මටත් කවියක් ලියන්න – 5 කොටස

අනුකි සේම දිමුතු ද දුරකථන ඇමතුම හා සම්බන්ධ වූයේ ගෙවී ගිය දිනයන්ගේ මතකයන් සිහිපත් කරමිනි. ඇමතුම විසන්ධි වූ පසු කඳුළු කම්මුල් තෙමාගෙන වැක්කෙරෙන්නට වූයේ නවතා ගත නොහැකිවය.
“මැණිකේ..”
එක්වරම පිටුපසින් නෙලුකගේ හඬ ඇසුණෙන් මම කලබලයෙන් දෙනෙත් පිසදා ගත්තෙමි.
“මොකෝ මේ අඬන්නේ..?”
කඳුළු පිසදා ගත්තත් මා හැඩූ බව ඔහුට සැඟවීම අපහසු විය. මම කිසිත් නැතැයි හිස දෙපසට සැලුවත් නෙලුක දෙඋරහිස් මත අත තබාගෙන මගේ මුහුණ එබුණේය.
“මොකද වුණේ..?”
එවර ඔහුගේ ස්වරයෙන් තිබුණේ බැරෑරුම් බවකි.
“මොනවත් නෑ.. මල්ලී කතා කළා.. අනුකි, දිමුතු එක්ක වන් ගෝල්ෆේස් ගිහින්.. මාව මිස් වුණා කියලා කතා කරනවා.. ඒකට දුක හිතුනා..”
මම මිමිණුවෙමි.
“හ්ම්ම්.. අපි යමුකෝ ලබන සතියේ දිහාවට ගෙදර..”
ඔහුගේ සිත නොරිදවමින් මුව පුරා සිනාසෙමින් මම ඔහුගේ ළය මත මුහුණ හොවා ගතිමි.
“මගේ ළඟ ගඳ ඇති..”
“කොහොමත් ගඳයි තමයි..”
ළයෙන් මුහුණ ඉවතට ගනිමින් ඔහුගේ කම්මුලක් ද සපමින් මා පවසද්දී ඔහු මගේ බඳ වටා දෑත් යවා ගත්තේ ය.
“ඇත්ත ද නෝනා හාමු..”


ඔහු සිය රැවුල මගේ මුහුණ පුරාත් ගෙල පුරාත් අතුල්ලන්නට වූයේය. මගේ හිස අල්ලා ඔහුගේ කමිසය පුරාවට මුහුණ ද ගෙන ගියේ මා කෑ ගසද්දීය.
“අනේ.. අතාරින්නකෝ…”
“සුවඳයි කියන්න… එතකොට අතාරිනවා..”
“සුවඳයි.. සුවඳයි.. අතාරින්න..”
මා කෑ ගැසුවේ ඔහුගේ සුරතේ ග්‍රහණයෙන් ගැලවෙන්නට උත්සාහ දරමිනි. කිතිය නිසාත් සිනාව නවතා ගන්නට නොහැකි වීම නිසාත් මට දැනුණේ හුස්ම ද හිරවෙන ස්භාවයකි.
“හුස්ම ගන්න බෑ..”
එවර, ඔහු මා නිදහස් කළේ දෙතොල් ද තදින් සිප ගනිමිනි.
“පුතා.. දුව.. මොකද…?”
අම්මාගේ හඬ පිටතින් ඇසිණි. තවමත් වේගයෙන් හුස්ම ඉහළ පහළ දමමින් සිටි මට පිළිතුරු දී ගත නොහැකි විය.
“මොනවත් නෑ අම්මා..”
“හ්ම්ම්… කන්න එන්න….”
නෙලුක, මගේ දෙස මොහොතක් බලා සිට උස් හඬින් සිනාසෙන්නට වූයේය. මා එහුට රවමින් හිස ගස්සමින් පිටව යන්නට උත්සාහ කළත් බඳ වටා අත යවා මගේ පිට ඔහුගේ ළයට හේත්තු කර ගත්තේය.
“මොකද කළේ මෙච්චර වෙලා..?”
මගේ සවන්පතක් මත සෙමෙන් දෙතොල් තවරමින් ඔහු විමසුවේ මෘදු ස්වරයෙනි. ඉතින් මෙතෙක් වේලා කළ සියල්ල මා ගිරවියක සේ ඔහු හමුවේ කියාගෙන ගියෙමි.
“හ්ම්මම්.. මගේ මැණික ගොඩක් වැඩ කරලනේ.. නාලා කරලා ඉන්න කෙල්ලගේ ඇගේ මම දාඩිය ගානවා නේද..?”
“හ්ම්ම්..”
මා මිමිණුවේ ගෙල මත දැවටෙන ඔහුගේ දෙතොල් පහසේ අතරමං වෙමිනි.
“ළමයි.. කාලා ඉන්න.. මම නාන්න යනවා..”
එක්වරම fදාර අසළින් නැඟුණු උස් හඬ නිසා නෙලුකගේ දෙතොල්, ගෙලෙන් ඉවත් වූයේ මා පියවි ලොවට ගනිමිනි. එම රස පහසේ අතරමං වීමට ඉඩ නොදුන් අම්මා ගැන සිතට නොරිස්සුමක් ද දැනිණි.
“යමු කන්න.. මහන්සියි.. බඩගිනියිනේ..”
නොරිස්සුම පාලනය කර ගත් මා ඔහුගේ අතින් අල්ලාගත්තේ, ඔහු නිවසට පැමිණියේ ආහාර ගැනීමටම බලාගෙනම නිසාය.
අතින් කෑමට කම්මැලි බව පවසමින් නෙලුක මට කියා ආහාර කවා ගත්තේ මගේ දෙපා පිරිමදිමිනි. කෑමට එතරම් ප්‍රියක් නොවූ නිසා ඔහුට කවන අතරේම මම ද කටක් දෙකක් ආහාරයට ගත්තෙමි.
“කන්න වෙන මොනවා හරි ගෙනත් දෙන්න ද..?”
“එපා තාත්ති ඇති..”
වතුර උගුරු දෙකක් පමණක් පානය කළ ද, මට දැනුණේ උගුර හාරාගෙන යන ස්වභාවයකි.
“මොකෝ බබා මූණ අවුල් වුණේ..?”
“නෑ..”
මා මිමණුවේ ඔහු අපහසුතාවට පත් කරන්නට නොහැකි නිසාය.
“දුව බෝතලේ උණුවතුර ඇති.. ඒක නිවාගෙන බොන්න ඇල් වතුර මිශ්‍ර නොකර..”
මා නොදැකම එතැනට පැමිණි අම්මා පැවසුවාය.
“හරි අම්මේ..”
“ඇයි මොකද..?”
නෙලුක කුතුහලයෙන් විමසුවේ අම්මා දෙසත් මා දෙසත් මාරුවෙන් මාරුවට බලමිනි.
“දුවට මෙහෙ වතුර බොන්න අමාරුයිලු..”
අම්මා ගෙතුළට පිවිසෙද්දී නෙලුක දෙනෙත් කුඩා කරගෙන මා දෙස බැලුවේය.
“ඇයි මට කිව්වේ නැත්තේ..?”
“එහෙම දෙයක් නෑ.. අදනේ වතුර බිව්වේ.. තවම හුරු නැති නිසා වෙන්නැති තිබහ නැති වෙන්නෙත් නෑ.. උගුර හාරනවා වගේ..”
මම කියද්දී ඔහු දිගු හුස්මක් ගත්තේය.
“හ්ම්ම්.. උණු වතුර බොන්නකෝ දැනට..”
මගේ හිස පිරිමැදගෙන ඔහු ගෙතුළට ගියේ කමිසය ගලවා දමමිනි.

යළි හමුවෙමු.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart