සිත් අහසට නුඹ ඇවිදින් 30


මා මෝටර් රථය වෙත ගොස් එහි අසුන් ගෙන දොර වසාගත් සැණින් ශෙනුල් එය ඉදිරියට ගත්තේ වේගයෙනි.
“හෙමින් යමු….” මා කීවේ සිතට බියක් දැනෙද්දීය.
“නෑ නෑ…. පුළුවන් ඉක්මනට ගිහින් දාන්නම්…. මාත් එක්ක ඉන්න අකමැතියිනෙ ඒ තරම්….”
“කොහෙද මේ යන්නේ….” මා ඔහුගෙන් ඇසුවේ ඔහු ගමන් කරමින් සිටියේ යා යුතු මාර්ගයේ නොවන බැවිනි.
“කට වහගෙන ඉන්නවා….”
“බෑ කියන්න කොහෙද මේ යන්නේ….”
“යන්න ඕනෙ තැනට…. ඊට පස්සෙ ගෙදරට ගිහින් දාන්නම්….”
“මේ මේ අපේ බෝඩිමට යන පාරනෙ…..”
“ඔව් එහෙ තමයි යන්නේ….”
ඔහු කීවේ නවාතැන පිහිටි අතුරු මාර්ගය වෙත මෝටර් රථය හරවමිනි.
“බහින්න….” තවත් මොහොතකින් ඔහු පැවසුවේ ඒ ඉදිරිපිට මෝටර් රථය නවතමිනි.
මෝටර් රථයේ හඬ ඇසීදෝ මන්දිතා නවාතැනෙහි දොර විවර කරමින් අප දෙස බලා සිටියේ පුදුමයෙනි.
“අනේ මන්දි….” මෝටර් රථයෙන් බැස දිවගිය මා නැවතුණේ ඇය වැළඳ ගනිමිනි.


“මොකද සිතූ මේ….. ශෙනුල් අයියේ ඇයි මේ….” මන්දිතා මා වැළඳගනිමින් ඇසුවත් මා කළේ පිළිතුරක් නොදී හඬා වැටීම පමණි.
“අරකි ඉන්නවද මන්දි….?” අනතුරුව ඇසුණේ ශෙනුල්ගේ කෝපය පිරි හඬය.
“කවුද අයියේ….”
“අර වන්දනා කියන එකී….”
“මේ හිටිය අයියේ…. ඇයි මොකද වුණේ….?”
“මෙයාවත් එක්කගෙන යමුකො නංගි ඇතුළට….” මන්දිතා මා ද වත්තම් කරගනිමින් නවාතැන තුළට පා නැගුවේ ශෙනුල් ද අප පසුපසින් එද්දීය.
“වන්දනා….” අනතුරුව ඇය පවසනු ඇසිණි.
ඇය යළිත් “වන්දනා….” යි කියනු ඇසිණි.
“දැන් හිටියනේ අයියේ…. කෝ මෙයා….”
“කොහෙන් හරි පනින්න ඇති…. ජරා ගෑනි….”
“හරි හරි මොකද වුණේ කියන්නකෝ….”  මන්දිතා පැවසුවේ මා නවාතැන තුළට රැගෙන ගොස් ඇඳක් මත වාඩි කරවමිනි.
“බිස්නස් වැඩකට යාළුවෙක් මීට්වෙන්න වැල්ලවත්තෙ රෙස්ටොරන්ට් එකකට ගියා…. ගිහින් යාළුව එනකම් වාඩිවෙලා ඉද්දි එකපාරටම ඒ ගෑනි එතනට කඩාපාත් වුණා…. මම නැගිටින්න හදද්දි අතේ එල්ලිලා අඬන්න ගත්තා…. ටිකක් කතා කරන්න නැවතුණේ නැත්නම් එතන කෑ ගහනව කිය කිය පිස්සු නටපු නිසා මමත් වාඩිවෙලා කියන්න තියන දෙයක් ඉක්මනින් කියල යනව කිව්වා…. මොනව කිව්වද කියලවත් මට නම් මතක නෑ…. මෙන්න ටිකකින් මෙයයි මනුලයි එතන….” ශෙනුල් කියාගෙන යනු ඇසිණි.
“නෑ ඊට පස්සෙ මොකද වුණේ….?”
“මෙයත් එවෙලෙ ළඟට ඇවිත් වුණේ මොකක්ද කියල හොයල බලන්නෙ නැතුව කඩාගෙන බිඳගෙන ආපහු දුවගෙන ගියා…. දැන් මාත් එක්ක ඉන්න බෑ කියල ගෙදර යන්න ඕනෙලු….”
“අයියෝ සිතූ කලබල නොවී කතා කරල ප්‍රශ්න විසඳගත්ත නම් නේද හොඳ….?” ශෙනුල් කියවාගෙන යද්දී මන්දිතා ඇසුවේ ඉන්පසුවය.
“තව මොනව කතා කරල විසඳගන්නද මන්දි…. මං හිතුවා බැන්දට පස්සෙ පරණ දේවල් ඉවර ඇති කියලා…. ඒක එහෙම නෙවෙයි කියල ඇස්දෙකෙන්ම දැක්කට පස්සෙත් මෙයා කියන බොරු විශ්වාස කරන්න මට බෑ….”
“දැක්කනෙ මන්දි…. මෙයා නැට්ට පාගාගෙන බොරුවට දඟලනවා….”
“අනේ ශෙනුල් මේ…. වුණේ මොනවද කියල මට වඩා හොඳට දන්නෙ ඔයානෙ…. ඒ නිසා බොරුවට මට වැරදි කියන්න එපා….” මා කියද්දී මන්දිතා මගේ උරහිස මත අත තබමින් කීවේ සන්සුන් වන ලෙසටය.
“ශෙනුල් කියන කතාව පොඩ්ඩක් අහන්න සිතූ…. වන්දනා වරදක් නොකළ නම් ඇයි මගඇරල මෙතනින් පැනල ගියේ…. එයාට හැංගෙන්නෙ නැතුව කතා කරන්න තිබුණා…. ඔයාල එද්දිත් එයා මේක ඇතුලෙ හිටියා…. හෑන්ඩ් බෑග් එකත් අරන් ගිහින් තියෙන්නේ….” ඇය කීවේ සන්සුන්වය.
“ඒත් මන්දි….”
“යමු මං ගෙදර ඇරලවන්නම්….” ශෙනුල් පැවසුවේ මගේ අතින් ඇද නැගිටුවා ගනිමිනි.
“මම මෙහෙ ඉන්නවා….”
“මෙහෙ කිව්වෙ…..”
“මන්දි එක්ක ඉන්නම්….”
“පිස්සුද මනුස්සයෝ…. මොකක්ද මේ නටන විකාරේ…. දැන් අම්මලත් බයවෙලා ඇති….. මම කලබලේට ෆෝන් එකත් ගෙදර දාලා ඇවිත් තියෙන්නේ….” ඔහු කීවේ වමතේ මහපටැඟිල්ල සහ වෙදැඟිල්ලෙන් හිස දෙපස තෙරපා ගනිමිනි.
“ඔයා යන්න ඉතිං….”
මා කියද්දී ඔහු බැලුවේ මන්දිතා දෙසය.
“එයාව තියල යන්න ශෙනුල්…. මම බලාගන්නම්….”
ඔහු නවාතැනෙන් පිටව ගියේ මදෙස තවත් වේලාවක් බලා සිටීමෙන් අනතුරුවය.
“උඹත් වෙලාවකට මහ හිතුවක්කාරයි සිතූ…. උඹට ඇවිත් තියෙන්නෙ උඹේ අප්පච්චිගෙ ගතිද කොහෙද….?”
“මට දුකයි මන්දි….” ශෙනුල් ඉදිරිපිට ආයාසයෙන් සඟවාගෙන සිටි කඳුළු දෙනෙතින් ගලා හැලෙද්දී මම මිමිණුවෙමි.
“අයියෝ මෝඩියෙක් වගේ හැසිරිලා දැන් ඇයි බොරුවට අඬන්නේ….” සිත තවත් රිදුණේ මන්දිතා ද සියලු වැරදි මා මතම පටවද්දීය.
“ඔයත් බනින්නෙ මට ද මන්දි….”


“අපි කතාව දන්නෙ වන්දනාගෙ පැත්තෙන් විතරයි සිතූ…. ශෙනුල්ගෙ පැත්තෙන් කිසිම දෙයක් දන්නෙ නෑ…. එයයි උඹේ හස්බන්ඩ්…. ඒ නිසා එයාගෙ කතාව උඹට අහන්න තිබුණා….”
“ඒක අහල මට තවත් හිත රිද්දගන්න ඕනෙ නෑ මන්දි…. ඕක ඇහුවොත් වෙන්නෙ මගෙ හිත තවත් රිදෙන එක නෙවෙයිද….?”
“මොනව වෙන්නත් ඒ කතාව අහල බලපං…. දැන් ගිහින් වොෂ් එකක් දාල ඔය ඇඳුම මාරු කරගෙන ටිකක් රෙස්ට් එකේ ඉන්නකො…. මම බොන්න දෙයක් හදාගෙන එන්නම්….”
මා තවමත් සිටියේ කාර්යාලයට ගිය ඇඳුමින්ම බව සිහිවූයේ ද එවෙලේය. නාන කාමරයට ගොස් දිය නා සැහැල්ලු ඇඳුමක් ගත ලා ගත් මා ඇඳට වැටුණේ ඒ වන විටත් හිස තදින් රිදුම් දෙමින් තිබූ බැවිනි.
“නිදිද….?” මන්දිතාගේ හඬ ඇසුණේ හෝරා කිහිපයක්ම ගෙවී යාමෙන් අනතුරුවය.
“ නින්ද යන්නෙත් නෑ මන්දි….”
“මට තේරෙනවා…. පණ්ඩිතය වගේ ආවට ශෙනුල්ව මතක් වෙනව නේද දැන්….”
මා හිස වැනුවේ ඇය කියන්නේ ඇත්ත බව පැවසීමටය. ක්‍රියා විරහිත කර තිබූ ජංගම දුරකතය යළි ක්‍රියාත්මක කළේ හෝරාවකට පමණ පෙර දී වුවත් ශෙනුල් මෙතෙක් කිසිඳු ඇමතුමක් හෝ ගෙන තිබුණේ නැත. මනුල ඇමතුම් කිහිපයක් ගෙන ඇති බවට වූ පණිවුඩ හැර එහි වෙනත් කිසිවක් නොතිබිණි. මා යළිත් ජංගම දුරකතනය අතට ගෙන බලා එය පසෙකින් තැබුවේ සුසුමක් හෙළමිනි.
මන්දිතාගේ දුරකතනය නාද වූයේ ඒ අතරේය.

31 වන කොටසින් හමුවෙමු. 

2 thoughts on “සිත් අහසට නුඹ ඇවිදින් 30”

  1. After I originally left a comment I seem to have clicked the -Notify me when new comments are added- checkbox and now every time a comment is added I recieve four emails with the exact same comment. Is there a way you can remove me from that service? Many thanks!

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart