මටත් කවියක් ලියන්න – 8

ළදරු පාසැලෙන් වේලාසන පැමිණි දිනෙක මා වත්තේ ඇවිදිමින් සිටියේ නෙලුකගේ අම්මා ද පෙනෙන මානයක නොවූ නිසාය. වත්ත පුරාවට වැවී තිබූ ගස් වැල් වර්ග හඳුනා ගන්නට තරම් දැනුමක් මට නොතිබුණි. අම්මාගෙන් පැමිණි දුරකථන ඇමතුමට මා සම්බන්ධ වූයේ උස්ව වැඩි තිබූ වල් පැළ අතර වැටී තිබූ පැෂන් ගෙඩි කිහිපයක් අහුලා ගනිමිනි.
“මොකද කරන්නේ..?’
“මොනවත් නෑ අම්මා.. වත්තේ ඇවිද්දා..”
“හ්ම්ම්.. රෑට කන්න හොයාගෙන එන්න කිව්වද නැන්දම්මා..”
“එහෙම දෙයක් නෑ අනේ.. මට කම්මැලියි.”
“හ්ම්ම්.. බලාගෙන.. සත්තු සර්පයොත් ඇති..”


අම්මා, මට මෙතෙක් අමතකව තිබූ කාරණාවක් සිහිපත් කළෙන් මා වහා වටපිටවා නිරීක්ෂණය කළෙමි. උස්ව වැඩුණු පඳුරු, පැළ අතර සර්පයෙකු සැඟවී සිටීම විය හැකි නිසා මම කලබලයෙන් එම ඉසව්වෙන් ඉවත් වූයෙමි.
“ඔයා බෙහෙත් බිව්ව ද..?”
“හ්ම්ම්.. එන්නේ නැද්ද මෙහෙ..?”
“නෙක්ස්ට් වීක් දිහා එන්නම් අම්මා.. නෙලුකට නිවාඩු නෑ..”
“මැනේජර් කෙනෙකුට නිවාඩුවක් ගන්න බැරි ද ඔච්චරට.. ඕන්නැතිකමනේ..”
“එයාට පුළුවන් වුණත් මට නිවාඩු ගන්න පුළුවන් වෙන්නත් ඕනේනේ..”
මා වැඩි වේලාවක් නොගෙන ඇමතුම විසන්ධි කර දැමුවේ නොරිස්සුම් සහගතවය.
කුස්සිය දෙසින් නිවසට පිවිසෙන්නට ගිය මගේ දෙපා එක තැන නැවතුණේ එතුළින් ඇසුණු කසුකුසු හඬටය.
“අක්කගේ ලේලි, හිරට හිරේ ඇඳගෙන උදේ පාන්දර ගිහින් රෑ වෙලා එනවා මිසක් ළමයෙක් හදන්න අදහසක් නැද්ද..?”
ඒ හඬ, අසල්වැසි නිවසක වයලට් ලෙස හඳුන්වන කාන්තාවගේ බව හඳුනා ගැනීම මට අපහසුවක් නොවිණි.
“තව ඉතින් බැන්ද අලුතනේ නංගී..”
අම්මා ගණනකට නොගෙන පවසනු ඇසෙද්දී නිවසට පිවිසෙන්නට සිතුණත් මම තවත් මොහොතක් පමා වූයෙමි.
“හ්ම්ම්.. ඒ වුණාට අක්කේ පොඩ්ඩක් ලේලිට අවවාද කරන්න හරි හමන් ඇඳුමක් අඳින්න කියලා.. අපේ කොල්ලත් මැජික් වගේ බලනවා.. උන්ට හුරු නෑනේ අක්කේ ඔහොම දැකලා.. අන්තිමට කොල්ලත් නරක් වෙනවා..”
මම කෝපයෙන් දත්මිටි කමින් දෑත් මිට මොලවා ගත්තෙමි. ඇය පවසන පුතා, දෙදිනක්ම අමතර පංති අසළ රස්තියාදු වෙමින් ගැහැණු ලමුන්ට විහිළු කරනු මම දැක්කෙමි.
“කොළඹ පුරුද්දනේ නංගී.. මම පුතාටත් කිව්වා මෙහෙට ගැලපෙන්න අඳින්න කියන්න කියලා.. කොහෙද කොල්ලා කැමැති නෑනේ ගෑනිට වචනයක්වත් කියන්න.. ඔයාට කියන්න නංගී, මෙහෙ වතුර බොන්න බෑ කියලා පුතා ඇමරිකන් වෝටර් කියලා බෝතල් උස්සගෙන එනවා..”
එවර නැන්දම්මා ද ඇගේ පසට කතා කරන්නට වූයෙන් මගේ හිස දෙපස තඩ් තඩ් හඬින් ගැහෙන්නට විය. උස් හඬින් කෑ ගසා ඔවුන් දෙදෙනාටම බනින්නට සිතෙන සිතුවිලි පාලනය කර ගන්නට මම වේගයෙන් හුස්ම ඉහළ පහළ දැම්මෙමි.
“අම්මපා.. සේරටම කලින් ලේලිට මෙහෙ වතුර පොවලා හුරු කරවන්න වෙන්නේ.. හරි වැඩේ වෙන්නේ නැත්නම්..”
“අනේ මන්දා නංගී.. පුතා එක්ක දෙයක් කතා කරන්නවත් මට වේලාවක් නෑනේ දැන්.. ආව ගමන් කාමරේට වදිනවා පැණි හැලියට වැටුණු ඇඹලයා වගේ..”
ඇය සුසුම් හෙලන්නට විය.
“ලේලි එහෙනම් පුතාව අල්ලේ නටවනවා වගේ.. කල්පනාවෙන් අක්කේ.. ඔහොම කගිහින් අ්මමාව ගෙදරින් එළවන්න කියන්නත් බැරි නෑ.. මතකනේ නිරෝෂාට වෙච්ච දේ.. පුතණ්ඩියා කොළඹින් ගෙනාව ලේලි පොඩ්ඩ ඒකිව ගෙදරින්ම එළියට දාලා තිබ්බේ…”
තවදුරටත් ඔවුන්ගේ කතාව අසාගෙන සිටින්නට තරම් සංයමයක් හෝ මඟ හැර යන්නට තරම් ඉවසීමක් ද මා සතු නොවිණි. සුළඟක් සේ කුස්සිය තුළට කඩා වැදී අතේ තිබූ පැෂන් ගෙඩි කිහිපයද මේසය මතට දමා ගැසුවේ නැන්දම්මාට සේම වයලට් ද රවා බලමිනි. ඔවුන් දෙදෙනාටම පහර පිට පහර ගසන්නට තරම් කෝපය උත්සන්නව තිබුණත්, මම වේගයෙන් ගෙතුළට ඇවිද ගියෙමි. කෝපය කාමරයේ fදාර මතින් යවමින් වේගයෙන් වසා දමා ඇඳ මතට වැටුණෙමි. නොනවත්වා කඳුළු ගලා යන්නට වූයේ මගේ කෝපය පිට කරන්නට වෙනත් මඟක් නොවූ තැනය.
නෙලුකගේ වාහනයේ හඬ ඇසෙන තුරුම කාමරයෙන් පිටතටවත් නොයා මා ඇඳටම වී සිටියේ නැන්දම්මා හා ගැටුම් ඇති කර ගන්නට වුවමනාවක් නොවූ නිසාය.
“මැණිකේ..”
මා වහා සයනයෙන් නැඟිට අවුල් වූ හිසකෙස් සකසාගෙන මුහුණ ද පිස දමා ගත්තෙමි.
‘මොකෝ මේ කළුවරේ..?”
මා කාමරයේ විදුලි බුබුලවත් දල්වා නොතිබූ බව මට සිහිපත් වූයේ ඒ මොහොතෙහිය . “මොනවත් නෑ.. නින්ද ගියා ටිකක්..”
මා නිදිබර ගතියක් පෙන්වමින් මිමිණුවත් ඔහුගේ මුහුණේ තිබුණේ සැකයක සේයාවකි.


“තේ එකක් බොනවද..? හදන්න ද මම..?”
“අම්මා හදනවා ඇති..”
ආයාසයෙන් පාලනය කර ගත් කෝපය හිස ඔසවද්දී මම දෙනෙත් වසා ගත්තෙමි.
“ඇයි දැන් මම හදන තේ බොන්න බැරි ද..?”
යළිත් දෙනෙත් විවර කරමින් මා නොරිස්සුම් සහගතව අසද්දී ඔහුගේ දෙනෙත් කුඩා විය.
“මැණිකේ.. මොකක්ද ප්‍රශ්නේ..?”
ඔහු කරුණාබර හඬකින් අසමින් මම අසළ අසුන් ගනිද්දී තදින් යටිතොල සපාගනිමින් හිස දෙපසට වැනුවෙමි.
“මොනවත් නෑ.. ඔයාට මම තේ එක හදලා දෙන්නම් කියලා කිව්වේ..”
මා ඉවත බලාගෙන මුමුණන විට ඔහු සුසුමක් හෙලා හිස ඉහළ පහළ වැනුවේ යමක් වටහා ගත්තාක් බඳුවය.
“මම ඔයාගේ තේ එකට, කෑමවලට කැමැතියි කියලා ඔයා දන්නවනේ පැටියෝ.. මම ගෙට එද්දීම අම්මා තේ හදන්නද ඇහුව නිසා මම හා කිව්වා..”
ඔහු කමිසය ගතින් පන්නා, මගේ උරහිස වටා අතක් යවා කොපුලක් සිප ගත්තේය.
“යන්න ගිහින් වොෂ් දාගෙන එන්න..”
මා ඔහුගේ අත උරහිසෙන් ඉවත් කොට නැඟිට ගත්තේ, නැන්දම්මා පිටත සිට කෑ ගැසුවහොත් මගේ සිත් පීඩාවන් වැඩි වන නිසාය.
කාමරයෙන් පිටතට යන්නට වුවමනා වුවත් යෑමට නොහැකියාවකින්ද මා පෙලමින් තිබිණි. එහෙත් කාමරයේම ගැවසෙමින් නෙලුකගේ සැකයට පාත්‍ර විය නොහැකි නිසා මා පිටතට ගියේ සුසුමක් ද හෙලමිනි.
“තේ වක් කළා.. ඔය ළමයටත් තියෙනවා..”
මා කුස්සියට ගිය විගස අම්මා පැවසුවේ මේසය මත තිබූ මගේ හා නෙලුකගේ තේ කෝප්ප දෙක පෙන්වමිනි.
“හ්ම්ම්.. තැන්ක් යූ..”
“හ්ම්ම්.. රෑට මොනවද කන්නේ..?”
“නෙලුක එළියෙන් කමු කිව්වා.. අම්මටත් අරගෙන එන්නම්. ආප්ප කනවනේ…”
සිතේවත් නොතිබූ දෙයක් මා පැවසුවේ ඇය පිටු දැකීමේ අරමුණිනි. ඇය හා වයලට් කතා වූ දේ මට ඇසුණු බව, මගේ හැසිරීමෙන් ඇය වටහා ගන්නට ඇතත් එවැන්නක් නොඇඟුවාය. ඒ නිසාම මම ද ඒ බවක් නොඅඟවා සිටින්නට උත්සාහ කළෙමි.
“මේ බත් තියෙන්නේ.. මොන ආප්ප ද.. සම්බෝලයක් හදා ගත්තම මදැයි..”
“නෙලුකට එළියෙන් කන්න ඕනේලු.. මටත් දැන් බත් කන්න බෑ.. ආප්ප කන්න බැරි නම්, කොත්තු, පරාටා වගේ දෙයක් ගේන්නම්..”
මා, ඇය දෙස නොබලාම පිළිතුරු දෙන විට ඇය රයිස් කුකරයේ පියන තදින් වසා දැමුවාය.
“මට ඕනේ නෑ ඔය කඩ කෑම..”
ඇගේ නොරිස්සුම් සහගත වදන් හමුවේ සිතට දැනුණේ කුරිරු සතුටකි. මා නිහඬව හිස සලා තේ කෝප්ප දෙක ද රැගෙන කාමරයට පිවිසෙන විටම නෙලුක ද ඇඟ පත fදාවාගෙන පැමිණ සිටියේය.
“නෙලුක, අපි එළියෙන් කමු අද..”
මම තේ කෝප්පය ඔහු අතට දී සිරුරට හේත්තු වී වාඩි වූයෙමි. එක්වර පිළිතුරක් නොදුන් ඔහු මාදෙස වුවමනාවෙන් බැලුවේ මොහොතකට පෙර කෝපයෙන් සිටි මා දැන් සිනාමුසුව සිටිනු දුටු නිසා විය යුතුය.
“ඇයි එක පාරට..”
“එක පාරට නැතුව ඉතින් දෙපාරකට කන්න පුළුවන්යැ..”
මා ඔහුගෙන් ඈත් වෙන්න උත්සාහ කළත් නෙලුකගේ මගේ බඳ වටා නිදහස් අත යවා මා ඔහු අසළට ඇද ගත්තේය.
“මොනවද දැන් මැණිකෙට කන්න ඕනේ..”
ඔහුගේ දෙතොල් මගේ කන් පෙත්තක් මත දඟ කරන්නට විය.
“මොනවා හරි. වෙනසක් ඕනේ.. අපි මැරි කළාට පස්සේ ඩිනර් අවුට් එකක්වත් ගියේ නෑනේ..”
“හ්ම්ම්.. යමුකෝ.. අම්මා එතකොට..”
“බත් තියෙනවා කිව්වේ කන්න…”
“අම්මාටත් ලෑස්ති වෙන්න කියන්නකෝ..”
කෝපයේ සර්පයා යළිත් පණ ගසද්දී මා ඔහුගෙන් ඈත් වූයේ වේගයෙනි.
“නෙලුක.. මම ඩිනර් යමු කිව්වේ කන්න විතරක් නෙමෙයි.. පොඩ්ඩක් රිලැක්ස් වෙන්න.. අපි දෙන්නට නිදහසේ කතා කරන්නවත් ඉන්නවත් නෑනේ මේ ගෙදර.. ඒත් එළියට ගිහිල්ලත් වෙන්නේ ඒ දේම නම් තේරුමක් නෑනේ.. අපි ගෙදර ඉමු..”
වේගවත් ස්වරයෙන් පැවසූ මම ඉවතට යෑමට උත්සහ කළත් ඔහු මා නවතා ගත්තේය.
“මොකද වෙලා තියෙන්නේ..?”
ඔහුගේ හඬෙහි වූ කෝපය නිසාම මගේ නෙත් කඳුලෙන් බර වෙන්නට විය.
“මොනවත් නෑ.. මට යන්න ඕනේ නෑ.. ඔයා අම්මත් එක්ක ගිහින් කාලා මටත් මොනවා හරි අරගෙන එන්න..”
මම දෙනෙත් පිසදා ගනිමින් මිමිණුවෙමි.
“විකාර කියවන්න එපා ශෙනායා.. අම්මා රෑ තනියෙන් නිසයි එහෙම කිව්වේ මම.. ලෑස්ති වෙන්න යන්න..”
“ඕනේ නෑ..”
“ශෙනායා.. මම දැන් සැරයක් කිව්වා.. මාව තරහ ගස්සන්න එපා.. ලෑස්ති වෙන්න ඉක්මණට… මම එහා ගෙදර අක්කට කියලා එන්නම් අම්මව බලන්න කියලා..”
ඇඟලුමක් ගත දවටාගෙන නෙලුක පිටතට යන විට අතැඟිලි සපමින් මා කල්පනා කළේ නපුරු වූවා වැඩි ද කියාය. එහෙත් දහවල ඇසුණු දේ සමඟ සිතේ වූ කෝපය තවමත් මැඩ ගැනීම මට අසීරු වී තිබිණි.
“මම අවුරුදු ගාණක් හිටිය ගෙදර මට මොන තනියක් ද..? යන තැනක ගිහින් එන එකයි ඇත්තේ.. කඩවලින් කාලා ලෙඩ වෙන්නකෝ පුළුවන් නම්..”
නැන්දම්මාගේ හඬ පිටතින් ඇසෙන විට මා මොහොතක් දෙසවන් වසා ගත්තෙමි. මොහොතකට පසු සුසුමක් හෙලා දණහිසේ සිට අඟල් තුනක් පමණ ඉහළින් නිම වූ කෙටි ගවුමකින් සැරසුණේ නැන්දම්මා දහවල පැවසූ දේ සිහිපත් කරමින්ම ය. මට අවැසි වූයේ ඇය කෝප ගැන්වීමට ද, නැත්නම් ඇගෙන් පළි ගැනීමට ද යන්න පිළිබඳ මටම අදහස් නොවිණි.
එහෙත් මගේ සිතට සතුටක් දෙමින් මා කාමරයෙන් පිටතට පැමිණෙන විට, මගේ ඉහළ සිට පහළට ගමන් කළ ඇගේ මුහුණ කළු වී ගියේය. නෙලුක මා දෙස වුවමනාවෙන් බැලුවත් වදනක්වත් නොපවසා ‘යමු’ යැයි හිසෙන් සංඥා කළේය.

යළි හමුවෙමු.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart