මටත් කවියක් ලියන්න – 01

සුන්දර නුවරඑළියේ සුඛෝපභෝගී හෝටල් කාමරය තුළ මම කණ්ණාඩිය හරහා පෙනෙන මගේම රුව දෙස බලා සිටියෙමි. රෝස පැහැති දිගු ගවුමකින් සැරසී සිටි මාගෙන් වෙහෙසකර බවක් පළ වුවත් පෙනුමට ඉන් හානියක් වී නොතිබිණි. අලුයම දෙකට උඩරට මනමාලියක සේ සැරසුණු මා පිටව එන්නට පෙර මෙම රෝස පැහැ ඇඟලුමෙන් සැරසුණෙමි. ඔසරියටත් වඩා මෙය මට ගැලපෙතැයි සිතුණේ කෘතිමව කැරලි ගැන්වූ හිසකෙස්, එහි රැඳවූ කුඩා ඔටුන්න ද මුහුණට අමුතු එළියක් ඇති කර තිබූ නිසාය.
මම, මා සමඟම සිනාසී කුඩා ඔටුන්න සෙමෙන් ඉවත් කරන්නට වූවෙමි.
“මැණිකේ..”
උදෑසන මගේ නීත්‍යනුකූල සැමියා බවට පත් වූ නෙලුක මගේ කුස වටා අත යවා නිරුවත් ගෙල මත මුහුණ හොවා ගත්තේය. දිය නා නැවුම් වී සිටි ඔහුගේ හිසකෙසින් ගිලිහුණු වතුර බිඳු මගේ ළමැද තුළ සැඟවී ගියේය.
“මම තවම වොෂ් දාලාත් නෑ..”
“ඉන්න හෙල්ප් කරන්න…”
ඔහු, මා ස්ටූලය මත ඉන්දවා හිසෙහි වූ කටු එකිනෙක ඉවත් කරන්නට වූයේය.
“අම්මා කතා කළා ද අයියේ..?”
“හ්ම්ම්.. මම කෝල් කළා ආව ගමන්ම.. ඔයාලගේ අම්මලා ගිහින් නේද..?”
“හ්ම්ම්..”
නෙලුක කොණ්ඩ කටු එකිනෙක ගලවද්දී මම කණ්ණාඩිය හරහා ඔහුගේ රුව දෙස බලා සිටියෙමි. තලෙලු, උසට සරිලන මහතකින් යුතු ඔහුගේ කුස කරමක් ඉදිරියට නෙරා තිබිණි. තෙතැති, තරමක් කැරලි ගැසුණු හිසකෙස් නළල මට වැටී තිබුණේ අපිලිවෙලට ය.
“ආව්…” මට එක්වරම කෑ ගැසුණේ නෙලුක අතින් හිසකෙස් ඇදුණු නිසාය.
“රිදුණා..”
“මේ රෙද්දවල් ගැලවෙන්නේ නෑ..”
ඔහු මිමිණුවේ කෝපයෙනි.
“එහාට වෙන්න.. මම ගලව ගන්නම්..”
නෙලුකව පසෙකට කළ මම සෙමෙන් කොණ්ඩ කටු එකිනෙක ඉවත් කරන්නට වූයෙමි.
“අපි පහළට යනවද කන්න…?”
“මොනවා හරි ගෙන්න ගමු ද..? ටයර්ඩ් දැන්..”
අවසන් කොණ්ඩ කටුවත් ඉවත් කොට හිස කෙස් නිදහස් කර ගත් පසු මට දැනුණේ සැහැල්ලුවකි.
“මේ සිපර් එක ගලවන්නකෝ..”
දුරකතනය සවනට තෙරපාගෙන සිපරය පහළට කළ ඔහු ඇමතුමට අවධානය යොමු කළේ, මගේ නිරුවත් වූ පිට පිරිමැද ඒ මත සිපුමක් තියාවියැයි සිතූ මගේ සිතිවිල්ලට තිත තබමිනි.
ගවුම එතැනම බිම ගලවා දමා තුවාය පටලවා ගත් මම නාන කාමරයට වැදුණේ සිතින් නෙලුකට බැණ වදිමිනි.
“රොමෑන්ටික් උගන්නන්න වෙනවා මට..”
මම රෝස පෙති පුරවා තිබූ නාන ඔරුවට බැස දිගෑදුණේ සිරුරට දැනෙන වෙහෙස නිවාගන්නට ය.


ප්‍රධාන පෙළේ වාහන හා කොටස් ආනයනය කරන සමාගම කළමණාකරුවෙකු ලෙස සේවය කළ නෙලුකව, ජාත්‍යන්තර පෙර පාසැලක ගුරුවරියක ලෙස කටයුතු කළ මට හමු වූයේ අහම්බෙනි. ඔහුගේ සමාගමේ ශාඛාව පිහිටා තිබුණේ මගේ පෙරපාසැල ආසන්නයේමය. අප දෙදෙනාම බොහෝ විට දිවා ආහාරය ගත්තේ ඒ ආසන්නයේ ඇති අවන්හලකිනි. නිතර නිතර දකිද්දී, අප දෙදෙනාගේම මිතුරු මිතුරියන් අතර ද මිත්‍රත්වයන් ගොඩ නැගෙද්දී අප ද ඉබේම මිතුරන් විය.
එම මිතුරුකම ප්‍රේමයක් දක්වා දුර දිග ගියේ නොදැනීමය.
“ශෙනායා.. මොකද කරන්නේ..?”
මම තිගැස්සී ගියේ නාන කාමරයට පිටතින් ඇසුණ නෙලුකගේ හඬටයි.
“ඉන්න එනෝ..”
නාන ඔරුවෙන් පිටතට අඩිය තබමින් මම කෑ ගැසුවෙමි.
හොඳින් නාගත් මම අලුතෙන්ම මිලදී ගත් දම් පැහැති දුහුල් කෙටි රාත්‍රී ඇඳුමෙන් සැරසුණෙමි. ළමැදෙන් අඩක් පමණම විවර වූ එය මගේ දණහිසේ සිට අඟල් කිහිපයක් ඉහලින් අවසන් විය.
එය ඇන්දාට වඩා නොඇන්දා නම් හොඳයැයි සිතෙන තරමටම මගේ සිරුර නිරාවරණය කර පෙන්වන අන්දමේ එකක් විය. තෙතැති හිසකෙස් රත් පැහැ ගැන්වුණු දෙකම්මුල් සේම එම රාත්‍රී ඇඳුම ද මට එක් කර තිබුණේ සරාගී බවකි.
“ශෙනායා..”
එවර නෙලුකගේ හඬට එක්ව තිබුණේ කෝපයකි.
කණ්ණාඩිය හරහා පෙනෙන මගේ රුවට ඇසක් ඉඟි මැරූ මම නාන කාමරයේ fදාරටුව විවර කරගෙන පිටතට පැමිණියේ නෙලුකගේ ප්‍රතිචාර දැන ගැනීමේ ආසාවෙනි.
වසර තුනක ප්‍රේමයක හිමිකරුවන් වූ අපිට, අපිව නුහුරු නොවිණි. ප්‍රේම සබඳතාවය අරඹා මාස හයක් පමණ ගෙවී යද්දීම එකිනෙකාව විඳ ගත්තෙන් ගෙවී ගිය වසර කිහිපයම තනි වන සෑම මොහොතකම අපිට අපි අවැසි විය. නීත්‍යනුකූල ලෙස මධුසමයට පැමිණි දිනය බොහෝ රොමාන්තික කර ගැනීමට මට ආසාවක් විය.
“මොකද අනේ කළේ මෙච්චර වෙලා.. කෑමත් ආවා..”
මා පැමිණි හඬ ඇසෙද්දී දුරකථනයට නෙත් හෙලාගෙන සිටි ඔහු විමසුවේ නොරිස්සුම් සහගතවය.
“නෑවා ඉතින්..”
මම කෝල හඬින් පවසද්දී ඔහුගේ හිස එසැවිණි.
“වාව්.. සෙක්සි..”
සෙමෙන් මවෙත ඇවිදගෙන පැමිණි ඔහු ගෙලෙහි සිට ළමැද තෙක් අතැඟිල්ලක් ගෙන ගියේ සවනතක් සෙමෙන් සිප ගනිමිනි.


“කොණ්ඩේ ඩ්‍රයි කර ගන්න බබා.. තෙතම තෙතයි..”
කොපුලක් මත ද සිපුමක් තබමින් ඔහු මාව සයනය මත වාඩි කර වූයේය. හිසකෙස් වියලනය ගෙන එය ක්‍රියාත්මක කර ඔහු මා අතට දුන්නේ ඇසෙන් ඉඟියක් කරමිනි.
fදාරට තට්ටු කරන හඬ ඇසෙද්දී මගේ නාසය ද මිරිකාගෙන ඔහු එදෙස ඇවිද යන අයුරු මා බලා සිටියේ සිනාසෙමිනි. ඇඳ සිටි බතික් සරම ඔහුට ගෙන දුන්නේ වෙනස් පෙනුමකි.
මම කොළඹ පදිංචිකරුවෙකු වුවත්, ඔහු කුරුණෑගල සිට රැකියාව වෙනුවෙන් කොළඹ පැමිණ සිටි අයෙකි. මම පිළියන්දල පදිංචිව සිටියේ අම්මා හා මල්ලී සමඟිනි. අම්මා හා තාත්තා දික්කසාද වූයේ අප පාසැල් යන වියේදීය. තාත්තා ඉඳ හිට පැමිණ අප බලා යෑමටත්, අපිට අවශ්‍ය දේ සැපයීමටත් පුරුදුව සිටියේය.
පවුලේ එකම දරුවා වූ නෙලුකට සිටියේ මව පමණකි. ඔහුගේ පියා මියගොස් තිබුණේ ඔහු උසස් පෙළ කරන අවදියේදීය. ගුරුවරියක වූ ඔහුගේ අම්මා, යළි විවාහයක් ගැන නොසිතා නෙලුකව උස් මහත් කර තිබුණේ සිය නැදෑයින්ගේ ද සහය ඇතිවය.
දෙවසරක්ම කොළඹ සේවය කළ නෙලුක කුරුණෑගලට යළි මාරුවක් ලබා ගත්තේ අපේ විවාහයට මාස හයක් පමණ තිබියදීය. කුරුණෑගල පදිංචියට යෑමට මගේ එතරම් කැමැත්තක් නොතිබුණත් මට වෙන විකල්පයක් නොවිණි.
“හරිද කොණ්ඩේ වේලුණ ද..?”
මා සිටියේ කොණ්ඩය වියලමින් බව ද මට සිහි වූයේ ඔහුගේ හඬ සවන අද්දරින් ඇසුණු නිසාය.
“ම්ම්..”
හිසකෙස් වියලනය පසෙක තැබූ මම ඔහු දෙස බැලුවෙමි.
“කමු… බඩගිනියි..”
හිස වනමින් මම ඔහුගේ අතක එල්ලී නැඟී සිටියෙමි.
ඔහු මම කැමැතිම අන්දමේ චොප්සි රයිස් එකක් හා කජු බැඳුමක් ද, එළවළු සලාදයක් ද ගෙන්වා තිබිණි. අප වෙනුවෙන් කාමරයේ තබා තිබූ වයින් බෝතලය ද කඩා ඔහු වීදුරු දෙකක් පුරවා පසෙකින් තැබුවේය. සව්දිය පුරන්නටවත් වෙහෙස නොවී එයින් උගුරු කිහිපයක් පානය කළ මම කුස පිරෙන්නට ආහාර ගතිමි.
“දවලුත් හරියට කන්න බැරිවුණා..”
නෙලුක සිනාසෙමින්ම ආහාර ගත්තේ මට ඕනෑ තරමක් කන්න යැයි ඉඟි කරමිනි.
යළි මුව කට fදාවාගෙන සුවඳ විලවුන් ද ඉසගෙන ක්‍රීම් ස්වලපයක් ද සිරුර පුරා ගල්වා ගත් මම නාන කාමරයෙන් පිටතට පැමිණියේ රොමාන්තික රාත්‍රිය ගැන බලාපොරොත්තු හිත පුරවා ගනිමිනි.
නෙලුක සයනය මත වැතිරී සිටියේ දෙඇස් ද වසාගෙනය.
“නෙලුක..”
අනෙක් පසින් සයනයට නැඟුණු මා ඔහුගේ ළය මත ඇඟිල්ලක් ගෙන ගියේ රහසින් කොඳුරමිනි. බොහෝ විට ඔහුට ‘අයියේ’ යැයි ඇමතූ මා නමින් කතා කළේ කලාතුරකිනි.
“ම්ම්ම්..”
යන්තමට ඇස් විවර කරමින් ඔහු මිමිණුවේය.
“නිදි ද..?”
ඔහුගේ ළය මත දෙතොල් තවරමින් මම ඇසුවෙමි.
“හ්ම්ම්..”
“අනේ…”
“ඇයි මැණිකේ.. නිදාගමු.. මහන්සියි හොඳටම..”
ඔහු මගේ හිස ළය මත සිර කර ගනිමින් කීවේය.
“දැන් නිදාගෙන හෙට උදේම ඔයාලගේ අම්මා ඇවිත් කෝ රතු පැල්ලමක් තියෙන සුදු රෙද්ද කියලා ඇහුවොත් මොකද කරන්නේ..?”
මම සිනාසෙමින් ඔහුගේ ළය සෙමෙන් සැපුවෙමි.
“නිදා නොගත්තා කියලත් රතු පැල්ලමක් තියෙන සුදු රෙද්දක් දෙන්න බෑනේ..”
ඔහුගේ සරදම් ස්වරය මට ගෙන ආවේ කෝපයකි. මම වේගයෙන් හිස එසවූයේ ඔහුගේ අත විසි වී යන්නටය.
“නෙලුක මේ, එහෙම රෙද්දක් අද දෙන්න බැරි තත්තවෙට පත් කළේ ඔයා මිසක් මම නෙමෙයිනේ.. එහෙම දෙයක් තිබ්බා කියන එක ඔයා මීට අවුරුදු තුනකට කලින් දැන ගත්තානේ..”
මම පුපුරා හැලුණෙමි.
“අයියෝ හරි ශෙනායා.. බොරුවට පුපුරන්නේ නැතුව නිදා ගන්න.. අපේ අම්මා හොයන් එන රෙද්දක් නෑ.. ඔයා ගැන මම දන්නවනේ.. ඒක ඇති.. දැන් දවස් දෙකක් නිදි නෑ මම.. ඇස් වැහෙනවා… කෝ කෝ එන්න..”
තරමක තදින් පැවසූ ඔහු බලෙන්ම යළි මා ළයට තුරුල් කර ගත්තෙන් දිගු හුස්මක් හෙලුවේ කෝපය පාලනය කර ගන්නටය. සිහින මැවූ රෝමාන්තික රාත්‍රිය එතකින්ම නිමා විය.

යළි හමුවෙමු.

1 thought on “මටත් කවියක් ලියන්න – 01”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart