සිත් අහසට නුඹ ඇවිදින් – 21 ‍


නැගනිය පවසන්නාක් මෙන් ඔහු කොතරම් ආදරණීයදැයි සිතෙද්දී සිතුණේ එලෙසින්ම අනෙක් පස හැරී ඒ ලය මත මුහුණ හොවාගන්නටය.

“තැන්ක් යූ….” සිතැඟි සඟවා ගනිමින් එසේ කී මා නාන කාමරය වෙත පියනැගුවේ ඔහු මුවෙහි මදහසක් ද සමඟින් මදෙස බලා සිටියදීය.
ඔහු ද ඇඟ සෝදාගෙන පැමිණීමෙන් පසු ගොස් රාත්‍රී ආහාරය ද ගත් අප ඉක්මනින් පැමිණ නින්දට වැටුණේ ඒ වන විට දෙදෙනාම සිටියේ දැඩි තෙහෙට්ටුවකින් වූ බැවිනි.
මා අවදිවන විට සිරුරට දැනුණේ උණුසුමකි. මගේ කම්මුලක් තිබුණේ ඔහුගේ ලය ස්පර්ශ කරමිනි. එසේ නම් මා අදද පෙරදා මෙන්ම ඔහු තුරුලේය. එහෙත් පෙරදින මෙන් ඔහුගෙන් ඈත්වන්නට සිතුණේ නැත. දෙනෙත් විවර කළ මා මද වේලාවක් ඒ මුහුණ දෙසම බලා සිටියෙමි.
ගාණට කපා පිළිවෙලට ඇති රැවුල හා කොණ්ඩය නිසා ඒ මුහුණට ලැබී තිබුණේ අමුතුම ආලෝකයකි. මේ මා සිත වූ පිරිමි රුවමය. එහෙත් එක්වරම මා එක්වරම ඔහුගෙන් ඈත්වන්නට උත්සාහ කළේ වන්දනා ද මේ ලයට තුරුලු වී සිටින්නට ඇතැයි දැනුණු හැඟීමත් සමඟය.
“ඒයි මෙච්චර වෙලා අපූරුවට ඉඳලා මොකද එකපාරට කරන්ට් එක වැදුණ වගේ අහකට පනින්නේ….” ඒ හඬ ශෙනුල්ගේය. මට ඈත් වන්නට නොහැකි අයුරින් ඒ අතක් වැටුණේ මා බඳ වටාය.
“මට අයින් වෙන්න දෙන්න….” මා මිමිණීමි.
“මෙච්චර වෙලා අගේට හිටියේ….” ඔහු කීවේ මගේ කොපුලක් මත දෙතොල් තබමිනි.
“අනේ එපා….” මා කීවේ දෙනෙතන කඳුළක් උනද්දීය.
“දැන් ඇයි ඒ පාර අඬන්නේ….” ඔහු ඇසුවේ ඒ කඳුල පිස දමමිනි.
“මෙතන….” මා කීවේ ඔහු ලය මත මගේ දකුණතේ දබරැඟිල්ල තබමිනි.
“මෙතන…. මෙතන මොකක්ද….?” ඔහු අසන්නේ තමන්ගේ ලය දෙසම විමසිල්ලෙන් බලමිනි.
“එයත් මෙතන ඉන්න ඇති නේද….? ඒ නිසා මට ඉන්න බෑ….” මා කීවේ මුවට නැගි ඉඟිය අසීරුවෙන් මැඩගනිමිනි.
“කවුද….?” ඔහු ඇසුවේ කලබලයෙනි.
“වන්දනා….”
“පිස්සුද මනුස්සයෝ…. මෙතන හැමදාම හිටියෙ එකියෙක් විතරයි…. ඒ ඔයා…. විශ්වාස කළත් නැතත් ඒක තමයි ඇත්ත….” ඔහු පැවසුවේ මා තල්ලු කර මෙන් ඒ ලයෙන් ඈත් කරමිනි.
“එතකොට වන්දනා….” මට අසන්නට අවැසි වූයේ වන්දනා සමඟ තිබුණේ කුමන ආකාරයේ සම්බන්ධයක් ද යන්න වුවත් ඒ වන විට ඔහු කාමරයෙන් පිටව ගොස් තිබිණි.
එතෙක් මා සඟවාගෙන සිටි ඉකිය පිටවූයේ ඔහු කාමරයෙන් පිටතට යාමත් සමඟය.
“ආ මේක බොන්න….” අඩ පැයකට පමණ පසු ඔහු පැමිණියේ අප දෙදෙනාගේ තේ කෝප්ප දෙක ද රැගෙනය.
“එක එක විකාර හිතලා බොරුවට අඬන්න එපා බෝනික්කි…. බලන්න මූණෙ හැටි….” ඔහු කීවේ සිය දෝතින්ම මගේ කම්මුල් පිසලමිනි. ඔහුගේ ස්පර්ශයන් ප්‍රතික්‍ෂේප කරන්නට නොසිතෙද්දී මා ඔහු දෙසම බලා උන්නේ අසරණවය.
“ගිහින් මූණ කට හෝදන් එන්න පෙරේති වගේ ඉඳගෙන තේ බොන්න බෑනෙ….”
“මට බෝඩිමට ගිහින් එන්න ඕනෙ…. ඔෆිස් අඳින ඇඳුම්…. හෑන්ඩ් බෑග් එක සේරම එහෙ….” මා පැවසුවේ නාන කාමරයට ගොස් මුහුණ ද සෝදාගෙන වෙනත් ඇඳුමක් ඇඳ තේ කෝප්පය බොන අතරේය.
“උදේ වරුවෙ මට කලින් දාගත්ත වැඩක් තියෙනවා…. ෆැක්ටරි එකටත් යන්න ඕනෙ…. හවසට යමුද….”
ඔහු ෆැක්ටරි, ෆාම් ආදිය ගැන කීවත් මේ වන විටත් ඔහුගේ ව්‍යාපාර ගැන කිසිවක් මා දැන සිටියේ නැත.
“හ්ම්ම්….”


“හිනාවෙලා ඉන්න බෝනික්කි…. බොරුවට රණ්ඩු කරපු කාලෙ අපරාදෙ කියල හිතෙයි දවසක….” මගේ හිසත් අත ගා ඔහු කියද්දී මා කළේ අප දෙදෙනාගේ කෝප්ප දෙක ද රැගෙන පහළට යාමට සැරසීමය.
 “ආ මේ අම්ම ඇහුවොත් කියන්න ගමන් මහන්සියට නින්ද ගිය නිසා ඇහැරුණේ පරක්කුවෙලා කියලා…. මං කියල ආවෙ තාම නිදි කියලා….” හිස සලා කී මා කාමරයෙන් පිටතට එද්දී ඔහු අල්මාරිය අසලට ගියේය.
ශෙනුල් කිසිම දිනෙක සිය ඇඳුමක් මැදගැනීම හෝ මා ලවා කරවාගෙන නැත. කිලිටු රෙදි පවා රෙදි සෝදන යන්ත්‍රයට දමා සෝදාගන්නේ ඔහුය. ඇතැම් අවස්ථාවල මගේ කිලිටි රෙදි පවා මටත් නොකියාම ඔහු සෝදා තිබිණි. වන්දනා ගැන වෙනදා දැනි දුක වෙනුවට දැන් දැනෙන්නේ ඊර්ෂයාවක් බඳු හැඟීමකි. ඒ සම්බන්ධය ගැන අසා දැනගන්නට අවැසි වුවත් එය අසන්නටද සිතෙහි ඇත්තේ අකමැත්තකි. ඔහු දැන් කෙසේ කීවත් ඇය ඒ ලයට තුරුලු වී සිටින්නට ඇත. ඒ ගැන සිතෙද්දීත් සිත තිබුණේ පුපුරු ගසමිනි.
“මං හතරට විතර එන්නම්….” ශෙනුල් පැවසුවේ උදෑසන ආහාරය ද ගෙන නිවසින් පිටවන්නට සැරසෙමිනි.
ශෙනුල් නිවසින් පිටවූ පසු මා මනුලගේ දුරකතන අංකයට ඇමතුමක් ගත්තේ කාර්යාලයට ගිය අවසන් දිනයෙන් පසු ඔහු හා කතා කිරීමට හෝ අවස්ථාවක් නොලැබුණු නිසාය. නමුත් ඔහු ඒ හා සම්බන්ධ වූයේ නැත. ඇතැම් විට ඔහු මා හා කෝපයෙන් විය හැක. කෙසේ වෙතත් සියල්ල විසඳා ගත හැකිවන්නේ හෙට ඔහු හමුවීමෙන් පසුවය.
ශෙනුල් කී පරිදිම සවස 4.00ට පෙර නිවසට පැමිණියේය.
මා සූදානම්වූයේ කහ පැහැ ටී ෂර්ටයකින් හා ඩෙනිම් කලිසමක් ඇඳ ගනිමිනි. ශෙනුල් නාන කාමරයට ගිය අතරේ මා අල්මාරියෙන් ඔහුගේ ටී ෂර්ටයක් ද ගෙන මැද තැබුවෙමි.
“අහ් ලෑස්ති වුණාද…. මේ මං ඔයාව දාල පොඩි වැඩකට යනව සිතූ…. 7ට විතර එන්නම් ඔයාව ගන්න…. යාළුවො දෙන්නට රහස් කතා එහෙමත් ඇතිනෙ නේද….?”
සිතට දැනුණේ සතුටකි. ඔහු කීවාක් මෙන්ම මන්දිතා හා තනිවී කතා කරන්නට බොහෝ දේ තිබිණි.
“අම්මෝ මෙයාට යාළුව හම්බවෙන්න තියෙන හදිස්සිය…. මගෙ ඇඳුමකුත් අයන් කරලා කවදාවත් නැතිව….” ඔහු කීවේ ඩෙනිම් කලිසමක් ඇඳ මා සූදානම් කර තිබූ ටී ෂර්ටය අතට ගනිමිනි.
“අපි අද එළියෙන් කාල එන්නම් අම්මා…. අම්මලටත් ගේන්නද….?”
“එපා පුතා…. තාත්තත් බර වැඩිවෙලා කිය කිය හිටියා…. අපි එළවළු ටිකක් තම්බ ගන්නම්…. ඔය දෙන්න කාල එන්න….”
“යාළුවට මොනවත් ගන්න ඕනෙ නැද්ද….?” අතරමගදී ශෙනුල් අසනතුරුම මට ඒ වගක් සිහිවූයේ නැත.
“යන්නෙ වෙනද හිටිය තැනට වුණත් දැන් ඔයා ඉන්නෙ එහෙ නෙවෙයිනෙ…. ඒ නිසා මොනව හරි අරන් යමු….” අනතුරුව ඔහු කීවේ සුපිරි වෙළඳසැලක් අසල මෝටර් රථය නවත්වමිනි.
මම ශෙනුල් සමඟම ඒ වෙත ගොස් මන්දිතා ප්‍රිය කළ වර්ගයේ අයිස්ක්‍රීම් බඳුනක් හා පළතුරු වර්ග කිහිපයක් මිලදීගෙන යළිත් මෝටර් රථයට නැගුණෙමි.
“ශෙනුල් එන්න ඇතුළට….” මෝටර් රථය නවාතැන ඉදිරියේ නැවැත්වීමෙන් පසු මා ඉන් බැසගනිද්දී අප අසලට පැමිණි, මන්දිතා ඔහුට ආරාධනා කළ ද ඔහු මා ඇරලවා යන්නට ගියේ හදිසි රාජකාරියක් ඇති බව පවසමිනි.
“ඉතිං කොහොමද සිතූ…. ශෙනුල් හිතපු තරම්ම නරකත් නෑ වගේ නේද….?” ඇය එසේ විමසන්නට ඇත්තේ ඔහු ඇය සමඟ ද සුහදව සිනා සී කතා කළ ආකාරයටම විය යුතුය.
“කියන්න තරම් වැරැද්දකුත් නෑ මන්දි…. ඒත් ඉතින් වන්දනා මතක් වෙද්දි මගෙ හිතට අවුල්….”


“දැන් ඕව හිතන්න එපා සිතූ…. ඔයාල දෙන්න මැරි කරල ඉවරයිනෙ…. ඒක නෙවෙයි මනුල කතා කළාද….?”
“කතා කළේ නෑ මන්දි…. මගෙ කෝල්ස් ආන්ස්වර් කරන්නෙත් නෑ…. සමහර විට එයාට වෙච්ච දේවල් කියන්න බැරි වුණ නිසා තරහෙන්ද දන්නෙත් නෑ….”
“එහෙනම් මල පැනල ඇති…. කුකුල් කේන්ති කාරයනෙ කොහොමත්….”
“හෙට ඔෆිස් යනවනෙ ගිහින්ම කතා කරනවා….”
ශෙනුල් මා යළි කැඳවාගෙන යාමට පැමිණියේ පැය දෙකකට පමණ පසුවය. ඔහු නවාතැනට පැමිණ මන්දිතා සමඟද කතා බහ කරද්දී ඒ නෙත් කිහිපවිටක්ම එල්ල වූයේ එහි කණ්ණාඩි මේසය මත තබා තිබූ අපගේ ඡායාරූපයක් වෙතය. එහි සිටියේ මා, මන්දිතා හා වන්දනාය.
“හොරෙන් හොරෙන් අර ෆොටෝ එක දිහා බැලුවෙ මොකද….?”
මන්දිතා ඉදිරියේ දී නැගිය නොහැකි වූ පැනය මා ඔහුට යොමු කළේ ආපසු නිවස බලා එමින් සිටියදීය.

22 වන කොටසින් හමුවෙමු.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart