“ගාල්ල, උණවටුන පැත්තෙ ගිහින් එමුද….?”
“හා….”
“අම්මෝ මෙයාටත් බීච් කිව්වොත් සිහියක් නෑ…. නුවර කෙල්ලො ඉතින් මුහුද දැකල නෑනෙ….”
“නුවර මුහුද නැති වුණාට අනිත් පැතිවලට වඩා ලස්සනයි හරිද…. අනික ඔයත් දැන් කොළඹ හිටියට ඉපදුණේ නුවරනෙ….”
“අම්මෝ හරි හරි…. ඔයත් එක්ක කතා කරල මට දිනන්න බෑනෙ ඉතින්….”
“ඒත් උණවටුනෙ ගිහින් මූදෙ නාන්නවත් අපි ඇඳුම් ගෙනාවෙ නෑනෙ….”
“ඒව හරි…. ඔයාට නිවාඩු දාන්න පුළුවන් නම් අද දවසම මූදෙ නටල හෙට උදේට ආපහු එන්න පුළුවන්….”
“අනේ හා…. ඔයා ඇත්තටම නේද කියන්නේ….” මා අසද්දී ඔහු හිනැහුණා පමණි.
අධිවේගී මාර්ගය ඔස්සේ ගමන් කළ අප අවසන නතරවූයේ උණවටුනේ පිහිටි මනරම් හෝටල් පරිශ්‍රයක් අසලය. එහි එක් පසෙකින් වූයේ මුහුදු වෙරළය.
ගෙවී ගියේ සොඳුරු දිනයකි. ශෙනුල් අප වෙනුවෙන් එහි කාමරයක් ද වෙන්කරගත්තේය. ඔහු අප දෙදෙනා වෙනුවෙන් අමතර ඇඳුම් පවා රැගෙන විත් තිබූ නිසා මුහුදු වෙරළේ දුව පැන විනෝදවන්නට කිසිඳු බාධාවක් වූයේ නැත. ඔහු සමඟ ගෙවන දිවිය මෙතරම් සුන්දර වනු ඇතැයි විවාහයට පෙර හෝ පසු මෙතෙක් ගතවූ කාලයේ දී සිතුණේ නැත. අප සවස් වන තුරුම කාලය ගත කළේ මුහුදු වෙරළේ සහ එම හෝටල් පරිශ්‍රයේ වූ සුන්දරත්වය විඳ ගනිමිනි.

“අම්මල අපි එනකම් බලන් ඇති නේද….?” මා ඇසුවේ හෝටල් පරිශ්‍රයේ සොඳුරු ස්ථානයන්හි සැරිසරමින් සෙල්ෆි ඡායාරූප ගන්නා අතරවාරයේය.
“අපේ අම්මල ඔයාලගෙ අප්පච්චි වගේ නෑ සිතූ…. එයාල දන්නවා අපිට අපේ නිදහස දෙන්න ඕනෙ කියලා…. කොහොමත් මම කියල ආවෙ අද එන්නෙ නෑ කියලා….”
“ඒ කියන්නෙ ඔයා අද මෙහෙ ඉන්න ප්ලෑන් කරගෙනද ආවේ….?”
“ඔව් ඉතින් තාම සර්ප්‍රයිස් ඉවර නෑ….”
“ඒ වුණාට අද යමු…. හෙට ඔෆිස් යන්නත් ඕනේ…. පහුගිය කාලෙත් දිගටම නිවාඩු දැම්මනෙ….”
“බෑ අද ඉමු…. හෙට උදේම යමු….”
“අම්මෝ දැන්නම් හරි මහන්සියි…. කොච්චර නෑවත් තාම ඔලුවෙ වැලිද මන්දා….” මා කීවේ කාමරයට පැමිණ දිය නා කොණ්ඩය පීරන අතරතුරේය.
ඔව් ඉතින් මොකාද වගේ බීච් එකේ පෙරලුනානෙ…. ඔලුවෙ නෙවයි බඩෙත් ඇති ගිලුණු වැලි….” ඔහු කියද්දී මා කළේ ඔහු දෙස රවා බැලීමය.
“යමු ගිහින් කාල එමු…. බඩගිනි නැද්ද….?” අපි ආහාර ගත්තේ ද මුහුද හොඳින් දිස්වන ස්ථානයක සිටය.
යළිත් කාමරයට පැමිණි පසු ශෙනුල් ගෙනැවිත් තිබූ නිදන ඇඳුමින් සැරසුණු මා ඇඳ අසලට යද්දී ශෙනුල් සිටියේ ලැප්ටොප් පරිගණකය ද තබාගෙන කුමන හෝ කාර්යයකය.
“මහන්සිද….?” ඔහු අසද්දී මා කළේ ඔහු අසලින්ම අසුන් ගැනීමය.
“එහෙම මහන්සියකුත් නෑ…. ඔයාට වැඩත් පාඩු වුණා නේද අද….?
“නෑ මේ මේල් වගයක් බැලුවේ….” ඔහු කීවේ පරිගණකය පසෙකින් තබා මගේ උරහිස වටා අත යවමිනි.
“ඉතින්….”
“ඇයි….?”
“බෝනික්කි….”

ඔහු මිමිණුවේ මගේ කම්මුලක් සිප ගනිමිනි. අනතුරුව ඒ දෙතොල් මගේ දෙතොල් හා ගෙල ද සිපගනිද්දී මා කළේ ඒ උනුසුමට තව තවත් ගුලිවීමය. මාගෙන් විරෝධතාවයක් එල්ල නොවූ නිසාදෝ ඔහු සිටියේ තව තවත් මා සිප ගනිමිනි. ඒ නුහුරු ස්පර්ශ හමුවේ අනුරාගී හෝරාවන් ගෙවී ගියේ නීතියෙන් ඔහුගේ පතිනිය වූ මා ගතින්ද ඔහුගේම කරමිනි.
උදෑසන අවදි වද්දී මා සිටියේ ඔහු තුරුලේය. ඒ වන විටත් ඔහු සිටියේ නින්දකය. අවැසි වූයේ ඔහු අවදිවන්නට පෙර නාන කාමරයට ගොස් දිය නා සූදානම් වන්නට නිසාම මා කළේ මගේ බඳ වටා තිබූ ඔහුගේ අත ඉවත් කරන්නට උත්සාහ කිරීමය.
“ඉන්නකො තව ටිකක්….”
“ඇයි අපි යන්නෙ නැද්ද….?”
“තව ටිකක් ඉඳල යමු ඉතින්….” ඔහු මගේ මුහුණට එබෙමින් කියද්දී මා කළේ ඔහු තල්ලු කරමින් නාන කාමරය කරා දුවයාමය.
අප නිවස බලා පිටත්වූයේ උදෑසන ආහාරය ද ගැනීමෙන් අනතුරුවය.
“සිතූ….” ශෙනුල් හඬ අවදි කළේ අප මද දුරක් පැමිණි පසුය.
“ම්ම්ම්….”
“අපි අපි ගැන විශ්වාසයක් නැත්නම් එකට ජීවත්වෙන්න බෑ නේද….?”
“ඔව්…. ඒත් ඇයි එහෙම අහන්නෙ….”
“ඔයාගෙ හිතේ තාම මං ගැන අවිශ්වාසයක් තියෙන බව දන්න නිසා…. ඔයාට දැනගන්න ඕනෙ දේවල් තියෙනව නම් අහන්න….”
“එපා…. දැන් ඒව මතක් කරන්න මං කැමති නෑ අයියේ…. අපි පරණ දේවල් අමතක කරමු….”
නිවසට පැමිණි පසු දිය නා ගත් මා මන්දිතාට දුරකතන ඇමතුමක් ගත්තේ උපන්දින සාදය වෙනුවෙන් පැමිණියාට ස්තුති කරන්නට හෝ නොහැකි වූ බැවිනි. ශෙනුල් නිවසින් පිටව ගොස් තිබුණේ ව්‍යාපාර කටයුත්තක් සඳහාය.
“හලෝ මැඩම්…. මොකද වෙන්නෙ ඉතින්…. ශෙනුල් අයියා අපි හිතුවට වඩා කෙල්ලට ආදරෙයි නේද….?” ඇය ඇසුවේ ඇමතුම හා සම්බන්ධ වෙමිනි.
“අනේ ඔව් මන්දි…. මටත් හිතාගන්න බෑ….”
“වන්දනාගෙ කතාවෙත් අපි නොදන්න පැත්තක් තියෙනවා වගේ සිතූ….”
“මට දැන් ඒ ගැන දැනගන්න ඕනෙත් නෑ මන්දි…. එයා වන්දනා එක්ක යාළුවෙලා හිටිය කියල හිතෙද්දිත් මට හරි අවුල්….”
“ඒක හරි බං…. දැන් පරණ දේවල් හාර අවුස්සල වැඩක් නෑ…. ඔයාල දෙන්න සතුටින් ඉන්න….”
“ඒක නෙවෙයි වන්දනා තාම කතාවක් බහක් නැද්ද….?”
“වැඩිය නෑ…. උඹ ගැන දවසක් ඇහුවා…. මං කිව්ව කාලෙකින් මීට් වුණේ නෑ කියලා….”
“ඒක හොඳයි….”
“බර්ත්ඩේ එකට දුන්න සර්ප්‍රයිස් එකට සෙට්වුණාට තෑන්ක්ස් කියන්නත් එක්ක ගත්තේ…. මාව කරකවල අතෑරිය වගේ වුණා…. මම හිතුවෙ නෑ එහෙම දෙයක්…..”
“මොනව වුණත් ඔයා මාර ලකී….”
“ඇත්තටම ඔව් මන්දි….”
පසුදින ද මා සුපුරුදු පරිදි කාර්යාලයට ගියේ ශෙනුල් සමඟය.
“අම්මෝ අද මේකිගෙ මූණෙ තියෙන පෙම්පාට…. ඊයෙ නිවාඩුත් දැම්මා…. මොකෝ වුණේ…. දැන් දෙන්නගෙ ප්‍රශ්න විසඳිලාද….?” මනුල ඇසුවේ කාර්යාලයට පැමිණ උදෑසන ආහාර ගනිමින් සිටියදීය.
“ගොඩක් දුරට ඔව් මනූ…. ඒත් මට වන්දනා ආයෙම ආව එක ගැන බයයි….”
“බය නොවී ඉන්නකො…. දැන් ඔයාල මැරි කරල නිසා එයා ඔයාල අතරට එන එකක් නෑ….”
“ඔව් එහෙම වුණොත් හොඳයි….”
29 වන කොටසින් හමුවෙමු.