තවත් දෙසතියක කාලයක් ගෙවී ගියේ මා ශෙනුල්ට තව තවත් සමීප කරවමිනි. ඒ වන විට ඔහුගේ තුරුලේ නිදන්නට ඔහු ඇසුරේ ගැවසෙන්නට මා හුරුවී තිබිණි. වන්දනා හා ඔහු සම්බන්ධයෙන් දැන සිටි අය කාර්යාලයේ දී කුමන දේ කීවත් ඒවායින් සිත නොරිද්දාගෙන සිටින්නට ද මම හුරු වී සිටියෙමි. වන්දනා හා ඔහු අතර වූ සම්බන්ධය නවතින්නට හේතුව කුමක් වුවත් ඒ මා නොවන නිසා ඔවුන් කියන දේ ගැන කම්පා වීමට අවැසි වූයේ ද නැත.
එදින මා හා මනුල කාර්යාලීය කටයුතු අවසන්වීමෙන් පසු ඒ අසලම වූ අවන්හලක් වෙත ගියේ මන්දිතා අප හමුවිය යුතු බවට දැනුම් දී තිබූ නිසාවෙනි.
“ඔයාල දන්නවද වන්දනා ආයෙම මෙහෙ ජොබ් එකක් කරනවා….” ඇය ඇසුවේ අවන්හලට වී ආගිය තොරතුරු කතා කරමින් පළතුරු පානයක් ද පානය කරමින් සිටි අතරතුරදීය.
“මෙහෙ කිව්වෙ….” ඒ මනුලය.
“නවම් මාවතේ ඔෆිස් එකකලු….”
“මොකක්…. ඒකි ඒ පාර මොකද ආයෙමත් ඇවිත් තියෙන්නේ….” මනුල ඇසුවේ කෝපයෙන් මෙනි.
“එයාට හැමදාම ගමටවෙලා ඉන්නත් බෑනෙ මනූ…. ආයෙමත් ජොබ් එකක් කරනව ඇති….” ඇය යළි පැමිණීම ගැන සිතට අනියත බියක් දැනුණ ද එය සඟවා ගනිමින් මම කීවෙමි.
“මන්දි කොහොමද එයා ඇවිත් කියල දන්නෙ….” මනුල ඇසුවේ මගේ ද සිතේ වූ පැනයයි.
“එයා ආයෙමත් අපේ රූම් එකට ආවා…. දැන් මාත් එක්ක තමයි ඉන්නේ…..”
“මට බනිනවද….?” මා ඇසුවේ සිතට ඇය ගැන යම් අනුකම්පාවක් ද දැනෙද්දීය.
“එකට හිටියට මාත් එක්ක වැඩි කතාවක් නෑ සිතූ…. එයාගෙ පාඩුවේ ඉන්නවා….”
“මගෙත් එක්ක තරහින් ඇත්තේ…. ඔයා මගේ යාළුවා නිසා ඔයත් එක්කත් තරහ ඇති….” සුසුමක් හෙළමින් මා කියද්දී මන්දිතා මගේ අතකින් අල්ලා ගත්තාය.
“එයාගෙ හිතේ මොනවගේ ප්ලෑන් තියෙනවද දන්නෙ නෑ සිතූ…. ඒ නිසා පරිස්සමින්…. මොනව වුණත් දැන් ශෙනුල් ඔයාව මැරි කරලනෙ ඉන්නේ….”
“බලමුකෝ….”
“ඔය ඉතින් මේකි දැන්ම අවුල් වෙලා….” ඒ මනුලය.
“දැන් ඕක නවත්තන්න අන්න ශෙනුල් එනවා…. සිතූ කැමතිනම් විතරත් එයාට මේ ගැන හෙමීට කියන්න….”
“ඕනෙ නෑ….” යළිත් වන්දනා ගැන ඔහුගේ මතකය අවදිකිරීමට හෝ අකමැති නිසාම මම කීවෙමි.
මන්දිතා හා මනුල සමඟ මෙම අවන්හලට පැමිණෙන බව මා ශෙනුල්ට දැනුම් දුන්නේ මෙහි පැමිණීමට පෙරමය.
“ඉවරද තුන්දෙනාගෙ කතාව….” ඔහු විමසුවේ මා අසලින් අසුන් ගෙන මගේ උරහිස වටා අතක් දමමිනි.
“කතාව නම් ඉවරයි…. ඔයත් බොනවද මොනව හරි” මන්දිතා ඇසුවේ ශෙනුල් දෙස බලමිනි.
“දැන් ඕනෙ නෑ මන්දි…. ගෙදර ගිහින් තේ එකක් බොනවා….”
“එහෙනම් යමුද අපි….” අනතුරුව මන්දිතා කීවේ මේසය මත වූ සිය අත්බෑගය ද උකුලට ගනිමිනි.
“තුන්දෙනා එකතුවෙලා කුමන්ත්‍රණයක් කළා නෙවෙයිනෙ නේද….? මනුල මෙයා එක්ක වැඩ කරන කෙනෙක් වුණාට මන්දිගෙත් හොඳ යාළුවෙක් වගේ….”
“මෙයාව අඳුනගත්තෙ නම් සිතූ නිසා තමයි ශෙනුල්…. දැන් අපි තුන්දෙනාම හොඳ යාළුවෝ….”
“එහෙමද…. මන්දිට නම් මෙතන ඉඳල යන්න ළඟයිනෙ…. මනුල යමු අපිත් එක්ක…. මම ඩ්‍රොප් කරන්නම්….”
“බෑ මචං…. මම අශිනිව මීට්වෙන්න යන්නත් ඕනේ….”
“එහෙනම් ඉතින් අපි දෙන්න යන්නම්….” ඔවුන්ට සමුදුන් ශෙනුල් මෝටර් රථය තිබූ ස්ථානයට පැමිණියේ මගේ අතකින්ද අල්ලාගෙනය.
“මොකද මූණ අවුල් වගේ…. මහන්සිද….?” මෝටර් රථය පණගන්වමින් ඔහු විමසුවේ මගේ මුහුණට එබෙමිනි.
“ටිකක්….”
“මොකක්ද තුන්දෙනාගෙ කතාව…. මට හිතෙන්නෙ ඔයා ඒක නිසා අවුල් වෙලා වගේ…. වෙනදට ඔහොම නෑනේ….”
“මන්දිගෙ ප්‍රශ්නයක් ශෙනුල්….”
“ප්‍රශ්නයක්….? අපිට විසඳන්න බැරි දෙයක්ද….?”
“එහෙම ලොකු දේකුත් නෙවෙයි ඉතින්…. දැන් මමත් බෝඩිමේ නැති නිසා කියන්න කෙනෙකුත් නෑනෙ…. ඒකයි මීට් වුණේ….”
“එයාට පාලු ඇති දැන්…. ඔයත් නෑනෙ….”
“හ්ම්ම්…. ඒක තමයි….”
ගෙදර ගිහින් ටිකක් රෙස්ට් කරන්නකො…. එතකොට හරි යයි….” ඔහු කීවේ මගේ හිස මත අතක්ද තබමිනි.
“අම්මල බලන්න යන්නත් ඕනෙ ශෙනුල්…. අද නංගිත් කතා කළා….”
“ඉතින් අම්මලට අපේ ගෙදර එන්න කියමුකෝ….”
“අප්පච්චි එයිද දන්නෙ නෑ….”
“අයියෝ ළමයො…. ඔයා හිතාගෙන ඉන්නෙ අප්පච්චි ඔයා එක්ක තරහින් කියලද….? මාත් එක්ක කතා කළොත් අහන්නෙ අපේ ලොකු ළමය කොහොමද පුතා…. සනීපෙන් ඉන්නව නේද කියල….”
“ඔයාට එයා කතා කරනවද…. අප්පච්චි අපි එක්කවත් එහෙම කතා කරන්නෙ නෑනෙ….”
“එහෙම තමයි….” ඔහු කීවේ මදෙස බලා ආඩම්බර ස්වරූපයක් ද මවා ගනිමිනි.
ශෙනුල් දිනපතා මා කාර්යාලය වෙත කැඳවාගෙනයාම මෙන්ම ආපසු නිවසට ගෙන ඒම කිසි දිනෙකත් වැරදුවේ නැත.
“ඔයාට මහන්සි නැත්නම් ෂොප් එකට පොඩ්ඩක් ගිහින් යමුද සිතූ…. අකවුන්ට්ස් වගේක පොඩි අවුලක් තියෙනවා…. ඉවර කරගන්න බැරිවුණා…. ඔයාව ගන්න ඕනෙ නිසා ආවේ….” ඔහු ඇසුවේ මා රැගෙන යන්නට පැමිණි අවස්ථාවේය.
“මට මහන්සි නෑ…. අපි ඔයාගෙ වැඩේ කරගෙන යමු…. අපරාදෙ මට කිව්වනම් මම බස් එකේ හරි කැබ් එකක හරි යනවනේ….”
“මට ඔයාව පාරෙ බස්වල රස්තියාදු කරන්න හිතෙන්නෙ නෑ සිතූ….” ඔහු කීවේ හැඟුම්බර හඬිනි.
“ඔෆිස් එකට එනවද…. ඇඳුම් බලනවද…. අලුත් ඒව තියෙනවා….” ඔහු විමසුවේ සිතූ ෆැෂන්ස් ඉදිරිපිට මෝටර් රථය නවතමිනි.
“දැන් බෑ ශෙනුල්…. මමත් එන්නම් ඔෆිස් එකට….” මා කීවේ මෝටර් රථයෙන් බැස ඔහුගේ අතක එල්ලෙමිනි.
“එහෙනම් යමු…. බොන්න මොනවහරි ගෙන්න ගමු…. මහන්සි නෑ කිව්වට මූණ මහන්සි පාටයි….” ඔහු කීවේ මගේ මුහුණට වැටී තිබූ කෙස් රොදක් කන පිටුපසින් රඳවමිනි.
ශෙනුල් ඉක්මනින් ආපසුයාමට හැකිවේ යැයි පැවසුවත් එහි ගිණුම්වල පැවති ගැටලු කිහිපයක් නිසාත්, අලුතෙන් ඇනවුම් කර තිබූ ඇඳුම් තොග සම්බන්ධයෙන් මතුව තිබූ ප්‍රශ්න කිහිපයක් නිසාත් ශෙනුල් බොහෝ රෑ වනතුරු එම කටයුතුවල නිරතව සිටියේය. රාත්‍රී 9.30 ට අලෙවිසැල වසා දමා කාර්ය මණ්ඩලය පිටත්ව යනවිටත් ශෙනුල් සිටියේ ගිණුම් කටයුතු භාර සේවකයන් දෙදෙනකු හා එක්ව ගිණුම් සකසමිනි. එම සේවකයන්ට මෙන්ම අප දෙදෙනා වෙනුවෙන් ඔහු රාත්‍රී ආහාරයද ඇනවුම් තිබිණි.
“සිතූ ඔතන තියෙන බෑග් එකේ ඇඳුමක් ඇති…. වොෂ් එකක් දාගෙන ඒක ඇඳගන්න…. උදේ ඇඳපු ඒව පිටින්නෙ තාම….” මා ඔහු පෙන්වූ බෑගය ද රැගෙන ඔහුගේ කාර්යාලයීය කාමරයේම පසෙක වූ නාන කාමරය වෙත ගියේ උදෑසන සිට ඇඳ සිටි ඇඳුමින් සිටීම මට ද අපහසුවක් වූ බැවිනි.
ලා නිල් හා සුදු මිශ්‍ර දණහිස අසලට දිගු අලංකාර ගවුමක් සමඟ අවශ්‍ය සියලු ඇඳුම් එහි තිබිණි. මා ඉන් සැරසුණේ ඇඟ සෝදාගැනීමෙන් පසුවය.
“මම ඔයාලට යන්න ට්‍රාන්ස්පෝර්ට් එකක් ඇරේන්ජ් කරන්නම්…. මේක අදම ඉවර කරගන්න ඕනේ…. ඉස්සරහට එන්නෙ නිව් ඉයර් සීසන් එක නිසා ඉක්මනින් අලුත් ඇඳුම් ගන්න වෙනවා…. ඒවල කොලිටිය අවුල් වුණොත් හොඳ නැත්තෙ අපේ නමටමයි….” ශෙනුල් තමන් සමඟ ගිණුම් සකසන දෙදෙනාට පවසනු ඇසිණි.
“ප්‍රශ්නයක් නෑ සර්…. අපි ඉන්නම්….”
“සිතූ නිදිමතද ඔයාට…. කැබ් එකක් දාල දෙන්නද ගෙදර යන්න….”
“එපා ශෙනුල් ඕක ඉවර කරලම යමු….” අප නැවත නිවස බලා පිටත් වන විට රාත්‍රී 11.30ත් පසුව තිබිණි.
“මට නිදිමතයි සිතූ…. මම විනාඩි පහක් නිදාගන්නද….? ඩ්‍රයිව් කරන්න අමාරුයි….”
ශෙනුල් කියද්දී සිතට දැනුණේ අමුත්තකි. ඔහු කවදාවත් මෙසේ කියා නැත.
“ඇයි ශෙනුල්…. අමාරුයිද….?” මා ඇසුවේ ඔහුගේ නලලට හා ගෙලට පිටි අත්ල ද තබා බලමිනි.
“නෑ බබා…. නිදිමතක් විතරයි…. බයවුණාද….?” ඔහු දෙනෙත් පියාගත්තේ මගේ අත සිය දෑතට මැදිකරගනිමින්මය.
වන්දනා නැවත ආ බව ඔහු දන්නේද යන පැනය සිතට වදදෙමින් තිබූ නමුත් ඒ ගැන ඔහුගෙන් අසන්නට මට සිතක් වූයේ නැත.
ඔහු අවදිවද්දී රාත්‍රී 12.00 ටත් ආසන්න වී තිබිණි
අප නිවසට යන විට ඒ ඉදිරිපිට නවතා තිබුණේ අප්පච්චීගේ මෝටර් රථයයි. මා ශෙනුල් මෝටර් රථය නැවැත්වූ වහාම ඉන් බැසගත්තේ අප්පච්චී මේ අවස්ථාවේ මෙහි පැමිණියේ ඇයිදැයි සිතේ වූ දෙගිඩියාවකිනි.
නිවස වටා වූ විදුලි බුබුළු දල්වා තිබූ නමුත් සාලයේ විදුලි පහන් නිවා තිබිණි.
“අම්මා….” මා දොරටුවෙන් නිවස තුළට ගියේ එසේ කියමිනි.
“හැපි බර්ත් ඩේ ටූ යූ
හැපි බර්ත් ඩේ ටූ යූ
හැපි බර්ත් ඩේ ඩියර් සිතුලි
හැපි බර්ත් ඩේ ටූ යූ….” මගේ උපන් දිනය බව සිහිවූයේත් විදුලි බුබුළු දැල්වෙනවාත් සමඟ සාලයේ වූ සියලු දෙනා මට සුබ පැතුම් එක්කරන විටදීය.
ශෙනුල්ගේ මව පියා මෙන්ම අම්මා, අප්පච්චී සහ නැගනිය ද එහි විය. මා වඩාත් පුදුමයට පත්වූයේ මනුල හා මන්දිතා ද එහි සිටිනු දකිද්දීය.
“දෙවියනේ ඔයාල සේරම මෙහෙද….? ශෙනුල්…., අයියෙ ඔයාද මේ දේවල් ප්ලෑන් කළේ….” මා ඇසුවේ මුවට නැගි ඉකිය අතරිනි.
“මොකද දෝනි මේ…. අපි හිතුවෙ සතුටුවෙයි කියලා මෙන්න මෙයා අඬනවා…. කෝ එන්න එන්න අපි කේක් කපමු” මා අසලට පැමිණි ශෙනුල්ගේ මව කීවේ මගේ අතින් අල්ලාගෙන හදවතක හැඩයට තනා හැපි බර්ත්ඩේ බෝනික්කි යනුවෙන් ඉංග්‍රීසියෙන් සඳහන් කර තිබූ කේක් ගෙඩිය අසලට මා කැඳවාගෙන යමිනි. එය මත බෝනික්කෙකුගේ ආකෘතියක් ද රඳවනු ලැබ තිබිණි.
ඉන් කුඩා කැබැල්ලක් කපාගත් මා එය රැගෙන පළමුවෙන්ම ගියේ ශෙනුල් වෙතටය.
“හැපි බර්ත්ඩේ මගෙ බෝනික්කි….” කී ඔහු මා අත තැබුවේ කුඩා පාර්සලයකි. ඉන්පසු සියලුදෙනාට කේක් කැවූ මා හට ඒ සියල්ලන්ගෙන්ම පාහේ ත්‍යාග ද හිමිවිය. ඉන්පසු පැමිණ සිටි සියලු දෙනා වෙනුවෙන් ශෙනුල් විසින් පීසා ඇතුළු ආහාර වර්ග කිහිපයක් ද ගෙන්වා තිබිණි.
“අම්මෝ මදැයි මේකිව සර්ප්‍රයිස් කරන්න මං කාපු කට්ට…. කොහොම වුණත් වැඩේ නියමෙට වුණා නේද…. අන්තිමේ ෂොප් එකේ කොල්ලො දෙන්නට ගෙදර යන්න ට්‍රාන්ස්පෝර්ටුත් ඇරේන්ජ් කරන්න වුණා. ඒ විතරක් නම් මදැයි පාර අයිනෙ වාහනේ නවත්තන් ඇස් පියාගෙනත් හිටියා.” ශෙනුල් පැවසුවේ මනුල අසලට යමිනි.
“ඇයි ඉතින් අපිත් මෙතන ඇවිත් පැය ගාණක් බැලුම් පිම්බුවේ…. නැද්ද මන්දි” මනුල කීවේ සාලයේ බිම පිරෙන්නට දමා තිබූ බැලුම් දෙස බලමිනි.
“කියල වැඩක් නෑ….” මන්දිතා ද කීවේ සිනාසෙමිනි.
“උඹ කොහොම හිතුවත් ශෙනුල් උඹට ඇත්තටම ආදරෙයි සිතූ….” මන්දිතා මා හා පැවසුවේ සියල්ල අවසානයේ පිටව යන්නට සැරසෙමිනි.
අප්පච්චී, අම්මා හා නැගනියද එදින රාත්‍රියේ අප නිවසේම නැවතුණු අතර, අස්පස්කිරීමේ කටයුතු ද අවසානයේ මා කාමරයට යන විට අළුයම 1.30ට පමණ වී තිබිණි.
නාන කාමරයට ගොස් ඇඟ ද සෝදාගෙන නිදන ඇඳුමකින් සැරසුණු මා ඇඳෙහි වැතිරුණේ ඒ වන විටත් නින්දේ සිටි ශෙනුල්ගේ පපුවට තුරුළු වෙමිනි.
“ආ යූ හැපි….?” එසේ නම් ඔහු සිට ඇත්තේ නිදාගෙන නොවේ.
“නිදි නැද්ද තාම….”
“නෑනෙ…. එනකම් බලාගෙන හිටියේ…. කෝ අර මං දුන්න ගිෆ්ට් එක….”
“ඉන්න මමත් මේ තෑගි බලන්න තමයි හැදුවේ….”
“ඇයි නිදිමත නැද්ද….?”
“ඒව ටික බලනකම් නින්ද යන්නෙ නෑනෙ….”
“එහෙනම් අරන් එන්නකො බලන්න සේරම….” ඔහු කියන විටත් මා ලැබුණු පාර්සල් සියල්ල ඇඳ මතට දමා අවසන්ය.
“මේක අන්තිමට බලමු…. අනිත් ඒව බලල ඉන්නකෝ….” ශෙනුල් පැවසුවේ ඔහු ලබාදුන් ත්‍යාගය අතට ගනිමිනි.
27 වන කොටසින් හමුවෙමු.
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️
Right here is the right blog for anyone who would like to understand this topic. You realize so much its almost hard to argue with you (not that I actually will need toÖHaHa). You certainly put a brand new spin on a subject thats been discussed for years. Wonderful stuff, just great!