සිත් අහසට නුඹ ඇවිදින් – 9 කොටස


“සිතූ මොකද ගෙදර තත්වෙ….” සවස දුරකතන ඇමතුමක් ලැබුණේ මනුලගෙනි.
“එයාල එන්ගේජ්මන්ට් එකට ලෑස්ති වෙනව මනූ….” මා පැවසුවේ කාමරයෙන් පිටතට නෑසෙන තරම් පහත් හඬිනි.
“මොකක්…. එතකොට ඔයා අර යකාව කසාද බඳිනවද….? ඇයි ඌ ගැන ගෙදරට නොකියන්නේ….”


“මං ඔයාට කිව්වනෙ මනූ…. අප්පච්චිට අපි දෙන්නගෙ ෆොටෝස් වගයක් ලැබිලා…. එයාල හිතන් ඉන්නෙ අපි අතර එෆෙයාර් එකක් තියෙනව කියලා…. ඒ නිසා ශෙනුල් ගැන මොනව කිව්වත් දැන් එයාල හිතන්නෙ මං මේ කසාදෙ නවත්තන්න කියන දේවල් කියලා….”
“හරි…. අපි අතර එෆෙයාර් එකක් තිබුණමයි කියමුකො…. එහෙනම් එයාල කරන්න ඕනෙ ඔයා යාළු වෙලා ඉන්න කෙනා ඔයාට ගැළපෙනවද කියල හොයල බලන එක මිසක් එයාලට ඕනෙ කෙනා බඳින්න කියල බල කරන එක නෙවෙයිනෙ… අඩුම තරමෙ ඔයාට ඔයා කැමති කෙනෙකුට ආදරේ කරන්නත් අයිතියක් නැද්ද….?”
“අපේ අප්පච්චි ඔයා කියන විදියට හිතන කෙනෙක් නෙවෙයි මනූ….”
“එහෙමයි කියල අර යකාට බලෙන්ම බන්දල දෙනකම් ද බලාගෙන ඉන්නේ….?”
“මාව බලෙන් කසාද බැඳගත්තට එයාට ඕනෙ විදියට නම් මාව තියාගන්න ලැබෙන්නෙ නෑ….”
“බැන්දට පස්සෙ මොනව කළත් වැඩක් තියෙනවද සිතූ…. මම නම් කියන්නෙ ඔයා ඕක මගෑරලා ටික දවසකට කොහෙ හරි ඈතකට යන්න….”
“ඒත් මනුල කොහෙද….?”
“ඔයා කැමති නම් කියන්නකො…. මම තැනක් හොයල දෙන්නම්….”
“ඒක ඔයා කියන තරම් ලේසි නෑ මනූ…. මම හෙට කොහොමත් ඔෆිස් එනවා…. ඊට පස්සෙ අපි කතා කරමුකො…. මෙහෙ ඉඳන් ඕව කතා කරන්න බෑ….”
“හරි පරිස්සමින් ඉන්න…. මම තියන්නම් එහෙනම්….” කී ඔහු ඇමතුම විසන්ධි කරනු ඇසුණේ සුසුමක් ද හෙළමිනි.
මා පසුදින අලුයමම පිබිදී සූදානම් වූයේතරමක් ප්‍රමාද වී හෝ කාර්යාලයට යාමේ අරමුණිනි. මා සූදානම් වෙමින් සිටියදී ඇසුණේ නිවසට වාහනයක් පැමිණි හඬය.
“කවුද අක්කි ඒ උදෙන්ම….” ඒ වන විටත් අවදිව නොසිටි නැගණිය ඇසුවේ ඇස් ද පොඩි කරමිනි.
“අනේ මන්දා අප්පච්චි මීට් වෙන්න ආව කවුරු හරි වෙන්න ඇති…. වෙන කවුරු එන්නද මේ වෙලාවේ….”
“ආ පුතානෙ මේ…. මොකද පුතා මෙච්චර පාන්දරින්….” ඇසුණේ අප්පච්චිගේ හඬය.
“අද සිතුලි කොළඹ යනව කිව්වනෙ අංකල්…. මමත් යන එකේ එයා බොරුවට බස් එකේ යන්න ඕනෙ නෑනෙ…. මාත් එක්කම යන්න පුළුවන් නිසයි මම මේ ආවේ….” ඇසුණේ ඔහුගේ හඬය.
“මේ යකාට පිස්සුද මන්දා….” කියමින්ම මා නැගනිය දෙස බලද්දී ඇය ද සිටියේ පුදුමයෙන් මෙන් මදෙස බලාගෙනය.
“අක්කි මේ තමුසෙ අපිට බොරුව කළාට උදේ යන වෙලාවත් කිව්ව නේද අයියට…. මොකද ඊයෙ ෂොපිං ගියාට පස්සෙ හිත වෙනස් වුණාද….” නැගනිය ඇසුවේ ඇඳෙන් බැස මා අසලටම පැමිණෙමිනි.
“පිස්සුද හලෝ…. මම ඒ මනුස්සය එක්ක කතා කළේවත් නැති තරම් ඊයේ….”
“අනේ මන්දා අක්කි…. ඒ කියන්නෙ අපේ මස්සිනාකාරයට දිවැස්වත් තියෙනවද….?”
“අර ලොකු ළමයට ඉක්මනින් ලෑස්ති වෙන්න කියන්න…. මේ දරුවට රස්තියාදු වෙවී ඉන්න බෑනෙ…. එයා ලෑස්ති වෙනකම් මේ ළමයටත් තේ එකක් හදන්න….” අප්පච්චි කියනු ඇසිණි.
“ෂිට්…. දැන් මම පැය ගාණක් මේ යකා එක්ක යන්න එපැයි….” මා කීවේ අතට ගෙන තිබූ කොණ්ඩ කටුව ද පොළවේ ගසමිනි.
“දැන් යන්න බෑ කියන්න බෑනෙ ඉතින්…. පරිස්සමින් යන්න….” නැගනිය කීවේ එය අහුලා මා අත තබමිනි.
“ලොකූ අන්න අර දරුව ඇවිත් ඔයාව එක්ක යන්න කියලා…. මේ තේ එක බීල ලෑස්ති වෙන්න…. මම දෙන්නටම මගදි කන්න සැන්විච් හැදුවා…. ඔයාගෙ දවල් කෑම එකත් හරි….” අම්මා කාමරයට පැමිණියේ නැගනියගේ සහ මගේ තේ කෝප්ප දෙකද රැගෙනය.
“කවුද අම්ම අරයට එන්න කිව්වේ….”
“ඇයි ලොකූ ඔයා නෙවෙයිද….?”
“පිස්සුද අනේ…. මම කිව්වෙ නෑ….”
“හරි ඉතින් කොහොම හරි ඒ ළමය ආව එක හොඳයිනෙ ලොකූ…. නැත්නම් ඔයා මේ උදේ පාන්දර තනියම බස්වල යන්න එපැයි….”
“අපෝ මේ මනුස්සට එක්ක යනවට වඩා එහෙම යන එක හොඳයි….”
“එහෙම කියන්න එපා ලොකූ…. බලන්න ඒ ළමය දැන්ම ඉඳන් ඔයා ගැන කොච්චර හිතනවද….?” අම්මා කීවේ මගේ කම්මුලක් මත අතක් තබමිනි.


කරන්නට දෙයක් නැතිම තැන මම සූදානම් වී හිත හදාගෙන ඔහු සමඟින් මෝටර් රථයට ගොඩවීමි.
“අද මම ඔයාව එක්ක යන්න එනව කියල දැනගෙන ද රෙඩි වුණේ….?” ඔහු ඇසුවේ මම මෝටර් රථයේ අසුන්ගෙන දොර වසාගනිද්දීමය.
“නෑ…. ඇයි….?”
“දැන් එතකොට ඕකත් ඇඳගෙන ද බස් එකේ යන්න ලෑස්ති වුණේ….”
“ඇයි මේක ඇඳන් බස් එකේ යන්න බැරිද….?” මා ඇසුවේ ඔහු කියන්නේ කුමක්දැයි සිතාගත නොහැකිවය.
“ඔහොම බස් එකේ යන්න මොළේ අමාරුවක් එහෙම තියෙනවද…. පේනවනෙ ගවුම දිග වුණාට කකුල එළියේ….”
ඔහු කීවේ මා ඇඳ සිටි දෙපතුල දක්වාම දිගු දම් පැහැ ගවුම දෙස බලා අනතුරුව මා දෙසට රැවුමක් ද පා කරමිනි.
දිගු ෆ්ලෙයාර්ඩ් සායක් වූවත් එය පසෙකින් දණහිසින් මදක් ඉහළ දක්වා විවෘත කර තිබිණි. මම ඉන් නිරාවරණය වී තිබූ පාදය ආවරණය වන පරිදි ගවුම සකසාගෙන කවුළුවෙන් ඉවත බලාගතිමි.
“දැන් බොරුවට වහගත්තට වැඩක් නෑ….”
“අනේ මේ මාව ඉස්සරහින් බස්සල යනවද….? මම බස් එකේ එන්නම්….”
“එහෙම මගින් දාල යන පුරුද්දක් මගේ නෑ සිතූ…. ඔයාව එක්කරගෙන ආව නම් පරිස්සමින් ඔෆිස් එකට දාන එක මගේ වගකීමක්…. අනික මම ඔයාව පරිස්සමින් එක්කරගෙන යන්න අංකල්ටයි ආන්ටිටයි පොරොන්දු වුණා….”
“හරියට පොරොන්දු රකින කෙනා වගේ කතා කරන්නේ…. මගින් දාල යන්න දන්නෙම නැති කෙනානෙ ඔයා….” මා සමච්චලය මුසු හඬින් කියද්දී ඔහු මදෙස බැලුවේ මෝටර් රථයේ වේගයද තරමක් අඩු කරමිනි.
“ඇයි දැන් මම ඔයාට දුන්න පොරොන්දුවක් කඩල තියෙනවද….?”
“මට නම් ඔයාගෙ පොරොන්දු වැඩක්ම නෑ මිස්ටර් ශෙනුල්…. ඒත් ඔයා අර අහිංසක කෙල්ලට දුන්න පොරොන්දු කැඩුවා කියල වගේම ඒ කෙල්ලව මගින් අතෑරලා ගියා කියලා මට මතකයි….” මා කියද්දී ඔහු එක්වරම කාරයේ වේගය වැඩි කළේ එය ගැස්සී මා ඉදිරියට විසි වෙද්දීය.
ආසන පටිය පැළඳ නොසිටියේ නම් මා මෝටර් රථයේ ඉදිරිපස වීදුරුවද කඩාගෙන පාරට වැටෙනු නොඅනුමානය.
“ඇත්ත කියද්දි නම් හරියට කේන්ති යනවා නේද….?” සිතට දැනුණු තිගැස්ම යටපත් කරගනිමින් මා කීවද ඔහු මෝටර් රථය පැදවූයේ මා කී දෑ නෑසුණාක් මෙනි.
“මේ මට දැන්ම මැරෙන්න ඕනෙකමක් නෑ මිස්ටර් ශෙනුල්…. ඒ නිසා ටිකක් හිමින් යමුද….?” ප්‍රපාතයන් අසලදීත් ඔහු වේගයෙන් වාහනය පදවද්දී බියක් දැනුණු නිසාම මා කීවද ඔහු ඊට ද ප්‍රතිචාරයක් දැක්වූයේ නැත.
එසේ වුවත් ඉන්පසු අවදානම් සහිත ස්ථානවලදී තරමක් වේගය අඩු කරමින් ඔහු මෝටර් රථය ධාවනය කළ නිසා සිතට දැනුණේ යම් සැනසීමකි.
“මොනව හරි කනවද….?” වේගයෙන් ඉදිරියට ඇදී යන රියෙහි වේගය බාල කරමින් ඔහු ඇසුවේ නිහඬතාව මැද පැයක පමණ කාලයක් ගෙවී ගිය පසුවය. ඒ වන විට අප සිටියේ ගමනින් බොහෝ දුරක් අවසන් කරමිනි.
“අම්ම මට කෑම එකක් දුන්නා…. ඔයාට ඕනෙ නම් මොනව හරි කාල එන්න….” මා කියද්දී ඔහු මදෙස බැලුවේ පුදුමයෙන් මෙනි.
“අම්ම කිව්වෙ දෙන්නටම කෑම තියෙනවා කියලනෙ….”
“අහ් ඇත්තද…. මට නම් එහෙම කිව්වෙ නෑ…. මේකෙ තියෙන්නෙ මගෙ කෑම එක විතරයි….”
“පොඩි කාලෙ වගේම තාමත් කෑමට පෙරේතයි නේද….? තනියම බදාගෙන කන්නම තමයි බලන්නේ….”
ඔහු වරක් මා දෙස බලා මෝටර් රථයේ වේගය යළිත් වැඩි කර ඉදිරියටම ගෙන ගියේ හිනැහෙමිනි. ඔහුගේ වේගවත් ගමන නිසාම කාර්යාලයීය වේලාවට පෙර ඒ ආසන්නයට පැමිණීමට ද අපට හැකිව තිබිණි.
“මම ඉස්සරහින් බහිනවා….” කාර්යාලය පෙනෙන මානයේ දී මා කීවේ බස් නැවතුම්පලේ සිට ඉදිරියට ඇවිද යන මනුලව ද දුටු බැවිනි.
“ඇයි ඔෆිස් එකට තව දුර තියෙනවනේ…. මං එතනින්ම දාන්නම්….”
“ඒ වුණාට මම මෙතනින් බහිනවා…. නවත්තන්න….”
“ඇයි මං ගිහින් දැම්මාම මොකද වෙන්නේ….?”
“අර මනුලත් යනවා…. මම මේ ටික එයා එක්ක යන්නම්….”“අහ් ඒක තමයි මේ….”
“ඔව් ඒක තමයි…. මාව මෙතනින් දාන්න….” මා කියද්දී ඔහු මදෙස බැලුවේ දැඩි කෝපයෙන් මෙනි.
“තමුසෙගෙ ඔෆිස් එක පේන දුර නිසයි මම මේ ඉවසන්නෙ කියල මතක තියාගන්නවා….”
“ඇයි නැත්නම් මොනව කරන්නද….? වන්දනා ඔයාට බයේ ඉන්න ඇති…. ඒත් මම ඔයාට බය නෑ හරිද….?”
ඔහු කාරය නවැත්වූයේ ශබ්දය ඇසෙන සේ තිරිංගද පාගමිනි.
“ඩෝ එක අන්ලොක් කරන්න….”
මා එසේ කියද්දී ඔහු නිහඬවම දොරෙහි අගුල ඉවත් කළේ සුක්කානමට තදින් පහරක් ගසමිනි.
එසැනින්ම ඉන් බැසගත් මා මනුල අසලට දිවගොස් ඔහුගේ අතෙහි එල්ලුනේ ශෙනුල් එය දකිනා බව දැන දැනමය.

10 වන කොටසින් හමුවෙමු. 

1 thought on “සිත් අහසට නුඹ ඇවිදින් – 9 කොටස”

  1. Hello,

    Happy New Year ,

    I am the Auditing Director in the Bank of Ghana which is the Apex Bank of Ghana; I direct the auditing of accounting and financial data of various departments within the Bank of Ghana. During the Bank independent examination of financial information, I found out about this dormant account containing a contract balance fund $8.9 Million Dollars, The funds $8.9 Million dollars belongs to Late American Contractor Late Timothy Truax , he executed LNG pipeline contract for Ghana Petroleum commission , i will Tell you how the funds will be transferred to your bank account legitimately immediately i receive your response indicating your readiness to receive the funds and i want 50% of the funds after it is transferred to your bank account nominated by you.
    Reply to private email address : [email protected]

    Warm Regards
    James Osei

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart