මටත් කවියක් ලියන්න – 09

දින වේගයෙන් ගෙවී ගියේ ජීවිතය කෙමෙන් අසීරු තත්ත්වයකට පත් කරමිනි. මට නෙලුක හා කාමරයට වී කිසිදු පෞද්ගලික දෙයක් කතා කිරීමට නොහැකි වූයේ නැන්දම්මා fදාර අසළ ඉඳගෙන අප කාමරයට කන තබාගෙන සිටින්නට වූ නිසාය.
ඇගේ නවතම පුරුද්ද අපේ නිදහස සම්පූර්ණයෙන්ම අහුරන්නට වූයේ මගේ කෝපය ද දිනෙන් දින වැඩි කරලමිනි.
පෙරපාසලේදී මගේ හිතවතිය වූ වත්සලා සමඟින් මම නැන්දම්මා ගැන පවසමින් සිටියේ කෝපය පාලනය කර ගන්නට තැත් දරමිනි.
“තරහ ගන්න එපා ශෙනායා.. මතකනේ උදේ මැඩමුත් ඇහුවා ඔයා ප්‍රශ්නෙක කියලා.. ඔයා නොදැනම හිතේ තියෙන කේන්තිය යන්නේ අර පොඩි එවුන් පිටින්..”
ඇය පවසන විට ම තදින් නළලත පිරිමැද ගත්තේ එය සත්‍යයක් වූ නිසාය. අද උදෑසන ද රැකියාව සඳහා නිවසින් පිටතට පැමිණෙන විටම නැන්දම්මා වෙනත් යුවතියකගේ දරුවන් ගැන කියවන්නට වූවාය.
“ඔයාගේ ඉස්සරහ තමයි අපිට ළමයෙක් හදන්න වෙන්නේ.. බැලුවොත් කන තියෙන්නේ අපේ කාමරේ අස්සෙනේ..’
මා මුවට පැමිණි එම කඨෝර වදන් ගිල ගත්තේ දැඩි ආයසයක් දරමිනි. හිස ගස්සාගෙන මා පිටව පැමිණියේ වේගවත් අඩි තබමිනි.
මා පෙරපාසල තුළට පිවිසියේ ද එම කෝපය සමඟින්මය. කෝපය දෙපිටින් ගියේ මගේ පන්තියේ සිටි කුඩා දරුවෙකු, දැරියකට පහර දී ඔවුන් දෙදෙනාම නොනවත්වා හඬන්නට වූ කලය. හිසරදයකින් ද පෙළෙමින් සිටි මට දැනුණේ දැඩි කරච්චලයකි.
“කට වහගන්නවලා දෙන්නම.. ගහනවා මම කෝටුවක් කැඩෙනකම් දැන්..”
මා උස් හඬින් පැවසූ විට තිගැස්සී ගිය දෙදෙනාම එක්වර නිහඬ වුවත් ඔවුන්ගේ හීල්ලීම නම් නොනැවතිණි. ඒ මොහොතේම එහි පැමිණි විදුහල්පතිවරිය මා දෙසත්, මා දෙසම බලාගෙන හූල්ලන දරුවන් දෙදෙනා දෙසත් බැලුවේ කුතුහලයෙනි.
“ප්‍රශ්නයක් ද ශෙනායා..?”
“නෑ මැඩම්.. මේ දෙන්නා ගහගෙන.. දෙන්නම අඬනවා දැන්..”
මා ආයාසයෙන් සිනාවක් මවාගෙන පැවසුවත් මගේ පන්ති කාමරයට එහා පන්ති කාමරයේ සිටි වත්සලාගෙන් සිදු වූ දෙය සඟවාලන්නට නොහැකි විය.
මා දිගු හුස්මක් ගෙන සිත සැහැලලු කර ගන්නා විට වත්සලා මගේ හිස මෘදුව පිරිමැද්දාය.
“දැන් යන්න ක්ලාස් එකට.. පොඩි උන්ට ගහලා බැනලා කන්ට්‍රෝල් කරන්න බෑනේ.. හිතේ තරහ යවන්න එපා..”

නිවස, ජීවිතයේ වෙහෙස නිවන සැනසීම ගෙන දෙන තැනක් විය යුතු වුවත් මට නම් නිවස දැනුණේ අපායට යන්නාක් බඳුවය. එහෙත් හිසේ වේදනාවත්, නිසි අන්දමින් වැඩක් කරන්නට තරම් සහනයක් නොවූ නිසාත් මම වේලාසනම පෙර පාසලෙන් පිටව ආවෙමි.
ත්‍රීරෝද රථයකින්ම පැමිණියේ සිරුරට දැනෙන දැඩි අපහසුව නිසාමය. එහෙත් එම අපහසුව මැඩගෙන සිනාවක් පැමිණියේ මිදුලේ නවතා තිබෙන නෙලුකගේ වාහනය දුටු විටය.
“අද කලින් ඇවිත්..”
මටම මුමුණා ගනිමින් ඉක්මණින් බැස ගත්තේ අම්මා කුමක් පැවසුවත් ඔහුගේ තුරුලට වී සිත නිවා ගන්නටය. නිහඬවම fදාර අසළට පැමිණි මගේ සිනාව අතුරුදන් වූයේ එක්වරම ඇසුණු දෙබසටය.
මගේ අතේ තිබූ බෑගය උස් හඬක් නංවාගෙන බිමට වැටුණේ හැඬුම්බරව සිටි අම්මා ද, දෝත මත හිස රඳවාගෙන සිටි නෙලුකගේ ද තිගස්සවමිනි.
“ශෙ.. ශෙනායා..”
ඔහුට ඉබේටම මිමිණිනි.
“නෙලුක මො… මොකක්ද ඔයා දැන කිව්වේ..?”
මා ආයාසයෙන් විමසන විට ඔහු දිගු හුසමක් ගනිමින් මා අසළට පැමිණියේය. උදෑසන පිළිවෙල හැඳ සිටි කමිසය ඔහේ කලිසම මතින් දමාගෙන හිසකෙස් ද අවුල් කරගෙන සිටි ඔහුගේ මුහුණෙන් දිස් වූයේ දැඩි වේදනාත්මක් පෙනුමකි.
“මාව ඉන්ටඩික් කළා සුදු මැණික..”
ඔහු දිගු හුස්මක් ගනිමින් පවසන විට මම තදින් නළල පිරිමැද ගතිමි.
“ඇයි ඒ..?”
“මම චෙක් කරලා යවපු ඩොකියුමන්ට්ස් වගේක අවුලකට..?”
“එහෙම ඩොකියුමන්ට්ස් අවුල් වුණා කියලා ඉන්ටඩික් කරනව ද..?”
මා විමසුවේ කිසිත් සිතා ගත නොහැකිව ය.
“ඔය කරලා තියෙන්නේ.. මගේ රජෙක් වගේ හිටිය කොල්ලා.. කර ගත්ත පරස්තාවේ හොඳකම තමයි.. අන්තිමට රස්සාවත් නැති වෙලා..”
අම්මා එක්වරම පරල වූවාක් මෙන් කෑ ගසන්නට වූයේ මගේ හුස්ම ද සිර කරලමිනි. අවසානයේ එම වැරැද්ද ද මාගේ පිටට පැමිණියේ සියල්ල මා කළාක් මෙනි.
“අම්මා.. ප්ලීස් බොරුවට කෑ නොගහ ඉන්න.. රස්සාව නැති වෙලා නෑනේ.. තාවකාලිකව මාව නැවැත්තුවේ.. පරීක්ෂණ ඉවර වුණාමයි තීරණයක් දෙන්නේ..”
“දෙන තීරණේ වෙනසක් වෙන එකක් නෑ පුතේ ඔය මූසල ගෑනි ඉන්නකම්.. ගෑනි මූ දේවි උනාම උඹට හරියයි ද..? සීදේවි කියලා ගෙනාවා ගෑනිගේ වරුණාව පේනවනේ..”
වේදනාව පරයමින් කෝපය මගේ සිරුරම වෙලා ගන්නට විය. වේගයෙන් හුස්ම ගත ඇයට රවා බැලුවේ වදන් අමුණා ගන්නට නොහැකි තරමටම කෝපය වැඩි වූ නිසා ය. මම වේගයෙන් ආපසු හැරී නිවසින් පිටතට පියවර තැබුවෙමි.
“සුදූ,. කොහෙද යන්නේ..?”
නෙලුක සැණින් මගේ බාහුවෙන් ග්‍රහණය කර ගත්තත් මම ඔහුගේ අත ගසා දැමුවෙමි.
“යන්නේ.. ඔලුව හැරුණු අතේ.. මම වගේ මූසල ගෑනියෙක් කොහේ ගියාම ඔයාට මොකද නෙලුක.. ඔයා ගේන්න සීදේවියෙක්.. එතකොට ඔයාට රස්සාවත් ලැබෙයි.. මම නිසානේ දැන් මේ සේරම වෙලා තියෙන්නේ..”
“ශෙනායා.. කට වහගෙන එන්න ඇතුළට..”
“නෑ මම ඇතුළට එන්නේ නෑ..”
ඔහු මගේ බාහුවෙන් අදින්නට උත්සාහ කළත් අත ගලවා ගනිමින් ඔහු තල්ලු කර දැමුවේ සිරුරට යෝධ ශක්තියාක් ලැබුනාක් මෙනි.
“තමුසේ යනවා සීදේවි අම්මා ළඟට.. අම්මා ගෙනත් දෙයි මූදේවි වගේ නැති මූසල මම වෙනුවට වාසනාවන්ත ගෑනියෙක්.. මම ගැන තමුසේ හොයන්න එපා..”
කෝපය වැඩිකමට කඳුළු වගුරවමින් මම කෑ ගැසුවෙමි. එක්වරම එසවුණු නෙලුකගේ දකුණත මගේ කම්මුල මත නතර වූයේ මගේ මුවින් අව්‍යක්ත රාවයක් නිකුත් කරමිනි. කණාමැදිරි එළි දස දහසක් විසි වූවාක් මෙන් වෙද්දී මගේ වදන් ද සිර විණි. මට දැනුණේ මා විසි වෙන්නාක් බඳු හැඟීමකි. එහෙත් එක්වරම නෙලුකගේ දෑතට එසවුණු මගේ සිරුර නැවතුණේ අපේ කාමරයේ ඇඳ මතයි. මා සිටියේ සිහිනයක සිර වූවාක් බඳුවය. කුමක් කරන්නද පවසන්න ද තේරුමක්වත් නොවෙද්දී මා ඔහේ වැතිර ගත් ඉරියව්වෙන්ම සිටියෙමි.
“සුදු මැණික.. ශෙනායා..”
නෙලුකගේ මුහුණ මගේ දෑස් ඉදිරියේ පෙනේදදී මම එදෙසම බලා සිටියෙමි.


“සොරි මැණික.. කෝ නැඟිටින්නකෝ.. මට බනින්න.. ගහන්න ඕනේ නම් ගහන්න.. අනේ කතා නොකර ඉන්න එපා..”
ඔහු පසුතැවිලි සහගතව කියාගෙන යනු ඇසුණත් මා සිටියේ තෝන්තු වූවාක් බඳුවය. තවමත් හිස බමනය වෙමින් තිබිණි. කිසිවෙකුගෙන් මෙතුවක් කලකට මෙවන් පහරකට ලක්ව නොතිබුණු මට දැනුණේ භීතියකි. වේදනාවකි. කෝපයකි. සංකලනය වූ හැඟුම් වටහා ගත නොහැකිව ගල් ගැසී සිටි මා එක්වරම උස් හඬින් හඬා වැටෙන්නට වූයේ නෙලුකව ද පසෙකට තල්ලු කර දමමිනි.
“ඇයි… ඇයි මට එහෙම කළේ නෙලුක.. මම මූසලයි කියලද ඔයත් හිතන්නේ..? මම නිසා නෙමෙයිනේ ඔයාට ජොබ් එක නැති වුණේ.. ඇයි ඔයාගේ අම්මා මට බනින්නේ.. ඇයි ඔයා මට ගැහුවේ..?”
මා මෙට්ටයටත්, ඔහුටත් පහර දෙමින් දෙපා ද ගසමින් හඬා වැටුණෙමි. ඔහු තදින් නළලත පිරිමැද ගෙන මා වැළඳගන්නට ගියත් කම්මුල් පහර සිහිපත් වන විට ඔහු මා අල්ලනවාටාවත් කැමැත්තක් ඇති නොවිණි.
“ඔයාට මට නොගහ ඉන්න තිබ්බා එහෙම… අම්මා ඉස්සරහ.. අර අල්ලපු ගෙදර මිනිස්සු බලාගෙන ඉද්දී,. මම වැරැද්දක් කළේ නෑනේ.. අනේ.. ඇයි මම ගුටි කන්නේ..? ඇයි මම කතා අහන්නේ..? මම යනවා.. මම යනවා ගෙදර..”
මා කලබලයෙන් නැඟිටින්නට ගියත් ඔහුගේ දෑත් අතර මා සිර විය.
“කට වහපං.. දැන් හොඳටම ඇති.. මගෙන් පාරක් කෑවෙත් අනවශ්‍ය කතා කියන්න ගිහින්.. අම්මා කියපු රෙද්දවල් වැඩක් නෑ.. මම තමුන්ව කසාද බැන්දේ තමුන් මට වටින නිසා.. තේරුම් ගන්නවා ශෙනායා පොඩ්ඩක්…. මගේ ඔළුව අවුල් වෙද්දී ඔයයි අම්මයි දෙන්නම ඇයි තවත් මගේ ඔලුව කන්නේ.. මට කියලා නිදහසක් නෑද්ද..?”
“මම ද ඔයාගේ ඔලුව කෑවේ නෙලුක.. මම වෙච්ච දේ විතරයි නේද ඇහුවේ..?”
“හරි ශෙනායා හරි.. අම්මා කියවද්දී අඩුම ගාණේ ඔයාවත් පොඩ්ඩක් කියවන්නේ නැතුව තරහ නොගෙන ඉන්නකෝ.. එක පැත්තකින්වත් මට සහනයක් නෑනේ..”
ඔහු කෝපයෙන් පවසමින් මා ඉවතට තල්ලු කරන විට මම දිගු හුස්මක් ගතිමි.
‘සියල්ලේ වරද මාගේය..’
කම්මුලේ වේදනාව නොතකා තදින් මුහුණ පිසදා ගත් මම fදාර අසළට වේගවත් පියවර තැබුවෙමි.
“කාලාද ආවේ ඔයා..? තේ එකක් ගෙනත් දෙන්න ද..?”
මා යළිත් හැරී අසන විට නෙලුකගේ නෙත් නැවතුණේ නළලතෙහි ය.
“සුදු මැණික..”
“තේ එකක් ගේන්නම් උණුවෙන්…”
ඔහුගෙන් පිළිතුක් නොලබාම මම කුටියෙන් පිට වූයෙමි.

යළි හමුවෙමු.

යළි හමුවෙමු.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart