සිත් අහසට නුඹ ඇවිදින් – 4 වන කොටස


කලකට පසු නිවසට ගියේ සති අන්තයම නිවසේ ගත කර සඳුදා උදෑසන කාර්යාලයට පැමිණීමේ අදහසින් වුවත් ඉරිදා උදෑසනින්ම මා යළි නවාතැන වෙත පැමිණියේ තවදුරටත් නිවසේ රැඳී සිටින්නට සිතක් නොවූ බැවිනි.
තාත්තාගේත්, නැන්දාගේත් මතය රජයන නිවසේ ඔවුන්ට එරෙහිවීමේ හැකියාවක් අම්මාට නැති බව දැන දැනම ශෙනුල් යනු කුමන ආකාරයේ අයකුදැයි ඇයට හෝ කීම පලක් නොවන බව දැන සිටි නිසාම ඇය මේ ගැන දැනගත යුතු නැතැයි ඒ වන විටත් මම තීරණය කර සිටියෙමි. ඒ නිසාම ඒ ගැන කිසිවකුට නොපවසන ලෙස නැගනියන් ද පොරොන්දු කරවා ගතිමි.
“දෙවියනේ සිතුලි දැන් උඹ කියන්නේ උඹට අරූව කසාද බඳින්න වෙනව කියලද….?” කවදත් මා සිතැඟි තේරුම් ගත් මිතුරිය මන්දිතා ඇසුවේ මා කී සියල්ල අසා සිට අවසානයේදීය.
අවැසි වූයේ සියල්ල මන්දිතාට කියා සිත නිදහස් කරගැනීමට පමණි. ඇය සතුවද මගේ ගැටලුවට විසඳුමක් නොමැති බව මම හොඳින් දැන සිටියෙමි.
මෙම නවාතැනේ මීට කාලයකට පෙර මා හා මන්දිතා සමඟ වන්දනා ද උන්නාය. වන්දනා හා මා එකම කාර්යාලයක සේවය කළ අතර මන්දිතා සේවය කළේ වෙනත් කාර්යාලයකය.
“ඒත් සිතූ මේකෙන් බේරෙන්න අපි මොකක් හරි කරන්න ඕනේ….” ඒ මන්දිතාය.
“මට නම් හිතාගන්නවත් බෑ මන්දි….”
“බලමුකෝ…. අපි කෝකටත් ඔය එයා සෝදිසියෙන් ඉමු…. මතකනෙ ඔය යකා වන්දනාව රවට්ටපු හැටි…. කවුද දන්නෙ තව ඒ වගේ කෙල්ලො කී දෙනෙක් රැවැට්ටුවද කියලා…. අන්තිමේ අපේ එකී පිස්සියෙක් වගේ අඬ අඬ දුක් විඳලා මෙහෙ ඉන්න බැරුව ජොබ් එකෙනුත් අයින්වෙලා ගියා විතරයි දැන් ඌ උඹටත් ප්‍රපෝසල් එකක් ගෙනත්….”
“ඔව් මන්දි….. ඇත්තටම වන්දනා පව්…. මට ශෙනුල් දැක්ක ගමන් වන්දනා මතක් වෙලා මාර කේන්තියක් ආවේ…. එවෙලෙම හැමෝම ඉස්සරහ එයා ගැන කියන්නත් හිතුණා…. ඒත් අම්මල ඉන්න තැන එහෙම කරන්න හිතුණෙ නෑ….”
මාගේ ජංගම දුරකතනය නාද දුන්නේ ද ඒ අතරතුරදීය. දුරකතන තිරයේ සටහන්ව තිබුණේ නාඳුනන අංකයකිනි. බොහෝ විට නාඳුනන අංකවලින් මාගේ පෞද්ගලික අංකයට ලැබෙන ඇමතුම් ප්‍රමාණය අඩුවිය. ඒ රාජකාරී කටයුතු සඳහා වන ඇමතුම් ලැබෙන්නේ ද කාර්යාලයෙන් ලබා දී තිබූ අංකයට වන බැවිනි.
ඒ නිසාම මෙම අංකයට ලැබෙන නාඳුනන ඇමතුම් හා බොහෝ විට මා සම්බන්ධ වූයේ නැත. දෙවරක්ම එම ඇමතුම පැමිණියත් දී ඒ හා සම්බන්ධ නොවීම දුරකතනය පසෙකින් තැබුවේ එබැවිනි.
දෙවන වරටත් ලැබුණු ඇමතුම ප්‍රතික්‍ෂේප කළ ද තෙවන වරත් දුරකතනට නාද දෙද්දී මා ඒ හා සම්බන්ධවීමි.
“පරිස්සමින් බෝඩිමට ආවද බලන්න ගත්තේ…. ගෙදරට කතා කළාම අප්පච්චි කිව්ව උදේම ගියා කියලා….”
“කවුද මේ….?” ඒ ශෙනුල් බව හඳුනාගත්තද ඒ බව නොඅඟවා සිටින්නට මා උත්සාහ කළෙමි.


“කවුද කියල ඇහුවට ඔයා මාව අඳුනගත්ත කියල මං දන්නව බෝනික්කි….” ඔහු හැඟුම්බර හඬින් කියද්දී ගතම හිරිවැටී ගියා යැයි නොකිව්වොත් එය බොරුවකි.
“වන්දනාවත් අල්ලගන්න ඇත්තෙ ඔය විදියට චාටුවෙන් කතා කරල වෙන්න ඇති නේද….?” මා පෙරලා  ඔහුගෙන් ඇසුවේ මන්දිතා ද තිගැස්සී මදෙස බලද්දීය.
“වන්දනා වන්දනා….” ඔහු මුමුණනු ඇසිණි.
“මේ බෝනික්කි…. දැන් ඔය වන්දනා ඔයාට මං ගැන මොනවද කියල තියෙන්නේ….” ඔහු ඇසුවේ කිසිත් නොදන්නා අයකු මෙනි.
“අනේ ඔයා බබා…. අන්තිමේ ඔයා නිසා ඒ කෙල්ල කර කර හිටිය රස්සාවත් දාල යන්න ගියා….”
“මං නිසා ජොබ් එක දාල ගියා….ඉතින් මම එයාට ජොබ් එක දාල යන්න කිව්වෙ නෑනෙ බෝනික්කි…. එයාට ජොබ් එක කරගෙන එයාගෙ පාඩුවෙ ඉන්න තිබුණා…. මට වාතයක් වෙන්නෙ නැතිව….”
“අහ් දැන් එතකොට ඔයාට මාස ගාණක් පස්සෙන් ගිහින් එයාව යාළු කරගන්න හොඳයි…. ඔයා ඒ ළමයට බොරුවක් කළේ කියල දැන දැනත් එයා ඔයාට ආදරේ කරපු එක වැරදියි…. ඔයා එපා කියද්දිත් කවදහරි ඔයා ආයෙමත් ආදරේ කරයි කියල එයා බලාගෙන හිටිය එක වැරදියි…. එහෙමද…. ඔයා අපේ අප්පච්චිව රවට්ටගෙන මාව කසාද බැන්දත් මං මගෙ යාළුවට කරපු දේට නම් ඔයාට සමාවක් දෙන්නෙ නෑ මිස්ටර් ශෙනුල්…. අන්න ඒක මතක කියාගන්න….” කී මම ඇමතුම විසන්ධි කර ඔහුගේ අංකය ද අවහිර කර දැමුවෙමි.
“කවුද සිතුලි ශෙනුල් ද ඒ….” ඇයට පිළිතුරු ලෙස හිස ඉහළ පහළ සෙලවූ මා කොට්ටයේ මුහුණ ඔබා ගත්තේ මනස දැඩි ලෙස ව්‍යාකූල වී තිබූ බැවිනි.


කුඩා කල සිට ඔහු ගැන වූයේ සොඳුරු මතකයකි. අයියාටත් වඩා මා සිතින් ඔහුට බැඳී සිටියේ අම්මා ඔහු හා මා අතර තිබූ බැඳීම පිළිබඳ නිතරම කියා තිබූ බැවිනි.
“ආපෝ ඔයා මගෙ නංගි නෙවෙයි…. ඔයා අර ඉස්සරහ ගෙදර හිටිය අයියගෙ නංගි…. මගෙ නංගි චූටි විතරයි….” එදවස අයියා මා හා රණ්ඩු වූ හැමවිටම කීවේ එසේය.
ඒ නිසාම මා අම්මාගෙන් නිතරම ඉස්සරහ ගෙදර අයියා ගැන විමසීම පුරුද්දක්නවී තිබිණි. අප දෙදෙනාගේ ඡායාරූප රැසක් තිබූ ඡායාරූප ඇල්බමය තිබුණේ ද මා අසලමය. අදද එය මගේ අල්මාරියේ සුරැකිව තිබේ. අම්මා පවසන ආකාරයට ඔහු හා මා වෙන්වන විට ඔහුගේ වයස අවුරුදු හයක් වූ අතර මා පසුව ඇත්තේ දෙහැවිරිදි වියෙහිය. අප දෙදෙනා සිටින සියලු ඡායාරූපවල ඔහු මා අසලටම වී සිටින්නේ මා ඔහුගේම නැගනියක මෙනි. ඒ සියල්ලේම එක්කෝ ඔහු මගේ අතින් අල්ලාගෙනය. නැතිනම් ඔසවාගෙනය. ඒ ඡායාරූප දකින සෑම අවස්ථාවකම මා ප්‍රාර්ථනා කළේ ඔහු දැකගන්නටය. ඔහු දැන් කෙබඳු අයෙක්දැයි සිතින් මවා ගන්නට ද මම නිතර වෙහෙස වී ඇත්තෙමි. ඔහු සම්බන්ධයෙන් සිත තුළ අමුතුම හැඟීමක් තිබුණේ නැතැයි කීවොත් එය බොරුවකි.
“ඔබ දැක ගැනීමේ අරමුණ දිවා රැයේ….” එක් ඡායාරූපයක් පිටුපස මා එසේ ලීවේ සාමාන්‍ය පෙළ පන්තියේ දී පමණය.
“එක සැරයක් දුටුවත් ඇති දෑස් නුඹේ….” ගීතයට මා පෙම්බැන්දේ ද ඔහු ගැන සිහින මවමිනි. අප්පච්චීත්, අයියාත් හැරුණු විට පිරිමියෙකු ගැන හැඟීමක් වූයේ නම් ඒ ඔහු පිළිබඳවය. අද ඔහු මා හමුවට පැමිණ ඇතත් සිතෙහි ඔහු පිළිබඳව වූ ප්‍රතිරූපය බිඳී ගොසිනි.
ඔහු කුඩා කල මා හට කොතෙක් ආදරය කරන්නට ඇත්දැයි නොදන්නා නමුත් ඔහු වන්දනා හා පෙමින් බැඳී සිට පසුව ඇය අත්හැර දමා තිබුණේ ඉතා අමානුෂික ලෙසිනි.
“අනේ මම එයා නැතුව ජීවත්වෙන්නෙ කොහොමද සිතූ…. ඇයි එයා මට එහෙම කළේ…. මං මොන තරම් එයාව විශ්වාස කළාද…. මං එයාට හැමදේම දුන්නා….” නොකා නොබී හඬා වැටුණු ඇය සැනසවීම මටත්, මන්දිතාටත් පහසුවූයේ නැත.
මට ශෙනුල් හා විවාහවීමට සිදුවුවහොත් වන්දනා මා ගැන කුමක් සිතනු ඇතිදැයි සිතීම පවා වේදනාවක් වෙද්දී මගේ හිස තදින් රිදුම් දෙමින් තිබිණි.
“සිතූ උඹව මේ කරදරෙන් බේරගන්න පුළුවන් එක්කෙනෙක් ඉන්නවා….” මන්දිතාගේ හඬ ඇසුණේ බොහෝ වේලාවක් ගෙවී ගිය පසුය. එසේ නම් මා ඇය ද සිතමින් සිට ඇත්තේ මා සම්බන්ධයෙනි.
“ඒ කවුද මන්දි….”
“වන්දනා…. වන්දනාට තමයි මේ වෙලාවෙ උඹට උදව් කරන්න පුළුවන්….”
“වන්දනා…. ඒත් ඒ කොහොමද….?”
“වන්දනා ලවා උඹලගෙ අම්මලට හරි, ශෙනුල්ගෙ අම්මලට හරි එයාලගෙ එෆෙයාර් එක ගැන කියවමු…. ඌගේ ඇත්ත එළියට දැම්මාම මේ කසාදෙ නවතියි… ශෙනුල්ගෙ අම්මල උඹ කියන තරම්ම හොඳ නම් වන්දනාට සාධාරණයක් වෙන්නත් පුළුවන්….”
“ඒ කොහොමද….?”
“ඇයි බං ශෙනුල්ගෙ අම්මලට පුළුවන්නේ මේකට මැදිහත්වෙලා වන්දනාවම ඌට බන්දලා දෙන්න….”
“මං හිතන්නෙ නෑ මන්දි එහෙම වෙයි කියලා… අනික මං කොහොමද මේ ගැන වන්දනාට කියන්නේ…. සමහර විට දැන් ඒකි හිත හදාගෙනත් ඇති…. එහෙම තියෙද්දි ආයෙමත් මං එයා එක්ක ශෙනුල් ගැන කතා කරන එක හරිද….?”
“මේ වෙලාවෙ උඹට කරන්න වෙන දෙයක් තියෙනවද….? ගිලෙන්න යන එකා පිදුරු ගහක හරි එල්ලෙන්න ඕනෙ….”
“වන්දනා” මා දුරකතනයේ එම නම පිරික්සූයේ කලකට පසුවය. ඇගේ අංකය තවමත් මගේ දුරකතනයේ සුරක්‍ෂිතව තිබිණි.
“මම යනව සිතූ…. මේ නම්බර් එක වෙනස් කරන්නෙ නෑ…. ඒත් මට ආයෙ ඔයාලවත් කෝල් කරන්න එපා…. එහෙම වුණොත් වෙන්නෙ ආයෙ ආයෙත් පරණ දේවල් මතක් වෙලා මගෙ හිත රිදෙන එක….” ඇය අපෙන් සමුගනිද්දී කළ අවසන් ඉල්ලීම එසේ වෙද්දී නැවත ඇයට ඇමතුමක් දෙන්නට සිතෙන්නේ නැත. ඇමතුමක් දුන්නත් ඇයට යළිත් ශෙනුල් ගැන කියා ඒ සිත පාරන්නේ කෙසේද….?” අතට ගත් දුරකතනය පසෙකින් තැබුවේ සුසුමක්ද හෙළමිනි.
“ඇයි සිතූ….”
“තව ටික දවසක් බලමු මන්දි…. මොනව වුණත් වන්දනාට කෝල් කරල ඒකිගෙ හිත ආයෙමත් පාරන්න හිතෙන්නෙ නෑ….”  
“ඔයාගෙ කැමැත්තක් සිතූ…. යමු දැන් කාල ඉමු…. නොකා නොබී ඉඳල ප්‍රශ්න විසඳන්න බෑනෙ…. අනික මේ ඔයා ගෙදරින් ගෙනාව බත් එක හරි සුවඳයිත් එක්ක…. මම මේ කෙල ගිල ගිල ඉන්නේ….”
මන්දිතා පවසන්නේ නිවසින් එද්දී අම්මා දුන් බත් පාර්සලය ගැනය.
ඇය කවදත් මා නැවත පැමිණෙද්දී බත් පාර්සලයක් මෙන්ම කල් තබාගෙන ආහාරයට ගත හැකි අච්චාරු, බටු මෝජු, බැදුම් ආදී ආහාර සහිත බෝතල් කිහිපයක් සකසා දෙන්නීය. සති අන්තයේ තිබූ විභාගයක් නිසා සති අන්තයේ නිවසට නොගිය මන්දිතා ද නවාතැනේ සිටින බව කී විට ඇය අප දෙදෙනා වෙනුවෙන් තරමක ලොකු බත් පාර්සලයක් මගේ බෑගයට දමා තිබිණි.
ආහාර ගැනීමේ දැඩි උවමනාවක් නොවුණත් මන්දිතාගේ පෙරැත්තය නිසාම මම නැගී සිටියෙමි.
මා නැගනියට දුරකතන ඇමතුමක් ගත්තේ දිවා ආහාරය ගැනීමෙන් අනතුරුව ලබාගත් කෙටි නින්දකින් ද පසුය.
“අප්පච්චි මොනවද කියන්නෙ චූටි….”
“කල් නොයව ඉක්මනට දිනයක් දාගෙන ඔයාලව බන්දල දෙන්න ඕනෙ කියල තමයි අප්පච්චි කියන්නේ….”
“ඇයි චූටි මේකට ඒ තරම් හදිස්සි….”
“නැන්ද තමයි අප්පච්චිව අවුස්සන්නේ…. ඔයා කොළඹදි කොල්ලෙක් එක්ක එහෙ මෙහෙ යන එක ශෙනාල් අයිය දැකලත් තියෙන නිසා ඉක්මනින් බන්දල දෙන්න කියලා එයා කියනවා….”
“ෂිට් මේ මනුස්සයගෙන් මට ගැලවීමක් නැති වෙයිද ඒ කියන්නේ…. ඇහැට දකින්නවත් අකමැති මනුස්සයෙක්ව කසාද බැඳලා මම ජීවත්වෙන්නෙ කොහොමද අප්පා….”
“මටත් හිතාගන්න බෑ අක්කේ…. ඔයත් එක්ක පොඩි කාලෙ එකටම හිටියයි කියන ඒ අයිය එනව කිව්වාම මමයි සඳුනි අක්කයිත් සතුටින් හිටියේ…. ඒත් දැන්….” ඇය කීවේ සුසුමක් හෙළමිනි

5 වන කොටසින් හමුවෙමු. 

1 thought on “සිත් අහසට නුඹ ඇවිදින් – 4 වන කොටස”

  1. Hello,

    You can only achieve financial freedom when you create multiple streams of income.
    I have an investment portfolio that will benefit both your company and ours. I hope it will be appealing to you. We provide funding through our venture capital company to both start-up and existing businesses looking for funding for expansion or to accelerate growth in their company.

    If you would like to discuss extensively, kindly email back for further discussion.

    I look forward to your quick reply.

    Sincerely,

    Tigran Ayrapetyan
    Email: [email protected]
    Investment Director
    Devcorp International E.C.
    P.O Box 10236 Shop No. 305
    Flr 3 Manama Centre, Bahrain

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart