නිවස පුරාම පැතිරී තිබූ නිහැඬියාව බිඳී ගියේ පාරේ ගමන් කරනා වාහනයක හඬිනි. මා අතැඟිලි එකිනෙක පටලවමින් ඉදිරියේ අසුන්ගෙන සිටින නෙලුක දෙසත්, ඔහු දෙස දැඩි බැල්මන් හෙලාගෙන සිටිනා අම්මා හා මල්ලී දෙසත් බැලුවේ නොසන්සුන්වය.
“දැන් නෙලුක මොකක්ද කරන්න හිතන් ඉන්නේ..? ශෙනායාව ඔයාට බන්දලා දුන්නේ එයාගේ සතුට වෙනුවෙන්. එතේ දැන් ඔයා නිසා එයාගේ සතුට නැති වෙනවා නම් අපි මොකක්ද කරන්න ඕනේ..”
දරැණු නිහැඬියාව බිදලමින්, අම්මා හඬ අවදි කළාය.
“සොරි අම්මා.. අපේ අම්මා නිසා ශෙනායාගේ හිත රිදෙනවට.. මමත් ස්ටේරස් පිට එයාට කෑ ගැහුවා.. මගේ වැරැද්ද.. ඒත් , මට ශෙනායාව ඕනේ..”
කෑ ගැසුවා පමණක් නම් මා නිවසට නොපැමිණෙන වග පවසන්නට පොපියන මුව මම ආයාසයෙන් වසා ගත්තෙමි.
“ඔයා ශෙනායා ඕනේ, අම්මා නිසා හිත රිදෙනවට සොරි කිව්වට හරියන්නේ නෑනේ අයියේ.. අක්කගේ හිත නොරිදෙන්න ඔප්ෂන් එකක් කියන්න..”
මල්ලීගේ මුවින් පිට වූයේ වෙඩි උණ්ඩ බදු වදන්ය.
නෙලුක මවෙතට බැල්මක් හෙළා, යටිතොල තදින් සපාගෙන බිම බලා ගත්තේය. මා සුසුමක් හෙලමින් අසුනින් නැඟී සිටියේ ඔහුගේ අසරණ මුහුණට ඇති අකැමැත්තත්, අම්මාගේ හා මල්ලීගේ ප්‍රශ්නාවලියට මුහුණ දීමට ඇති අකැමැත්තත් නිසාය.
මා කැඳවාගෙන යෑමට නෙලලු පැමිණියේ උදෑසනමය. එහෙත් අම්මාගෙත් මල්ලීගේත් තීරණයට හිස නවනවා මිසක තනි තීරණ ගැනීමට හැකි තත්ත්වයක මම නොසිටියෙමි.
සැලකිය යුතු කාලයක් පිටතට වී සිටි, මා යළි කුස්සියට පැමිණ තේ සකසන්නට වූයේ සාලය දෙසින් ඇසෙන වදනක් කෙරෙහිවත් අවධානය යොමු නොකරමිනි.
තේ කෝප්ප තුන ටේ්ර එක මත අසුරා ගනිමින් මම දිගු හුස්මක් ගතිමි. නෙලුක සමඟ යළි ඔහුගේ නිවසට යන්නේ ද? මා නිවසේම සිටින්නේ ද යන්න සම්බන්ධයෙන් වූයේ අතීරණයකි.
තවත් මොහොතක් එකෙල මෙකෙල වෙමින් සිටි මම යලිත් සාලයට පිවිසුණෙමි. එහි නෙලුක පමණක් දැඩි කල්පනාවක් නිග්මනව සිටිනු පෙනුණත් අම්මා හෝ මල්ලී පෙනෙන්නට නොවීය.
දින කිහිපයකින් නොලැබුනු ඔහුගේ උණුසුම සොයමින් ඔහුට තුරුලු වෙන්නට සිතුණත් ආයාසයෙන් සිතුවිලි නවතා ගත් මා ඉදිරි අසුනකට බර දුන්නේ ටේ්ර එක ද ස්ටූලය මත තබමිනි.
“තේ බොන්න නෙලුක..”
එක්වරම මගේ හඬ ඇසෙද්දී ඔහු තිගැස්සිණි.
මා යළිත් තේ කෝප්පය දෙසට දෑසින් ඉඟි කරනා විට ඔහු සුසුමක් හෙලමින් එය අතට ගත්තේය.
“කෝ අම්මයි මල්ලීයි..”
“උඩට ගියා..”
මම තේ කෝප්ප දෙක ඔවුන්ට රැගෙන යන්නට සිතනා විටම නෙලුක නැඟිට මා අසළට පැමිණියේය.
“සුදු මැණික තරහද මගෙත් එක්ක..?”
ඔහු මෘදු ස්වරයෙන් අසද්දී හදවතේ බැඳී තිබූ වේදනාවෙත් කෝපයෙත් බැම්ම බිදී ගියේය. මා හිස ඔසවා ඔහුදෙස බැලුවේ කඳුළු පිරි දෑසිනි. තේ කෝප්පය පසෙකින් තබා ඔහු මා මුහුණ දෝතින් අල්ලා ගත්තේය.
“මට සමාවෙන්න මැණික.. මම ඔයාට ගොඩක් රිද්දුවා නේද..? මට මොන යකෙක් වැහිලා හිටිය ද මම දන්නේ නෑ..”
ඔහු මගේ කොපුලත සෙමෙන් පිරිමදිමින්, ඒ මත හාදු තබමින් මිමිණුවේය. මා සිටියේ වදනක්වත් ගලපා ගන්නටවත්, කුමක් කරන්නදැයි සිතා ගන්නටවත් නොහැකිවය.
“සොරි මැණික සොරි..”
ඔහු යළිත් මිමිණුවේ දෑසේ කඳුළු පුරවාගෙනය.
“ඇයි ඔයාට කලින් ඔය දේ කියන්න බැරි වුණේ..?”
මම ආයාසයෙන් වදන් අමුණා ගත්තෙමි.
“එක්කෝ මගේ ඊගෝ එක නිසා.. නැත්නම් මෝඩකම නිසා..”
ඔහු සිය වරදක් පිළිගෙන පවසනා විට මට පුදුමයක් ද දැනිණි.
“හ්ම්ම්ම්…”
මම දෑසත් නාසයත් පිසදා ගත්තෙමි.
“සමාව දෙනවා නේද..?”
ඔහු මගේ උරහිස වටා අත යවා මා තුරුලට ගන්නා විටත්, මා කල්පනා කරමින් සිටියේ ඔහුට සමාව දෙන්නේ ද නොදෙන්නේ ද යන්න පිළිබඳවයි.
“සුදු මැණික.. මට ඔයා නැතුව ඉන්න බෑ.. ඔයා දන්නවනේ ඒක.. මට තරහ යනවා.. මගේ ජොබ් ප්‍රශ්න, හෙල්ත් කන්ඩිෂන් එක නිසා ඔයා මාව දාලා යයි කියලා මම ගොඩක් බයේ ඉන්නේ.. එහෙම සිටුවේෂන් එකක, ඔයා වෙන මනුස්සයෙක්ගේ වාහනේ ආවා කියලා දැන ගත්තම මට පිස්සු හැදුණා.. ඔයා එහෙම කෙනෙක් නෙමෙයි කියලා දැන දැනත්, මම විකාර කළා. අපේ අම්මත් මගේ ඔලුවට විස දැම්මා.. ඔක්කොම එක සැරේ පුපුරලා ගියා අන්තිමට..”
ඔහු, මගේ හිසකෙස් මත මුහුණ හොවාගෙන දිගු පාපොච්චාරණයක් කළේය.
“හ්ම්ම්ම්ම්..”
“මාත් එක්ක යමු මැණික.. ප්ලීස්..”
මා තවදුරටත් නිහැඬියාව රකිද්දී, ඔහු මා වැළඳ සිටි ග්‍රහණය තද කළේය.
“කතා කරන්නකෝ..”
ඔහු නොසන්සුන්ව විමසුවේය.
“අම්මලා මොකද කිව්වේ..?”
එක්වරම පිළිතුරක් ගලපා සිතා ගත නොහැකිව මා විමසනා විට, ඔහු එක්වරම උරහිස වටා වූ අත ඉවතට ගත්තේ ය.

“අම්මලා කිව්ව දේද ඔයාට වැදගත් ශෙනායා..? ඔයයි තීරණ ගන්න ඕනේ.. අම්මලා නෙමෙයිනේ..”
ඔහු කෝපයෙන් විමසනා විට, මගේ මුවට නැඟි සිනාව සඟවා ගන්නට නොහැකි විය.
“ඒක තමයි නේද නෙලුක.. තීරණ ගන්න ඕනේ අම්මත් නෙමෙයි, අම්මට ඕනේ විදියටත් නෙමෙයිනේ..”
මා ඔහුගේ මුහුණට එබී අසනා විට, ඔහු තදින් යටිතොල සපා ගත්තේ සිය වරදක් පසක් කර ගත්තාක් මෙනි.
“මට නම් අම්මලගේ කීම වැදගත් නෙලුක.. මොකද, මට අන්තිමට එන්න ඉතුරු වෙන තැන මෙච්චරනේ.. මෙතනත් නැති කරගෙන, මිනිහත්, එයාගේ අම්මා කියන දේ අහලා විතරක් වැඩ කරද්දී මට වෙන්නේ පාරට වැටෙන්න වෙන්නේ..”
මා එක පිට එක වාග් ප්රහාරයන් එල්ල කළේ මෙතෙක් දිනක් සිතේ තිබූ කෝපයත් වේදනාවත් සමඟිනි.
“හරි මැණික හරි සොරි.. මම එහෙම කිව්වේ, අම්මලා ඔයාව එක්ක යන එක ගැන හරි දෙයක් නොකිව්ව නිසා.. මාව ඔයාට ගැලපෙන්නේ නෑ වගේ දෙයක් කිව්ව නිසා.. කොහොම වුණත්, ඔයාගේ තීරණේට එයාලා එකඟ වෙනවා කිව්වා..”
ඔහු, මාගේ දෝතින්ම අල්ලා ගත්තේය.
“ආයෙමත් මට ඔයාලගේ අම්මා කෙනෙහිලකම් කළොත්, ඔයා මගේ පැත්ත ගන්නෙත් නෑනේ නෙලුක.. හැමදාම මට දුක් විඳ විඳ ජීවත් වෙන්න බෑ.. ඒකට මොකක්ද කරන්නේ..? අම්මාත් ඒකනේ ඔයාගෙන් මුලින්ම ඇහුවේ..?”
මා ඔහුගේ දෑස් දෙස එක එල්ලේ බැලුවේ සිතේ පැසවෙන පැනයට පිළිතුරු බලාපොරොත්තුවෙනි. ඔහු දිගු හුස්මක් ඇද ගත්තේය.
“අම්මට ඉන්නේ මම විතරයි නිසා මට එයාව දාලා මෙහෙට එන්න බෑනේ මැණික.. දුරකට යන්නත් බෑ.. මම මෙහෙන් කුරුණෑගලට ට්‍රාන්සර් එකක් ගත්තෙත් ඒකනේ..”
මා, කෙතරම් නෙලුකට පෙම් කළත්, ඔහු නොමැතිව ජීවත් වීම අසීරු වුවත්, දැන දැන මරු වළට පනින්නට ද මට අවැසි නොවිණි.
“මම ඔයාට සමාව දෙනවා නෙලුක වෙච්ච, කරපු හැමදේටම. ඒත්, ඔයාලගේ අම්මත් එක්ක ඒ ගෙදර ඉඳගෙන මට දුක් විඳින්න බෑ. ඔයාගෙන් ගුටි කකා ජීවත් වෙන්නත් මට ඕනේ නෑ..”
මම තදින් පැවසුවෙමි.
“මට තේරෙනවා මැණික.. අපේ ඉඩමේ මම ගේ හදන්න පටන් ගන්නම්.. ලොකු ගෙයක් නෙමෙයි.. සාමාන්‍ය අපි දෙන්නට ඇති වෙන්න පොඩි ගෙයක් හදා ගමු.. අපි ඉන්න ගේ කොහොමත් මටනේ.. අපේ ඉඩමත් තියෙන්නේ ළඟ නිසා අම්මව බලන එක ප්‍රශ්නෙකුත් නෑ.. ඔයාටත් නිදහසේ ඉන්න පුළුවන්..”
මා කල්පනාකාරීව හිස සැලුවත් එක් වරම මුදල් ගැටලුව මට සිහිපත් විණි.
“සල්ලි..”
“ඒ ගැන හිතන්න එපා.. ඉන්ක්වයරි එක තියලා.. මගේ වරදක් නෑ කියලා ඔප්පු වෙලා.. ඒ නිසා මට ඉක්මණට ආපහු ජොබ් එක ලැබෙයි.. මට ලෝන් එකකට ඇප්ලයි කරන්න පුළුවන් එතකොට..”
බොහෝ දිනකට පසු මට සතුටක් සේම සහනයක් දැනිණි. ඒ මොහොතේම අම්මාත් මල්ලීත් සාලය පැමිණියේ මගේ පිළිතුර කුමක්දැයි දැන ගන්නටය.
“ගේ හදලා ඉවර වෙලා එහෙනම් අක්කව එක්කගෙන යන්න..”
මල්ලී නොරිස්සුමෙන් පවසද්දී නෙලුකගේ මුහුණේ ද නොරිස්සුම් සහගත බවක් මැවුණත්, ඔහු හැඟීම් පාලනය කර ගත්තේය. අම්මාත් ඊට එකඟව හිස සැලුවත්, මම මොහොතක් දෑස් වසා සිට හිතට එකඟව තීරණයක් ගත්තෙමි.
“මම එන්නම්…” දෑස් විවර කරමින් මා එක්වරම පවසද්දී නෙලුකගේ මුහුණේ සිනාවක් ඇඳුණත්, මල්ලීගේ හා අම්මාගේ මුහුණුවල වූයේ නොරිස්සුම් සහගත බවකි.
යළි හමුවෙමු.