සිත් අහසට නුඹ ඇවිදින් – 12 කොටස


“හෙටත් නිවාඩු එකේ ගෙදර ගිහින් එමු ද….” ඔහු ඇසුවේ දිවා ආහාරය ගැනීමෙන් අනතුරුව ආපසු යමින් සිටින අතරවාරයේය.
“ගෙදර….?”


“ඔව් මම හෙට නුවර යනවා…. යනවනම් ලෑස්ති වෙන්න….”
“හෙටම ආපහු එනවද….?”
“ඔව් උදේ ගිහින් රෑ වෙලා එමු….”
“ඒත්….”
“ඒත් මේත් නෙවෙයි…. මම මනුලට කියන්නම් මම එක්කන් යනවා කියලා…. ලෑස්ති වෙලා ඉන්න…..” ඔහු අවසන් තීරණය දෙද්දීත් ඔහුට එරෙහි වන්නට මට සිතුණේ නැත.
නවාතැනට පැමිණි සැණින් මා කළේ මනුලට දුරකතන ඇමතුමක් ලබාගැනීමය.
“මනූ…. ඔයා ශෙනුල් මීට් වෙන්න ගියා කියල මට නොකිව්වෙ ඇයි මෝඩයෝ….”
“ඇයි ඌ ඔයාට මොනව හරි කිව්වද…. ආ සිතූ…. මොකද වුණේ….” ඔහු ඇසුවේ කලබලයෙන් මෙනි.
“මොකද වුණේ කියන්නේ මනුල එක්ක එෆෙයාර් එකක් තියෙනව නම් කලින් නොකිව්වෙ ඇයි කියල එයා ඇහුවාම මාව උඩ ගියා….” මා කියද්දී අනෙක් පසින් ඇසුණේ මනුලගේ සිනා හඬය.
“ඒ කියන්නෙ මගෙ රංගනය අති සාර්ථකයි වගේ…. ඉතින් ශෙනුල් තව මොනවද කිව්වේ….”
“ශෙනුල් කිව්ව දේ නෙවෙයි ඔයා මොනවද ශෙනුල්ට කිව්වෙ කියන්නකෝ….”
“මං කිව්වෙද…. අපි දෙන්න අතර එෆෙයාර් එකක් තියෙනවා…. අප්පච්චිට බයේ එයා උඹව බඳින්න කැමති වුණාට එන්ගේජ්මන්ට් එකට දවසක් තියල හරි මං සිතූව උස්සනවා…. තමුසෙට නම් දෙන්නෙ නෑ කියලා….”
“මොකක්….? ඇත්තටම එහෙම කිව්වද….?”
“කිව්ව තමයි බං…. මගෙ කෙල්ලව උඹට දන්දීල පැත්තකට වෙලා නම් ඉන්නෙ නෑ කියලත් කිව්වා….”
“මූ යකෝ….” මට කියැවිණි.
“හරි හරි දැන් වැඩේ හරි නේද….? හැබැයි ඉතින් මට නම් පොර පවු කියලත් හිතුණා….”
“ඇයි පවු….?”
“වන්දනාගෙ කේස් එකේදි මොනව වුණාද කියල අපි දන්නෙ නෑනෙ සිතූ…. හැබැයි අපි අතර එෆෙයාර් එකක් තියෙනව කිව්වාම පොර ෂොක් වෙලා වගේ විනාඩි ගාණක් මගේ දිහා බලන් හිටියා…. ඊට පස්සෙ ඇස්වල තිබුණු කඳුළුත් පිහදාල තමයි ඇත්තටමද මචං කියල ඇහුවේ….”
මනුල කියද්දී මට ද දැනුණේ කම්පනයකි. අම්මා පවසන ආකාරයට කුඩා කල අයියාටත් වඩා මා හට ආදරය පෙන්වා ඇත්තේ ඔහුය. අයියා මා රිදවන විට මා සනසා ඇත්තේ ඔහුය. ඔහු මගේම මිතුරියකගේ පෙම්වතා වී ඇයට දුකක් නොදුන්නේ නම් කිසිසේත් මා ඔහු ප්‍රතික්‍ෂේප නොකරනු ඇත.
“මං තියන්නම් මනූ…. අපි පස්සෙ කතා කරමු….”


“ආ මේ…. තව එකක්….”
“මොකක්ද මනූ….”
“අරූ මගෙන් කෝල් කරල ඇහුවනෙ හෙට නුවර යනවා ඒ යද්දි සිතූවත් එක්කන් ගියාට කමක් නැද්ද කියලා…. දැන් මොකටද ඔය නුවර යන්නේ….?”
“දන්නෙ නෑ මනූ….. මටත් කිව්ව යමු කියලා…. ඔයා මොකද කිව්වෙ ඉතින්….”
“මොනව කියන්නද බං…. උඹ ඌට මොනව කියලද කියලත් දන්නෙත් නැති නිසා සිතුලි කැමති නම් කමක් නෑ…. හැබැයි මේ අන්තිම වතාව, මගෙ කෙල්ලව එවන්නේ උඹව විශ්වාස කරල මචං…. ඒක අමතක කරන්න එපා කියලා කිව්වා….” මනුල කීවේ සිනාසෙමිනි.
“අනේ බං උඹව යවන්න තිබ්බේ රඟපාන්න…. හරි හරි මං තියනවා එහෙනම්….”
පසුදින උදෑසනම ශෙනුල් පැමිණියේ මගේ නවාතැන අසලටය. ඒ වන විටත් සූදානමින් සිටි මා ඔහු පැමිණි සැනින්ම ගොස් මෝටර් රථයට ගොඩවීමි.
“ආව් ආව්…. බෑ කිය කිය හිටියට මෙයා ශෙනුල් අයියත් එක්ක ගමන් බිමන් යන්නත් පටන්අරන් වගේ….” නිවසට ගොස් ඔහුට අසුනක් පනවා දී කාමරයට ගිය සැනින් ඇසුණේ නැගනියගේ හඬය.
“මෝඩියෙක් වගේ කෑ ගහන්න එපා බං…. ඒ මනුස්සයටත් ඇහෙයි….”
“හරි හරි කියනවකො දැන්…. අයියත් එක්ක ෂේප් වුණා නේද….?”
“පිස්සුද නංගි….”
“ඔයා නරකයි කිව්වට මට නම් අයියගෙ නරකක් පේන්නෙම නෑ හලෝ….” නැගනිය කියද්දී මට මැවී පෙනුණේ වන්දනාගේ මුහුණය. ඇය විඳි දුක දැක්කේ ඇය හා කාමරය බෙදාගත් මමත් මන්දිතාත්ය.
“ඔයා ඔහොම කියන්නෙ නෑ නංගි වන්දනා වින්ද දුක දැක්කනම්….. එයා ඔය කියන විදියට පොඩි කාලෙ ඉඳන්ම මට කැමැත්තෙන් හිටිය නම් වන්දනා එක්ක යාළු වුණේ ඇයි…?  ඒ කෙල්ලගෙ හිතත් එක්ක මගෙ ඇස් ඉස්සරහම සෙල්ලම් කරලා දැන් එයාගෙ අම්මලයි අපේ අම්මලයි දෙගොල්ලොම රවට්ටනවා….”
“ඒත් අයිය පවු හලෝ….”
“අනේ නංගි මේ…. එහෙනම් මට කියන්නෙ නැතුව තමුසෙ කැමති වෙනවකො එයාට….”  
“ඒක තමයි අක්කෙ…. තමුසෙට එපාම නම් කියනවකෝ…. මමවත් හිතල බලන්න….” නැගනිය කියද්දී මම කළේ අසල වූ කොට්ටය ගෙන ඇයට පහරක් දීමය.
“ලොකූ….” මගේ පහරින් බේරී කාමරයෙන් පිටතට දුවන්නට ගිය ඇය ද එක්වරම නැවතුණේ අප්පච්චිගේ හඬ ඇසීය.
“ලොකූ එනව පහලට….” මද නිහැඬියාවකට පසු යළිත් ඇසුණේ අප්පච්චිගේ කෝපය පිරි හඬය.
“මොකද අක්කි ඒ….” නැගනිය ඇසුවේ ආපසු හැරී මා සමීපයට එමිනි.
“අනේ මන්දා…. ගිහින් බලමු….” කී මම අඩියක් ඉදිරියට තැබුවේ සිතට දැනෙමින් තිබූ තිගැස්ම අතරිනි.

13 වන කොටසින් හමුවෙමු

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart