දින කිහිපයක් ගෙවී ගියේ කිසිඳු වෙනසකින් තොරවය. නිවසේ දී පියා ද මා හෝ ශෙනාල් ගැන අලුතින් කිසිවක් කතා නොකළ බව පැවසුවේ නැගනියය. නැන්දණිය නිවසට පැමිණ පියා සමඟ කතාබහ කර ගොස් තිබූ නමුත් ඒ මොනවා සම්බන්ධයෙන් ඇය දැන සිටියේ නැත.
![](https://pawanacreations.com/wp-content/uploads/2023/01/1760fedc28aa075635f653b4036c372a-819x1024.jpg)
එදින ද උදෑසනම අවදි වී කහ පැහැති බ්ලවුසයකින් හා කළු පැහැ කලිසමකින් සැරසුණු මම සුපුරුදු පරිදි කාර්යාලයට ගියෙමි.
“අහ් ගුඩ් මෝර්නින් කහ කිරිල්ලී….” සුපුරුදු සුබ පැතුම මනුලගෙනි.
“ගුඩ් මෝර්නින් මනූ….”
“මේ ඒක නෙවෙයි සිතූ…. මං අහන්නමයි හිටියෙ දවස් ගාණක ඉඳන් ඔයා ටිකක් අමුතුයි…. හරියට නිකම් මොකකට හරි බයවෙලා වගේ ඉන්නේ…. ප්‍රශ්නයක් ද….?”
“අනේ නෑ මනූ…. මේ ටිකේම උදේට ඔලුව රිදෙනවා…. අවුව සැර නිසා වෙන්න ඇති….”
“ඒත් ඉතින් ඕක දිගටම තියෙනවා නම් බෙහෙත් ටිකක් ගමු…. ඕනෙ නම් කියන්න මම හවසට එන්නම් හන්දියේ ඩොක්ටර් ළඟට යන්න….”
“බලමු මනූ….”
![](https://pawanacreations.com/wp-content/uploads/2023/01/61k6MSdHqL._UL1100_-1024x1024.jpg)
කාර්යාලයීය කටයුතු අතර දිනය ගෙවී යද්දී මනුල පැමිණ කිහිප වරක්ම මගේ අසනීප තත්වය ගැන විමසූ අතර, දිවා ආහාරයෙන් පසු පැරසිටමෝල් පෙති දෙකක් ද මා අත තැබීය. මා ඔහු දුන් සැනින්ම එය ගිල දැමුවේ ගතෙහි මෙන්ම සිතෙහි ද වූ වේදනාව නිසාවෙන්මය.
“ඒයි මේ උඹට ගොඩක් අමාරුයිද….?”
“එච්චර නෑ මනූ ඇයි….?”
“නෑ මොකක් හරි අසනීපෙකට පැනඩෝල් දෙකක් බොන්න කිව්වත් කට අප්පිරිය කරල මගාරින ගෑනි අද දුන්න ගමන් බීල දැම්ම නිසා ඇහුවේ….”
“උඹ ඉතින් මෙච්චර ආදරෙන් අතටම ගෙනත් දුන්න එකනෙ…. ඒ නිසා ඔන්න ඔහේ බීල දැම්මා….”
“අම්මෝ දවස් දෙක තුනකට පස්සෙ යන්තම් පුරුදු චරිතෙට එන්ටර් වෙලා…. ඔය වගේ සැහැල්ලුවෙන් ඉඳපං බං…. උඹ අවුලෙන් ඉද්දි මටත් පොඩ්ඩක් අවුස්සල හිනාවෙන්නවත් එකෙක් නෑනෙ….” කී මනුල මා අසලින් ඉවතට ගියේ මගේ හිසට තට්ටුවක් ද දමමිනි.
සවස කාර්යාලය අවසන් වී ආපසු නවාතැන වෙත යාමට පිටත්වෙද්දී මනුල ද මා සමඟ එකපෙලට වැටිණි.
“පයින් යන්න අමාරු නම් මේ ටික ත්රීවිලර් එකක යමු….” මනුල කීවේ බස් නැවතුම්පල දක්වා අප ගමන් කළ යුතු කෙටි දුර සම්බන්ධයෙනි.
“අනේ එහෙම අමාරුවක් නෑ මනූ…. පයින්ම යමු චැට් එකක් දාගෙන….”
“අමාරුනම් කියපං හොඳේ….”
“නෑ බං…. ෂේප්….”
“මට පේන විදියට උඹට තියෙන්නෙ හිතේ අමාරුවක්ද කොහෙද…. ගමේ ගිහින් ආවට පස්සෙ තමයි වෙනස් වුණේ….” ඔහු කීවේ විමසිලිමත් බැල්මක් හෙළමිනි.
“ගෙදර ගියාම ඉතින් කොහොමත් අවුල්…. එයාලගෙ නීති මට සෙට්වෙන්නෙ නෑ…. ඒක ඔයා දන්නවනේ….” සැහැල්ලුවෙන් කී මා ඔහු සමඟ තවත් අඩි කිහිපයක් ඉදිරියට යද්දී වේගයෙන් ආ රථයක් නැවැත්වූයේ අප පසුකර මදක් ඉදිරියට ද යමිනි.
එහි රියදුරු අසුනේ සිට පිටතට ආ තරුණයකු මෝටර් රථය ඉදිරිපිටින් පැමිණ සිටගත්තේ අප ඉදිරියෙනි.
“හලෝ බෝනික්කි…. කොහෙද මේ ඔෆිස් ඇරිල යන ගමන්ද….? යමු මම ඔයාව ඩ්‍රොප් කරන්නම්….” මා තිගැස්සෙමින් හිස ඔසවා බැලුවේ ඒ හඬටය.
![](https://pawanacreations.com/wp-content/uploads/2023/01/Feroze-Khan-Tweet-about-Kashmir.jpg)
“අහ් මිස්ටර් ශෙනුල්…. තාමත් මොකද මේ අපි වටේ කැරකෙන්නේ…. ඔයාගෙ බෝනික්කි දැන් මෙහෙ නෑනෙ….” මනුල ඔහු ඉදිරියෙන් සිටගත්තේ අතින් ඇද මා ඔහුගේ පසුපසට කර ගනිමිනි.
“මචං මේ…. උඹත් එක්ක නම් මට කතාවක් නැහැ…. මම ආවෙ සිතූව මීට් වෙන්න….”
“ඇයි ඔයා මොකටද සිතූ මීට් වෙන්නේ….? වන්දනා ගැන විස්තරයක් අහන්න ආව නම් කියන්න තියෙන්නෙ අපි වන්දනා ගැන මොනවත් දන්නෙත් නෑ…. දැනගත්තත් කියන්නෙත් නෑ කියල විතරයි….” මනුල කීවේ කෝපය මුසු හඬකිනි.
“මට වන්දනා වැඩක් නෑ…. මම ආවෙ මගේ ෆියුචර් වයිෆ්ව මීට් වෙන්න….” ශෙනුල් ද පැවසුවේ මනුලට අභියෝග කරන්නාක් මෙනි.
“තමුසෙගෙ ෆියුචර් වයිෆ් දැන් කොහෙද හලෝ මෙහෙ…. ඇයි මතක නැද්ද ඒකිව එපා කියල තමුසෙ අත්ඇරියට පස්සෙ ඒ කෙල්ල රස්සාවෙනුත් අයින්වෙලා මෙහෙන් ගියා….” මනුල කියද්දී ශෙනුල් මනුල පිටුපස සිටි මාගේ අතකින් අල්ලා ඉදිරියට ඇද ගත්තේ මට සිතාගැනීමටවත් නොහැකි තරම් වේගයකිනි.
“තමුසෙ කියන කෙල්ලෙක් ගැන නෙවෙයි මම කිව්වේ…. මම කිව්වෙ මගේ සිතූ ගැන…. මෙයා තමයි කවදහරි මගෙ වයිෆ් වෙන්නේ….” ඔහු කීවේ මගේ උරහිස වටා අතක් ද යවමිනි.
“අනේ මනූ….” මම ක්ෂණිකව ඔහුගෙන් ඉවත්ව මනුලගේ දකුණතෙහි එල්ලෙද්දී ශෙනුල් මා දෙස බලා සිටියේ ගිනි පිටවෙන දෑසිනි.
“දැන් තමුන් මුගෙ අතේ එල්ලෙන්නෙ මට පේන්නද….?”
“යන්නකො ශෙනුල්…. ඔයාට මනූ එක්ක ප්‍රශ්නයක් නෑනෙ….”
“ඇයි නැත්තෙ…. දැන් මූ මෙතන හැසිරෙන්නෙ තමුන්ගෙ අයිතිකාරය වගේනෙ…. මූද නැත්නම් මමද කියනවකෝ….” ශෙනුල් පවසද්දී මනුල ද පසුබසින බවක් පෙනුනේ නැත.
පාරේ ගමන් කරමින් සිටි පිරිස් ද නැවතෙමින් ඔවුන් දෙස බලද්දී මට දැනුනේ දැඩි අපහසුතාවයකි. කාර්යාලයේ කිසිවකු හෝ දුටුවහොත් හෙට සිට රැකියාවට යන්නට සිදුවන්නේ ද නැත.
“ශෙනුල් මේ…. මම ඔයාට තාම මගේ අයිතියක් දීල නෑනෙ…. ඒ නිසා ප්ලීස් දැන් මෙතනින් යන්න….”
“ඔයා නොදුන්නට ඔයාගෙ අප්පච්චි මට ඔයාගෙ අයිතිය මට දීල ඉවරයි මිස් සිතුලි…. අන්න ඒක මතක තියාගෙන මුගෙන් අයින්වෙලා පැත්තකට වෙලා හිටියොත් හොඳයි…. මොකද මම එදා මුලින්ම ඇහුවනෙ මූ එක්ක තියෙන්නෙ මොන වගේ සම්බන්ධයක් ද කියලා…. එදා තමුන්මයි කිව්වෙ මෙයා යාළුවෙක් විතරයි කියලා….” ශෙනුල් පැවසුවේ මනුල මෙන්ම මා වෙතට ද දබරැගිල්ල දිගු කරමිනි.
“මේ කෙල්ල කොල්ලො දෙන්නවම රවට්ටල ද කොහෙද….?” අවට සිටි පිරිස් මුමුණනු ඇසෙද්දී දැනුණේ දැඩි ලැජ්ජාවකි.
“අනේ ශෙනුල් දැන් යන්නකො ප්ලීස්…. අර මිනිස්සුත් බලනව අනේ….” කළ හැකි කිසිත් නොවූ තැන මා කීවේ ඔහු මෝටර් රථය දෙසට තල්ලු කරමිනි.
ඔහුට ද අවට සිටි පිරිස් සිහිපත් වන්නට ඇත්තේ එවෙලේ වන්නට ඇත. මදෙස වරක් රවා බැලූ ඔහු මෝටර් රථයට ගොඩවූයේ මනුල පුදුමයෙන් මා දෙස බලා සිටින විටදීය.
6 වන කොටසින් හමුවෙමු