මටත් කවියක් ලියන්න – 11 කොටස

සිතේ වේදනාවක් තිබුණත් සිනාවෙන් ගෙවුණු දෙදිනකට පසු මම කුරුණෑගලට පැමිණියෙමි. නිවසෙහි අම්මාවත් නෙලුකවත් නොසිටියේ මා පුදුමයට පත් කරමිනි. නෙලුකට මා එන බව දන්වන්නට ගත් ඇමතුමට ද ඔහු සම්බන්ධ නොවූ වග සිහිපත් වෙද්දී මා නිවසට ඇතුල් වූයේ කල්පනාකාරීවය.
නෙලුකට දුරකථන ඇමතුම් කිහිපයක්ම ගත්තත් ඔහු එකඳු ඇමතුමකටවත් සම්බන්ධ නොවිණි. සිතට කෝපයක් දැනෙද්දී මම දුරකථනය පසෙකට දමා තේ කෝප්පයක් සකසා ගත්තෙමි. නිවස ඉදිරියේම පිහිටි නෙලුකගේ නැන්දාගේ නිවසින් ඔවුන් ගැන විමසන්නට හැකි වුවත් එය අනවශ්‍ය කටකතාවන්ට මඟ පාදන නිසාම නිහඬව සිටින්නට මම තීරණය කළෙමි.


නෙලුක හා අම්මා නිවසට එද්දී සවස පහටත් ආසන්නව තිබිණි. දෙදෙනා සිනාසෙමින් නිවස තුළට පැමිණියත් මා දුටු විගස අම්මාගේ මුවග වූ සිනාව මැකී ගියේය. එය ගණනකට නොගත් මා නෙලුක අසළට ළං වූයේ කුතුහලයෙන් ඔහු දෙස බලාගෙනය.
“කීයටද ආවේ ශෙනායා…”
නෙලුක කමිසය ගතින් ඉවත් කරමින් විමසද්දී මට කෝපයක් දැනුණත් මම ඒ බව සඟවා ගත්තෙමි.
“එකට විතර.. ඔයාට කෝල්ස් ගත්තා මම…”
“හ්ම්ම්.. මට ඇහුණේ නෑ.. ෆෝන් එක බලන්නවත් බැරි වුණා තවම..”
ඔහු ගණනකට නොගෙන පවසා කාමරය තුළට පිවිසෙන විට මම නළලත තදින් පිරිමැද ගත්තෙමි.
මොහොතක් සිටි තැනම සිටගෙන සිත සංසුන් කර ගත් මා කුස්සියට ගොස් තේ කෝප්ප දෙකක් සැකසුවේ අම්මා හා නෙලුක වෙනුවෙනි. ඇය පෙනෙන්නට නොසිටියත් තේ කෝප්පය මේසය මතින් තබා නෙලුකගේ කෝප්පය ගෙන කාමරයට ගියේ යළිත් දිගු හුස්මක් ගනිමිනි.
“තාත්තී ආ..”
බොහෝ දිනකට පසු මා ඔහුට ලෙංගතුව ඇමතූ නිසාදෝ ඇඟ පත fදාවාගෙන තුවාය ගත දවටාගෙන සිටි ඔහු මුදු සිනාවක් පෑවේය.
“තැන්ක් යූ මැණික.. මාර මහන්සියෙන් හිටියේ..”
ඔහු තේ එක ද සමඟින් සයනයේ අසුන් ගන්නා විට මම ද පසෙකට බර දුන්නෙමි.
“තුවාය තෙත නෑ හොඳේ..”
ඔහු සිනාසී පැවසුවේ තෙත තුවාය පිටින් ඇඳේ ඉඳ ගැනීම මා නොරිස්සන නිසාය.
“හ්ම්ම්.. කොහෙද නෙලුක ගිහින් හිටියේ මෙච්චර වෙලා..”
මෙතෙක් සිතේ කැකැරෙමින් තිබූ පැනය මම එළියට ගත්තෙමි.
“තවම ජොබ් එකට කතා කරන දවසක් නෑනේ මැණික.. එතකම් මොනවා හරි බිස්නස් එකකට අත ගහන්න හැදුවේ.. ඉතුරුවක් කියලා දේකුත් නෑනේ..”
“හ්ම්ම්ම්.. මොකක්ද දැන් බිස්නස් එක..? අයිඩියා එකක් තියෙනව ද..?”
“අයිඩියා එක විතරක් නෙමෙයි මැණිකේ.. වැඩේ පටන් අරගෙනත් ඉවරයි..”
මගේ දෑස් විසල් විය. මා නිවසේ නොසිටියේ දෙදිනකි. මට කිසිත් දැනුම් නොදීම ඔහු ව්‍යාපාරයක් ඇරඹුවා යන්න සිත් කැළඹිල්ලට හේතුවක් විය.
“ම්ම්ම.. මො.. මොකක්ද දැන් පටන් ගත්තේ..?”
“බයිට් කඩයක්..”
“ආ…?”


මගේ දෑස් සේම මුව ද විවර වී ගියේ එවදන් වටහා ගත නොහැකිවය.
“හ්ම්ම්.. ටවුන් එකේ බාර් එක ළඟ ටේස්ට් කඩල වර්ග විකුණන බයිට් කඩයක් දැම්මා…”
“පිස්සුද නෙලුක ඔයාට.. මොනවද මේ කියන විකාර..”
“විකරයක් නෙමෙයි ශෙනායා.. ඇත්ත කියන්නේ.. මට අතේ සල්ලි නැතුව ඉන්න බෑනේ.. එතන පොඩි ෂොප් එකක් යාලුවෙක්ගේ.. අපි දෙන්නා ෂේප් එකේ වැඩේ කරන්න බැලුවේ.. අද ගිහින් ඕපන් කළා.. හවසට ෂොප් එකට ගියාම දවසට සෑහෙන ගාණක් හොයාගන්න පුළුවන්..”
මගේ හිස දැවෙන්නට වූයේ කෝපය නිසාමය.
“කඩලකාරයෙක්.. මැනේජර් කෙනෙක් විදියට ඉඳලා බාර් එකක් ළඟ කඩල විකුණන්නට ඔයාට පිස්සුද නෙලුක.. අනි.. අනික මේ කිසි දෙයක් මම දන්නේ නෑනේ.. ඔයා කඩත් දාලා ඔක්කොම ඉවර වෙලාද මට කිය්නනේ..? මම ඔයාගේ කසාද ගෑනි..”
මා කෝපයෙන් කෑ ගසනා විට ඔහු හිස් වූ කෝප්පය ස්ටූලය මතින් තබා ඇඳෙන් නැඟිට ගත්තේය.
“ඔයා කැමැති වෙන්නේ නෑ කියලා දන්න නිසා තමයි නොකිව්වේ..”
“ආ… හා හා.. මම කැමැති නෑ කියලා දැනගෙන ඒක හංගනවා.. හැබැයි වැඩේ කරනවා.. මරුනේ..”
“ශෙනායා..”
එවර ඔහුගේ වචනවලට කෝපයක් එකතු වී තිබුණත් මා සිටියේ ඊටත් වඩා කෝපයෙන් ගැහෙමිනි.
මාගේ සැමියා පාරේ කඩල විකුණන අයෙකු වීම මට දරා ගත නොහැකි යමක් විය. උසස් ජීවන තත්ත්වයක් තිබූ ඔහු එවන් තත්ත්වයකට වැටුණු පසු මට ද මුහුණ දෙන්නට වන්නේ අපහාසයන්ටය. මගේ නැදෑයින්, පාසලේ කාර්ය මණ්ඩලය සියල්ලන් මට සිනාසෙනු ඇත.
“විකාර නටන්න එපා මනුස්සයෝ.. ඔයිට වැඩිය හොඳ බිස්නස් එකක් තිබුණෙම නැද්ද කරන්න..?”
ඔහු දෑත් මිට මොලවාගෙන ජනේලයෙන් පිටත බලා සිටින විට මම ඇඳ මත තිබූ කොට්ටය ගෙන බිමට දමා ගැසුවෙමි.
“ඔයා හොඳ මොළයක් තියෙන හොඳට ඉගෙන ගත්ත කෙනෙක් නෙලුක.. ඔය විකාර වැඩ අතාරින්න.. ජොබ් එක ලැබෙන පාටක් නැත්නම් වෙන ජොබ් එකක් බලන්න.. ඔයාගේ උගත්කමට ගැලපෙන බිස්නස් එකක් කරන්න.. අනේ ඔහොම කරන්න එපා.. මම ආස නෑ ඔයාව ඒ විදියට දකින්න..”
කෝපයත් ශෝකයත් කඳුළු ලෙසින් පිටවෙන්නට වූ කල සුසුමක් හෙලූ නෙලුක මා අසළට පැමිණ හිස මත අත තද කළේය.
“ශෙනායා.. ඔයා කියන විදියට කරන්න මාත් ආසයි.. ඒත් එච්චර ගාණක් යට කරන්න සල්ලි මට නෑ.. තියෙන ගාණෙන් තමයි මේ දේ කළේ.. මොන දේ වුණත් මම ඔයාට දුක් විඳින්න තියන්නේ නෑ..”
“නෙලුක… මට දුක් විඳින්න වෙන එක ප්‍රශ්නයක් නෑ.. ඒත් ඔයා කඩල විකුණන කෙනෙක් වෙන්න බෑ.. ඔයා වෙන බිස්නස් එකක් බලන්න.. අපි ඒකට ඕන කරන සල්ලි හොයාගමු… අපි.. අපි ඔයාගේ වාහනේ විකුණමු..”
“ශෙනායා..”
ඔහු ගිගිරුවේය. සිය ඩිෆෙන්ඩර් රථයට ඔහු කෙතරම් ආදරය කරන්නේදැයි මට සිහිපත් වූයේ එවරය.
“හරි.. හරි.. ඒක එපා.. මම අපේ අම්මලගෙන් සල්ලි ඉල්ලලා දෙන්නම්.. ලක්ෂ 10ක් වගේ මට ඉල්ලගන්න පුළුවන් වෙයි..”
මා කලබලයෙන් කියාගෙන යද්දී ඔහුගේ මුහුණ සම්පූර්ණයෙන්ම අඳුරු පැහැ ගැන්විණි.
“තමුසෙට පිස්සුද ඕයි… ගෑනිගෙන් කන බොන එකෙක් කියලා අහගන්න මට අමාරුවක් නෑ.. අනික තමුසෙගේ මල්ලීගේ කුප්ප කටින් කියන වචන අහගන්න මට ඕනේ නෑ.. තව එක වචනයක්වත් කියවන්න ගන්න එපා.. මට පුළුවන් දේ තමයි මම කරන්නේ.. ජොබ් එක ලැබෙනකම් කුඩුකාරයෙක්, මංකොල්ලකාරයෙක් වෙනවට වැඩිය කඩලකාරයා කියන එක මට නම්බුයි.. ඒක තමුසෙට ලැජ්ජාවක් නම් කැමැති තීරණයක් ගන්නවා..”
කෝපයෙන්ම පැවසූ ඔහු වේගවත් පියවරින් කාමරයෙන් පිටව යන විට මා ඇඳ මතට කඩා වැටුණේ උස් හඬින් හඬා වැටෙමිනි.
ඉතින් අපි යළිත් දෙදරා ගියෙමු.

යළි හමුවෙමු.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart