සඳට පෙම් බැඳ තරු අහුලා ගත් රත්නා පුෂ්පකුමාරි

තැඹිලිගස්මුල්ල ධීරානන්ද දහම් පාසැලේ හත් වෙනි වසරේ සිටි කුලෑටි කෙල්ල මහානාම හාමුදුරුවන්ගේ අවධානයට පාත්‍ර වූයේ ඇය කිසිම දිනෙක සමිතියට ඉදිරිපත් වී නොතිබුණ බැවිනි. ඉතාම හොඳින් පොතපතේ වැඩ කරන, අපූරු රචනා ශෛලියක් ඇති මේ කෙල්ල දවසක් හාමුදුරුවන් විසින් කැඳවනු ලැබුවාය. ඇය හාමුදුරුවන් හමුවට ගියේ බියේ ගැහෙමිනි.

“අද හවස දහම් පාසැල් සමිතියේදී ඔය ළමයා කතාවක් කරන්න ඕන..” ගහෙන් ගෙඩි එන්නාක් මෙන් හාමුදුරුවන් අණ කරද්දී කෙල්ල උඩ ගොස් බිම වැටුණාය.

From FB

“හාමුදුරුවනේ මං.. මං..” ඇය ගොත ගැසුවාය.

“ඔව්.. ඔය ළමයා තමයි.. කතාවක් නොකළොත් එහෙම අම්මටයි තාත්තටයි දෙන්නටත් ලැජ්ජාව..” හාමුදුරුවෝ පැවසූහ.

කෙල්ල කතාව කරන්නට බාර ගත්තේ හාමුදුරුවන්ගේ අණ ඉක්මවිය නොහැකි නිසාම නොව අම්මාත් තාත්තාත් ලැජ්ජා වෙනු ඇතැයි හැඟීම නිසාය. ඔවුන් අපහසුවට පත් වෙන ආකාරයේ දේවල් කරන්නට ඇය කවදාවත් කැමති වුයේ නැත.

මිතුරියකගේ ද උදව් ඇතිව කතාව පිළියෙල කර ගත්තත් සමිතිය ඇරඹූණ මොහොතේ සිටම ඇය සිටියේ තද සුළුඟකට හසු වූ ලදල්ලක් මෙන් වෙව්ලමිනි. ඇය උඩුතොල මත රැඳුණ දහඩිය බිඳු වරින්වර ලේන්සුවෙන් තෙතමාත්තු කර ගත්තාය. අවසානයේදී ඇගේ අවස්ථාව එළඹිණි. ඇය සිහිනෙන් ඇවිදින්නාක් මෙන් වේදිකාවට යද්දී ඇගේ කුලෑටි බව හඳුනන ළමෝ හූ කියමින් සරදම් කළහ. ඇය තවත් බියටත් චකිතයටත් පත් වුවාය.

“සභාවෙන් අවසරයි.. ” එපමණක්ම කී කෙල්ල හඬාගෙන වේදිකාවෙන් බැස්සාය.

කොල්ලෝ තවත් සරදම් කළහ. ඇය එදින දහම් පාසැල් ඇරී ගෙදර ගියේත් හඬමිනි.

“කවදාවත් කරන්න බෑ කියලා කිසිම දෙයක් අතාරින්න එපා.. ටිකක් මහන්සි වුණාම ඕනම දෙයක් කරන්න පුළුවන්..” දියණිය හඬන්නට හේතුව දැන ගත් ඇගේ මව කීවාය. එපමණකින් නොනැවතී ඊ ළඟ සතිය පුරාම ඇයට කතාවක් පාඩම් කෙරෙව්වාය.

“අද ඔයා ගිහින් හාමුදුරුවන්ට කියන්න ඕන සමිතියේ කතාවක් කරනවා කියලා..” ඇය දියණියට අණ කළාය. පැකිළෙමින් නමුදු හාමුදුරුවන් ඉදිරියට ගිය ඇය තමා සමිතියේ කතාවක් කරන්නට සූදානම් බැව් කීවාය. හාමුදුරුවෝ විස්මයෙන් ඇය දෙස බැලූහ. එදා ඇය සාරවත් කතාවක් කර අනෙක් අයගේ ප්‍රශංසාවට ලක් වූවා පමණක් නොවේ. පසු කලෙක කථික තරගවලට ද දහම් පාසැල නියෝජනය කරමින් ඉදිරිපත් වූවාය. සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ ද ලබා ගත්තාය. තමා ඉගෙන ගත් ගුරුකුල විද්‍යාලයේ විවාද කණ්ඩායමේ නායිකාව බවට ද පත් වූවාය.

From FB

“එදා හැමෝම ඉස්සරහ ලැජ්ජා වුණා කියලා හිතලා මම පසු බැස්සා නම් හරි, මීට පස්සෙ බැරි දේවල් කරලා ලැජ්ජා වෙන්න එපා කියලා අපේ අම්මා කිව්වා නම් මට කවදාවත් මේ තත්වයට එන්න ලැබෙන්නෙ නෑ..” එසේ පවසමින් ගොඩ වැදුණේ දශක දෙකකටත් අධික කාලයක් තිස්සේ ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස ගුවන් විදුලියේ, ජාතික රූපවාහිනියේ සහ ස්වාධීන රූපවාහිනියේ සේවය කළ, මාධ්‍යවේදිනියක සහ නාට්‍යවේදිනියක ද වූ, මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ පුහුණුකාරිනී රත්නා පුෂ්පකුමාරිය.

ඇය සිංහල සංස්කෘතික ආයතනයේ නාට්‍ය අනු මණ්ඩලයේ ලේකම් ලෙස ද, ලෝක නාට්‍ය ආයතනයේ උප සභාපතිනිය ලෙස ද කටයුතු කළාය. ආකල්ප වෙනස් කිරීමෙන් ජීවිතය වෙනස් කර ගන්නා ආකාරය ගැන දේශන පැවැත්වීම සඳහා මෙන්ම නාට්‍ය පෙන්වීම සඳහාත්, නාට්‍ය වැඩමුළු පැවැත්වීම සඳහාත් ඇය රට වටා පමණක් නොව ලෝකය වටා ද ගියාය. මේ වන විට ඇය සංචාරය කර ඇති රටවල් ගණන පනස් පහ ද ඉක්මවා තිබේ.

“පුංචි කාලෙ ඉඳලම මම කැමති අනිත් අය කරන්න තියා හිතන්නෙවත් නැති දේවල් කරන්න.. මේ වගේ තැන්වලදී මට මඟ කියලා දුන්නෙ ඒ වගේම ලොකු ශක්තියක් වුණේ මගේ අම්මා..”

මීට වසර 12කට පමණ පෙර සිංහල අලුත් අවුරුදු සමයක මිය ගිය සිය මව කුසුමා වෙත්තසිංහ පිළිබඳව කෘතවේදීව සඳහන් කරමින් රත්නා පැවසුවාය. ගුරුවරියක වී සිට විවාහයෙන් පසුව රැකියාවෙන් ඉවත් වූ ඇය දක්ෂ කිවිඳියකි. දරුවන් වට කරගෙන කතාන්දර කියන්නට ඇය තුළ තිබුණේ අපූරු දක්ෂතාවකි. සිය ජීවිතයේ හමු වු බුද්ධිමත්ම කාන්තාව සිය මව බැව් රත්නා කියන්නීය.

“මම පවුලේ වැඩිමලා.. මට නංගියි මල්ලියි ඉන්නෙ.. මගේ තාත්තා සේවය කළේ ආරක්ෂක අංශෙ.. ඔහු විනෝදයට බර, සැහැල්ලු පැවතුම් තියෙන කෙනෙක්.. පවුලේ වගකීම් ඔළුවට ගත්තෙම නෑ.. තාත්තගෙ වැටුප පිරිමහගෙන වියදම් කරලා, අපිට උගන්නලා, හොඳ ගතිගුණ පුරුදු කරලා සමාජෙට ගේන්න අම්මා කෙරුවේ ලොකු සටනක්.. පවුලේ වැඩිමලා විදියට මම ඒ සටන දැක්කා විතරක් නෙමෙයි ඒකට සහයෝගයත් දුන්නා.. ඉස්කෝලේ යන කාලෙ මම කවදාවත් මට මේ දේ ඕන කියලා පෙරළි කරපු කෙනෙක් නෙමෙයි.. එක සුදු ගවුමක කඳ ඉරිලා, කිහිලි කළු වෙලා, තව සුදු ගවුමක සාය සවුත්තු වෙලා තිබුණම මම කරන්නෙ මේ ගවුම් දෙක කපලා එකට මූට්ටු කරලා මහන එක.. සපත්තු දෙක හිල් වෙලා නම් අම්මා දකියි කියලා ඒක හැංගුවා.. අපේ අම්මා හැම වෙලාවෙම කිව්ව දෙයක් තමයි අද කරන්න ඕන දේ හෙටට කල් දාන්න එපා කියන එක.. ඒ වගේම පුංචි දේවල් ලොකු පාඩමක් කර ගන්නෙ කොහොමද කියලා අම්මා මට කියලා දුන්නා.. ඇත්තටම මගෙ ජීවිතේ සාර්ථක වුණේ ඒ උපදෙස් පිළිපැද්ද හින්දා..” ඇය කියන්නීය.

From FB

එක් දිනක් ඇය පාසැල් ඇරී යෙහෙළියක ද සමඟ බස් රියේ සිටගෙන එමින් සිටියාය. ඔවුන් අසළම අසුනේ හිඳ සිටි මඟියා බැස ගියේය.

“ඔයා ඉඳ ගන්න..” රත්නා යෙහෙළියට කීවාය. එහෙත් යෙහෙළිය කීවේ රත්නාට හිඳ ගන්නා ලෙසය. ඔවුන් දෙදෙනා වාද කරමින් සිටියදී වෙන තැනැත්තෙකු පැමිණ එහි අසුන් ගත්තේය.

යෙහෙළියෝ දොම්නසින් මුහුණින් මුහුණ බලා ගත්හ.

“අවස්ථාවක් ලැබුණම ඒකෙන් ප්‍රයෝජන ගන්න ඕන කියන පාඩම මම එදා ඉගෙන ගත්තා.. අපිට ලැබෙන සමහර අවස්ථා ආයෙ කවදාවත් නොලැබෙන්නත් ඉඩ තියෙනවා.. අනිත් එක අනුන්ට උදව් කරන්නත් තමන් ස්ථාවරයකට ඇවිත් ඉන්න ඕන..” ඇය කියද්දී එය මොන තරම් වටිනා අදහසක්දැයි මට සිතිණි.

අද වැඩි දෙනෙකු කරන්නේ ලැබනෙ අවස්ථා මඟ හැර ඉනික්බිතිව ඒ පිළිබඳව පසුතැවිලි වීමය. එහෙත් රත්නා එවැන්නියක නොවේ.

“මම හැම වෙලාවෙම හිතන්නෙ ගියොත් වචනයක් ආවොත් අලියෙක් කියලා.. මොනවා හරි දෙයක් කරන්න හිතුණොත් මම ඒක කරලම තමයි නවතින්නෙ.. ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය මොකක් වුණත් ඒක විඳ දරා ගන්න ශක්තිය මට තියෙනවා..” ඇය කියන්නේ එඩිතර හඬිනි.

එහෙත් හැම කාන්තාවකටම ඇය මෙන් එඩිතර වෙන්නට පුළුවන්කමක් නැත්තේ ආත්ම ශක්තියක් නැති නිසා නොවේ. සමාජය තුළ ඇති සිය ප්‍රතිරූපය බිඳ වැටෙනු ඇතැයි බිය නිසාය.

“පුංචි කාලෙත් මම හිතුවෙ හුඟක් ලොකුවට.. ඉස්සර නෑදෑයො ගෙදරට ආවම අපිට සල්ලි දෙනවා.. රුපියලක් වගේ ගණනක් තමයි දෙන්නෙ.. පුංචි අයට සල්ලි පරිහරණය කරන්න දෙන්න හොඳ නෑ කියන ආකල්පය හින්දා අම්මා ඒ සල්ලි ගන්නවා.. ඒත් මම මගෙ සල්ලි දෙන්නෙ නෑ.. මිහිර, සරසවිය, පස්සෙ කාලෙක යොවුන් ජනතා වගේ පත්තර මම ගත්තෙ ඒ සල්ලිවලින්.. ඉතුරු සල්ලි එකතු කරලා තියා ගන්නවා.. අපි චිත්‍රපටි බලන්න හරි ආසයි.. ඒත් ඉතින් තාත්තගේ වැටුපෙන් හුඟක් දේවල් කරන්න බෑ.. මම ලොක්කි වගේ කියනවා මගෙ අතේ මෙච්චර ගාණක් තියෙනවා ඉතුරු ගාණ දැම්මොත් ෆිල්ම් එකක් බලන්න පුළුවන් කියලා.. අම්මා අදිමදි කෙරුවත් විනෝදෙට බර අපේ තාත්තා ඉක්මනට කැමති වෙනවා.. මාතලන්, තුෂාරා වගේ චිත්‍රපටි එහෙම බලපුවා.. ඇත්තටම මම හිතන්නෙ පවුලේ හැමෝම ගිහින් ඉඳහිටලාවත් එහෙම චිත්‍රපටියක් බලන එක හොඳයි.. ළමයින් තුළ ආදරය, ශෝකය, වීරත්වය, වගේ විවිධ රසයන් විතරක් නෙමෙයි පවුලේ බැඳීම් ගැන හැඟීමක් ඇතිකර ගන්නත් මේ වගේ දේවල් හරි වටිනවා..”

හැම දරුවෙකු තුළම කුමක් හෝ හීනයක් තිබෙන්නේය. එහෙත් රත්නා තුළ තිබුණේ අලුත් ඇඳුමක් ලබා ගැනීම, නෑදෑ ගෙදරක යාම වැනි සරල හීන නොවේ. ඒ වයසේ දරුවෙකු දකින්නේ නැති ඒවාය.

“අපේ සීයා මැරුණ වෙලාවේ එයාගෙ ලොකු ලොකු නැදෑයො වාහනවලින් ආවා.. ඒ කාලෙ ගෙදරකට වාහනයක් එනවා වගේම ගෑනියක් වාහනයක් එළවාගෙන එනවා කියන එකත් දවස් ගණනක් කතා කරන්න තරම් ප්‍රවෘත්තියක්.. ඉතින් සීයගෙ මළ ගෙදරකට එක නැන්දා කෙනෙක් ආවා තමන්ගෙම වාහනයක් එළවාගෙන.. ලිප්ස්ටික්, කියුටෙක්ස් ගාලා, පිළිවෙලට සාරිය ඇඳපු ඒ නැන්දා හරි ලස්සනයි.. එයා ආපහු යනකොට මම ගෙදර මිදුලෙ ගහක් යට ඉඳගෙන ඒ දිහාවේ බලාගෙන හිටියා.. කොල්ලොකුරුට්ටෝ ඒ වාහනේ පස්සෙ දුවනවා.. ඇත්තටම එදා හිතෙන් ඒ වාහනේ එලෙව්වෙ නැන්දා නෙමෙයි මම.. ඊට අවුරුදු දහයකට විතර පස්සෙ මම ඒ හීනෙ හැබෑ කර ගත්තා.. ඒ කාලෙ මම සරසවිය පත්තරේ කියෙව්වෙ ඒකෙ විස්තර කරන නළුනිළියො වගේ ජනප්‍රිය වීමේ ආසාව හිතේ දරාගෙන.. ඉස්සර අපේ ලොකුම විනෝද මාධ්‍යය තමයි ගුවන් විදුලියට සවන් දීම.. ඒ කාලෙ වැඩ සටහනක් තිබ්බා වාසනාවන්ත පවුල තේරිමේ තරඟය කියලා.. අද තියෙන රියැලිටි වැඩ සටහන් වගේ තමයි.. අපේ පවුලෙන් අම්මයි මායි මල්ලියි තරගෙට සහභාගි වුණා.. සාමාන්‍ය දැනුම ප්‍රශ්න ඇහැව්වෙ.. වැඩ සටහන මෙහෙයෙව්වෙ ඉන්ද්‍රා රාමනායක.. එදා මගෙ හිතේ ආසාවක් ආවා කවදා හරි දවසක ඒ වගේ නිවේදිකාවක් වෙන්න..” සිය සිතේ සිහින පිළිසිඳුණ ආකාරය මෙන්ම එම සිහින සැබෑ කර ගත් ආකාරය ද රත්නා විස්තර කළේ අභිරුචියෙනි.

“කෙනෙක් සාර්ථක වෙන්න නම් කරන්න ඕන පොදු දේවල් තුනක් මනෝ විද්‍යාවෙ සඳහන් වෙනවා.. පළ වෙනි එක තමයි වෙනස් වීම.. අපි අපේ සෘණ ආකල්ප වෙනස් නොකරන තාක් කල් සාර්ථකත්වයට යන්න බෑ.. දෙවෙනි එක තමයි ලොකුවට හිතන එක.. ඒ කියන්නෙ අපි හඳ අල්ලන්නයි හීන දකින්න ඕන.. එතකොට අපිට තරුවක් වෙලා නවතින්න පුළුවන්.. අනිත් එක අරමුණ සාර්ථක වෙනකම්ම අතාරින්න හොඳ නෑ.. අපි හුඟක් වෙලාවට කරන්නෙ උත්සාහ කරලා කරලා සාර්ථක වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි හැම දේම අතැරලා දානවා.. අන්තිමට ඉතුරු වෙන්නෙ පසුතැවිල්ල විතරයි..”

From FB

ඇය උසස් පෙළ සඳහා වාණිජ අංශය තෝරා ගත්තේ අම්මාගේ බල කිරීමටය. එහෙත් ඇය වැඩිපුර සිටියේ කලා පන්තිවලය. ගුරුකුල විද්‍යාලය කලාවට ලොකු තැනක් දෙන විද්‍යාලයක් ලෙස ප්‍රසිද්ධය. දක්ෂතා ඇති අය ගුවන් විදුලි වැඩ සටහන් ආදියට යොමු කරන ලද්දේ පාසැලෙන්මය. රත්නා පුෂ්පකුමාරි ද එලෙස ගුවන් විදුලි වැඩ සටහන්වලට සහභාගි වෙන්නට ගිය කෙල්ලකි. අවසානයේදී ඇය නතර වූයේ ගුවන් විදුලි පමණක් නොව රූපවාහිනී නිවේදිකාවක ද වීමෙනි.

“උසස් පෙළ පන්තියෙ ඉඳිද්දි සුදර්ශියෙ නාට්‍ය වැඩමුළුවක් පටන් ගත්තා.. ජර්මන් ජාතිකයෙක් ලංකාවේ නාට්‍ය ශිල්පීන් කීප දෙනෙක් එක්ක එකතු වෙලා තමයි මේ වැඩමුළුව කළේ.. මම අඬලා හැපිලා අවසර අරගෙන මේ වැඩ මුළුවට ගියා.. සම්මුඛ පරීක්ෂණයට ඇවිත් හිටිය සෙනඟ කන්දරාව දැක්කම තාත්තා කිව්වා ආපහු යමු කියලා.. ඒත් මම ගියෙම නෑ.. අන්තිමට අපිට දැන ගන්න ලැබුණා දොළොස් දාහක් විතර මේකට ආවා කියලා.. ඒකෙන් තෝරා ගත්තේ 25 දෙනයි… ජයන්ත චන්ද්‍රසිරි, කමල් අද්දරආරච්චි, ශ්‍රීයන්ත මෙන්ඩිස් ඒ අතරේ හිටියා.. මායි කමලුයි තමයි බාලම දෙන්නා.. ඉස්කෝලෙත් යන ගමන් මේ වැඩ මුළුවටත් ගියේ පුදුමාකාර දුකක් විඳගෙන.. හැබැයි ඒකෙන් ඉගෙන ගත්ත දේවල් ජීවිතේට හුඟක් ප්‍රයෝජනවත් වුණා.. මේ වැඩමුළුව අවසානයේදී තමයි අනේ අබ්ලික් නාට්‍යය කළේ.. ඒකෙ තිර පිටපතක් නෑ.. ජර්මන් ජාතිකයා අපිට කිව්වා තැන්තැන්වල ගිහින් මිනිස්සුන්ගෙන් ප්‍රශ්න අහලා එතකොට සිද්ද වුණ දේවල් රඟ පාලා පෙන්නනන කියලා.. මට යන්න සිද්ද වුණේ වනාතමුල්ලට.. අපි ඒකෙ රඟ පෑවෙ අපේම අත්දැකීම්..” ඇය කීවාය.

එම අත්දැකීම් ඇයට මොන තරම් ප්‍රයෝජනවත් වී ද යත් 1979 ජාත්‍යන්තර ළමා වර්ෂය වෙනුවෙන් ඇය නිෂ්පාදනය කළ මුතු වෙමු ළමා නාට්‍යයට ලොකු ප්‍රසිද්ධියක් මෙන්ම සම්මාන ද හිමි වුයේය. ඇය තවමත් නාට්‍ය වැඩමුළු පවත්වන්නීය. රත්නාට අනාගත සැමියා අනුර හමු වූයේ උසස් පෙළ විභාගය අවසන්ව ඉංග්‍රිසි පන්තියකට යමින් සිටියදීය. මිශ්‍ර පාසැලක ඉගෙන ගත්තේ වී නමුත් ඇය කිසිම දිනෙක පිරිමි ළමයෙකු ගේ අවධානයට පාත්‍ර වූයේ නැත.

“යාළුවො මට කිව්වෙ මගේ තියෙන සැරට පිරිමි ළමයි බයයි කියලා.. ඇත්තටම මමත් කැමති වුණා පෙම්වතියක් වෙන්න.. ඒත් ප්‍රතිරූපය බිඳ වැටෙයි කියන බයට කොල්ලන්ට අකැමැතියි කියලා පොඩි රඟපෑමක් කළා.. කිසිම කොල්ලෙක් මගෙ දිහාවේ බැලුවෙ නෑ.. අනුර හම්බ වුණේ මම පන්ති යද්දී බස් නැවතුම් පොළේ ඉඳලා.. ඒ කාලෙ ඔහු සරසවි ශිෂ්‍යයෙක්… කෙල්ලෙක් කැමති හැම දේම ඔහුට තිබ්බා.. කඩවසම් රූපෙ.. හොඳට ඉංග්‍රිසි කතා කරන්න පුළුවන්කම, කාරෙකක්.. ඉතින් මම කැමති වුණා.. ඔහු කතෝලික නිසා අපේ ගෙදරින් යම් යම් තහංචි ආවා.. ඒත් මම ස්ථිරවම හිටියා.. අවුරුදු 21 දී අපි විවාහ වුණේ.. අවුරුදු 22 දී දුව අනුරාධා ඉපදුණා.. 23 දී පුතා බුද්ධි.. දරුවොත් බලාගෙන ගෙදර වැඩත් කරගෙන කාර්යබහුල රැකියාවකත් නිරත වෙන එක පහසු දෙයක් නෙමෙයි.. ඒත් මම ඒක කළා.. උයන්නෙ මම.. දරුවන්ට කිරි, සුප්, වතුර, පලතුරු යුෂ බෝතල් අටක් හදනවා.. මේ ඔක්කොම කරලා තමයි වැඩට යන්නෙ.. අදටත් මම සේවිකාවන් ලවා උයවලා කන්න කැමති නෑ..”

“අනුරගෙන් සහයෝගයක් ලැබුණෙ නැද්ද..?” මම ඇගේ කතාවට බාධා කරමින් විමසුවෙමි. “උදව් කළා.. ඒත් අනුරත් අපේ තාත්තා වගේම තමයි.. වගකීම් ඔළුවට ගන්න කැමැති නෑ.. හරිම අපරීක්ෂාකාරීයි.. මොනවා හරි ගේන්න කියලා ලැයිස්තුවක් දුන්නොත් ඒක නැති කර ගන්නවා.. එහෙම නැත්නම් අමතක කරලා එනවා.. වුවමනා දේ වෙනුවට කිසිම වැදගත්කමක් නැති දෙයක් අරන් එනවා.. ඒ වගේ අත්දැකීම් හුඟාක් මට තියෙනවා.. ඒත් අනුර ගෙ හොඳ ගතිගුණ හුඟාක් තියෙනවා.. මම කොහේ ගියත් යන්නෙ කොහෙද, කවුරු එක්ක ද අහලා කවදාවත් රණ්ඩු කරන්නෙ නෑ.. කවුරු මං ගැන මොනවා කිව්වත් මාව සැක කරන්නෙ නෑ.. අපේ විවාහ ජීවිතේ ඇතුළෙ හැලහැප්පීම් නොතිබ්බා නෙමෙයි.. ඒත් අපි ඈත් වුණේ නෑ..ඉස්සර මම අනුර එක්ක රණ්ඩු වෙලා ගෙදර ගියොත් අම්මා ඒ ගමන්ම මාව ආපහු එක්කන් එනවා.. අම්මා නිතරම කිව්ව දෙයක් තමයි පවුල් ජීවිතේ වටින්නෙ ගෑනුන්ට.. ඒක රැක ගන්න කියලා.. මම ඒක කළා.. ඒ ගැන මට තියෙන්නෙ විශාල තෘප්තියක්..” ඇය කියන්නීය.

රත්නාගේ දියණිය අනුරාධා ගුවන් සේවිකාවකි. පුතා ද තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළ රැකියාවක් කරන්නේය. ඔවුන් දෙදෙනාම විවාහක වන අතර රත්නා දැන් මිත්තණියකි.

“මම මගේ දරුවන්ට පෙන්නුවේ ලෝකේ හොඳ පැත්ත නෙමෙයි නරක පැත්ත.. මම කිව්වේ මේවයින් මිදිලා ඉන්න ඔයාලා ඉගෙන ගන්න ඕන කියලා.. ඒ දෙන්නා හොඳ දරුවො විදියට හැදුණෙ ඒකයි..” ඇය කියන්නේ ආඩම්බරයෙනි. අද රත්නා එතෙර පුහුණුව ලත් මනෝ විද්‍යා උපදේශකවරියකි. මානසික පීඩාවලට ලක්ව සිටින අයගේ සිත් විද්‍යාත්මකව කියැවීම, මනස සැහැල්ලු කිරීම මෙන්ම මොළය පරීක්ෂාව ද ඇය විසින් කරනු ලබන ක්‍රියාකාරකම්ය.

“මොළය පරීක්ෂාව..? මම ඒක අහලවත් නෑ..” මා කීවේ සැබෑවටමය. “අපේ මොළයයි ඇඟිලි සලකුණුයි අතර ලොකු සම්බන්ධකමක් තියෙනවා.. එක සමාන ඇඟිලි සලකුණු තියෙන අය කොහෙවත් නැහැ.. මේ ඇඟිලි සලකුණු යන්ත්‍රයකට කවලා ඒවා ඇසුරින් කෙනෙකු ගේ මොළය වැඩිපුර යොමු වෙන්නෙ මොන පැත්තට ද කියලා කියන්න පුළුවන්.. උදාහරණයක් විදියට දරුවන්ගෙ මොළය කලාව පැත්තට යොමු වෙලා තියෙද්දී අපි එයාලව විද්‍යා අංශයට යොමු කරන්න උත්සාහ කරනවා.. ඒකෙන් අපි කරන්නෙ දරුවා පීඩාවට පත් කරන එක.. චීනය වගේ රටවල මාස දෙකේදී විතර දරුවගෙ මොළය පරීක්ෂා කරනවා.. ඊට පස්සෙ ඒ දරුවා ක්‍රිඩාවලට දක්ෂ නම් ඒ පැත්තට, කලාවට දක්ෂනම් ඒ පැත්තට යොමු කරනවා.. අපේ රටේ තවම ඒ වගේ ක්‍රමයක් නෑ..”

“දැන් ඔබ ළඟ ඊට වුවමනා යන්ත්‍රය තියෙනව ද..?” මම කුතුහලයෙන් විමසීමි.

“ඔව්.. මාත් එක්ක තුන් දෙනෙක් ළඟ විතරයි ලංකාවේ ඒ යන්ත්‍ර තියෙන්නෙ.. ඒවට දත්ත කවලා ඒවා ඉන්දායාවට යවලා විශ්ලේෂණය කරලා තමයි ගෙන්න ගන්නෙ.. ඒක ටිකක් වියදම් යන වැඩක්..” ඇය එසේ කීවත් සිය මොළයේ ස්වභාවය පරීක්ෂා කර බලා ඒ අනුව ක්‍රියාත්මක වෙන්නට හැකි නම් සමාජයේ අද අප අත්දකින බොහෝ දේවල් වෙනස් කරන්නට හැකි වනු ඇතැයි මට සිතෙයි.

From rathna pushpakumari’s FB

චන්දි කොඩිකාර

(පිළිකාවකින් පීඩා විඳිමින් සිටියත් සතුටින්, සියල්ලන්ටම සතුට බෙදමින් සිටි ඇය, සිය ජීවිතයට සමු දුන්නාය. ඇයට නිවන් සුව ලැබේවා.)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart