තායිලන්ත දින පොත – 3

1999 නොවැම්බර් 8

ඇග්‍රොමාට් පදනමේ පරිපාලන නිලධාරිනිය විදියට කටයුතු කරන දයානි හරිම සුහද ආදරණීය චරිතයක්. අනිත් අයගෙ වුවමනා එපාකම් ගැන හරියට හොයලා බලනවා. පාන්දරින්ම නැගිටින එකත් ඇගේ පුරුද්දක්.

උදේම නැගිටලා උයන්න පිහින්න කියල ද..? දරුවන් ගෙ වැඩ කරන්න කියල ද..? නිදා ගන්න මෙහෙම චාන්ස් එකක් එන්නෙත් කලාතුරකින්නෙ. ඒ හින්දා මම ටිකක් වැඩිපුර නිදා ගන්නවා.

දයානි නැගිටලා කාමරේ ලයිට් එක දානකොට මටත් ඇහැරෙන හින්දා නොරිස්සුමකුත් නොදැනෙනවා නෙමෙයි. ඒත් ඇගේ කාරුණික බව, මට ඒ නොරිස්සුම වචනවලට පෙරළන්න ඉඩක් දෙන්නෙ නෑ.

“ඔයා ඊයෙ රෑටත් කෑවෙ නෑනෙ.. මල්ලිකාලා තේ හදනවා ඇති.. මම ගිහින් තේ එකකුත් අරන් එන්නම්..” කියලා දයානි ගියෙ මල්ලිකාගෙ කාමරේට.

මල්ලිකයි ඇග්‍රොමාට් පදනමේ ගිණුම් අංශය භාර අධ්‍යක්ෂිකා මිසිස් ගුණතිලකයි හිටියෙ එකම කාමරේ. මල්ලිකා උදේ තේ හදන්න ඕන දේවල් අරගෙන ආවෙ. අපිටත් කිව්වා හීටරයක්, තේ කොළ, සීනී, කිරිපිටි අරගෙන එන්න කියලා.

හෝටල්වලනෙ නවතින්නෙ කියලා අපි ඒවා ගෙනාවෙ නෑ. ගෙනාවෙ නැති මෝඩකම කියලා අපිට තේරුණේ මෙහෙ තේවල තත්වේ අත් වින්දට පස්සෙ. අත්දැකීම් තියෙන වැඩිහිටියෙක් දෙන උපදෙස්වලට ගරු කරන්න ඕන කියන පාඩම තමයි අපි තායිලන්තෙදි මුලින්ම ඉගෙන ගත්තෙ.

තේ කෝප්පෙකුත් අරන් ආපහු කාමරේට ආව දයානි පිටිපස්සෙම අපේ කණ්ඩායමේ ව්‍යවසායිකාවන් හතර දෙනෙකුත් ආවා හිනා වෙවී. එක්කෙනෙක් අතේ අර එයාර්පෝර්ට් එකේදී පිරිමි කණ්ඩායමට දුන්න පොත් කට්ටලය තිබුණා. ඒක දැක්කම මගේ නිදිමතත් කොහෙද නැතුව අතුරුදහන් වුණා.

“කොහෙන්ද හොයා ගත්තෙ..?” මම ඇහැව්වා.

“කොහෙන්ද කියලා අහන්න එපා මිස්.. ඉක්මනට අපි බලමු..” කියලා එක්කෙනෙක් පොත් ටික එළියට අරගෙන ඇඳ උඩ තිබ්බා.

“ඕවයෙ තියෙන්නෙ මොනවද කියලා මල්ලිකා මට කිව්වා.. මමනම් ආසා නෑ ඔය කෙහෙම්මල් බලන්න..” එහෙම කිව්ව දයානි තේ එක මගෙ අතට දීලා ආයෙමත් කාමරෙන් එළියට ගියා.

පොත් කට්ටලයෙ තිබ්බ පින්තූර දැක්කම අපිට දැනුණෙ එකඑක්කෙනගෙ මූණු දිහාවේ බලන්න බැරි තරම් ලැජ්ජාවක්. හැම එකකම තිබ්බෙ විවිධ ඉරියව්වලින් ඉන්න සුන්දර කාන්තාවන්ගෙ නිරුවත් ඡායාරූප. ඒ කාන්තාවන් සම්බන්ධ කර ගන්න පුළුවන් තැන්, දුරකථන අංක ඒ ඡායාරූප එක්කම සඳහන් කරලා තිබුණා.

තායිලන්තයේ ගණිකා වෘත්තිය නීතිගත කරලා තියෙන්නෙ කියලා දැනගෙන හිටියට මේ තරම් විවෘතව ඒවා කෙරෙනවා කියලා අපි දැනගෙන හිටියෙ නෑ. රතු වීදිය කියන්නෙ ගණිකා නිවාස බහුලව තියෙන වීදියක් කියලා දැන ගන්නත් අපිට පුළුවන් වුණා. කෙල්ලො එකඑක අදහස් පළ කළත් මමනම් හිටියෙ නිහඬවමයි.

මට මේ ගැන පුළුල් විදියට කවුරු හරි එක්ක කතා කරන්න ඕන වුණා. ලංකාවෙත් ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕන කියලා කාන්තා සංවිධානෙක සාමාජිකාවක් ලියපු ලිපියක් මම වරක් දිනිති පුවත්පතේ පළ කරලා ලැබුණ බැණුම් මුසු ප්‍රතිචාර මට මතක් වුණා.

ලිංගික ඇසුර කියන්නෙ මිනිස් අයිතිවාසිකමක්, ඒක සපුරා ගන්න ගණීකාවන් ළඟට යන අය හෙළා දකින්න හොඳ නෑ, ගණිකා වෘත්තිය නවත්තන්න බැරි එකේ ඒක නිීතිගත කළාම පාරිභෝගිකයන්ට සෞඛ්‍ය සම්පන්න හොඳ සේවාවක් ලබා ගන්න පුළුවන් කියලා ඇය තර්ක කරලා තිබුණා.

ඒත් වැඩි දෙනෙක් දැක්වූයේ සෘණ ප්‍රතිචාර.

“ඕවා අරන් ගිහින් තිබ්බ තැනක තියන්න… හත වෙනකොට පිටත් වෙනවා කියලා ලෑස්ති වෙන්න කිව්වා..” දයානි ආපහු ආවේ එහෙම කියාගෙන.

කෙල්ලො පොත් ටිකත් අරන් ආපහු දිව්වා. තායිලන්තෙ ගණිකා වෘත්තිය ගැන පත්තරේට ලිපියක් ලියන්න ඕන කියලා මට හිතුණා.

අද අපි ගියේ රාජ්‍ය අනුග්‍රහය ඇතුව වී වගා කරන රෝයල් චිත්‍රලාදා ප්‍රොජෙක්ට් එක බලන්න. ඒකේ වගා කරලා තියෙන වී වර්ග ගණන 40 ක්ලු. රජතුමාගෙ ජන්ම උත්සව සමයෙදි ගොවීන්ට නොමිළේ බෙදලා දෙනවලු. මේ ව්‍යාපෘතිය 1992 දී පස් දෙනෙකුගෙන් පටන් අරගෙන තියෙන්නෙ. දැන් ඉතාමත්ම පුළුල් හුඟාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් තැනක්. මේකේ හරක් 40 ක් ඉන්නවා. දවසකට කිරි ලීටර් 200ක් ගන්නවලු. ගොම සීයට පනහයි, වතුර සීයට පනහයි යොදා ගන්න ජීව වායු ඒකකයක් තියෙනවා. තිලාපියා මාළු වගා කරන පොකුණකුත් තියෙනවා.

කිරිවලින් හදන අපූරු රසකැවිල්ලක් තිබුණා. ඒක හරියට ටූත් පේස්ට් ටියුබ් එකක් වගේ ටියුබ් එකක දාලා තියෙන්නෙ. මිරිකලා ගන්නකොට පේන්නෙත් ටූත් පේස්ට් වගේ. හරිම රසයි. කිරි ආශ්‍රීත අතුරු නිෂ්පාදනවලින් වැඩි කොටසක් යවන්නෙ පාසැල් ළමයින්ටලු.

හාල් පැහැලා ඉතුරු වෙන හුනුසාල්වලින් හාල් පිටි නිෂ්පාදනය කරනවා. දහයියාවලින් හදන අඟුරු කිලෝ එකක් බාත් දෙකයි. මේවා ඔක්සිජන් එක්ක මිශ්‍ර කළාම වෙනත් නිෂ්පාදනයක් ලැබෙනවලු. අවුරුදු 700 කට ඉස්සර ඉඳන් පැවත එක අලුත් සහල් මංගල්‍යය දැනුත් පැවැත්වෙනවලු. 1961 රජතුමා භාවිතා කරපු දෑකැත්තත් ප්‍රදර්ශනයට තියලා තිබුණා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart