ලේඛකයින් අපහසුවට පත්කරන අනවසර PDF

  නිර්මාණ සොරකම අද ඊයේ සිදුවන්නක් නොව දිගු කාලයක් පුරාවට සිදු වන්නකි. ඒ වෙනුවෙන් නිසිලෙස නීති ක්‍රියාත්මක නොවීම නිසා සොරකම් කරන්නන් කිසිදු බාධාවකින්, බියකින් තොරව නිර්මාණ සොරකමෙහි නිරත වෙති.  
     ලේඛකයින්ගේ හෝ ප්‍රකාශකයින්ගේ අවසරයකින් තොරව පොත් පීඩිඑෆ් කොට වෙබ් අඩවි, සමාජ මාධ්‍ය ජාලා හරහා බෙදා හැරීම වර්තමානයේ බරපතල අන්දමින් සිදු වේ. විශේෂයෙන්ම ඔවුන් මෙම කටයුත්ත සිදු කරන්නේ ‘කර්තෘගේ ලිඛිත අනුමැතියකින් තොවර මෙම ග්‍රන්ථය සම්පූර්ණයෙන්ම හෝ එහි කොටස් උපුටා ගැනීම, ලිඛිත, මුද්‍රිත, ඉලෙක්ට්‍රොනික හෝ විද්‍යුත් යන කවර හෝ මාධ්‍යයකින් පිටපත් කිරීම, පළ කිරීම, විකශය කිරීම හා ව්‍යාජ ලෙස සැකසූ පිටපත් අලෙවිය සපුරා තහනම්’ යනුවෙන් බොහොමයක් ග්‍රන්ථයන්ගේ පැහැදිලිව සටහන් කර තිබියදීමය. මෙය අමු අමුවේ ලේඛකයාගේ බුද්ධිමය දේපළ කොල්ලකෑමකි. 
      දිගින් දිගටම සිදුවෙන මෙම අගතියට විරෝධය පළ කරමින් මේ වන විට ලේඛක ලේඛිකාවන් හා ප්‍රකාශකයින් සේම පාඨකයින් ද ‘යළි නොලියමි’ යටතේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිය විරෝධය පළ කරමින් සිටිති. 
      පොත් පීඩිඑෆ් කිරීම, ආත්ම තෘප්තියට ලියන අයටත් වඩා ලිවීම ජීවිකාව කර ගත්ත අයට විශාල බලපෑමක් සිදු කරන බවත්        මෙමඟින් කතුවරුන්ගේ සිට, ප්‍රකාශකයින්, මුද්‍රණකරුවන්, පොත් වෙළෙන්දන් ඇතුළු සියලු දෙනාටම විශාල ගැටලුවක් ඇති වන බව     මියුසස් ප්‍රකාශන ආයතනයේ විධායක අධ්‍යක්ෂ කවීෂ නඳුන් කග්ගොඩආරච්චි මහතා පැවසීය. 
     “ලංකාවේ ජනගහණයෙන් සිංහල පොත් කියවන ප්‍රජාව ඉන්නේ සියයට දහයකටත් අඩු සංඛ්‍යාවක්. බොහෝ විට අපි ප්‍රකාශනය කරන්නේ පොත් 1000ක් 2000ක් වගේ. අපිට පොත් 3000ක් අලෙවි කරන්න අඩුම ගාණේ අවුරුදු 5ක්වත් යනවා.. එහෙම තත්ත්වෙක පොත ඇවිත් සති දෙකක වගේ කාලේකදී පොත් පීඩීඑෆ් කරලා දැම්මම කී දෙනෙකුට ප්‍රශ්න ඇති වෙනවා ද? ආත්ම තෘප්තිය වෙනුවෙන් පොත් ලියන අයටත් වඩා ලිවීම ජීවිකාව කර ගත්ත අයට මේ දෙයින් සිද්ද වෙන බලපෑම වැඩියි. කතුවරුන්ට විතරක් නෙමෙයි, මුද්‍රණ ක්ෂේත්‍රයේ අයට, ප්‍රකාශකයින්ට, පොත් කඩවල්වල අයට හැමෝටම ප්‍රශ්න ඇති වෙනවා.  
      පොත් කියන්නේ එක පුද්ගලයෙක්වත්, එක ආයතනයක්වත් නෙමෙයි.. ඒක චේන් එකක්.. හැමෝම එකිනෙකාට සම්බන්ධයි.. පිටරටවල්වල පොත් පීඩිඑෆ් කරනවා.. ඒත් එයාලගේ පොත් අලෙවියේ අඩුවක් නෑ. පොත් මිලියන ගණන්වලින් අලෙවි කරන්නේ.. ලංකාව වගේ රටක සිංහල භාෂාවෙන් ලියන අයට මේ පොත් හොරකම ලොකු පහරක්. ලොකුම ගැටලුව තමයි හොරකම කරනවා විතරක් නෙමෙයි ව්‍යාජ ගිණුම්වලින් ඇවිල්ලා එරෙහි වෙන අයට තර්ජනයත් කරනවා..” 
       ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ පනතට අනුව යම් නිර්මාණයක් සඳහා ප්‍රකාශන අයිතිය නිර්මාණකරුවාගේ මුළු ජීවිත කාලය සඳහාම තහවුරු වන අතර ඔහුගේ හෝ ඇයගේ මරණින් පසුව ද වසර 70ක කාලයක් දක්වා එම අයිතිය ඔහු/ඇය වෙත හිමි වේ. මෙම හිමිකම් කාලය අවසන් වීමත් සමඟම, අදාළ නිර්මාණය මහජනයා හට නොමිලේ භාවිතා කිරීමට හා ප්‍රතිනිෂ්පාදනය කිරීමට හැකියාව ලැබුණද, මුල් කාර්යයේ කතෘත්වයත්, ප්‍රසංශනීයත්වයත් සදාකලිකව හිමිවනුයේ එහි නිර්මාණකරුවාටය. ඔවුන්ගේ රචනා හෝ එහි ඇතුළත් අදහස් වෙන් පුද්ගලයෙකු විසින් අනවසරයෙන් උපුටා දැක්වීම හෝ සොරාගැනීම ඔවුන්ගේ හිමිකම් උල්ලංඝණය වීමයි. ප්‍රකාශන අයිතීන්වලට පොතපතෙහි ලියා ඇති කරුණු මෙන්ම, පොත් කවරයේ සහ එහි පිටුමත කළ චිත්‍ර ඡායාරූප ආදී කලාත්මක වැඩ සියල්ල අයත් වේ. 
  මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ ජනප්‍රිය ලේඛිකා චන්දි කොඩිකාර මහත්මිය සදහන් කළේ පොත් හොරකම මේ වන විට පිළිලයක් මෙන් පැතිරී ගොස් ඇති බවයි. බොහොමයක් පාඨකයින් මේවා අනවසරයෙන් පළ කරන බවට දැනුවත්ව නැති බවත් පීඩිඑෆ් තිබෙන බව දුටුවිට ඔවුන් ඒවා භාගත කර ගන්නා බවත් ය. සමාජ මාධ්‍යයන්ගේ ඇරඹි රැල්ල පාඨකයින් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ද උපකාරී වෙනු ඇතැයි ඇය පැවසුවාය. 

තොරතුරු අන්තර්ජාලය ඇසුරිනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart