හිරු සුන්දරව පායා තිබුණත්, ලස්සන මලින් ගෙමිදුල හැඩව තිබුණත් මට ඒ කිසිවක සුන්දරත්ව නොපෙනිණි. අම්මා සකසා දුන් තේ කෝපප්ය අතැතිව ගෙමිදුලේ සෙමෙන් සක්මන් කළේ රාත්‍රිය පුරාවට හඩා වැටුණු විඩාබර දෙනෙත් වලට සහනයක් දෙන්නටය. වේදනා දෙන ගතට සැහැල්ලුවක් දෙන්නටය. එහෙත් දෙපාවලට පණ නැති ස්භාවයක් දැනෙද්දී මම නිවසේ ඉදිරි පඩියේ අසුන්ගෙන උළුවස්සට හිස හේත්තු කළෙමි.
කුරුණෑගල සිට කොළඹ මගේ නිවසට එන විට රාත්‍රී fදාළහට ද ආසන්නව තිබිණි. සිතේ තිබූ කෝපය හා වේදනාව නිසාම මට තනියක්වත්, බියක්වත් නොදැනිණි. බස්රථයෙන් බැස, ඇණවුම් කළ කුලී රථයෙන් නිවස බලා යද්දී නම් චකිතයක් දැනුණේ අම්මා හා මල්ලී මා කෙලෙස පිළිගනීදැයි සිතා ගත නොහැකිවය.
කිහිප වරක් fදාරට තට්ටු කර, අම්මාගේ ජංගම දුරකථනයට ද ඇමතුමක් ගත් පසු ඇය අවදි කරවා ගැනීමට මම සමත් වීමි.
“ශෙනායා..”
මා දුටු අම්මාගේ නෙත් විසල් විණි.
“මේ වෙලාවේ..? කෝ නෙලුක..”
අම්මා වැළඳගෙන උස් හඬින් හඬා වැටීමේ වුවමනාව මා ආයාසයෙන් සඟවා ගත්තේ, ඇගේ සිත වේදානවක් දිය නොහැකි නිසාය.
“නෙලුක, මාව කැබ් එකට නග්ගලා එහෙමම ගියා අම්මා කොළඹ ඔෆිස් එකට.. එයාලා හෙට ටි්‍රප් එකක් යනවලුනේ.. ඒකට ආවා.. මාත් එහෙමම ආවා..”
එය කොහෙන් පැමිණි බොරුවක්දැයි මම නොදැන සිටියෙමි.
“ඉතින් මේ රෑ..? එනවා කියලවත් කිව්වේ නෑනේ..”
අම්මාගේ නොරිස්සුම් සහගත ස්වරයේ වූයේ සැකමුසු බවකි.
“මේක හදිස්සියේ ප්ලෑන් කරපු දෙයක් අම්මා.. මට මහන්සියි.. ගෙට එන්න දෙන්නකෝ..”
මෙතෙක් දරාගෙන සිටි සිත දෙදරා යෑම ආසන්න බව දැනෙද්දී මා කෝපවත් බවක් මවා ගත්තෙමි.
“හ්ම්ම්…. කෑම නම් නෑ.. මල්ලීයි මායි වේලාසනම කාලා නිදා ගත්තේ..”
“කෑම එපා.. නිදාගන්න ඕනේ..”
ගෙතුළ ඇති මඳ එළියක් සහිත බල්බයට සිතෙන් ස්තූති කරමින් මම මිමිණුවෙමි.
“හ්ම්ම්ම්.. අලුත් බෙඩ්ශීට් එකක් දාගන්න.. කබඩ් එකේම තියෙනවා..”
“හරි අම්මා… ගුඩ් නයිට්..”
වහා ඇය මඟහැර කාමරයට රිංගා ගත් මා උදෑසන එළඹෙන තුරු, වැඩිපුර වේලාවක් ගත කළේ හඬා වැටෙමිනි.
“ශෙනායා…”
මා තිගැස්සී හිස ඔසවා බලද්දී අම්මා මදෙස බලා සිටියේ රවා ගත් දෑසිනි.
“අම්මා.. ගුඩ් මෝර්නින්..”
මම වහා ඇගෙන් දෙනෙත් සඟවා ගන්නට උත්සාහ දරමින් මිමිණුවෙමි.
“මොකක්ද ඊයේ සිද්ද වුණේ..?”
“ඇයි මං කිව්වේ ඔයාට..”
මම ගණනකට නැතිවාක් සේ තේ කෝප්පය මුව ළං කර ගත්තෙමි.
“ශෙනායා.. පුතේ මට බොරු කියන්න හදන්න එපා.. මල්ලී ඇහැරලා එන්න කලින් ඇත්ත කියපං.. මොකක්ද නෙලුකයා එක්ක දා ගත්ත ප්‍රශ්නේ..?”
“මොනවත් නෑ අම්මා..”
මම නොරිස්සුම් සහගතව පවසා තේ කෝප්පයේ ඉතිරි අඩ මිදුලට විසි කර දමා නැඟී සිටියෙමි. අම්මා මඟ හැර යන්නට උත්සාහ කළත් ඇය තදින් මගේ බාහුව ග්‍රහණය කර ගත්තාය.
“නෙලුකයා මේ දැන් මට කතා කරලා ඇහුවා උඹ ගෙදර ආවාද කියලා..? ඌ ඇරලවා ගියා නම් මට කතා කරලා මොනවද අහන්නේ..? ඇයි එහෙම අහන්නේ කියලා අහද්දී කිව්වා ශෙනායා එක පාරටම රෑම ගෙදරින් ආවා දැන් ෆෝන් වැඩ නෑ කියලා.. ආවා කියලා කිව්වම හරි අම්මේ මම එන්නම් කිව්වා..”
මා තදින් යටිතොල සපා ගත්තේ නෙලුක අම්මා අමතාවි යැයි කිසි විටෙක නොසිතූ නිසාය. කෝපය නිසා, විසන්ධි කර දැමූ දුරකථනය හේතුවෙන් මෙතරම් ගැටලුවක් ඇති වේයැයි මම නොසිතුවෙමි.
“ශෙනායා..”
එවර අම්මාගේ හඬෙහි වූ කෝපය පැවසුවේ ඇය තවදුරටත් ඉවසන්නේ නැති වගය. ඇගේ කෝපය තවත් උත්සන්න වුවහොත්, මට පහරක් ගැසීමට ඇය නොපැකිලෙන වග ද මම දැන සිටියෙමි. තව දුරටත් සිත් පීඩාවන් තනිව දරා ගැනීම ද මට අසීරු වෙමින් තිබිණි.
“අනේ අම්මා..”
මම ඇගේ ගෙල බදා ගනිමින් උරහිස මත හිස හොවා ගත්තේ හඬා වැටෙමිනි.
“පුතේ ඇයි මේ..?”
මෙතෙක් කෝපයෙන් සිටි ඇය දැඩි සේ කලබල වූවාය. මම කිසිත් නොපවසාම හඬා වැටෙද්දී ඇය මෘදුව මගේ හිසත් පිටත් පිරිමදිමින් මා සමඟම අසුනකට බර දුන්නාය. අතේ තිබූ කෝප්පය ද පසෙකින් තැබූ ඇය මගේ මුහුණ දෝතින්ම අල්ලා ගත්තාය.
“මොකක්ද පුතේ වුණේ..? නෙලුකයා මොනවා හරි කිව්ව ද.,?”
දිගු හුස්මක් ගෙන හැඬුම පාලනය කර ගත් මම සිදු වූ සියල්ල අම්මාට කියාගෙන ගියෙමි.
මට පහරදුන් වග පවසද්දී ඇගේ දෙනෙත් විසල් විය.
“ඌ මොන හයියකටද එහෙම තමුසෙට ගැහුවේ..?”
එක්වරම අපට පිටුපසින් උස් හඬක් ඇසෙද්දී මාත් අම්මාත් තිගස්සී ගියයෙමු.
“ම.. මල්ලී..” මට ගොත ගැසිණි.
“කියනවා ඉතින්.. තමුසෙ ගුටි කාගෙන හිටියේ මොකට ද..? අම්මා ලෑස්ති වෙන්න.. අපි දැන් යනවා.. ගිහින් ඕකට හොම්බට අනිනවා..”
මල්ලීගේ උස් හඬ හමුවේ අසරණ වූ මම අම්මා දෙසට අසරණ බැල්මක් හෙලුවෙමි.
“ඒක නම් කරන්න ඕනේ තමයි.. ඌ කොහොමද එහෙම මගේ කෙල්ලට අත උස්සන්නේ..? ඔය මඟුල ඇති පුතේ.. එක එකාගෙන් ගුටි කන්න නෙමෙයිනේ මම උඹව හැදුවේ.. ඔය මඟුල අතෑරලා ගෙදර හිටපං.. අපිට පුළුවන් බලා ගන්න..”
මල්ලීගේ කෑ ගැසීම හමුවේ අම්මා ඔහු සංසුන් කර ගනී යැයි සිතුවත් සිදු වූයේ එහි අනෙක් පසය. මට දැනුණු අසරණ බව තවත් වැඩි විය.
නෙලුක හා කෙතරම් කෝපයක් සිතේ තිබුණත්, ඔහුට, මල්ලී වුවත් පහු දෙනු දැකීමටවත්, ඔහු සදහටම අතහැර දැමීමටවත් මට අවැසි නොවිණී.
“දැන් අපි ඔය එක එකාගේ ළඟ වැටෙන්න යන්න ඕනේ නෑ.. කෝ දියං ෆෝන් එක.. මම ඕකට හොඳ දෙකක් කියලා කෙල්ලව ආයෙත් එවන්නේ නෑ කියන්න ඕනේ..”
මා දෝතින්ම දෙසවන් ආවරණය කර ගත්තේ, ඔවුන් දෙදෙනාගේ වදන් නොඇසීමටය.
“අම්මා..”
මාගේ උස් හඬටදෝ ඔවුන් දෙදෙනාම මොහොතකට නිහඬ විය.
“ඔය එකක්වත් කරන්න එපා.. ප්ලීස්.. මට ටිකක් මගේ පාඩුවේ ඉන්න දෙන්නකෝ.. මට නෙලුකගෙන් අයින් වෙන්න ඕනේ නෑ.. ඔයාලාත් පාඩුවේ ඉන්න.,”
“දැන් අපි ද වැරදිකාරයෝ..?”
“ඔව්.. ඔව්.. තමුසෙටත් ඉතින් ඌට එහා එකෙක් නෑ.. ගැහුවා බැන්නත් ඌ තමයි හොඳ.. ඕන මඟුලක් කර ගන්නවා ඕයි.. එකම දේ.. තමුසෙටත් ඕනේ ඌ නම්, මෙහෙ ඇවිත් අඬා වැටෙන්න තියාගන්න එපා.. අක්කා කියලා බලන්නේ නෑ.. තමුසෙගෙත් කන පැලෙන්න දෙන්න..”
මල්ලී ගේ හඬට මගේ හැඬුමත් නොරිස්සුමත් වැඩි වූවා මිස අඩු නොවිණි.
“ඔව්.. ඔව්.. හැම එකාටම ඕනේ මගේ කන පැලෙන්න දෙන්න.. මරනවා.. මරනවා.. ඔක්කොම එකතු වෙලා මාව මරා ගන්නවා..”
යටිගිරියෙන් කෑ ගැසූ මම කාමරයට දිව ගොස් ඇඳෙහි වූ ඇතිරිලි සියල්ල බිමට ඇද දමමමින් කෑ ගැසුවේ සිත් පීඩාව දරා ගත නොහැකිවය. අවසානයේ වෙහෙස වූ මම එලෙසින්ම ඇඳ මතට කඩා වැටුණෙමි.
‘සියල්ල බොරුවකි.. මා සියල්ලන් අවැසි ලෙස නටවනා රූකඩයකි..’
යළි හමුවෙමු.