක් මෙනි.
“සුදු මැණික..”
“ම්ම්..”
“සොරි..”
මා ඔහු දෙස බැලුවේ කුතුහලයෙනි.
“හැමදේටම… ඔයා මාව දාලා යන්නේ නෑ නේද..?”
මඳ නිහැඬියාවකට පසු ඔහු එක්වරම විමසුවේ තෙතැති දෙනෙතිනි.
“ඇයි තාත්ති මං ඔයාව දාලා යන්නේ..?”
මා විමසුවේ සැබෑම පුදුමයකිනි.
“මට හරි හමන් ජොබ් එකක් නෑ.. දැන් තව ප්‍රශ්නයක්.. ඔයාට ඕනේ කිසිම දෙයක් මට දෙන්න බෑ.. ඇත්තටම දැන් මගෙන් ඔයාට වැඩක් නෑ වගේනේ…”
“විකාර කියවන්න එපා අනේ..”
මා නොරිස්සුම් සහගතව පවසා නිහඬ වූයේ අපගේ ආහාර ඇණවුම මේසය මතට ගෙන එන්නට වූ නිසාය.
“එහෙම නෙමෙයි සුදු මැණික.. ඇත්තටම ඔයාට මාව දාලා යන්න, මගෙන් ඩිවෝස් වෙන්න සාධාරණ හේතු තියෙනවා.. මගේ ප්‍රශ්නෙත් එක්ක ලේසියෙන්ම ඩිවෝස් එක ගන්නත් පුළුවන්..”
“නෙලුක..”
මා දැඩි හඬින් පවසන විට ඔහුගේ දෙනෙත් බිමට හැරවිණි.
“ඔයාට මාව දාලා යන්න ඕනේ නම් කියන්න.. නිකම් අනවශ්‍ය කතන්දර නැතුව… ඔයාට තියෙන්නේ තාවකාලික ප්‍රශ්නයක් විතරයි කියලා ඩොක්ටර් කිව්වා ඇහුණනේ.. හරියට බෙහෙත් බීලා කෑම පාලනය කරලා ඉන්න…”
නොනවත්වා කියාගෙන මම පිඟාන දෙස බලාගත්තේ වේගයෙන් හුස්ම ඉහළ පහළ යවමිනි. නෙලුක මා අසළට පුටුව ඇදගනු දැනුණ ද මම බැල්මක්වත් ඔහු වෙත නොහෙලුවෙමි.
“සොරි මැණික.. මම ඉක්මණට සනීප වෙන්නම්.. ප්‍රොමිස්..”
ඔහු මගේ උරහිස වට අත යවා කම්මුලක් සිප ගන්නා විට සිතේ වූ අමනාපයන් ඉවතට ගියේය. එහෙත් මා තවදුරටත් තරහ පෙන්වමින් හිස ගැස්සූ විට ඔහුගේ මුවඟ සටහන් වූයේ සිනාවකි.
“ලොකු සීන් දාන්න එපා ඉතින් දැන්.. කන්න..”
යළි මා සිප ගත් ඔහු යළිත් මේසයේ අනෙක් පසට ගොස් මගේ දෙපා ඔහුගේ දෙපා අතර මැදි කර ගත්තේය. මා එරවූයේ බොරුවටය.

************************

බොහෝ දිනකට පසු අපි දෙදෙනා සැනසිල්ලේ ගෙදරට ගොඩ වුවත් නිවසේ මතුව තිබුණේ අලුත් ප්‍රශ්නයකි.
නෙලුකගේ අම්මා නාන කාමරයේ වැටී කකුල පෙරලාගෙන තිබුණෙන් ඇය රෝහලට ගෙන යාමට අපට සිදු වියි. පැමිණි විගස යළි අම්මා ද රැගෙන රෝහලට පැමිණියේ ඇයට විවිධ රෝග ද රැසක් තිබූ නිසාය.
“වෝඩ් එකට දාන්න වෙනවා.. හයි බ්ලඩ් ප්‍රෙෂර් තියෙනවා.. කකුලෙත් පොඩි ඩැමේජ් එකක් තියෙනවා..”
බාහිර රෝගී අංශයෙන් පරීක්ෂා කළ අම්මාව රෝහලට ඇතුළත් කෙරිණි.
“ළඟ කෙනෙක්ට ඉන්න වෙනවා.. මෙයා බාත්රූම් වැටිලා තියෙන්නෙත් ක්ලාන්තේ වගේ ඇවිල්ලා..’
හෙදියක පවසනා විට නෙලුක හා මා මුහුණෙන් මුහුණ බලා ගත්තෙමු. අම්මා මහ ඉහලින් අදහන නෑදෑයන් කෙතරම් සිටියත් ඔවුන් මේ මොහොතේ ඇය වෙනුවෙන් ඉදිරිපත් නොවන බව මම දැන සිටියෙමි.
“මම කව්රු හරි හොයාගන්න පුළුවන් ද කියලා බලලා එන්නම් මැණික..”
මා හිස සැලුවේ මා දෙස නිකටමවත් නොබලා ඉවත බලා සිටින නැන්දම්මා දෙස හොර බැල්මක් හෙලමිනි. අසරණ වී සිටින මොහොතේදීත් ඇගේ ලොකුකම්වලට අඩුවක් නොවීම මට සිනා නැඟෙන්නට හේතු විය.
“අද රෑට නවත්තගන්න කෙනෙක් නෑ ශෙනායා.. මම ලොකු අම්මලට හරි කතා කරලා බලන්නම්..”
මොහොතකට පසු නෙලුක මා අසළට පැමිණ කීවේය. ඔහු කිසිදු විටෙක මගෙන් නවතින්න නොපැවසුවේ අප දෙදෙනා අතර වූ සිහිතල යුද්ධය දැන සිටි නිසාය.
“එපා තාත්තී.. මම ඉන්නම්..”
නෙලුක සේම නැන්දම්මා ද මා දෙස බැලුවේ පුදුමයෙන් නෙත් විසල් කරගෙනය.

යලි හමුවෙමු.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart