සිත් අහසට නුඹ ඇවිදින් – 22


“හොරෙන් හොරෙන් අර ෆොටෝ එක දිහා බැලුවෙ මොකද….?”
මන්දිතා ඉදිරියේ දී නැගිය නොහැකි වූ පැනය මා ඔහුට යොමු කළේ ආපසු නිවස බලා එමින් සිටියදීය.
“මොන….?”
“ඇයි අර මමයි, මන්දිතයි, වන්දනයි හිටපු එක….”
“ආ ඒකෙ එයත් හිටියද….? මම නම් දැක්කෙ ඔයාව විතරයි…. අනිත් දෙන්න කවුද කියල බැලුවෙ නෑ….” ඔහු කීවේ සමච්චලය මුසු සිනාවක් ද පාමිනි.
“අනේ නිකං බොරු කියන්න එපා…. මං දැක්කනෙ…. කොහොමත් ඉතින් ඔයා මුලින්ම අපේ බෝඩිමට ආවෙත් එයා නිසානෙ….”


“අයියෝ නිකං බොරුවට රණ්ඩු කරන්න එපා ළමයො….” ඔහු කීවේ මෝටර් රථයේ වේගය ද වැඩි කරමිනි.
මා යළිත් ඔහු දෙස බැලුවේ ඔහු මෝටර් රථය මා වඩාත් ප්‍රිය කළ නිමි ඇඳුම් අලෙවිසැලක් අසල නවත්වද්දීය. මා හා මන්දිතා බොහෝ විට ඇඳුම් මිලදී ගත්තේ ‘සිතූ ෆැෂන්ස්’ නම් එම වෙළඳසැලෙනි.
“ඇයි මේ….?”
“ඇයි කියන්නෙ වෙඩින් එකෙන් පස්සෙ ඔෆිස් යද්දි අලුත් ඇඳුම් ටිකක් ගන්න ඕනෙ නැද්ද….?”
“තියෙන ඒව ඇති….”
“අනේ මේ පණ්ඩිතකම් තියල එනව යන්න….” ඔහු කීවේ මෝටර් රථයේ දොර හැර ඉන් පිටතට බසිමිනි. මම ද මෝටර් රථයෙන් පිටතට විත් ඔහු පසුපස ගියෙමි.
“සර් මේ වෙලාවේ…. ආ මේ මැඩම් වෙන්න ඇති….” එහි ප්‍රධාන දොරටුව අසල සිටි ආරක්‍ෂක අංශ නිලධාරියා ශෙනුල්ගෙන් විමසුවේ ඉතා ඔහු හුරුපුරුදු අයුරිනි. එසේ නම් මා මෙන්ම ඔහුද නිතර මෙහි යන එන පාරිභෝගිකයකු වන්නට ඇත.
“ඔව් මේ මැඩම්ට ඇඳුම් ටිකක් ගන්න ආවා….”
අප එතුලට යන විට එහි සිටි සේවක සේවිකාවන් සියලුදෙනා සිටියේ අප දෙසම බලාගෙනය.
“මේකට ඇඳුම් ගන්න ආව එකම කපල් එක අපි ද මන්දා…. මුන් නිකම් බලන්නේ සත්තු වත්තෙන් පැනල ආව වඳුරො දෙන්නෙක් දිහා බලනව වගේනෙ….” මා ශෙනුල්ගේ කනට කර මුමුණද්දී ඔහු සිනාසුණේ මහ හඬිනි.
“වැඳිරියෙක් එක්ක හැන්ඩ්සම් කොල්ලෙක් ඇවිත් කියල වෙන්න ඇති බලනව ඇත්තේ….”
“අනේ ඔයා හරි හැන්ඩ්සම්නේ….”
“ආ ඇයි නැද්ද….?”
“හැන්ඩ්සම් අය වෙන නැත්නම් ඔයා හැන්ඩ්සම්….”
“ආ එහෙමද මැඩම්…. මං ඕවට පස්සෙ අල්ලගන්නම්කො…. දැන් ඉක්මනට ඇඳුම් ටිකක් ගන්න…. අම්මල බලාගෙන ඇති….”
“මේ මිස්ට ඇඳුම් තෝරගන්න උදව් කරන්න….” ඔහු පැවසුවේ අප අසලට පැමිණි සේවිකාවකටය.
“එන්න මිස්…. ඔෆිස් වෙයාර්ස් ද බලන්නේ….”
“ඔව් ඒව තමයි….”
මා කාර්යාලයට අඳින්නට සුදුසු ගවුම් දෙකක්, කලිසම් දෙකක් හා බ්ලවුස් දෙකක් තෝරාගත්තේ ඇගේ සහයෝගය ද ඇතිවය.
“මිස්ට නම් ඉතින් මේ කඩේ තියෙන සේරම ඇඳුම් වුණත් සර් අරන් දෙයිනෙ…. ගණන් බලන්නෙ මොකටද….?” ඇය කීවේ මා එම ඇඳුම්වල මිල ගැන විමසිලිමත් වෙද්දීය.
මා ඇඳුම් රැගෙන අලෙවිසැලේ කවුන්ටරයට යන විට ශෙනුල් සිටියේ එහි සේවය කරන අයකු සමඟ කතාබහකය.
“මේ ඇඳුම් ටික පැක් කරල දෙන්න මිතුන්….” ඔහු කීවේ කවුන්ටරයේ සේවය සිටි අයකුටය.
“කෝ දෙන්න මිස්…. මේ ටික පැක්කරල වාහනේට එවන්නම් සර්…. ”
“ඕකේ මිතුන්…. එහෙනම් අපි ගිහින් එන්නම්….” කී ඔහු ඉන්පිටවූයේ මගේ අතකින්ද අල්ලාගෙනය.
“එයාල ඔයාව එච්චර හොඳට අඳුනන්නෙ කොහොමද….? අනික ගත්ත ඇඳුම්වලට සල්ලි දුන්නෙත් නෑනෙ….”
“මගේ ෂොප් එකට මම ගෙවන්න ඕනෙ නෑනෙ….”
“මේ මේක ඔයාගෙද….”
“ඔව් ඔයත් නිතර එනවනෙ නේද මෙතනට යාළුවොත් එක්ක…. සිතූ කැමතිම ඇඳුම් තියෙන්නෙ සිතූ ෆැෂන් එකේ කියල මම දන්නවා….”
“ශෙනුල් එතකොට සිතූ කියල දැම්මෙ මගෙ නම නිසාද….?” එය එසේම බව සිතුණත් ඔහුගේ මුවින්ම එය අසාගැනීමේ ආසාවෙන් මම විමසීමි.
“ඒක නම් මේ වැරදීමකින් දැමුණ නමක්…. දැන් වෙනස් කරන්න ඕනේ….” ඔහු කීවේ හිනැහෙමිනි.
“හා ඇත්තද….?” මා බොරු අමනාපයකින් කියද්දී ඔහු මහ හඬින් හිනැහිණි.
“අපෝ ඔව් ඔව්…. ඔයාව මතක්වෙලා තමයි දැම්මේ…. ඒත් ඉතින් නමේ අයිතිකාරි මගේ වෙන්න කලින් ඉඳන්ම මේකෙ ඇඳුම් ගන්න ආසවෙයි කියල මම හිතුවෙත් නෑ….” ඔහු කීවේ මගේ උරහිස් වටා අතක් යවමිනි.
“ඉතින් ඔයා කොහොමද දන්නෙ මම මෙහෙන් ඇඳුම් ගත්ත එක….”
“ඔයා ගැන ඔයාට වඩා මම දන්නවා මැඩම්…. ඒ නිසා පුදුම වෙන්න එපා….” ශෙනුල් මගේ කොපුලක් ස්පර්ශ කරමින් කියද්දී ඔහු පිළිබඳව සිතට දැනුණේ වචනයෙන් විස්තර කළ නොහැකි ආකාරයේ හැඟීමකි.  
විවාහයෙන් පසු කාර්යාලයට යන පළමු දිනය නිසාම ඔසරියක් ඇඳීම සුදුසුයැයි සිතුණු නිසාම මා කළේ නවාතැනේ සිට රැගෙන ආ සාරි අතරේ කාර්යාලයට මින් පෙර නොඇඳි සාරි ඇත්දැයි සෙවීමය. මිතුරියකගේ විවාහ උත්සවයක් සඳහා ඇඳි චාම් සාරියක් එහි තිබී සොයාගන්නවාත් සමඟ ශෙනුල් ද මා අසලට පැමිණියේ පාර්සලයක් රැගෙනය.  
“අද මේක අඳිනවද….?” ඔහු ඇසුවේ එම පාර්සලය මා හට ලබාදෙමිනි.
“මොකක්ද මේ….”
ඔහු පිළිතුරක් නොදී මදෙස බලා සිටි නිසාම මා කළේ එම පාර්සලය විවෘත කර බැලීමය. එහි වූයේ නිල් සහ සුදු පැහැ මිශ්‍ර බතික් සාරියකි. බෝරිච්චි අත් යෙදූ හැට්ටයක් ද ඒ සමඟ විය.


“මේ කොහෙන්ද….? අනික ජැකට් එක මැහුවෙ කොහොමද….”
“සාරිය නම් ගත්තෙ මං…. ජැකට් එක නම් මස්සගත්තේ ඉතින් නෑන පොඩ්ඩගෙ උදව් ඇතිව තමයි….”
“ඔයා නම් මාව සර්ප්‍රයිස් කරන එකමයි කරන්නෙ අයියේ….”
“ඒයි මේ හැමදාම එහෙම කතා කරන්න බැරිද…. ඔයා නම කියල කතා කරද්දි හරි දුරයි වගේ….”
“අයියෙ කියන්න කියලද කියන්නේ….”
“ඔව් පුළුවන් නම් පොඩිකාලෙ වගේ සුදු අයියෙ කියලම කියන්න…. එහෙම අහන්න හරි ආසයි මට….” ඔහු කියගෙන යද්දී මා ක්‍ෂණිකව ඒ ළයට තුරුළුවීමි.
“බෝනික්කි….” ඔහු මිමිණුවේ මා තවත් ගතට තුරුළු කරගනිමිනි.
“තැන්ක් යූ…. හරිම ලස්සනයි මේ සාරි එක….”
“දැන් ලෑස්ති වෙන්න…. පරක්කු වෙයි….” ඔහු කීවේ මා ඔහු වෙතින් මදක් ඈත් කර මූණට එබෙමිනි.
මා නාන කාමරයට ගොස් දිය නා සූදානම්වූයේ ඔහු කාමරයෙන් පිටව ගිය පසුවය.
“ෂා අද නම් උඩරට මැණිකෙ කෙනෙක් වගේමයි….” ශෙනුල් පැවසුවේ ඔසරියේ පොට අල්ලා පිටුපසට කර ගැසීමට උත්සාහ කරමින් සිටි කටුව මාතින් ගෙන ඔසරි පොට හා හැට්ටය අල්ලා එය ගසමිනි.
“ඒවත් පුරුදුයි නේද….?” මා කීවේ ඔහු එය ඉතා හුරු පුරුදු ආකාරයෙන් සිදුකළ බැවිනි.
“ඔව් අම්ම සාරි ඇන්දාම පොටේ කටුව ගහන්නෙ මම…. ගිහින් අහන්න බොරුනම්…. උදව්වක් කළාම ඒකටත් කියවන්න එනව මෙතන…. දැන් ඉතින් මූණෙ එහෙම උලන දෙයක් උලාගෙන ඉක්මනට එන්න…. මාත් එක්කම යන්න පුළුවන්….”
කාර්යාලයට යන අතරමග තිබූ අවන්හලක් අසල මෝටර් රථය නැවැත්වූ ශෙනුල් ඒ වෙත ගොස් යළි පැමිණියේ කේක්, රෝල්ස්, කට්ලට් ආදිය සහිත බෑග් කිහිපයක් රැගෙනය.
“මේ ටික ඔෆිස් එකේ අයට දෙන්න…. මැරි කළාට පස්සෙ ඔෆිස් යන පළවෙනි දවසනෙ….” ඔහු කීවේ ඒ සියල්ල මා අතට දෙමිනි.

23 වන කොටසින් හමුවෙමු.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart