සිත් අහසට නුඹ ඇවිදින් – 27


ඇඳුම්, සුවඳ විලවුන්, අත් බෑග්, සෙරෙප්පු ආදිය ඒ ලැබුණු ත්‍යාග අතර විය. මා අවසන බැලුවේ ශෙනුල්ගේ අතෙහි වූ කුඩා පෙට්ටිය දෙසය. ඔහු කළේ මා දෙස බලා සිනා සී එහි දවටනය ඉවත් කර විවෘත කිරීමය. අනතුරුව ඔහු ගත්තේ එහි වූ රන් මුදුවකි.
“ඇයි මේ….” මා විමසුවේ ඔහු මගේ වමත ගෙන එහි වෙදැඟිල්ලේ වූ මංගල මුදුව ගලවද්දීය.
“මම මේක දැම්මෙ ඔයාගෙ කැමැත්තෙන් නෙවෙයිනෙ සිතූ…. ඒ නිසා ඒක ඕනෙ නෑ…. මං හිතනව අද මම මේ මුද්ද දාන්නෙ ඔයාගෙ කැමැත්තෙන් කියලා….” ඔහු කියද්දී සිතට දැනුණේ පෙර කිසි දිනෙක නොදැනුණු ආකාරයේ හැඟීමකි.
“තැන්ක් යූ සුදු අයියේ….” මා මිමිණුවේ ශෙනුල්ගේ පපුවට තුරුළුවෙමිනි.
“තැන්ක් යූ කිව්වෙ මුද්දටද….”
“නෑ….”
“එහෙනම්…..”
“මං වෙනුවෙන් කරන හැමදේටම….”
“මගෙ ආදරේ දැන්වත් දැනෙනවද….?” ඔහු අසද්දී මා ඔව් යැයි කීවේ හිස සොලවමිනි.
“ඔලුව වනන්නෙ නැතුව කියන්නකො….”
“හ්ම්ම්….”
“මොනවද හ්ම්ම්ම්….”
“දැනෙනවා….”
“මොනවද….?”
“ආදරෙයි කියලා….”
“ඔව් බෝනික්කි…. ආදරෙයි මම පොඩි කාලෙටත් වඩා….”
“මමත් ආදරෙයි අයියේ….” කී මා ඔහුගේ පපුවට තව තවත් ගුලිවෙද්දී ඔහු කළේ මගේ කන්පෙත්තක් සිප ගනිමින් ඔහු වෙත තවත් තුරුළු කරගැනීමය.
“නිදාගමු එහෙනම්…. දැන් එළිවෙන්නත් ළඟයි….”
ඇස් පියවුණු සැණින් අප දෙදෙනාටම නින්ද ගියේ දෙදෙනාම ඒ වන විට බොහෝ විඩාවට පත්ව සිටි බැවිනි.


“අද නැගිටින්නෙ නැද්ද….” මා අවදිවූයේ ඔහු කම්මුලක් සිපගනිමින් අසද්දීය.
“ම්ම්ම්….”
“මොකද මේ…. ඇස් අරින්නකො ළමයෝ….”
“තාම නිදිමතයි අප්පා….”
“අයියෝ අර අම්මල අප්පච්චිලත් ඇවිත් ඉද්දි බර්ත් ඩේ ගර්ල් ඔහොම නිදාගෙන ඉඳල හරියනවද ම්ම්ම්….”
මා තිගැස්සී ඇඳ මත වාඩි වූයේ මගේ පවුලේ අය ද නිවසේ සිටින බව සිහිවෙද්දීය.
“අයියෝ ඔව්නේ….” කී මා විගසින් නාන කාමරයට ගියේ ඇඳුමක් මාරු කරගෙන මුළුතැන්ගෙය වෙත යාමටය.
“අම්මල දෙන්න උයලා…. මෙන්න නංගි තේත් ගෙනත් දුන්නා….” මා යළිත් කාමරයට එනවිට ශෙනුල් සිටියේ තේ පානය කරමිනි.
“එහෙනම් අද මට අම්මගෙන් හොඳවයින් අහගන්න පුළුවන්….” කී මා තේ කෝප්පයත් රැගෙනම කාමරයෙන් පිටවූයේ පහත මාලයට යාම සඳහාය.
“අනේ අනේ කසාද බැඳපු ගෑනු ළමයෙක් ඇහැරෙන වෙලාව…. මානෙල් ලේලියෙක් ගෙනල්ලා දැන් එයාටත් එක්ක උයනවා…. මෙයාව හුරතල් කරන්න එපා මානෙල්…. මං හිතුවෙ අපි යනකනුත් මෙයා නිදාගනියි කියලා….” මා පහලට යන විට අම්මා කීවේ ශෙනුල්ගේ මව දෙස බලමිනි. කෝපයෙන් මෙන් කීවත් ඒ මුහුණේ කෝපයක සේයාවක් හෝ වූයේ නැත.
“අදම යනවද අම්මා…. කෝ නංගි….”
“යන්න ඕනෙ ලොකූ…. අප්පච්චි ඉතින් ගමනක් යන්නෙ ගිහින් ඇවිත් කරන්න වැඩ කෝටියක් විතර ලෑස්ති කරගෙනනෙ…. ඔන්න දැනුත් යන්න පරක්කු වුණා කිය කිය ඉන්නේ…. නංගි නම් මිදුලෙ ඇවිද ඇවිද මල් පැල එකතු කර කර හිටියා….”
“එහෙනම් අද ගෙනියන්න බැරි වෙයි…. මම බලල එන්නම්….”
“අයියෝ අම්ම අදත් ඉඳල එළියට ගිහින් ටිකක් ඇවිදල ලන්ච් එක එහෙමත් අරගෙන එන්න කියල මං හිතන් හිටියේ…..” ශෙනුල් පවසනු ඇසුණේ මා නැගනිය සොයා මිදුලට ඇවිද යද්දීය.
ශෙනුල් කෙසේ කීවද අප්පච්චී යා යුතු යැයි කියන්නේ නම් එය වෙනස් නොවන බව විශ්වාසය.  
“ඒයි මොකද තනියම කල්පනාව….” මා යන විට නැගනිය සිටියේ මිදුලේ මල් පාත්ති අතර තබා තිබූ කොන්ක්‍රීට් බංකුවේ අසුන්ගෙනය. විවිධ වර්ගවල මල් අතු හා පැල රැසක් ද ඇය එකතු කරගෙන තිබිණි.
“අම්මෝ අක්කි…. තමුසෙ තාමත් ගෙදර වගේ හොඳට දොයියනව නේද….?”
“ඉතින් හලෝ මේක මගෙ ගෙදරනෙ….”
“ගෙදර නම් තමයි…. ඒත් අම්ම නම් කිව්වෙ ශෙනුල් අයිය නැතුව වෙන කොල්ලෙක් වුණා නම් ගුටි කන්නත් වෙයි කියලා…. මේ අක්කි ඇත්තටම ශෙනුල් අයිය මාර හොඳයිනේ…. අප්පච්චියි එක්කත් මාර ෆිට් දැන්….”
“ඒක තමයි නංගි…. මමත් හිතුවෙ නෑ එයා එච්චර හොඳයි කියලා….”
“චූටි ලෑස්ති වෙන්න යන්න…. අප්පච්චි ලෑස්ති වෙලත් ඉවරයි….”
“අයියෝ අපරාදෙ මේ අප්පච්චි එන්නෙ දුවන්න බලාගෙනනෙ…. නැත්නම් අද ශෙනුල් අයිය හැමෝම එක්ක කොහෙ හරි ඇවිදින්න යන්න ඉඳල තියෙන්නෙ….” මා කීවේ අම්මා හා නැගනිය පිළිබඳ ඇතිවූ කම්පාවෙනි. නිවසටම කොටුව සිටින ඔවුන් දෙදෙනාට එවන් අවස්ථා ලැබෙන්නේ කලාතුරකිනි.
“අයියෝ…. අපරාදෙ අප්පා…. මොනව කරන්නද මාත් ගිහින් ලෑස්ති වෙන්නම්….”
අප්පච්චීත් අම්මාත් පිටවයාමට සූදානම්ව සාලයට පැමිණෙන විට මා සිටියේ ඔවුන්ට දීම සඳහා ශෙනුල් ගෙනැවිත් තිබූ ඇඳුම් ආදිය ශෙනුල්ගේ මව හා එක්ව සූදානම් කරමිනි.
“මේ ටික අම්මලට ශෙනුල්ගෙන්….” මා කීවේ අම්මා අත ඒ පාර්සල් සියල්ල තබමිනි.
“අනේ මේව මොකටද ලොකූ…. ඔයා සතුටින් ඉන්න තමයි අපිට ඕනේ….”
මා අම්මාගේ දෙපා වැඳීමෙන් අනතුරුව ගියේ අප්පච්චී අසලටය. විවාහ වී නිවසෙන් එන විටදී මෙන්ම ඉන්පසු නිවසට ගිය අවස්ථාවේත් මා අප්පච්චීගේ මුහුණ හෝ එක එල්ලේ නොබැලූ බව මතකය.
“අප්පච්චී….” අවැසිවූයේ ඒ පපුවට තුරුලු වන්නට වුවත්, අප අප්පච්චීගෙන් එවන් සමීප සෙනෙහසක් කිසි දිනෙකත් විඳ නොතිබිණි.
“ලොකු පුතේ….” ඔහුගේ හඬ වෙව්ලමින් තිබිණි. මා ඒ පපුවට තුරුලුවූයේ දෙවරක් නොසිතාමය.


“අප්පච්චි මාත් එක්ක තරහද….?” අනතුරුව මා අසාගත්තේ කඳුළු අතරිනි.
“දෙමාපියො කවදාවත් දරුවො එක්ක තරහවෙන්නෙ නෑ…. මං බයේ හිටියෙ හිතුවක්කාරකම් කරපු විදියට මොන දේක පැටලෙයිද කියලා….” ඔහු කීවේ මගේ හිස අතගාමිනි.
අප්පච්චී අනතුරුව ශෙනුල් හා ඔහුගේ පියාද වැළඳගනිමින් ඔවුන්ට සමුදුන්නේය.
“අද වැඩට යන්නෙ නැද්ද දෝනි….?” ශෙනුල්ගේ මව ඇසුවේ අම්මලා පිටව ගිය පසුවය.
“දැන් ගියත් හාෆ්ඩේනෙ අම්මා…. නිවාඩුවක් දානවා….”
“අද සිතූ නිවාඩු නම් අපි කොහෙ හරි ටිකක් ඇවිදල එළියෙන් ලන්ච් එකත් අරන් එමුද අම්මා….”
“අනේ මෙයාලගෙ ගමන්වලට අපි උදැල්ල දාන්නෙ මොකටද නේද මානෙල්…. ඔයාල ගිහින් එන්න පුතා…. අනික දුවත් කැමති ඇතිනෙ බර්ත් ඩේ දවසෙ පුතා එක්ක නිදහසේ ඉන්න….” ඒ පිළිතුර ශෙනුල්ගේ පියාගෙනි.  
“එහෙනම් කාල ලෑස්ති වෙන්න සිතූ….”
උදෑසන ආහාරය ගත් මම පෙරදා ලැබුණු ත්‍යාග අතර වූ අළු පැහැ අත්දිගු ටී ෂර්ටයකින් හා ඩෙනිම් කලිසමකින් සැරසී කොණ්ඩය ඉහළට කර ගැටගසා ගතිමි.
“ෂා එහෙම ලස්සනයි….” කාමරයට පැමිණි ශෙනුල් පැවසුවේ මගේ උරහිස් මත අත් තබා මුහුණට එබෙමිනි.
“මගෙත් අළු පාට ටී ෂර්ට් එකක් ඇති…. ඒක අයන් කරන්නකො සිතූ….” ඔහු කීවේ නාන කාමරය දෙසට යමිනි.
“අපි කොහෙද දැන් යන්නෙ….” මා ඔහුගෙන් ඇසුවේ මෝටර් රථයට ගොඩවීමෙන් පසුවය.
“අනේ මන්දා….”
“කැමති තැනක් කියන්න ඉතින්…. අපි හනිමූන් කියලවත් කොහෙවත් ගියේ නෑනෙ….” ඔහු කීවේ මදෙස බලා ඇසක් වසා ඉඟි කරමිනි.
“අයිය කැමති දිහාවක යමු….”
“හරි යමුකො එහෙනම්….”

28 වන කොටසින් හමුවෙමු.

1 thought on “සිත් අහසට නුඹ ඇවිදින් – 27”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart