සිත් අහසට නුඹ ඇවිදින් – 11

“මේ මේ සිතූ…. කේන්ති නොගෙන පොඩ්ඩක් අහනවද….? මට ඔයාගෙන් දැනගන්න දෙයක් තියෙනවා….” මා සවනතින් ඈත් කරන්නට ගිය දුරකතනය යළිත් සවනට තෙරපා ගත්තේ ඔහු කියනු ඇසෙද්දීය.
“ඉතින් මෙහෙම කියන්න….”


“බෑ මෙහෙම බෑ…. අපි දෙන්න දෙපැත්තක ඉඳල රණ්ඩුවෙලා හරියන්නෙත් නෑ….තියෙන ප්‍රශ්න හම්බවෙලා කතා කරල විසඳගමු….”
“හා…. මම කොහාටද එන්න ඕනේ….” මා ඔහුගේ යෝජනාවට කැමති වූයේ හමුවූ දිනවලම ඔහු හා කතා කර ඔහුගේ යෝජනාව ප්‍රතික්‍ෂේප කරන්නට තිබිණි යැයි ඒ වන විටත් සිතී තිබූ නිසාය.
“උඹට තිබුණේ ශෙනුල් එක්ක හොඳින් කතා කරන්න…. හැමවෙලේම රණ්ඩු වෙන්න ගියාම ඌත් හිතනව ඇති රිටර්න් එකටම කසාද බඳින්නම් කියලා….” මන්දිතා ද කිහිප වරක්ම කීවාය.
“ඔයා ලෑස්ති වෙලා ඉන්න…. මම තව පැයකින් ඔයාව ගන්නම්….” කියමින් දුරකතනය විසන්ධි කළා මිස නවාතැනට එන ආකාරය හෝ ඔහු ඇසුවේ නැත.
“එන ගමන් කෝල් කරල අහයිනෙ….” සිතමින්ම මා තෝරාගත්තේ ඩෙනිම් කලිසමක් සහ රෝස පැහැ තරමක් කෙටි ටී ෂර්ටයකි. නාන කාමරයට ගොස් මුහුණ පමණක් සෝදාගත්තේ උදෑසන රෙදි සේදීමෙන් පසු දිය නා සිටි බැවිනි.
වාහනයක නලාවක් නාද වනු ඇසුණේ මා සූදානම් වී කුඩා සයිඩ් බෑගයට මුදල් පසුම්බිය හා දුරකතනය දමාගන්නා විටමය. පැමිණ තිබුණේ ශෙනුල්ගේ මෝටර් රථයයි.
“ඔයා කොහොමද මෙහෙට එන්න පාර දන්නේ….” මා ඇසුවේ එහි ඉදිරිපස අසුනට ගොඩවන අතරතුර ඔහුගේ මුහුණ දෙස ද බලමිනි.
වෙනදා පිළිවෙලකට කපා තිබූ ඔහුගේ රැවුල තරමක් වැවී තිබූ අතර මුහුණෙන් දිස්වූයේ ද වෙහෙසකර බවකි.
“මම කලින් මෙතෙන්ට ඇවිත් තියෙනවනෙ සිතූ….” ඔහු පැවසුවේ සුසුමක් ද හෙළමිනි. ඔහු වන්දනා මෙහි හැරලන්නට අවස්ථා කිහිපයකදීම මෙහි පැමිණි බව සිහිවූයේ එවේලේය. සිතට සියුම් දුකක් දැනුණේ වන්දනා සිහිවය.
“ඇයි දැන් බනින්නෙ නැද්ද වන්දනා ගැන කියලා….” ඔහු ඇසුවේ මා කිසිත් නොපවසා සිටිද්දීය.
මා ඔහු දෙස බලද්දී ඔහු ද සිටියේ මගේ දෙනෙත් වෙතම ඒ දෙනෙත් රඳවා තබා ගනිමිනි.
“දැන් බැන්න කියල වැඩක් නෑ…. අප්පච්චිට ඕනෙ මාව ඔයාටම බන්දල දෙන්නනේ….” මම කියද්දී ඔහු කළේ නිහඬවම මා දෙස බලා සිටීමය.
“ඔයා මාව බඳින්න කැමති වුණේ අප්පච්චි කියන නිසා විතරමද එතකොට….”
“ඔව් වෙන හේතුවක් නෑනෙ….”


“අපි කොහෙට හරි නිදහස් තැනකට ගිහින් කතා කරමු සිතූ…. කොහෙටද යන්නේ….” ඔහු ඇසුව ද මට එක්වර යා යුතු තැනක් සිහිවූයේ නැත.
පිරිමියෙක් හා මෙවැනි ගමනක් යන පළමු අවස්ථාව ද මෙයය. ඔහු කළේ නිහඬවම මෝටර් රථය ඉදිරියට පැදවීමය.
“කොහෙටද යන්නේ….” මම පෙරළා ඔහුගෙන් ඇසුවේ සිතට තිගැස්මක් ද දැනෙමින් තිබූ බැවිනි.
“බීච් එකට යමුද….?” ඔහු අසද්දී මා හිස වනා ඊට එකඟවීමි.
ඔහු මෝටර් රථය පැදවූයේ ගාලු පාර දෙසටය. අඩ පැයකට පමණ පසු ශෙනුල් වාහනය නැවැත්වූයේ මුහුදු වෙරළ ආසන්නයේ වූ නිස්කලංක ස්ථානයකය.
“ඕනෙද….” ඔහු ඇසුවේ මා ඒ අසල වූ අයිස්ක්‍රීම් අලෙවි රථයක් දෙස බලද්දීය. මා හිසවනා එපා යැයි කීවත් ඔහු කළේ නිහඬවම එම රථය දෙසට ගමන් කිරීමය.
ඔහුගේ හැසිරීමගැන දැනුණේ පුදුමයකි. මනුලගේ අතේ එල්ලී ගමන් කළ දිනයේ සිතුණේ ඔහු ඒ ගැන අප්පච්චීටත් කියා නිවසේ කලබලයක් ඇතිකරනු ඇති බවය.
“ආ මෙන්න….” ඔහු රැගෙනවිත් තිබුණේ ම කැමතිම වර්ගයේ චොකලට් අයිස්ක්‍රීමයකි.
අනතුරුව ඔහු මා සමඟම ඉදිරියට ඇවිද ගොස් අසුන් ගත්තේ මුහුදට ආසන්නයේ වූ බංකුවකය. විනාඩි කිහිපයක් ගත වන තුරුත් අප අතර වූයේ දැඩි නිහඬතාවයකි.
“තනියම කනවද දැන්….” ඔහු එක්වරම අසද්දී මා හිස ඔසවා බැලුවේ ඔහු දෙසය. ඒ වන විටත් ඉන් අඩක් පමණ අවසන්ව තිබිණි.
“පොඩි කාලෙ නම් ඔහොම නෑ…. ආ අයියට කිය කිය මටත් දෙනවා…..”
ඔහු සිහිපත් කරනා කුඩා කාලය මගේ මතකයේ ඇත්තේ යාන්තමට වුවත් ඒ කියන්නේ ඇත්ත වන්නට ඇත. මා එතරම්ම ඔහුට බැඳී සිටි බව අම්මා පැවසුවේ වරක් දෙවරක් නොවේ.
“ඒත් දැන් මම මේකෙ බාගයක්ම කාලනෙ….” මා පැවසුවේ අත වූ අයිස්ක්‍රීම් කෝනය ඔහුට පෙන්වමිනි.
“කමක් නෑ….” ඔහු කීවේ මගේ අතින් අල්ලා ඔහු වෙතට ඇද ඉන් අයිස්ක්‍රීම් ස්වල්පයක් සිය මුවට ගනිමිනි. අනතුරුව ඔහු මදෙස බැලුවේ දඟකාර සිනහවක් මුවෙහි රඳවා ගනිමිනි.
“පිස්සුද මන්දා….” සිතට ආ සිතිවිලි වචන නොකරම මම ඔහුගේ හැසිරීම් දෙස බලා සිටියෙමි. පසුගිය දිනවල කේන්තියෙන් හැසිරුණු ඔහුගේ මේ හදිසි වෙනස ඒ වන විටත් මා තුළ ඇති කර තිබුණේ පුදුමයකි.
“ඔයා අද හරි වෙනස්….” මා කීවේ ඒ වෙනස දරාගත නොහැකිම තැනය.
“ඇයි මොකක්ද මගෙ වෙනස….” ඔහු ඇසුවේ මගේ මුහුණට එබෙමිනි.
“මේ…. මේ දැන් මොනවද කතා කරන්න තියෙනවා කිව්වෙ….” මා විමසුවේ ඒ බැල්ම මගහරිමිනි.
“අහ් ඒකත් අමතක වෙනව තව පොඩ්ඩෙන්…. මනුලගෙයි ඔයාගෙයි එෆෙයාර් එකක් තියෙනව ද කියල මම එදාම අහලත් ඔයා නෑ කිව්වෙ ඇයි….?” ඔහු ඇසුවේ මා දෙස එක එල්ලේ බලමිනි.
“මොකක්ද….?” මා ඔහු දෙස බැලුවේ පුදුමයෙනි.
“මනුල මාව මීට් වෙන්න ආව නංගි…. ඔයාල ගැන හැමදේම කිව්වා…. ඔයා මට කැමතියි වගේ ඉන්නෙ අප්පච්චිට බයේ කියලත් කිව්වා….”
“මම ශෙනුල් මීට් වෙලා කතා කරන්නම්….” මනුල කියූ බව සිහිවූයේ එවේලේය. එසේ නම් ඔහු ශෙනුල් හමුවන්නට ඇත. එහෙත් ඔහු අප අතර සම්බන්ධයක් ඇතැයි පවසා තිබීම ගැන සිතට දැනුණේ කෝපයකි.
“මනුල නොකිව්වත් ඔයා එදා කාර් එකෙන් බැහැල ගිහින් මනුලගේ අතේ එල්ලුණ විදියෙන්ම මට ඒක තේරුණා නංගි…. මීට කලිනුත් මං ඔය දෙන්නව දැකල තියෙනවා…. ඒත් එදා අහද්දි ඔයා කිව්වෙ ඒ යාළුවෙක් විතරයි කියලනෙ…. ඒ නිසයි මම ඔයාව මැරි කරන්න කැමති වුණේ…. ඒ නිසා තමයි මේ ප්‍රශ්න මේ තරම් දුරදිග ගියේ….” ශෙනුල් කීවේ මදෙස බලා සුසුමක් හෙළමිනි.
“ඒත් මේ….””ඔයාට තියෙන ප්‍රශ්නෙ අප්පච්චිනෙ…. මම එයා එක්ක කතා කරන්නම්….”
“එපා එපා ඕනෙ නෑ….”
“ඇයි….?”
“ඔයා අප්පච්චි ගැන දන්නෙ නෑ….”
“මම ඉස්සර ඉඳන් ඔයාලගෙ අප්පච්චි ගැන දන්නවා…. ඒක මම බලාගන්නම්කො…. දැන් ඔයා ඒ ගැන හිතන්න එපා…. මේ ඒක නෙවෙයි දැන් ඇයි ඕක කන්නෙ නැත්තෙ….. මං කෑව නිසා අප්පිරියයි වගේද….” ඔහු ඇසුවේ මගේ අතෙහි දියවෙමින් තිබූ අයිස්ක්‍රීමය දෙස බලමිනි.
“නෑ…. එහෙම අප්පිරියාවක් නෙවෙයි….”
“මට නම් හිතෙන්නෙ එහෙම තමයි…. ඒකනෙ කිව්වෙ පොඩි කාලෙ මට ආදරේ කරපු බෝනික්කි ගොඩක් වෙනස් වෙලා….” මගේ අතෙහි දියවෙමින් තිබූ අයිස්ක්‍රීමය දෙස බලා මද සිනහවක් ද මුවෙහි රඳවා ගනිමින් ඔහු කී ආකාරයට මගේ දෙනෙතට කඳුළක් ද උනා තිබිණි.
“දෙයක් අහන්නද….?” මම ඇසුවේ දියවූ අයිස්ක්‍රීමයේ රස බලමිනි.
“අහන්න….”


“ඇත්තටම වන්දනාගෙයි ඔයාගෙයි එෆෙයාර් එකට මොකද වුණේ….”
“ඒ ගැන දැන් කතා කරල වැඩක් තියෙනවද….? ඒව පරණ දේවල්නේ….”
“ඒත් වන්දනා පවු කියල හිතුණෙ නැද්ද….?”
“ඇත්තම කිව්වොත් මම තමයි පවු…. දැන් ඒව වැඩක් නෑ සිතුලි…. මට කියන්නකො මම ඔයාලගෙ ගෙදරට එද්දි ඔයා දැනගෙන හිටියෙම නැද්ද අපි එන්නෙ ඔයාව බලන්න කියලා….”
“නෑ මම එහෙම දෙයක් දැනගෙන හිටියෙ නෑ….”
“ඇයි අම්මවත් කිව්වෙ නැද්ද….?”
“නෑ නංගි නම් කිව්වෙ සර්ප්‍රයිස් කරන්න කිව්වෙ නෑ කියලා….”
“මොකක්ද සර්ප්‍රයිස් එක….”
“අපි දෙන්නගෙ පොඩි කාලෙ ෆොටෝස් තවම අපේ ගෙදර තියෙනවා…. මටත් පොඩි මතකයක් ඔයාල ගැන තිබුණා…. අම්මත් ඔයාගෙයි මගෙයි පොඩි කාලෙ කතා කියනවා…. ඒ නිසා ඔයාල අපිව බලන්න කවද හරි එයි කියල මම බලන් හිටියා….”
“ඉතින් ඒ ආවෙ මම කියල දැනගත්තාම සතුටක් දැනුණෙ නැද්ද….?”
මා එය එසේ නොවූ බව කීවේ හිස දෙපසට සොලවමිනි.
“ඇයි….?”
“ඔයා වන්දනාට කරපු දේ නිසා….” මා කියද්දී ඔහු කළේ මුහුද දෙස බලාගෙන දෑතින්ම හිසකෙස් ඇද ගැනීමය.
“දැන් අප්පච්චි කියන දේ අහල මනුලවත් අමතක කරල මාව කසාද බඳිනවද එතකොට….” ඔහු අසද්දී මට දෙන්නට පිළිතුරක් සිහිවූයේ ද නැත.
“ඇත්තටම කිව්වොත් පොඩි කාලෙ ඉඳලම අපේ ගෙදර තීරණ ගත්තේ අප්පච්චී…. එයා හිතන්නෙ එයා කියන දේවල් අපි කරන්න ඕනෙ කියලා….”
“ඒ ගැන නම් සේසත් කියල තියෙනවා…. අනික මටත් මතකයි අංකල් පොඩි කාලෙත් ඔයාලව නීති දාගෙනනෙ හැදුවේ…. ඔයා ඒ කාලෙ දඟ වැඩ කරලා අංකල්ට කේන්ති ගිහින් ඉද්දි මම ඔයාව අපේ ගෙදර අරන් යනවා….”
“ඇයි ඒ….”
“එයා ඔයාට ගහයි කියල බයට….” ඔහු වඩාත් හැඟුම්බරව කියද්දී කුමක් කියන්නේදැයි සිතාගත නොහැකිව මම ඔහු දෙසම බලා සිටියෙමි.
“දැන් ඒව වැඩක් නෑනෙ ඉතින්…. ඒක නෙවෙයි අප්පච්චි කියන දේ අහන්නෙ නැතුව ගෙදරින් හොරෙන් පැනල ඇවිත් රස්සාවකුත් හොයාගත්ත එකේ කසාදෙත් ගෙදරට හොරෙන් කරගන්න තිබ්බනේ….” අනතුරුව ඔහු කීවේ මගේ කම්මුලකට ද තට්ටුවක් දමමිනි.
“ඔයා කොහොමද දන්නෙ මම ගෙදරට හොරෙන් ජොබ් එකට ආව කියලා….”
“ඇයි සේසත් මගෙ යාළුවනෙ…. උඹේ බෝනික්කි දැන් මෙහෙමයි කිය කිය හිටි ගමන් කියනව ගෑනු ළමයගෙ වැඩ ගැන….”
“එයත් ඉතින් අප්පච්චිගෙ බිස්නස් බාර ගන්න කැමති නැති නිසා රටින්ම පැනල ගියේ….”
“අයියගෙ අඩි පාරෙ තමයි එහෙනම් නංගිත් ගිහින් තියෙන්නෙ….” කී ශෙනුල් හඬ නගා හිනැහුණේ සැහැල්ලුවෙනි.
“යමුද එහෙනම්…. මෙහෙමම ලන්ච් එකත් අරන් යමු මනුල තරහ වෙන එකක් නැත්නම්….”
“යමු….”
“මනුලගෙන් අහන්නෙ නැද්ද….?” ඔහු මුහුණට එබී අසද්දී මා කළේ හිස දෙපසට වනා නැතැයි කීම පමණි. ඒ ඇයිදැයි කියා ඔහු ඇසුවේ ද නැත.
වෙරළාසන්නයේ වූ කුඩා අවන්හලකට ගිය අපි දිවා ආහාරය ගත්තෙමු.

12 වන කොටසින් හමුවෙමු. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart