සිත් අහසට නුඹ ඇවිදින් – 2 කොටස


“මෙන්න සුදු පුතා ඔයාගෙ බෝනික්කී….” මගේ අතින් අල්ලාගෙනම විසිත්ත කාමරයට ගිය ඇය මා මදක් ඉදිරියට තල්ලු කරමින් කියද්දී මා ඇය දෙසත් අනතුරුව ඉදිරියේ සිටි අය දෙසත් බැලුවේ පුදුමයෙනි.


“ඔ…. ඔයා….” ඔහු දකිද්දීත් දැනුණේ දෙපා වෙව්ලන බවකි.
“ඔව් මං තමයි…. මතකද මාව….” ඔහු ඇසුවේ සිනාසෙමිනි.
“මේ මතකයි…. ඒත් ඔයා කොහෙද මේ….”
“මේ බලන්නකො සුධර්මා…. මේ දෙන්නගෙ මතකේ….”
“ඒක තමයි මානෙල් මමත් හිතුවේ…. ඒ කියන්නෙ ඔයාලට තාමත් පොඩි කාලෙ යාළුකම මතකයිද ලොකු දූ….” අම්මා අසද්දී මා ඇය දෙස බැලුවේ පුදුමයෙනි.
“පොඩි කාලේ….”
කුඩා කල මතකයක් නොමැති නමුත් ඔහු පිළිබඳ ඇත්තේ මෑතකාලීන අපුල දනවන මතකයක් බව කීමට ආ වචන මම මුව තුළම සිර කරගතිමි.
“එක දවසක් අපි කොළඹදි අහම්බෙන් හම්බවුණා ඇන්ටි…. ඒත් මෙයා නම් මාව අඳුනගත්තෙ නෑ…. මටත් සේසත් නිතරම ගෙදර අයගෙ ෆොටෝස් එවන නිසා තමයි අඳුනගන්න පුළුවන් වුණේ….” ඔහු පැවසුවේ මගේ මුහුණ දෙස ඍජුව බලමිනි.
සේසත් යනු අපගේ වැඩිමහල් සොහොයුරාය. අයියා ඔහුට අපගේ ඡායාරූප යවා ඇත්නම් ඔහු ද ශෙනුල්ගේ මිතුරකු විය යුතුය.
“අහ් එහෙනම් ඒ ෆොටෝ දැකල තමයි නේද ජයේ මෙයාට මෙහෙ එන්න හදිස්සි වුණේ….” ඔහුගේ මව සිය සැමියා සමඟ කීවේ ශෙනුල් ලැජ්ජාවෙන් මෙන් බිම බලාගනිද්දීය.
“අනේ මෙයාගෙ බොරු ලැජ්ජාව…. මේ මනුස්සය කරපු දේවල් දැනගත්තොත් මෙයාට නෙවෙයි මෙයාගෙ අම්මලටයි ලැජ්ජ වෙන්න වෙන්නේ….” එවරත් මා සිතුවා පමණි.
එහෙනම් ඉතින් ඔයාල කතා කර කර ඉන්නකො…. කාලෙකින්නෙ හම්බ වුණේ… මම කෑම ටික ලෑස්ති කරන්නම්…. චූටි දූ, සඳුනි ඔය දෙන්නත් එන්න පුතේ….” කියමින් අම්මා ආලින්දයෙන් පිටව යද්දී මට අම්මා ගැන ද දැනුණේ කෝපයකි. ඒ නාඳුනන පිරිසක් මැද මා තනි කර නැගනියන් දෙදෙනාම කැඳවාගෙන ගිය බැවිනි.
අප්පච්චි සහ නැන්දා ආලින්දයේ සිටියද මේ මොහොතේ මට ඔවුන් ද දැනුණේ ආගන්තුකයන් මෙනි.
“ඔයාල දෙන්නටත් කතා කරන්න දේවල් ඇතිනෙ…. කොච්චර කාලෙකට පස්සෙද මේ…. දූත් එක්ක එළියට ගිහින් කතා කරන්න පුතා….” ශෙනුල්ගේ මව කියද්දීම ඔහු අල්ලා ගත්තේ මගේ අතකිනි.

“යමු….” අනතුරුව ඔහු කළේ මගේ අතින් ඇදගෙනම නිවසින් පිටතට පැමිණීමය.
“පිස්සුද මාව අතාරිනවා….” මා අත ඉවතට ඇද ගනිද්දීත් ඔහු මා සමඟ නිවස ඉදිරිපිට අඹ ගස යටටම පැමිණ තිබිණි.
“ඇයි මේක මම අල්ලපු නැති අතක්ද….?” ඔහු ඇසුවේ මදෙස බලා අමුතු හිනාවක් පාමිනි.
“අල්ලල තියෙන්නෙ හීනෙන් වෙන්න ඇති….”
“හීනෙනුත් අල්ලල තියෙනවා…. ඒ වුණාට හැබැහිනුත් අල්ලල තියෙනව ඕනෙ තරම්…. ඇයි ඔයාට ඒව මතක නැද්ද….?” ඔහු කීවේ මා වෙත තව තවත් සමීප වෙමිනි.
“පිස්සුද හලෝ….” මා කීවේ ඔහුගේ පපුවට අත තබා තල්ලු කරමිනි.
“ආපෝ මොකද මේ කේන්තියෙන් වගේ…. මම නම් හිතුවෙ මාව දැක්කාම සතුටට උඩ පනියි කියලා….” ඔහු කීවේ යළිත් මගේ අතින් අල්ලන්නට උත්සාහ කරමිනි.
“දැක්කම සතුටුවෙන්න…. ඔයාව….”
“ආපෝ දැන් ඇති නේද රණ්ඩු කළා…. බෝනික්කි බෝනික්කි කිව්වට දැන් මේක කටු අත්තක් වෙලාවෙ….” ඔහු කීවේ අඹ ගහ යට වූ බංකුව මත අසුන් ගනිමිනි.
“වාඩිවෙන්න….” ඔහු කීවේ මා හට බංකුවේ අනෙක් පස පෙන්වමිනි.
“හරි හරි දැන් මොකටද ඔයාල මෙහෙ ආවෙ….”
“වාඩි වෙන්නකො මුලින්ම….” මම ඔහුට හැකිතාක් දුරින් එහි වාඩිවීමි.
“අපෝ මේ මට බෝ වෙන රෝග මොනවත් නෑ…. ළඟට එනවා….”
“කරපු දේවල්වල හැටියට රෝග තියෙනවද දන්නෙත් නෑනෙ…. ඒ නිසා දුරින් ඉන්න එක හොඳයි…. දැන්වත් කියනවද ඇයි ආවෙ කියලා….”
“මගෙ බෝනික්කි බබාව බලල යන්නනෙ….”
“කවුද බෝනික්කි…. පිස්සුද තමුන්ට…. අනික මාව දන්නව නම් මගෙ නම නොදැන ඉන්න විදියක් නෑනෙ…. ඒ නිසා මගෙ නම කියල කතා කරන්න ප්ලීස්….”
“නම නම් දන්නවා මිස් සිතුලි නවාංජනා…. ඒත් ඉතින් මං ඉස්සර වගේම බෝනික්කි කියල කතා කරන්න ආසයි….?” කියමින් ඔහු මගේ මුහුණට එබෙද්දී මා කළේ ඔහු දෙස රවාබලා ඉවත බැලීම පමණි.
“ඇයි ආවෙ කියල දැන් මේ අහන්නෙ ඇත්තටම ද….? එතකොට අපි ආව කාරණාව ඔයාගෙ අම්මයි අප්පච්චියි කිව්වෙ නැද්ද….?” ඔහු හැඟුම්බර හඬකින් අසද්දී මා ඔහු දෙස බැලුවේ පුදුමයෙනි.
“කිව්වනම් මං ඔයාගෙන් අහන්නෙ නෑනෙ….”
“අපේ අම්මල මාව නම් ගෙදරින් එක්කගෙන ආවෙ අනාගත මනමාලි බලන්න යමු කියලා….” ඔහු කියද්දීත් මගේ සිත කෝපයෙන් නලියන්නට විය. එසේ නම් ඔහු මනමාලියන් ද සොයන්නට පටන්ගෙනය. අප නිවසට එන්නට ඇත්තේ ඒ යන අතරතුරය
“අහ් එහෙමත් එකක්ද…. අර අහිංසක කෙල්ලගෙ හිතත් එක්ක සෙල්ලම් කරලා දැන් මනමාලියො බල බල ඇවිදින්න ලැජ්ජ නැද්ද හලෝ….”
“මේ මේ මැඩම් වැදගත් විදියට හැසිරෙනවද ටිකක්…. අනික මේ කොළඹ නෙවෙයිනෙ පණ්ඩිත ආච්චියෙක් වගේ කෑ ගහන්න…. ඔය සද්දෙ ගේ ඇතුලටත් ඇහෙනව ඇති….” ඔහු කීවේ මා දෙස කෝපය මුසු බැල්මක් හෙලමිනි.
“වැදගත් විදියට හැසිරෙන්න ඕනෙ වැදගත් මිනිස්සු එක්කනෙ….” කී මම නිවස දෙසට ඇවිද ගියේ ඔහු සමඟ තවදුරටත් එහි රැඳී සිටීම අපහසු බවක් දැනුණු හෙයිනි.
“අහ් මොකද පුතා දැන් අපේ ළමය කියන්නේ….” මා නිවසට ඇතුළුවද්දීම නැන්දා ඇසුවේ මා පසුපසින් පැමිණි ශෙනුල්ගෙනි.
“ආ මේ අපි දෙන්න ටිකක් පරණ දේවල් කතා කළා ඇන්ටි….”
“පරණ දේවල් කතා කර කර ඉඳල හරියන්නෙ නෑ ඉතින් දැන්…. අනාගතේ ගැන එහෙමත් කතා කරන්න වෙයි…. නේද මල්ලි…..” නැන්දා අනතුරුව බැලුවේ අප්පච්චී දෙසය.
“පස්සෙ හෙමින් කතා කරනවා ඇන්ටි…. හදිස්සියක් නෑනෙ ඉතින්….” ශෙනුල් කීවේ නැන්දනිය දෙස බලා සිනාසෙමිනි.
“ඒක හොඳයි…. කොහොමත් ඉතින් මෙයාට අපේ වචනෙට පිටින් යන්න දෙන්නෙ නෑ…. ඉක්මනට නැකතක් බලල මේ කසාදෙ කරල දාමු….?”
“කසාදෙ….” මා ඇසුවේ අප්පච්චි දෙස බලමිනි.
“ඔව් දූ…. ඇයි ඔයා දන්නෙ නැද්ද…. අපේ පුතාට ඔයාව තීන්දු කරන්නනෙ අපි මේ ආවෙ….” අප්පච්චිගෙන් ප්‍රතිචාරයක් නොලැබෙද්දී ශෙනුල්ගේ මව ඇසුවේ මා දෙස මෙන්ම ඒ අසල සිටි අප්පච්චි හා නැන්දා දෙස ද මාරුවෙන් මාරුවට බලමිනි.
“මේ මෙයාව…. මට….” මට ගොත ගැසිණි.
“ඔව් ඇයි ඔයාට වෙන බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද දූ…. ඉන්නව නම් කියන්න…. නේද අබේ…. පොඩි කාලෙ ඉඳන් දන්නව කියලම ඉතින් කසාද බඳින්න බෑනෙ….” ශෙනුල්ගේ මව කීවේ මා අසලට පැමිණ මගේ අතින් අල්ලාගෙන ගොස් ඇය අසලින් වාඩි කරවා ගනිමිනි.
“බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක්….”
“ආ මට අහන්නත් බැරිවුණා…. මේ සිතුලි අර අපි හම්බවුණ දවසෙ ඔයා හිටියෙ බෝයි කෙනෙක් එක්කනෙ…. ඊට පස්සෙත් මං ඔයාල දෙන්නව දවස් දෙක තුනක්ම එකට දැක්කා…. එතකොට ඒ ඔයාගෙ බෝයිද….?” ශෙනුල් ඇසුවේ එක්වරමය.
අප්පච්චී මා දෙස රවා බලනු පෙනිණි. ඔහු ඔය කියන්නේ මනුල ගැනය. මා දිනක් මනුල සමඟ ගොස් ඔහු හමුවූයේ ද කලක් ඔහුගේ පෙම්වතිය වී සිටි මගේ මිතුරිය වෙනුවෙනි. ඒ ද ඔහු හා ඇය අතර ප්‍රශ්නයක් ඇත්නම් එය සාකච්ඡා කර විසඳාගන්නැයි කියන්නට පමණි.
“නෑ නෑ…. මේ එයා මගේ යාළුවා….”
“අහ් එහෙනම් ප්‍රශ්නයක් නෑ…. ඒ කියන්නෙ ඔයාට බෝයි කෙනෙක් නෑනෙ නේද….?” ශෙනුල් අසද්දී ඔහුගේ මව සිටියේ මගේ හිස අතගාමිනි.

තුන්වන කොටසින් හමුවෙමු….

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart