සිත් අහසට නුඹ ඇවිදින් – 3 කොටස


“මේ අපි එහෙනම් කෑම ටිකක් කාලම ඉමු නේද….? පස්සෙ බැරියෑ විස්තර කතා කරන්න….” අම්මා පැමිණ ආරාධනා කළ පසු සියලු දෙනාම කතාව නවතා ගියේ කෑම කාමරය වෙතය.
තම මිතුරා කලකට පසුව පැමිණීම නිසාදෝ අප්පච්චී සිටියේ දැඩි සතුටකිනි. ඔවුන්ගේ පවුල අප නිවසින් පිටව යන තුරුම දෙදෙනා ආගිය තොරතුරු කතා කිරීම නැවතුණේ නැත. ඔවුන් කොතරම් සතුටින් අල්ලාප සල්ලාපයේ යෙදුණත් මා නම් සිටියේ ගිනිගොඩක දැවෙන්නාක් මෙනි.


පියවරුන් දෙදෙනා මෙන්ම මවුවරුන් දෙදෙනා හා නැන්දනිය ද ආගිය තොරතුරු කතා කරමින් සිටියදී නැගනියන් දෙදෙනා හා මා සිටියේ ද ඔවුන්ට නුදුරින් අසුන් ගෙන අපේ කතාවකය. ශෙනුල් ද පියවරුන් හා විටින් විට කතාවට එක්වූයේ ඔහුගේ ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් ද පවසමිනි.
කාමරයට යාමට අවැසිවුවත් එසේ නොකරන ලෙස අම්මා කී නිසාම නැගනියන් හා එහි සිටි මම වැරදීමකින් හෝ ශෙනුල් දෙස නොබලන්නට ප්‍රවේශම්වීමි. එහෙත් මගේ නෙත් අහම්බෙන් හෝ ඔහු වෙත යොමුවූ අවස්ථාවල ඔහු සිටියේ සිය නෙත් මවෙත රඳවා ගනිමිනි. ඇතැම් අවස්ථාවලදී ඔහු මදෙස බලා සිනාපෑවේ ඇසක් වසා ඉඟියක් ද කරමිනි.
ඔවුන් අප නිවසින් පිටව යන්නට සැරසුණේ දිවා ආහාරයෙන් පසුත් බොහෝ වේලාවක් ගත කිරීමෙන් අනතුරුවය.
“මං ගිහින් එන්නද….?” ඔහු ඇසුවේ නිවසේ සියලුදෙනාගෙන් සමුගැනීමෙන් අනතුරුව මා සමීපයට පැමිණෙමිනි.
“ආයෙ ආවෙ නැතුවට කමක් නෑ….”
“එපා කිව්වට වැඩක් නෑ මං එනවා….” මගේ කම්මුලකට ද තට්ටු කරමින් ඔහු කියද්දී මා අඩියක් පසුපසට ගත්තේ ඔහුට සමීපවීමට එතරම්ම අකමැති වූ බැවිනි.
ශෙනුල්ගේ පවුලේ අය නිවසින් පිටව ගියේ විවාහය ගැන තීන්දුවක් ගැනීමට පැමිණෙන බව කියමිනි.
“පෙනේද මල්ලි මේකි කොළඹ ගිහින් කරල තියෙන දේවල්…. කොල්ලොත් එක්ක නටපුවා අර දරුවත් දන්නවා…. මං කිව්වා ඔය රස්සාවල්වලට යද්දි පරම්පරාවෙ නම්බුවත් විනාශ කරලා පවුලේ දැලිත් ගාල තමයි නවතින්නෙ කියලා…. කොහෙද මං කියන දේ ඇහුවද….?” නැන්දා කියවන්නට ගත්තේ ඔවුන් නිවසින් පිටවද්දීමය.


“මොකද අක්කෙ මේ කෑ ගහන්නේ….” කෑම මේසය අස්කරන්නට ගිය අම්මා ද ආලින්දයට පැමිණියේ නැන්දා පරල වී කෑ ගසන විටය.
“ඇයි දැන් ඇහුනෙ නැද්ද…. මේකි කොල්ලෙක් එක්ක රවුම් ගහනව අර දරුවත් කීප දවසක්ම දැක්කයි කිව්වා…. ගෑනු ළමිස්සියෙක් එහෙම හැසිරෙද්දි වැදගත් විදියට දීග දෙන්නවත් පුළුවන්ද….” අනතුරුව ඇය කඩා පැන්නේ අම්මා වෙතටය.
අප්පච්චී නිහඬවම වුවත් අම්මා දෙස රවා බැලුවේ ඇය නිසා මේ සියල්ල වූවාක් බඳු බැල්මක් හෙළමිනි.
“ඒ මගෙ යාළුවෙක් විතරයි අම්මේ…. ඒක මං එවෙලෙම කිව්වනෙ…. එයා අපිත් එක්ක වැඩ කරන කෙනෙක්….”
“හරිම යසයි එකට වැඩ කළා කියලා ගෑනු ළමයි එහෙම තනි පංගලමෙ කොල්ලොත් එක්ක යනවද….?”
“අනේ නැන්දෙ නැන්දලගෙ කාලෙට වඩා දැන් කාලෙ වෙනස්…. කොල්ලො කෙල්ලො කියල වෙනසක් නැතුව හොඳ යාළුවෙක් ආශ්‍රය කරන්න මේ ලෝකෙ කොහෙවත් බාධාවක් නෑනෙ…..”
“ලොකූ….” අප්පච්චිගේ හඬ ඇසුණේ මා නිහඬ කරමිනි.
උඩුමහලේ සිටි නැගනිය හා සඳුනි ද එබී බැලුවේ ඒ හඬ එතරම්ම දැඩි වූ නිසා විය යුතුය.
“හිතුවක්කාරෙට රස්සාවට ගියා තමයි…. හැබැයි ඒ රස්සාව ඉස්සරහට කරනවද නැද්ද කියලා ශෙනුල් පුතා තීරණය කරයි….” කීවේ අප්පච්චීය.
එසේ නම් ඔහු සූදානම් වන්නේ මගේ ජීවිතය පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය ද ශෙනුල් වෙත පවරන්නටය.
“ඒත්  මට දැන්ම බඳින්න බෑ අප්පච්චි….” නිහඬව සිටිනවාට වඩා කතා කිරීම සුදුසු බව සිතුණු තැන මම කියා දැමුවෙමි.
“ඒක තීරණය කරන්නෙ මම….” ඔහු ආලින්දයෙන් පිටත්ව ගියේ අවසන් තීරණය දෙමිනි. නැන්දා ද ඒ පසුපස යද්දී මා අම්මා දෙස බැලුවේ අසරණ දෙනෙතිනි.
“අනේ අම්මා මට මේක කරන්න කියල නම් කියන්න එපා….”
“ඒත් දූ අප්පච්චි ඒ ළමයව ඔයාට තීන්දු කළේ පුංචි කාලෙමයි…. හැබැයි මෙච්චර කාලයක් ඉඳලා මේ තරම් හදිස්සියේ එයාල ඔයාව ඉල්ලන් එයි කියල මම හිතුවෙත් නෑ….”
“මොකක්….”
“ඔව් දූ…. ඇයි ඔයාට මතක නැද්ද….? ඉස්සර එයාල හිටියෙ දැන් ශාන්ති ඇන්ටිල ඉන්න ගෙදරනෙ…. ඒ කාලෙ ඔයා සෙල්ලම් කළෙත් ඒ අයිය එක්කමයි…. ඔයාට පොඩි කාලෙ ඉඳලම ඒ දරුව හරි ආදරෙයි…. කිව්වෙ බෝනික්කි නංගි කියලා…. අන්කල් ඩොක්ටර් කෙනෙක්…. එයාට මාරුවක් හම්බවෙලා කොළඹට යද්දිත් ඒ දරුව ගියේ ඔයාව දාල යන්න බෑ කියල අඬ අඬා…. ඔයාට මතක නැති වුණාට එයාල ගියාට පස්සෙ ඔයාට සාංකාවට උණත් ගැණුනා….” අම්මා කියාගෙන යද්දී මට දැනුණේ පුදුමයකි.
“එතකොට අම්මා අර මගෙ පොඩි කාලෙ ෆොටෝස්වල ඉන්නෙ…. ඒ අයියද ඒ….?”
“ඔව් දූ ඒ එයා තමයි….”
“දෙයියනේ අම්මා….” සැබැවින්ම මා ද සිටියේ ඔහු දකින්නට ආසාවෙනි.
මා කුඩා කල ගෙන ඇති බොහෝ ඡායාරූපවල අයියාටත් වඩා මා අසලින් සිටින්නේ ඔහුය. එක්වර හඳුනාගැනීමට නොහැකිවූව ද මට ද ඔහු ගැන මතකයක්  නොමැත්තේ නොවේ. කුඩා කල තිබූ ඒ බැඳීම පිළිබඳ ඇත්තේ ආදරණීය මතක ගොන්නකි.  
එහෙත් දැන් සිටින්නේ එදා සිටි ඔහුම යැයි සිතන්නටවත් නොහැකි වූයේ ඔහු ගැන ඇති වත්මන් මතක එතරම් අපුල වූ බැවිනි. කුඩා කල මා හට කෙතරම් ආදරය කළත් ඔහු වන්දනාට කළ දේ අමතක කර පැරණි බැඳීම් යළි ගොඩනගා ගන්නේ කෙසේද?
“එතකොට අම්මා ඒ අය මෙච්චර කල් අපෙන් ඈත් වෙලා හිටියේ ඇයි….?”
“ඔය ප්‍රශ්නෙ නම් මටත් තියෙනව දූ…. මානෙල් කියන විදියට එයාල ලංකාවට ඇවිල්ලත් අවුරුදු දෙකක් විතර වෙනවලු…. ඒත් නිකමටවත් මේ පැත්තෙ ආවෙ නෑනෙ….”
“ඉතින් දැන් මේ හදිස්සියේ ඇවිත් මෙහෙම කරන්නෙ කියලා අම්මවත් අප්පච්චිගෙන් ඇහුවෙ නැද්ද….”
“ජයනාත් එක පාරම කෝල් කරල පරණ පොරොන්දුව මතකද කියල ඇහුව කියල තමයි කිව්වේ…. අනික පුතේ ඔයා ඒ ළමය එක්ක හරියට කතා බහ කරන්නෙත් නැතුව එකපාරම අකමැතියි කිව්වේ ඇයි….? ඒ නිසානෙ අප්පච්චිටත් කේන්ති ගියේ…. මට නම් ඒ දරුවට අකමැති වෙන්න තරම් වරදක් පෙනුනෙ නෑ…. හරිම වැදගත් පාටයි…. අනික ඔයාව පොඩි කාලෙ වගේ ඉස්සරහටත් ආදරෙන් බලා ගනියි….”
එසේ නම් ඇයත් මෙම කටයුත්තට කැමති අය අතරේය. මා අම්මා අසලින් ඉවත්ව කාමරයට ගියේ කළ යුත්තේ කුමක්දැයි සිතාගත නොහැකිවය.
ශෙනුල් පිළිබඳ මා දන්නා සියලු විස්තර ඇය හා පවසන්නටත්, දැන් සිටින්නේ එදා සිටි ඔහු නොවන බව කියන්නට අවැසි වුවත් එසේ කියන්නට නොසිතුණේ අම්මාට අප්පච්චිගේ තීරණ වෙනස් කළ නොහැකි බව මා හොඳින් දැන සිටි නිසාවෙනි.
“මොකද අක්කි මේ වුණේ…. අපි හිතුවෙ ඔයා ඒ අයියව දැක්කම සතුටු වෙයි කියලා…. ඔයා ඒ අයියයි ඔයයි ඉන්න ෆොටෝස් තාමත් පරිස්සම් කරනවනේ…. ඒ නිසා අපි බලන් හිටියෙ ඔයා ඒ එයාව අඳුනගත්තාම සර්ප්‍රයිස් වෙලා බදාගෙන උඩ පනියි කියලා….” ඒ සඳුනිය.
“කියනවකො අක්කි…. ඒ අයියව ඔයා කොළඹදි දැකලත් තියෙනව නම්…. ඇයි දැන් මෙහෙම දුකෙන් ඉන්නේ….” ඒ මගේ නැගනිය විනුලිය.


ඔවුන් දෙදෙනාම මා දෙස බලා සිටියේ ප්‍රශ්නාර්ථය රැඳි දෑස්වලිනි.
“නංගි ශෙනුල්ට වන්දනා කියලා මගෙ යාළුවෙක් එක්ක එෆෙයාර් එකක් තිබුණා…. මම එයාව දන්නෙත් වන්දනාගෙ බෝයිෆ්‍රෙන්ඩ් විදියට…. ඒත් පස්සෙ එයා වන්දනාට චීට් කළා…. කාලයක් යාළුවෙලා ඉඳල එක පාරටම කිසි හේතුවක් නැතුව කැත විදියට ඒ ළමයව අතෑරලා දැම්මා…. ඒ කෙල්ලට පිස්සු හැදුනෙ නැති ටික විතරයි…. මං ශෙනුල්ව මුලින්ම දැක්කෙත් යාළුව වෙනුවෙන් එයත් එක්ක කතා කරන්න ගිය වෙලාවේ…. මම ගියේ මාත් එක්ක ඔෆිස් එකේ වැඩකරන මනුල එක්ක…. එදා ඒ ගැන කතා කරන්න ගියාම ශෙනුල් මනුල එක්ක ගහගන්නත් ගියා….”
“දෙයියනේ අක්කී…. එයා ඔයාගෙම යාළුවෙක් එක්කත් යාළු වෙලා ඉඳල ද දැන් ඔයාව බඳින්න හදන්නේ…. එහෙනම් අපි මේක අම්මයි අප්පච්චියි එක්ක කියමු….”
“වැඩක් නෑ නංගී…. අප්පච්චි ඔය තීරණේ වෙනස් කරන්නෙ නෑ…. මේක දැනගත්තම අම්ම දුක් වෙන එක විතරයි වෙන්නේ…. අම්මගෙ හිතට තවත් ගින්දරක් දෙන්න ඕනෙ නෑ…. බලමුකො මොකද වෙන්නේ කියලා….”
“නෑ අක්කි…. අප්පච්චි වුණත් මේ වගේ දෙයක් කිව්වම හිතල බලන්නෙ නැතුව ඉන්න එකක් නෑ කියල මම හිතන්නෙ නෑ….”
“බලමු නංගි…. ඕව කියන්න ගියාමත් මම වැරදි කාරය වෙයිද දන්නෙ නෑ….” කී මා නාන කාමරයට වැදුණේ තුවායක් ද ගනිමිනි.

4 වන කොටසින් හමුවෙමු.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart