සිත් අහසට නුඹ ඇවිදින් – 6 වන කොටස


“මොකක්ද සිතූ අරූ අර කිව්වේ…. ඔයාගෙ අප්පච්චි ඌට ඔයා‍ගෙ අයිතිය දුන්නයි කියල නේද කිව්වේ…. මොකක්ද ඒකෙ තේරුම….” ශෙනුල් පිටව ගිය සැනින් මවෙතට හැරුණු මනුල ඇසුවේ මගේ උරහිස්වලින් ද තදින් අල්ලමිනි.
“මං පස්සෙ කියන්නම් මනූ…. අපි දැන් මෙතනින් යමුකො….”


“මට දැනගන්න ඕනෙ සිතූ….”
“පස්සෙ කියන්නම් අනේ….” මගේ හඬ ද බොඳ වී තිබිණි.
“හ්ම්ම්ම්…..යමු යමු…. වටේ පිටේ මිනිස්සුත් බලනවා….”
“ඔව් මනූ….”
“අරූ හැසිරුණේ තනිකර පිස්සෙක් වගේනෙ…. එතකොට උඹ පහුගිය ටිකේ අවුලෙන් හිටියෙ මූ නිසාද….? ආ සිතූ….” මනුල ඇසුවේ මා දෙස ඍජුව බලමිනි.
කාර්යාලයේ සේවයට පැමිණි දා සිටම සමීපතම මිතුරකු වූ මනුලට මගේ වෙනස්කම් අන් සියල්ලන්ටම පෙර දැනුණේය.
“ඔව් මනූ…. අපේ අප්පච්චිල මාව ශෙනුල්ට ප්‍රපෝස් කරල තිබිල තියෙන්නෙ අපි පොඩි කාලෙදිලු…. එයාගෙ අප්පච්චියි මගේ අප්පච්චියිත් ඒ කාලෙ ඉඳන්ම යාළුවෝ….”
“මොකක්…. ඒ මොන විකාරයක්ද බං ඒ…. පොඩි කාලෙ කසාදයක් ගැන මෙලෝ තේරුමක් නැති උන්ට මගුල් කතා කරල තියන්න උඹලගෙ අප්පච්චිලට පිස්සුද….?”
“ඒක නම් මටත් හිතාගන්න බෑ මනුල….”
“අනික බං ඌ වන්දනාට කරපු ජරා වැඩේ දැන දැන උඹට මූව බඳින්න පුළුවන්ද….? ඒ ගැන උඹ අප්පච්චිට කිව්වෙ නැද්ද….?”
“අපේ අප්පච්චි එහෙම තීරණ වෙනස් කරන කෙනෙක් නෙවෙයි මනුල…. එයයි නැන්දයි තමයි අපේ ගෙදර තීරණ ගන්නේ…. මං ඕක කිව්ව නම් නැන්ද කියයි කොල්ලො එහෙම තමයි නාවල වුණත් ගෙට ගන්න පුළුවන්…. කසාද බැන්දම ඕව හරියනවා කියල….”
“දැන් එතකොට උඹ මූව බඳිනවද….?”
“අනේ මට බෑ මනූ….”
“හරි අපි පස්සෙ ඒ ගැන කතා කරමු…. අන්න බස් එකක් එනවා…. දැන් හොඳ ළමය වගේ පරිස්සමින් යන්න…. වැඩිය හිතන්න එපා…. ඕනෙම දේකට මම ඉන්නවා….” ඔහු කීවේ මගේ හිස අත ගා දෙනෙතෙහි වූ කඳුළු ද පිසලමිනි.
හිස දෙපසට වනා ඔහුට ප්‍රතිචාර දැක්වූ මා බස් නැවතුමේ නැවතූ බස් රියට ගොඩවූයේ ඔහුට අත වනා සමුදෙමිනි.
මා නවාතැනට යන විටත් මන්දිතා ද පැමිණ සිටියාය. සතුටක් යම් දැනුණේ සිදුවූ සියල්ල පවසා සිත සැහැල්ලු කරගන්නට හැකි වූ එක ගැනය.


“අනේ මන්ද බං…. ශෙනුල් එක්ක නම් උඹට ලේසි වෙන එකක් නැහැ…. උඹ නෑ කිව්වට ඌ ෂුවර් එකටම හිතන්න ඇති මනුල උඹගෙ බෝයි ෆ්‍රෙන්ඩ් කියලා….” මා කියූ සියල්ල අසා සිටි ඇය පැවසුවාය.
“අක්කි….” නැගනියගෙන් ඇමතුමක් ලැබුණේ රාත්‍රී ආහාරය ද ගෙන නිදාගන්නට සූදානම් වෙද්දීය.
“නංගි ඇයි…. කලබලෙන් වගේ….” ඇයගේ කටහඬේ තිබූ කලබලකාරී ගතිය නිසාම මා විමසීමි.
“අම්ම හරි අප්පච්චි හරි කෝල් කළාද ඔයාට….”
“නැහැ නංගි ඇයි….?”
“ඔයා පිරිමි ළමයෙක්ගෙ අතින් අල්ලන් ඉන්න ෆොටෝස් වගයක් කවුද අප්පච්චිට එවලා….”
“මොකක්….”  
“ඔව් ඇවිත් තියෙන්නෙත් අප්පච්චිගෙ මේල් එකට…. ගෙදර ඇවිත් අම්මට හොඳටම කෑ ගැහුවා…. ඔයාට ගෙදර එන්න කියන්න කිව්වා…. තියන ළඟම නැකතට ශෙනුල් අයිය එක්ක රෙජිස්ටේ්‍රෂන් එක ගන්නත් ලෑස්ති වෙන්න කිව්වා….”
අප්පච්චිගේ විද්‍යුත් ලිපිනය භාවිතා වන්නේ ඔහුගේ රාජකාරී කටයුතු වෙනුවෙන්ම පමණකි. එයට මාගේ ඡායාරූප එවීමට සිටින්නේ කවුරුන්ද? අනිවාර්යයෙන් මෙය ශෙනුල්ගේ වැඩකි. එසේ නම් ඔහු මා හා මනුලට බැණ තර්ජනය කිරීමෙන් නැවතී නැත.
මම ජංගම දුරකතනය ද ගෙන නවාතැනේ එළිමහන් කොටසට ගොස් ඔහුගේ දුරකතන අංකය සොයාගතිමි.
“හෙලෝ කියන්න මගෙ බෝනික්කි….”
“අනේ මේ මිස්ටර් ශෙනුල්…. ඔයාගෙ බෝනික්කියො මෙහෙ නැහැ…. තමුන්ට දැන් සතුටු ඇතිනෙ නේද….”
“ඇයි ඇයි සිතුලි…. මොකද මේ…. ඇයි ඔය කේන්ති ගිහින්….” ඔහු කිසිවක් නොදන්නාක් මෙන් කලබල වී විමසද්දී සිදුවූයේ මගේ කෝපය තවත් වැඩිවීම පමණි.
“අනේ මේ බබා වෙන්න හදන්න එපා…. මගෙයි මනුලගෙයි ෆොටෝස් අපේ අප්පච්චිට යවල තමුන් මොනවද බලාපොරොත්තු වෙන්නෙ කියනවද….”
“මොන ෆොටෝස්ද ළමයෝ…. මොනවද මේ කියන්නේ….”
“ඔව් ඔව් ඔයාට තේරෙන්නෙ නෑ…. ඔයා බබානෙ…. මේ පුළුවන් නම් ඔය ටික මටත් එවනවද ප්ලීස්…. එතකොට මං ඔය ටික ඔයාගෙ ගෙදරටත් යවන්නම්…. ඊට පස්සෙවත් මේ කරනවයි කියන කසාදෙ ඉවරයක් වෙයිනෙ….”
“සිතුලි පොඩ්ඩක් අහන්නකො…. ඔයාගෙයි අර අද හිටිය බෝයිගෙයි ෆොටෝස් වගයක් මටත් ඇවිත් තිබුණා….”
“අහ් ඇත්තද…. එතකොට ඒ ටිකද ඊට පස්සෙ ඔයා අප්පච්චිට යැව්වෙ….?”
“අයියෝ පිස්සුද ළමයෝ…. කියන දේ අහන්නකො ටිකක්….” ඔහු කියද්දීම මම දුරකතන ඇමතුම විසන්ධි කර දුරකතනය ද ක්‍රියා විරහිත කර දැමුවෙමි.
ඔහුගේ බොරු අසා සිටීමේ අවශ්‍යතාවයක් මට වූයේ නැත. වන්දනා ද මාස ගණනක් රැවටුණේ ඔහුගේ ඔය බොරුවලටය. ඔහු කී සියල්ල විශ්වාස කළ ඇයට අත්වූ ඉරණම දැන දැන ඔහු සමඟ තවදුරටත් කතා කර පළක් නැත.
සිතෙහි වූ කලබලය නිසාම රාත්‍රියේ මට නින්දක් වූයේ නැත. මට නින්ද යද්දී අළුයම වී තිබිණි. උදෑසන අවදි වී ජංගම දුරකතනය යළි ක්‍රියාත්මක කළ පසු ලැබුණු පළමු ඇමතුම අප්පච්චිගෙනි.
“ඔව් අප්පච්චි කියන්න….” තිගැස්සුණු සිත යටපත් කරගනිමින් මම ඒ හා සම්බන්ධ වීමි.
“හෙට ගෙදර එනවා….” ඔහු කීවේ එපමණකි. එහා පසින් ඇමතුම විසන්ධි වනු ඇසිණි.
“දැන් එතකොට මොකද වෙන්නෙ සිතූ….” ඇමතුම අවසන් වන තුරු මා දෙස බලා සිටි මන්දිතා ඇසුවාය.
“අප්පච්චි හෙට ගෙදර එන්නලු…. මොනව වුණත් මට හෙට ගෙදර නම් යන්න වෙනවා…. ඊට පස්සෙ මොනව වෙයිද දන්නෙ නෑ….”
“උඹ ගෙදර නොයා හිටියොත්….”
“අප්පච්චි එපා කියද්දි මම ජොබ් එකට ආව එක ගැන එයා තාමත් අම්මට බනිනවා… මේ පාර මම අප්පච්චිගෙ වචනෙට පිටින් ගියොත් අප්පච්චියි නැන්දයි එකතුවෙලා ආයෙමත් ඒ මනුස්සයගෙ ඔලුව කයි…. ඒ නිසා මේ ප්‍රශ්නෙන් පැනල යන්න බැහැ මන්දි…. ෆේස් කරන්නම වෙනවා….”
“අනේ මන්දා බං….”

7 වන කොටසින් හමුවෙමු 

3 thoughts on “සිත් අහසට නුඹ ඇවිදින් – 6 වන කොටස”

  1. Such An amazing story of an innocent girl. Couldn’t help reading all up to episode 6. Could read it in one go! Now waiting for the next episodes please. Enjoyed this thoroughly. Perfect wording ✍️👌✍️👌✍️👌
    Thank you

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart