මටත් කවියක් ලියන්න – 14 කොටස

ඇයට මා ද, මට ඇය ද නොරිස්සුවත් මෙවන් මොහොතක් අතහැර යෑම හෝ නෙලුකගේ මව නිසා ඉවත බලා සිටින්නට මට නොහැකි විය.
මට බීමට වතුර බෝතල් කිහිපයක් හා කෙටි ආහාර පාන වර්ගයන් කිහිපයක් ද ගෙනැවිත් දුන් නෙලුක යළි නිවසට ගියේ අම්මාත් මාත් තනි කරලමිනි.
ඇය වදනක්වත් මා හා fදාඩන්නට උනන්දුවක් නොදැක්වූ නිසා මා ද ජංගම දුරකථනය දෙස බලාගෙන සිටියෙමි.
එක්වරම මගේ අවධානය බිඳුණේ නැන්දම්මා ඇඳෙන් බහින්නට උත්සාහ කරනු දකිද්දීය.
“ඇයි අම්මේ..?”
මම පුටුවෙන් නැඟී සිටියෙමි.
“බාත්රූම් යන්න ඕනේ..”
ඇය මිමිණුවේ මදෙස නොබලාමය. ඇගේ හැසිරීම නිසා මුවට නැඟි සිනාව සඟවාගෙන ඇගේ අවශ්‍යතාවය සපුරා ගන්නට සහය දුන්නෙමි.
මා නොසිතූ අන්දමින් නාන කාමරයේ සිට යළි සයනයට එද්දී ඇගේ මුහුණේ වූ නොරිස්සුම් සහගත පෙනුම නැති වී තිබිණි. එහෙත් ඇය නිහඬවම නිදන්නට විය.
“සුදු මැණික.. මට නින්ද යන්නේ නෑ..”
නෙලුකගෙන් කෙටි පණිවිඩයක් පැමිණියේ මගේ කම්මැලිකමට බෙහෙතක් වෙමිනි.
“මාත් ඇහැරලා නිසා ඔයත් ඇහැරලා ඉන්න…”
“එහෙම ද ආස..?”
“ඕඕඕ..”
“මට මොනවා හරි දුන්නොත් ඇහැරලා ඉන්න පුළුවන්..”
“මම හොස්පිට්ල් ඉන්නේ..”
බොහෝ කලකින් මා හා නෙලුක අතර කෙටි පනිවිඩ හුවමාරු කෙරිණි. ආදරය කරන සමයේ මතක සිතට පැමිණියේ වෙහෙසකර ගතට සේම සිතට තරමක සහනයක් ගෙන දෙමිනි.
අඩ නින්දේ සිටි මා උදෑසන අවදි වූයේ වෛද්‍යවරයා පැමිණි හඬිනි. ඒ වන විටත් අම්මා අවදි වී සයනයේ අසුන්ගෙන සිටියාය.
“ලෙඩා ඇහැරිලා, බලාගන්න කෙනා නිදි හොඳට.. පේනවනේ දුවලගේ විදිය අම්මේ..”
තරුණ වෛද්‍යවරයා මා දෙස බලමින් සරදම් ස්වරයෙන් පවසද්දී, මම ලැජ්ජාශිලී සිනාවක් පෑවෙමි.
“අනේ නෑ ඩොක්ටර්.. එළිවෙනක්ම ඇහැරගෙන.. ඔය උදේ ඇහැ ටිකක් පියවෙන්න ඇත්තේ..”
ඇය පවසද්දී මට තරමක පුදුමයක් ද දැනිණි.
“හ්ම්ම්.. හොඳ දුවෙක්නේ එහෙනම් අම්මට ඉන්නේ.. කොච්චර හොඳ ද?”
වෛද්‍යවරයා යළිත් වුවමනාවෙන් මා දෙස බලද්දී මම යන්තමට සිනාවක් පෑවෙමි.
“මේ මගේ ලේලි ඩොක්ටර්.. දුවම තමයි ඒ වුණාට…”
අම්මා මා එලෙස හඳුන්වා දුන්නේ වෛද්‍යවරයාගේ මුහුණේ වූ වෙනස හඳුනා ගත් නිසාද නොඑසේ නම් සැබෑවටම මා ගැන ඇති හැඟීමදැයි මට සිතා ගත නොහැකි විය.
වෛද්‍යවරයාගේ මුහුණේ ඇති වූ වෙනස නම් මගේ මුවට සිනාවක් ගෙන එන්නට සමත් විය.
“දවල්ට අම්මගේ ටිකට් කපන්න පුළුවන්..”
“තැන්ක් යූ ඩොක්ටර්..”
වෛද්‍යවරයා එතැනින් ඉවතට යද්දී මා එතෙක් සඟවාගෙන සිටි සිනාව පිට විණි. නැන්දම්මා මාදෙස බලනවා දකිද්දී මම වහා අසළ තිබූ මේසය දෙසට හැරුණෙමි.

දහවල් හිරු රැස, දෙනෙත් සේම මුළු ගතම දවාලනු දැනෙද්දී මම පෙර පාසැල් ගොඩනැඟිල්ලෙන් පිටතට අඩිය තැබුවෙමි. කුඩයක් ගෙන එන්නට නොහැකි වීමේ මෝඩකමට මටම බැණ ගනිමින් ඉක්මණින් ගසක් යටට දිව යන්නට ගියත් දෙපා එක තැන නැවතිණි.
“මෙත්සිඳු..”
මා මුමුණා ගත්තේ ඔංචිල්ලාවක් මතට වී පාර දෙස ඔහේ බලා සිටින කුඩා දරුවා දෙස බලාගෙනය.
පෙර පාසල අවසන්ව ඒ වන විටත් හෝරාවක කාලයක් ගෙවී ගොස් තිබූ අතර දිව සුරැකුම් මධ්‍යස්ථානයේ සිටින දරුවන් හැර අනෙක් දරුවන් සියල්ලන්ම පිටව ගොස් තිබිණි. තුමිඳු පමණක් තනිව තවමත් රැඳී සිටීම මගේ සිතේ ඇති කළේ කුතුහලයකි.
දැඩි හිරු රැස් අමතක කළ මා ඔහු අසළට ඉක්මණ පියවර තැබුවෙමි.
“මෙත්සිඳු පුතේ.. තවම ගියේ නැද්ද..?”
මා අසද්දී ඔහු තිගැස්සී මෙන් හැරී බැලුවේය. සිත්කලු, දඟකාර දෑස් වල තෙතැති ගතියක් ද දකිද්දී මට දැනුණේ වේදනාවකි. ඔහුගේ දෙමව්පියන් ගැන කෝපයකි.
“ගෙදරින් ආවේ නෑනේ සුදු ටීචර් තවම…?”
ඔහු වහා ඔංචිල්ලාවෙන් බිමට පැන මගේ දෙපා වැළඳ ගත්තේය.
මා හට බොහෝ සේ ආදරය කළ ඔහු, නිතරම මා අසළම ගැවසෙන්නට ප්‍රිය කළේය. විටෙක වෙනත් ගුරුවරියන්ගේ දෝෂාරෝපණයට මට ලක් වෙන්නට සිදු වූයේ ඔහු, එම ගුරුවරියන්ගේ අණ පනත් නොතකමින් මා අසළට දිව එන නිසාය. මා පවසනා දෙයක් මිස අන් අය පවසනා දේවල් පිළිගන්නට මැලි වන නිසාය.
“අද ලේට් වෙනවා කිව්ව ද..?”
“එහෙම කිව්වේ නෑ…”
ඔහුගේ ස්වරයේ වූයේ වෙනදා වන දඟකාර බව නොව විඩාබර බවකි. මා අත් බෑගය ඔංචිල්ලාව මතින් තබා ඔහු වඩා ගත් විගස මගේ උරහිස මත හිස හොවා ගත්තේ සිතට වේදනාවක් ගෙන දෙමිනි.
“පුතාට බඩගිනියි ද? මොනවා හරි කමු ද?”
“නෝ..”
වේගයෙන් පැමිණි මෝටර් රථයක් පෙරපාසලෙහි මිදුලේ තදින් තිරිංග තද කරමින් නතර කළ විගස වැදගත් ලෙසින් ඇද පැළඳගත් අයෙකු රථයෙන් බිමට බැස්සේ කලබලයෙනි.
ඔහු වේගවත් ගමනින් මා වෙත ලං වන විට ඒ පෙරදිනක රෝහලේදී හමු වූ වෛද්‍යවරයා වග මම විගසින් හඳුනා ගත්තෙමි.
“මෙත්සිඳු..”
මා දුටු විගස ඔහු මා අසළ නැවතුණේ, මගේ ගෙලෙහි එල්ලී සිටින මෙත්සිඳු හඳුනාගෙන ද? නැතිනම් ඔහු සොයා ගැනීමට සහයක් ඉල්ලීමට ද මට සිතා ගත නොහැකි විය.
‘කොල්ලගේ තාත්තාත් ලස්සනයි..’ මෙත්සිඳු ප්‍රථමයෙන් දුටු දින තමාරා පැවසූ වදන් මට විගස සිහිපත් විණි. කිසිදු පිළිතුරක් දෙන්නට මත්තෙන් මෙත්සිඳු වහා හිස ඔසවා ඔහු දෙස බැලීය. සැණින් ඔහුගේ දෝතට පැන ගත් විට ඔහු ඇගේ හිස සිප ගත්තේ සෙනෙහසිනි.
“සොරි චෑම්ප්.. මම ලේට් වුණා..”
ඔහු, මෙත්සිඳුට පවසමින් මදෙස වුවමනාවෙන් බැලුවේය.
“මෙත්සිඳුගේ තාත්තේ, මීට පස්සේ ලේට් වෙනවා නම් පොඩ්ඩක් ඔෆිස් එකට දැනුම් දෙන්න.. සේරම ළමයි ගිහිල්ලත් මෙත්සිඳු තනියෙන් සෑහෙන වේලාවක් බලාගෙන ඉඳලා.. ඒක හොඳ දෙයක් නෙමෙයි..”
මා තරමක හඬින් පවසද්දී ඔහු මඳ සිනාවක් පෑවේය.
“සොරි ටීචර්.. හදිසි ලෙඩෙක්ට ටී්‍රට් කරන්න වුණා.. ඒකයි ලේට් වුණේ.. අනික.. මම මෙත්සිඳුගේ තාත්තා නෙමෙයි.. බාප්පා..”
ඔහු තරමක අවධාරණාත්මක ස්වරයෙන් පවසද්දී මම දෙනෙත් කුඩා කර බැලුවත් නිහඬව හිස සැලීමි.
“ටීච යනවා පුතේ එහෙනම්..”
මා අත් බෑගය අතට ගනිද්දීම, මෙත්සිඳු වහා මගේ උරහිසෙන් ඇද්දෙන්, මා නොවැටී නැවතුනේ වෛද්‍යවරයාගේ කමිසයෙන් අල්ලා ගනිමිනි.
“සොරි ඩොක්ටර්..”
මම වහා සිරුර සමබර කර ගනිමින් ලැජ්ජාශිලීව මිමිණුවෙමි.
“මගේ නම ජනත්.. ඩොක්ටර් නෙමෙයි..”
ඔහු මගේ දෙසට නැඹුරුව පවසද්දී මා තදින් යටිතොල සපාගෙන අඩියක් ඈතට ගත්තත්, මෙත්සිඳු මා උරහිසට අත තැබුවේය.
“බාපා, ඔයා මාව කන්න එක්ක යනවා නේද රෙස්ටෝරන්ට්..”
ඔහු හිස සලනු මට පෙනිණි.
“අපි සුදු ටීචර්ත් එක්ක යමුකො..”
“ටීචර් කැමැති නම් එක්ක යමු..”
ඔහු සැහැල්ලුවේ මිමිණුවේ මට කෝපයක් ගෙන දෙමිනි.
“සුදු ටීචර් යමුකො..”
“මම දැන් ගෙදර යන්න ඕනේ පුතේ… ඔයා බාප්පා එක්ක යන්නකෝ.. මීට පස්සේ තාත්තාට හරි බාප්පාට හරි වෙලාවට ඔයාව ගන්න එන්න කියන්න..”
එම කෝපය වදන්වලට පෙරලමින් මා ඉදිරියට පියවර මැන්නේ, ජනත් ද, මෙත්සිඳු ඔසවාගෙනම මා හා සමාන්තවර ඇවිද එද්දීය.
“සුදු ටීචර්.. අපි ඔයාව බස්සගෙන යන්නම්..”
“නෝ තැන්ක් යූ ජනත්.. මට පුළුවන්..”
“අනේ ටීචර් යන්කෝ.. ප්ලීස්.. අපි අයිස්ක්‍රීම් එකක් කාලා යන් මඟින්.. බාපා අරන් දෙයි අපිට..”
මෙත්සිඳු, මගේ සුරතට පැන ගනිමින් පවසද්දී මා කිසිත් කර කියා ගත නොහැකිව අසරණ විණි.
“මිස් කොහෙට ද යන්නේ..?”
එවර ජනත්ගේ හඬෙහි වූයේ බැරෑරුම් බවකි.
“ම්ම්.. වැව පැත්තට. …… පාර..”
මා එවර නොපැකිලී පිළිතුරු දුන්නෙමි.
“මිස්ට ප්‍රශ්නයක් නැත්නම් අපිත් එක්ක යමු.. කොහොමත් අපි ඒ හරිය පහු කරගෙන යන්නේ.. එහෙම නැත්නම් ළඟම බස් හෝල්ට් එකෙන් බස්සන්නම්.. මිස්ව වාහනේට ගන්නේ නැතුව මෙයාව දැන් එක්ක යන්න වෙන්නේ නෑ..”
ජනත් පවසද්දී, ඒ වදන් තහවුරු කරන්නට මෙන් මෙත්සිඳුගේ මගේ ගෙල වටා දෑතම දමා ගත්තේය. මෙත්සිඳු යනු, තමාට අවශ්‍ය දෙය කෙලෙස හෝ කර ගන්නා අන්දමේ දරුවෙකු වග මා දැන සිටියෙන් ජනත්ගේ වාහනයට නැඟුණේ යළි පෙරැත්තයට ඉඩ නොතියාය.
“බාපා.. සුදු ටීචර්ටයි මටයි අයිස්ක්‍රීම් ඕනේ..”
වාහනයට නැඟුණු සැණින් ඔහු කෑ ගැසුවේය.
“ඕකේ..”
“දැන් කොහොමද ඔයාගේ නැන්දම්මට..?”
වාහනය පාරට දමා ගන්නා අතරේ ජනත් විමසුවේ ඔහු මා හඳුනාගෙන ඇති වග සීයට සීයක්ම පසක් කරවමිනි.
“දැන් නම් අඩුයි.. කකුල බිම තියලා ඇවිදිනවා..”
“හ්ම්ම්.. හස්බන්ඩ් මොකද කරන්නේ…?”
මා ඔහු දෙස වුවමනාවෙන් බැලුවත් ඔහුගේ නෙත් බැල්මක්වත් මා වෙත යොමු වී නොතිබුණි.
“එයා …. කම්පැනි එකේ මැනේජර් කෙනෙක්..”
මා පැවසුවේ නෙලුකගේ පෙර රැකියාව පිළිබඳවයි.
හිස සැලූ ඔහු, පාරේ පසෙක වූ අයිස්ක්‍රීම් අලෙවි කරනා වෑන් රථයක් අසළ මෝටර් රථය නවත්වා බැස ගියේ නිහඬවමය. මොහොතකින් මිලාධික අයිස්ක්‍රීම් තුනක් රැගෙන රථයට නැඟි ඔහු, ඉන් එකක් මටත්, අනෙක් මෙත්සිඳුටත් දුන්නේ සිනාසෙමිනි.
“මාව බස් හෝල්ට් එකෙන් දාන්න ජනත්..මෙත්සිඳු.. ඔයා බාප්පා එක්ක යන්න පුතේ. හෙට උදේම එන්න..”
මා මෙත්සිඳුගේ මුහුණ ද සිපගෙන ඔහු අසුන මතින් තබා රථයෙන් බැස්සේ ජනත්ට ද ස්තූතිවන්ත වෙමිනි.

ජනත්ටම කියා නිවසට හැරලාවගත්තේ නම් හොඳයැයි සිතෙන තරමට බසයෙන් බසිද්දී මම හෙම්බත්ව සිටියෙමි. ත්‍රීරෝද රථයකින් පැමිණ නිවස ඉදිරියෙන් බැස ගන්නා විටම මෙතෙක් නිවසේ ඉදිරියෙහි සිටි නැන්දම්මා නිවසට ගියේ මා නොදැක්කා සේය.
සෑම දිනකම මෙන් මා එනතුරු මඟ බැලුවත් ඇය ඒ බව හඟවන්නට කැමැති නොවූ නිසා එම හැසිරීම මම ගණනකට නොගත්තෙමි.
කෑමෙන් නොකෑමෙන් පසු ඇඟපත fදාවාගෙන ඇඳට වැටුණා පමණක් මට මතකය. යළිත් මගේ දෙනෙත් විවර වූයේ කාමරයේ පිටතින් ඇසෙනා ශබ්ද බද්ද නිසාය. කිසිත් වටහා ගත නොවුණු මට එක වර ඇඳෙන් නැඟිටින්නට ද නොහැකි වූයේ ආවේලාවේ නිදා ගැනීම නිසා දැනුණු කුසීත බව හමුවේය.
“ශෙනායා..”
දෙනෙත් විවර කරන්නට සිතමින් කම්මැලිකමේ සිටි මා තිගැස්සී ගියේ එක්වරම ඇසුණු නෙලුකගේ හඬටය.
“නෙලුක.. ඔයා ආව ද..?”
මා නිදිමතේම ඇඳෙන් නැඟී සිටියත් එසැණින් යළිත් ඇඳ මතටම වැටුණේ කම්මුල හරහා එල්ල වූ තද පහරක් සමඟය.

යළි හමුවෙමු.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart