සිත් අහසට නුඹ ඇවිදින් – 29


කාර්යාලයේ කටයුතු සහ ශෙනුල්ගේ ආදරය මැද කාලය ගෙවී යමින් තිබිණි. එදින ද සුපුරුදු පරිදි මා කාර්යාලයට පැමිණියේ ඔහුගේ මෝටර් රථයෙනි.
“මිස් සිතුලි….” කාර්යාලයීය කටයුතු අතර සිටියදී ඇමතුමක් ලැබුණේ මගේ කාර්යාලයීය දුරකතන අංකයටය.
“ඔව් කතා කරනවා….”
අනෙක් පසින් ඇසුණු වදන් මා දරාගනිමින් සිටියේ අසීරුවෙනි. එහා පසින් දුරකතනය තබනු ඇසෙද්දීත් මා සිටියේ වෙව්ලන ඇඟිලිවලින් දුරකතනය සවනට ළං කරගෙනය. විනාඩියක පමණ කාලයක් එසේ සිටි මා අනතුරුව දුරකතනය තැබුවේ අතැඟිලි වෙව්ලා යද්දීය.


“අනේ මනූ….” අනතුරුව මා දිව ගියේ මනුලගේ කාර්යාලයීය මේසය අසලටය.
“ඇයි සිතූ…. ඇයි මේ….”
“මනූ මාත් එක්ක පොඩ්ඩක් එළියට යමුද…. මම බොස්ට කියන්නම්….”
මනුල සමඟ පැයකට පිටතට ගොස් එන්නට ප්‍රධානියාගෙන් අවසර ලබාගත් මා අනතුරුව කළේ අත්බෑගයත් රැගෙන මනුල හා ගොස් ත්‍රිරෝද රථයකට ගොඩවීමය.
“වැල්ලවත්ත….” යැයි පැවසූ මා කළේ ත්‍රිරෝද රියේ අසුනට හිස හේත්තු කරගනිමින් නෙතු පියා ගැනීමය. මනුලගේ අතක ස්පර්ශය උරහිසකට දැනුණේ ආයාසයෙන් සිර කරගෙන සිටි කඳුළු වැසුණු නෙතු පියන් අතරින් ගලා යද්දීය.
“සිතූ…. ඇයි මේ….?” මොකක්ද ප්‍රශ්නේ….” මනුල අසද්දී මා කළේ හිස සොලවා කිසිවක් නැතැයි කීම පමණි.
“එහෙනම් ඇයි මේ අඬන්නේ…. අනික ඔයා හොඳටම කලබල වෙලා…. වෙව්ලනවත් එක්ක….” ඔහු කීවේ මගේ වමතේ ඇඟිලි සිය දකුණතින් අල්ලා ගනිමිනි.
“වැල්ලවත්තෙ කොහෙටද මිස්….?” ඇසුණේ ත්‍රිරෝද රියදුරාගේ හඬය.
ඔහුට මා පැවසුවේ වැල්ලවත්තේ පිහිටි ප්‍රසිද්ධ අවන්හලක නමකි. මනුල මා දෙස බලා සිටියේ කිසිවක් සිතාගත නොහැකිවය.
“හරි මිස් මෙතන නේද….?”
ඔහු ත්‍රිරෝද රිය නවත්වමින් අසද්දී අතෙහි ගුලි කරගෙන සිටි නෝට්ටු කිහිපය ඔහු දෙසට දිගු කළ මාත්‍රිරෝද රථයෙන් බැසගත්තේ මනුල ද සමඟිනි. අනතුරුව මා එම අවන්හල තුළට වේගයෙන් දිව ගියේ මනුල ද ‘සිතූ’ යි කියමින් මා පසුපස දිව එද්දීය.
දුරකතන ඇමතුමෙන් ලැබුණු තොරතුරු ඔස්සේ එතුලට ගිය මා එක් තැනක නැවතුණේ හදවත නැවතෙන්නාක් මෙන් දැනෙද්දීය.
“සිතූ අර ශෙනුල් නේද….?” මනුල මගේ උරහිසක් මත අත තබමින් අසද්දී මා ඔහු ගතට වාරු වූයේ ඒ වන විට පපුව ද රිදුම් දෙමින් තිබූ බැවිනි.
“වන්දනා ඒකි කොහෙද මේ….?” යළිත් ඇසුණේ මනුලගේ හඬය.
අවන්හලේ කොනක වූ මේසයක සිටියේ ශෙනුල් සමඟ වන්දනාය. වන්දනා විටින් විට හඬා වැටෙනු දක්නට ලැබුණත් ශෙනුල් සිටියේ ඉවත බලාගෙනය.
“අනේ අපි යමු මනූ….” මා කීවේ තවදුරටත් ඔවුන් දෙස බලා සිටීමට නොහැකි තැනය.
“පොඩ්ඩක් ඉමු…. මෙතන වෙන්නෙ මොකක්ද කියලත් හොයාගන්න එපැයි….”
“මට බලාගෙන ඉන්න බෑ මනූ….”
“ඔයා ඔහොම වාඩිවෙන්නකො….” මා ඒ අසල වූ අසුනක වාඩි කරවූ මනුල ශෙනුල් හා වන්දනා සිටි ස්ථානයට ඇවිද යනු පෙනිණි.
මනුල ඒ අසලට ගොස් ශෙනුල්ගේ උරහිස මත අතක් තබන අයුරුත් ශෙනුල් තිගැස්සී අසුනින් නැගිටගන්නා අයුරුත් පෙනුණේ බොඳ වූ දෙනෙත් අතරිනි. මනුල ශෙනුල්ට මා පෙන්වූයේ ඒ අතරේය. මා දුටු සැණින් අසුනින් නැගිට ගත් ශෙනුල් මා අසලට ඇවිද එනු පෙනුනත් මා කළේ අවන්හලෙන් පිටතට දිවගොස් ත්‍රිරෝද රථයක් නවත්වා ඊට ගොඩවීමය.


“දෝණි ඇයි මේ වේලාසනින්…. ඇසුත් රතු වෙලා…. ඇඬුවද ඔයා….” ශෙනුල්ගේ මව මා අසලට පැමිණියේ නිවසට ඇතුළු වෙද්දීමය.
“ඔළුව රිදෙනවා අම්මා….”
“ඉතින් ඇයි තනියම ආවෙ පුතාට කෝල් කරන්න තිබුණනෙ….” ඇය කියනු ඇසුණත් මා කළේ නෑසුණාක් මෙන් කාමරයට වැදී දොර වසාගැනීමය.
මනුලගෙන් ඇමතුමක් ලැබුණේ ඒ මොහොතේය.
“කොහෙද සිතූ ඉන්නෙ…. ඔහොම පිස්සියෙක් වගේ කලබලෙන් දුවල ප්‍රශ්න විසඳන්න පුළුවන්ද….?”
“මට දුකයි මනූ…. අපි පරණ දේවල් අමතක කරලා ආදරෙන් ඉන්න පටන්ගත්ත විතරයි…. ඇයි එයා එහෙම කරන්නේ….”
“ඕකට උත්තර හොයන්න නම් ඔයා ශෙනුල් එක්ක කතා කරන්න ඕනෙ…. මම ශෙනුල් එක්ක කතා කරන්න හදද්දීම ඔයා දුවගෙන යනව දැක්කා…. මම ඔයා පස්සෙන් ඇවිත් ආපහු හැරිල බලද්දි ශෙනුලුත් කාර් එක ස්ටාර්ට් කරන් ගියා…. එහෙම ප්‍රශ්න විසඳන්න බෑ සිතූ….”
“එතකොට වන්දනා….”
“ඒකිත් එළියට ඇවිත් ත්‍රීවීල් එකක නැගල යන්න ගියා….” එසේ නම් ඇය ගොස් ඇත්තේ ශෙනුල් සමඟ නොවේ. එසේ වුවත් සිතට දැනෙමින් තිබුණේ දැඩි කළකිරීමකි.

ශෙනුල්ගේ මෝටර් රථය වේගයෙන් පැමිණ මිදුලේ නවත්වනු ඇසුණේ මා බෑගයකට ඇඳුම් අසුරමින් සිටියදීය.
“සිතූ දොර අරින්න….” ඔහු කතා කළේ දොරට ගසමිනි.
“බලන්නකො පුතා…. මේ දරුව ඔලුව රිදෙනව කියල අඬාගෙන ඇවිත් කාමරේට ගිහින් දොර වහත්තා…. බෙහෙත් පෙත්තක්වත් දෙන්න විදියක් නෑ….” ඒ ඔහුගේ මවය.
“මම බලන්නම් අම්මා යන්න….” ඔහු පවසනු ඇසිණි.
“සිතූ අරින්න දොර…. නැත්නම් මම මේක කඩාගෙන ඇතුළට එනවා….” අනතුරුව ඔහු කීවේ දොරටද තදින් ගසමිනි. මා දොර විවර කළේ ඔහු තවත් කිහිප වරක්ම දොරට ගැසූ පසුවය.
“මේ මොකද මේ ඇඳුම් පැක් කරන්නේ…. මොකක්ද ඒ පාර නටන්න හදන නාඩගම….”
“නාඩගම් නටන්නෙ ඔයා මිස මම නෙවෙයි සුදු අයියේ….” මා කීවේ මුවින් ඉකියක් පිටවෙද්දීය.
“අයියෝ මේ අහන්නකො දරුවෝ….”
“මට ඔයා එක්ක ඉන්න බෑ…. ගෙදර යන්න ඕනේ….”
“ගෙදර යන්න තරම් දෙයක් වෙලා නෑ සිතූ…. වෙච්ච දේ අහන්නකො….”
“මට ඔයා කියන දේවල් අහන්න ඕනෙ නෑ දැන්….”
“හා හරි යන්නනෙ ඕනෙ…. එහෙනම් යනවා…. හැබැයි ආයෙ එන්න එපා…. කියන දෙයක් අහන්න ලෑස්ති නැත්නම් මටත් කරන්න දෙයක් නෑ….”


“සේරම ඇස් දෙකෙන් දැක්කට පස්සෙ තවත් මොනව අහන්න කියලද ඔයා මට කියන්නේ….”
“මම මගෙ ඇස් දෙකෙන් දැකපු හැමදේම විශ්වාස කළා නම් අපි මේ වෙද්දි මෙහෙම ඉන්නෙ නෑ සිතූ…. මමත් ඇස් දෙකෙන් සැක හිතන්න පුළුවන් දේවල් ඕනෙ තරම් දැකල තියෙනවා….”
“මොනවද ඔයා කියවන්නේ…. ඔයා මොනවද දැක්කේ….”
“ඇයි මනුලගෙයි ඔයාගෙයි ෆොටෝස්…. මං ඒව විශ්වාස කළේ නෑ…. අනික ඔයා අදත් ආවෙ මනුල එක්කනේ….” මා තිගැස්සී ගියේ ඔහු කියද්දීය.
“ඒ වුණාට අපි දෙන්න යාළුවො විතරයි…. වන්දනයි ඔයයි යාළුවො නෙවෙයිනෙ….”
“එහෙනම්….?”
“වන්දනා කියන්නෙ ඔයාගෙ හිටපු ගර්ල් ෆ්‍රෙන්ඩ්…. අනික මගෙත් යාළුවෙක්…. දෙන්න තවත් මීට්වෙන්නෙ ඔයාට එයාව ඕනෙ නිසානෙ…. ඒ නිසා එයත්  එක්කම ඉන්න…. මං යන්නම්….”
“හා යනවා…. යනව ඉතින්….” ශෙනුල් කෑ ගැසුවේ අත වූ ජංගම දුරකතනය ද පොළවේ ගසමිනි.
“සුදු පුතා…. දෝනි…. මොකද ඔය….” කාමරයට පිටතින් ඇසුණේ ශෙනුල්ගේ මවගේ හඬය.
“නෑ අම්මා මොනවත් නෑ….” ශෙනුල් පැවසුවේ අවට විසිරී තිබූ ජංගම දුරකතනයේ කැබලි අහුලමිනි.
“යමු….” අනතුරුව ඔහු කීවේ මදෙස බලමිනි.
“කොහෙද….?”
“ගෙදර…. මෙහෙ එක්කගෙන ආවෙත් මමනෙ…. ඒ නිසා ගෙදරට ගිහින් බාරදෙන එකත් මගෙ යුතුකමක්….”
“සුදු අයියේ….”
ඔහු කෙදිනකවත් එසේ කියනු ඇතැයි මම නොසිතුවෙමි. එහෙත් ඔහු හා බලෙන් රැඳී සිටීමේ අවශ්‍යතාවයක් ද නොතිබිණි.
“ඇයි දැන් මොකක්ද කියන්න හදන්නේ….”
“මොනවත් නෑ…. යමු….” මා කියද්දී ඔහු කළේ මගේ ඇඳුම් බෑගය ද රැගෙන කාමරයෙන් පිටවීමය.
“කොහෙද පුතා මේ ඇඳුම් බෑග් එකකුත් අරන්….” ශෙනුල්ගේ මව ඔහුගෙන් අසනු ඇසිණි.
“ඇවිත් කියන්නම් අම්මා….”
“දෝනි ඔයාවත් කියන්නකෝ…. මොකද මේ….?” අනතුරුව ඇය කාමරයට පැමිණ සිටගත්තේ මා ඉදිරියෙනි.
“දන්නෙ නෑ අම්මා…. අයිය කියයි….” මා කීවේ දෙනෙතෙහි වූ කඳුළු පිසලමිනි.

30 වන කොටසින් හමුවෙමු. 

1 thought on “සිත් අහසට නුඹ ඇවිදින් – 29”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart