මටත් කවියක් ලියන්න – 3

රතු පැහැති සාරියෙන් සැරසී සිටි මම නෙලුකගේ නිවසට යෑමට තිබෙන අතුරු පාර අද්දරදී මෝටර් රථයෙන් බිමට බැස්සෙමි. ඔහුගේ මිතුරන් එකතු වී ලබා දෙන වදය විඳ දරා නොගෙන නිවසට යන්නට ඉඩක් නොලැබෙන බව නෙලුක කල් තියාම මා දැනුවත් කර තිබිණි. මෙරූන් පැහැති කුර්තා ඇඳුමකින් සැරසී සිටි නෙලුක මගේ දකුණතේ ඔහුගේ සුරතේ පටලා ගනිමින් මෘදු සිනාවක් පෑවේය.
“අඩෝ නෙලුකයා, නංගීව නග්ගපන් විල්බැරෝවට..”
මා තවමත් නිවැරදිව නමින් නොහඳුනන ඔහුගේ ගමෙහි මිත්‍රයෙකු පැවසුවේ මල්, කොලවලින් සරසා තිබූ විල්බැරෝව පෙන්වමිනි.
“අනේ මට නම් බෑ..”
එහි ඉඳගෙන යෑමක් සිතන්නටවත් නොහැකි වෙද්දී මා නෙලුකගේ සවනට මිමිණුවෙමි.
“බෑ කියලා බෑ නංගී.. බයවෙන්න එපා.. අපේ කොල්ලා වැඩකරු.. ඔයාව වැටෙන්න නොදී එක්කගෙන යයි..”
මා පැවසූ වදන් ශ්‍රවණය වූ තවත් මිතුරෙකු කෑ ගැසුවේය.
“නඟින්න මැණිකේ.. නැත්නම් මුන් මට කියයි ඔයාව කරේ තියන් යන්න කියලා..”
මිතුරන් දෙස ද බලමින් ඔහු පවසද්දී මට දැනුණේ නොරිස්සුම් සහගත බවකි. ඔහුගේ මිතුරන්ට අවැසි ලෙස කටයුතු නොකර ඔහු ඊට සෘජුවම විරුද්ධ වන්නට තිබුණේ යැයි මට සිතිණි. එහෙත් කළ හැක්කක් නොවෙද්දී මා විල්බැරෝව මතින් අසුන් ගත්තේ නෙලුකගේ සහයෙනි. සාරිපොට සේම සාරිය ද විල්බැරෝවේ රෝදයට හසුනොවන අන්දමට ගුලි කර දෙපා අතර රැඳවූ ඔහු මල් පොකුර ද මගේ අතට ලබා දුන්නේය.


“රිලැක්ස් එකේ ඉන්න බය වෙන්නේ නැතුව..”
මිමිණූ ඔහු සිය කුර්තාවේ අත් ඉහළට ඇද ගත්තේය. මොහොතකින් විල්බැරෝව පිටුපසින් එසවෙනු දැනෙද්දී මම තදින් දෑස් වසා ගතිමි.
“කමෝන් නෙලුක…”
“ඔන්න ඔහොම තමයි මචං අද ඉඳලා හැමදාම.. ගෑනිව තල්ලු කරන් යන්න ඕනේ..”
සෙමෙන් දෑස් විවර කළ මා විල්බැරෝව අල්ලා ගතිමි. රතිඤ්ඤා පත්තු කරමින් ද, උස් හඬින් ප්‍රීතිඝෝෂා කරමින් ද යන මිතුරන් දකිද්දී සිනාවක් නැඟුණත් පසුපසට දැනෙන වේදනාවත්, සාරියට වෙන හානියත් නිසා සිතේ වූයේ කෝපයකි.
“මහන්සියි යකුනේ දැන්නම්..”
නෙලුක විල්බැරෝව බිම තබද්දී මා ඉන් බසින්නට සැරසුණත් මිතුරෝ මා වැළැක්කූහ.
“යකෝ.. බැන්දට පස්සේ මහන්සියි කියලා කසාදේ බිමින් තියන්න බෑ.. දිගටම යන්නම ඕනේ.. යමන් යමන්..”
“ඇයි උඹ දිවා රාත්‍රී නොබලා වැඩ ඇල්ලුව ද..?”
“අම්මෝ.. කොල්ලා වැඩ්ඩනේ ඉතින්.. කෙල්ලට අමාරුත් වැඩි ඇති..”
වරින් වර ඇසෙන අසභ්‍ය කතා හමුවේ මම තදින් තොල සපා ගත්තේ කෝපය නිසාය.
“කට වහපල්ලා යකෝ..”
නෙලුක තරමක තදින් පවසමින් යළි විල්බැරෝව ඉදිරියට තල්ලු කරන්නට වූයේය.
නිවස ඉදිරිපිටට පැමිණි පසු මා එයින් නැඟිට ගත්තේ ඔහුගේ අතේ වාරුවෙනි.
සාරියේ පසුපස පිසදමා මගේ බඳ වටා අත යවාගත් ඔහු බඳ මෘදුව පිරිමැද්දේ මගේ කෝපය වටහා ගත්තාක් මෙනි.
“කොල්ලොනේ මැණිකේ.. අපිත් ඔහොම ආතල් දෙනවා කපල්වලට.. කාම් ඩවුන්.. හිනාවෙලා ඉන්න..”
ඔහු සෙමෙන් මුමුණද්දි මම නිහඬවම ඉදිරියට නෙත් යොමු කළෙමි.
විශාල වත්තක් මැද පිහිටි, රට උළු සෙවිලි කළ තනි මහලේ තරමක් විශාල නිවස විදුලි බුබුළු යොදාගනිමින් අලංකාර ලෙස සරසා තිබිණි. නගරය මධ්‍යයේ පිහිටි දෙමහල් නිවසක වාසය කළ මට මේ ග්‍රාමීය පරිසරය සේම නිවස ද සිතට ප්‍රීතියක් ගෙන නොආවේය. නිවස ඉදිරියේම ඔසරියකින් සැරසුණු නෙලුකගේ මව වතුර වීදුරුවක් තබාගෙන සිටියාය. ඔහුගේ නැදෑ පිරිවර අතරම ලේස් සාරියකින් සැරසුණු මගේ අම්මාත්, මල්ලීත් තාත්තාත් සිටියහ.
අපි දෙදෙනා ඔවුන් අසළට ගමන් කළේ සිනාමුසුවය.
“බුදුසරණයි මගේ පුතාට.. දෙන්නම හොඳින් ඉන්න ඕනේ.. එන්න දුව…”
නෙලුකගේ අම්මා අප දෙදෙනාට වතුර වීදුරුවෙන් උගුර බැගින් පෙව්වාය.
මගේ අම්මා සේම මල්ලීද කිසිත් නොපවසා මා වැළඳගෙන පිළිගත්හ. තරමක දුරින් සිටි තාත්තා, අසළට පැමිණ මගේ හිස පිරිමැද ආශිර්වාද කළේය.


“යමු..”
ආලින්දයේ පසෙක නිර්මාණය කර තිබූ සෙටි බැක් එක වෙත ගිය අපි එහි අසුන් ගත්තෙමු. එවිටම යුවතියක ගෙනා බීම වීදුරුව දකිද්දී මට සහනයක් දැනුණේ දැඩි පිපාසයකින් පීඩා විඳිමින් සිටි නිසාය. ඡායාරූප ශිල්පියාට අවැසි අන්දමට වීදුරු දෙක හුවමාරු කරගෙන පානය කරන විලාසයක් පෙන් වූ පසු මම ඉන් උගුරු කිහිපයක් එක දිගට පානය කළෙමි. එහෙත් එවිටම මුවට දැනුණු ලුණු රසය උගුර හාරාගෙන යද්දී මම අතින් මුව වසා ගත්තෙමි.
එම යුවතිය සේම එදෙස බලා සිටි ඔහුගේ මිතුරන් ද උස් හඬින් සිනාසෙන්නට වූයේ එය ද ඔවුන්ගේම වැඩක් බව තහවුරු කරමිනි.
නෙලුක ද මුව ඇද කරගෙන වීදුරුව පසෙකින් තැබුවේ ඔහුගේ බීම වීදුරුවේ තත්ත්වය ද වෙනසක් නැති බව පෙන්වමිනි.
“මැණිකේ ඇයි..?”
මම මුව වසාගෙන යළි පිටතට එන්නට දඟලන බීම අසීරුවෙන් කුස තුළට තල්ලු කර දැමුවෙමි.
“මොන විකාරයක් ද නෙලුක මේ.. තිබහ නිසා බීගෙන ගියේ.. අප්පිරියයි මට දැන්.. වමනෙටත් එනවා..”
මම පහත් ස්වරයෙන් කෝපයෙන් කියාගෙන ගියෙමි.
“විකාර කරන්නේ නැතුව බොන්න දෙයක් අරන් එන්න නංගී.. තිබහේ ඉන්නේ..”
අපිට බීම ගෙනැවිත් දුන් යුවතියට නෙලුක පැවසුවේ තරමක දැඩි හඬකිනි.
“මොනවද ළමයි කරන්නේ..? විකාර කරන්න එපා..”
සිදු වූ දෙය වැටහුණු ඔහුගේ මව, තරවටු ස්වරයෙන් සියලු දෙනාටම අවවාද කළාය.
පැයකට වැඩි කාලයක් නෙලුකගේ නෑදැයින් හඳුනා ගැනීමටත්, ඡායාරූප ගැනීමටත් ගෙවී ගියේය. නෙලුක සිය මිතුරන් හා මුහු වීමට ගිය පසු මම අම්මා හා මල්ලී අසළට ඇවිද ගියේ අදින් පසු කෙදින ඔවුන් හමුවේදැයි නොදැන සිටි නිසාය.
“අම්මා..”
ආහාර ගනිමින් සිටි අම්මා අසළින් අසුන් ගත් මම බත් කටවල් කිහිපයක් කවා ගත්තෙමි.
“මෙහෙ ඉන්න පුළුවන් කියලා හිතනව ද..?”
අම්මා පහත් හඬින් ඇසුවේ නිවස පුරාවට නෙත් යවමිනි.
මෙය මා නෙලුකගේ නිවස දකින පළමු වතාව වුවත්, චාරිත්‍රානුකූලව, විවාහයට පෙර අම්මා මෙහි පැමිණියාය. එම නිවස මට නොගැලපෙන බවත්, නාගරික පරිසරයක සිටි මට මෙම ග්‍රාමීය පරිසරයට හැඩ ගැසෙන්නට නොහැකි වෙනු ඇති බවටත් ඇය එදින අනාවැකි පැවසුවාය.
“එහෙම විශේෂ අවුලක් පේන්නේ නෑ..”
මා පැවසුවේ සැබෑවටමය. තවමත් පැමිණ පැය ගණනාවක්වත් ඉක්ම නොගිය තැන මෙහි සිටින්නට හැකිද නොහැකිද පවසන්නට මට නොහැකි විය.
“විශේෂ අවුල් ඔක්කොම පෙනෙයි ඉන්න ගියාම.”
ඇය යළිත් බත් කටක් මගේ මුවට ඇතුල් කලාය.
“මොකක්ද ඕයි අර අයියගේ යාලුවෝ කරපු කැත වැඩේ.. විල්බැරෝව ඉන්දවගෙන තල්ලු කරන් ඇවිත්.. ඒ මදිවට ලුණු දාපු ඩි්‍රන්ක්ස් දීලා.. තර්ඩ් ක්ලාස් මිනිස්සුනේ..”
මල්ලී පවසන්නට වූයේ නොරිස්සුම් සහගතවය. එම සිදුවීම් දෙකම මට ද කෝපය ගෙන එන ඒවා වුවත් මම එබවක් ඔහු හමුවේ නොඅඟවා සිටියෙමි.
“නෙලුකට රැග් එකක් දෙන්නනේ..”
“අනේ මන්දා අක්කේ.. තමුසේ මෙහෙ කොහොම ඉදීද කියලා.. කැමැති විදියට ඇඳුමක්වත් අඳින්න පුළුවන් වෙයිද මන්දා.. පේනවනේ නෑදැයෝ ඇඳලා ඉන්න විදිය.. හෙණ ගොඩේ..”
විලාසිතා කෙරෙහි වැඩි අවදානයක් යොමු කරන මල්ලී යළිත් පැවසුවේය.
“ඒක නම් ඇත්ත.. ඔයා හිටිය විදියත් එක්ක මෙහෙට හැඩ ගැහිලා කොහොම ඉදී ද මටත් තේරෙන්නේ නෑ.. කසාදේ වෙන්න කලින් මම කිව්වා මේක කරන්න එපා කියලා.. කොහෙද හිතුවක්කාරකමනේ.. කොහොම වුණත් කමක් නෑ.. ඉන්න බැරි නම් ආපහු එන්න.. මම ඔයාව බාර ගන්නවා..”
අම්මාගේ හා මල්ලීගේ වදන් මගේ සිතට ගෙන ආවේ දැඩි නොරිස්සුමකි. මගේ මවගේත් පියාගේත් දික්කසාදය හේතුවෙන් අප විඳි වේදනා අපමණය. මා විවාහ වූයේම මගේ ජීවිතය දික්කසාදයෙන් කෙළවර කර නොගන්නා බවට මටම පිළිණ දෙමිනි. එසේ තිබියදී ඇගේ මෙවදන් මට කෝපයට හේතුවක් පමණක් විය.
“හරි හරි බලමුකෝ.. තවම ආවා විතරනේ.. තාත්තා ගියා ද..?”
“හ්ම්ම්..”
තවත් බත් කටක් ආහාරයට ගත් මම නිහඬවම එතැනින් පිටව ආවෙමි.
අම්මාගේ හා මල්ලිගේ පිටව යෑම දැඩි වේදනාවක් වෙතැයි සිතා සිටියත් පෙර සිදු වූ සිත් බිඳීම නිසාම මට එය එතරම් දුකක් නොවිණි.
රාත්‍රී fදාළහ පසුවෙද්දීත් ඔහුගේ මිතුරන් පිටව නොගියෙන් නෙලුක, ඔවුන් පිටත් කර හරින්නට උත්සාහ කරමින් සිටියේය.
“දුව යන්න ගෙට.. ගිහින් ඇඳුම් මාරු කර ගන්න.. මහන්සියි ඇතිනේ..”
මගේ නැන්දම්මා කරුණාවන්ත ස්වරයෙන් පැවසුවෙන් මම හිස සැලුවෙමි.
“මෙන්න නෙලුකගේ කාමරේ..”
ආලින්දයේ සිට විහිදුණු කොරිඩෝවේ කෙලවර තිබූ කාමරයට ඇය මා රැගෙන ගියාය. එහි විසල් ඇඳක්, කණ්ණාඩි මේසයක් හා වානේ අල්මාරියක් තිබිණි. මා ගෙන ආ කණ්ණාඩි මේසය මේ කාමරයට මාරු කර ගත යුතු යැයි සිතමින් මම ඇඳට බර වුණෙමි.
මගේ ඇඳුම් බෑග් කාමරයේ පසෙක තබා තිබෙනු දුටුවත් වෙහෙස නිසාම මා ඇඳ මත හරහට ඇල වූයේ සාරි කටු ගලවා ගැනීමට යමෙකුගේ සහය ද අවැසි නිසාය.
“සූටි මැණිකේ..”
මුහුණට දැනෙන සීතල සමඟින් තිගැස්සුණු මම දෙනෙත් විවර කළෙමි. මගේ මුහුණට එබීගෙන සිටියේ නෙලුකයි. කිහිපවරක් ඇසිපිය සලා පැහැදිලි සිහියට එන්නට මට හැකි විණි.
“නින්ද ගියා ද සූටි මැණිකේ..?”
ඔහු පැටලිලි ස්වරයෙන් විමසුවේ මට සයනයෙන් නැඟිටින්නට සහය දෙමිනි.
“හ්ම්ම්.. කීයද වේලාව..?”
රත් පැහැ දෑසත්, පැටලෙන වචනත් ඔහු හොඳහැටි බීමත්ව සිටින බව වැටහෙද්දී මම විමසුවෙමි.
“දෙකයි..”
“මට සෑහෙන වේලාවක් නින්ද ගිහින්නේ..”
දෑස් පිසදා ගන්නට උත්සාහ කළත් ගල්වා සිටින මේකප් සිහිපත්ව මම දෑත වළක්වා ගතිමි.
“ම්ම්ම්.. ඒකනේ.. මම එද්දී,. සැපට fදායි බබා.. ඉතින් මම වොෂ් දාගෙන ආවා..”
ඔහු මගේ කොපුලක් පිරිමැද පවසද්දී මම හොඳින් ඔහු දෙස බැලුවෙමි.
ඔහු සරමකට මාරු වී සිටින බව මා දුටුවේ ඒ මොහොතේය.
“ඇයි වොෂ් දැම්මේ නැත්තේ..?”
“සාරියේ කටු ගලවා ගන්න බෑ..”
අඩ නින්දෙන් ඇහැරෙන්නට වූ නිසාත් මෙතෙක් වේලා එකම ඇඟලුමකින් සැරසී සිටින්නට වූ නිසාත් මට දැනුණේ අපහසුවකි.
“අපොයි සූටි මැණිකේ.. මට කිව්වා නම් ගලවනේ සාරියම..”
“අනේ මේ.. කිව්ව දේ කරනව ද..?”
මම හිස ගස්සා ඔහුට පිටුපා හැරුණෙමි.
ඔහු සිනාසෙමින් මගේ පිට සිප ගනිමින් කටු ඉවත් කර දුන්නේය. හිසකෙස්වල තිබූ කොණ්ඩ කටු ද ඔහුගේ සහයෙන් ගලවා ගත් මම ඔහුගේ මඟපෙන්වීමෙන් නාන කාමරයට ගියෙමි.
“සූටි මැණිකේ මොනවා හරි කනව ද..?”
“ම්හ්ම්..”
කොළඹට වඩා කුරුණෑගල උණුසුම් ගතියක් දැනුණෙන් ද, සිරුරම ඇලෙන ගතියක් දැනුණෙන්ද මම වේලාව ගැන නොසිතාම නා ගතිමි.
සැහැල්ලු රාත්‍රී ඇඳුමකින් සැරසී සයනයට පැමිණෙන විටත් නෙලුක සුව නින්දකට වැටී සිටියේ සිහින් හඬින් ගොරවමිනි.
හිසකෙස් වියලනය ආධාරයෙන් හිසකෙස් වියලාගෙනම සයනයනට නැඟුණු මා නෙලුකව පසෙකට හරවා ඇඳ අයිනටම තල්ලු කර දැමුවේ නොරිස්සුම් හැඟුමෙනි.
තවමත් මට නිවස නුහුරු නිසා එතරම් බීමත් නොවී මා එනතුරු බලා සිටියා නම් යැයි මම සිතුවෙමි. නුහුරු නුපුරුදු සයනය සේම පරිසරය ද මගේ නින්ද දුරස් කර තිබුණෙන් සුවසේ නිදන නෙලුක දෙස බැලුවේ ඊර්ෂ්‍යාවෙනි.
“තාත්ති.. තාත්ති..”
මම ඔහු සොලවමින් අවදි කරන්නට උත්සාහ කළත් ඔහු ‘හ්ම්ම්’ යැයි පවසමින් උඩු අතට පමණක් හැරිණි. ඇති වූ කෝපය නිසාය මම ඔහුගේ ඉණට තදින් ඇන්නෙමි.
“ආව්..”
මම, අඬ අඳුරේ පෙනෙන රුවට රවමින්ම ඔහු දෙස බලා සිටියෙමි.
“මැණිකේ ඇයි..?”
එවර නම් ඔහු සම්පූර්ණයෙන්ම අවදිව තිබුණත් කටහඬෙහි තිබුණේ දැඩි නිදිබර බවකි.
“මට නින්ද යන්නේ නෑ…”
මම නෝක්කාඩු කීවෙමි.
“කෝ එන්න ළඟට…”
ඔහු මදෙසට හැරී මාගේ බඳවට අත දමා ඔහු වෙතට ඇද ගත්තේය.
“මට බෑ.. ඔයා නිදාගන්න.. මම එන්න කලින් තනියම නිදා ගත්තේ..”
“ම්ම්ම්.. නින්ද ගියා බං..”
“එහෙනම් නිදා ගන්න.,”
මා ඔහු තල්ලුකර දමන්නට උත්සාහ කළත් ඔහු පාදයක් ද මගේ දෙපා මතින් දැමුවේය.


“මම fදායි කරවන්නම්..”
නෙලුක මගේ නළලත සිප පිට සෙමෙන් පිරිමදින්නට විය.
“එහෙම නින්ද යන්නේ නෑ අනේ.. තැන මාරු වෙලානේ.. මට රස්නෙයිත් වගේ.. ඇඟටත් අමාරුයි..”
මම නෝක්කාඩු රැසක් ඔහු හමුවේ දිග හළෙමි.
“අප්පා.. මම සිංදුවක් කියන්න ද..?”
“ඔයාට සිංදු කියන්න පුළුවන් ද..?”
මම ඔහුගේ ළයෙන් හිස මුදාගෙන මුහුණ දෙස බැලුවෙමි. අඬ අඳුරේ දිලෙන ඔහුගේ දෙනෙත් අතර මම මොහොතක් අතරමං වුණෙමි.
“සිංදු කියන්න බෑ….මම කලින් කියලත් නෑ.. ට්‍රයි එකක් දෙන්න පුළුවන්.. කැමැති ද..?”
එවර ඔහු මගේ සවනක් සෙමෙන් සැපුවේය.
“හ්ම්ම්ම්.. ගැරඬි එයි ද..?”
“විල් සී..”
මගේ සරදම ගණනක් නොගත් ඔහු මොහොතක් නිහඬවම සිටියේය.
“තාත්ති..”
ඔහුට නින්ද ගියාදැයි සැකයෙන් මම යළි මිමිණුවෙමි.
“ඔබ නිදන්න.. ඔබ නිදන්න.. සුවෙන් සැතපිලා.. ඉහ ඉද්දර මම ඉන්නම් පවන් සල සලා..”
තරමක රළු හඬකින් ඔහු සිදු කරන ගායනය වෙන අයෙකුට එතරම් මිහිරි නොවුණත් මට නම් එය බොහෝ මිහිරි විය. එය මා වෙනුවෙන්ම කරන ගායනයක් නිසාම මට එය බොහෝ සේ වටිනේය. ඔහුගේ ළය සිපගෙන දෙනෙත් වසා ගත්තේ එම හඬ සවන පිනවද්දීය.

යළි හමුවෙමු.

1 thought on “මටත් කවියක් ලියන්න – 3”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart