සිත් අහසට නුඹ ඇවිදින් – 20


“අදත් ඉඳල යන්නකො දෝණි….” අම්මා ඇවටිලි කරන්නේ අප ආපසු යන්නට සූදානම් වූ වේලේ සිටය.
“හෙට ඉඳන් සිතූ ඔෆිස් යන්නත් ඕනෙලුනෙ අම්මේ…. අපි පස්සෙ වෙලාවක ආයෙත් එන්නම්කො දවස් දෙක තුනක් ඉඳල යන්නම….”
“ආව එකේ නැන්දලගෙ ගෙදරත් ගියා නම් තමයි හොඳ….” ඒ හඬ අප්පච්චිගේය.
“දැන් වෙලාවක් නෑ අප්පච්චී…. පස්සෙ වෙලාවක එන්නම් එහෙ යන්නත් එක්කම….” ශෙනුල් එසේ කියන්නට ඇත්තේ මා නැන්දා ප්‍රිය නොකරන බව දන්නා නිසාම විය යුතුය.
“මොකද බෝනික්කි කල්පනාව…. මොනව හරි කියන්නකො….” ශෙනුල් කීවේ මා බොහෝ වේලා නිහඬව සිටි නිසා විය යුතුය.
“ඔයා මොකටද අද අප්පච්චි එක්ක ඉඩම් ගැන කතා කළේ….” ලැබුණු මුල් අවස්ථාවේ දීම මා විමසුවේ සිතේ තෙරපෙමින් තිබූ පැනයයි.
“ඉඩම්…. මොන ඉඩම් ද….?”


“මට ඇහුණනේ ඔයා අප්පච්චි එක්ක ඉඩමක් ගැන කතා කරනවා….”
“ආ මම පොඩි හොටෙල් එකක් පටන්ගන්න ඉඩමක් හොයනවා…. අප්පච්චිට කිව්වෙ හොඳ තැනක් හොයල දෙන්න කියල විතරයි….”
“එහෙම කිව්වාම ඉතින් අප්පච්චි වෙන ඉඩම් ඕනෙ නෑ මගෙ ඉඩමක පටන්ගන්න කියයි කියල හිතාගෙනනෙ අහන්න ඇත්තෙ….” මා කියද්දී ශෙනුල් වාහනයේ තිරිංග තද කළේ මා අසුනෙන් ඉදිරියට විසිවී යද්දීය.
ආසන පටිය පැළඳ නොසිටි බව සිහිවූයේ ද එවේලේය. ඔහු අල්ලා නොගත්තේ නම් මා නතර වන්නේ වාහනයේ ඉදිරිපස හැපී ඔලුවත් පලාගෙනය.
“මොකක්ද දැන් ඔය කියන්නේ….” ශෙනුල් ඇසුවේ මගේ මුහුණට එබෙමිනි.
“අනේ මේ යමු ශෙනුල්…. පාර මැද්දෙ වාහනේ නවත්තගෙන විකාර කරන්න එපා…. හොඳ වෙලාවට පිටිපස්සෙන් වාහනයක් ආවෙ නැත්තෙ….” අනතුරුව ඔහු මෝටර් රථය පණගන්වා පාරේ පසෙකට කර නැවැත්වීය.
“හරි දැන් කියනවකො මොකක්ද කියන්න හදන්නෙ කියලා….” ඔහු තරමක් තදින් ඇසුවේ දිගු හුස්මක් ද ගනිමිනි.
“කවුද දන්නෙ වන්දනාව අතෑරල හදිස්සියේම හොයාගෙන ඇවිත් පොඩි කාලෙ වුණ දේවල් කිය කිය මාව බැඳගත්තෙ අප්පච්චිගෙ දේපල නිසාද කියලා….” ඔහු මෙම විවාහය කරගන්නට ඇත්තේ අප්පච්චිගේ දේපල ද ලබාගෙන තම ව්‍යාපාර කටයුතු පුළුල් කරගැනීමේ අරමුණින් විය හැකියැයි දැනුණු සැකය නිසාම මම කීවෙමි. නැතිනම් වසර ගණනාවකට පසු ඔහු මෙසේ පැමිණෙන්නට හේතුවක් නැත. කුඩා කල සිට මා පිළිබඳ සෙනෙහසක් වූයේ නම් ඔහු පැමිණෙන්නේ මීට පෙරදීය.
“ඔව් ඔව් ඒ නිසා තමයි…. දේපල නිසා තමයි මං ඔයාව බැන්දේ…. හරිද දැන්….” ඔහු කීවේ මා දෙස බලා අවඥාවෙන් මෙන් හිනැහෙමිනි.
සිතුවේ මා කී දෙය හමුවේ ඔහු කෝපයට පත්වනු ඇතැයි කියා වුවත් ඔහු හැසිරෙන්නේ එය ගණනකටවත් නොගත්තාක් මෙනි.
“ඉන්නවකො මං අප්පච්චිට කියනවා සේරම දේවල් අයියටයි නංගිටයි ලියන්න කියලා මට නොදී….”
“කියනවකො බලන්න…. එහෙම වුණොත් මං අප්පච්චිට කියනව දෝණිව ඩිවෝර්ස් කරල ආයෙ ගෙදර ගෙනත් දානව කියල…. දුව දුන්නනම් දෑවැද්දකුත් දෙන්න එපැයි…. නිකංම ගෑනියෙක් ගන්න තරම් පිස්සුවක් නෑ මට….” ඔහු කියද්දී සිතට දුකක් නොදැනුණේ යැයි කිවහොත් බොරුවකි.
“මම නම් කවදහරි කසාද බඳින්නෙ අප්පච්චිගෙ දේපලවලට නෙවෙයි මට ආදරේ කරන කෙනෙක්ව….” අප්පච්චිගේ දේපල ඇති නිසා මා හා නැගනිය මුදල් ඇති පවුලකට දීග දිය හැකි යැයි නැන්දනිය කී දිනෙක මා පැවසුවා මතකය.
“එහෙම උන් ඉන්නෙ පොත්වල විතරයි ළමයො…. දෑවැද්දක් නැතුව හරි හමන් තැනකින් කසාදයක් කරගන්න බෑ….” එදා නැන්දනිය පිළිතුරු දෙද්දී මා අදිටන් කරගත්තේ කිසිඳු දේපලක් නොගෙන මා හා විවාහ වන පිරිමියකු සොයාගැනීමටය.
“ඒයි මේ මොකද ඔය ඇස්වල කඳුළු….” දෙනෙතට ඉනූ කඳුළ සඟවාගැනීමට උත්සාහ කළත් එය සාර්ථක වූයේ නැත.
“දැන් ඔය අඬන්නෙ මං දෑවැද්ද ඕනෙ කිව්ව නිසාද…. අයියෝ මෝඩි…. මං විහිළුවක්නෙ කළේ…. ඔයාගෙන් දෑවැදි ඕනෙ නෑ මට….” ඔහු කියද්දී මා කළේ එය නෑසුණා සේ යළිත් දෙනෙත් පියාගැනීමය. ශෙනුල් ද නිහඬවම මෝටර් රථය පණගැන්වීය.


“ඒයි මැඩම් නැගිටින්න…. අදත් උස්සගෙන යනකම්ද ඉන්නේ….” මා දෙනෙත් හැරියේ ශෙනුල් මගේ කම්මුලක් පිරිමදිමින් කතා කරද්දීය.
මෝටර් රථය නවතා තිබුණේ මිදුලේය. මා දෙනෙත් හැර වට පිට බලද්දීත් ඔහු වූයේ මදෙසම බලාගෙනය.
“මේ මනුස්සයට අද මොන යකෙක් වැහිලද මන්දා….” මා මිමිණුවේ ඔහුට නෑසෙන්නටය.
“මේ කියන දෙයක් ඇහෙන්න කියනවද කුටු කුටු ගාන්නෙ නැතුව….”
“ඒකත් ඇහිලා හා කන්ද මන්ද තියෙන්නේ….” සිතමින්ම මා මෝටර් රථයෙන් බැසගත්තේ ඔහු දෙස රවා බලමිනි.
“ඔච්චර ගස්සන්න එපා…. ගස්සන ගැස්සිල්ලට කෑලි හැලුණොත් මටමනෙ කරදරේ….”  
ඔහු දෙස යළිත් වරක් රවා බැලූ මා වේගයෙන් නිවස දෙසට ඇවිද ගියේ රැගෙන ආ බෑග් මෝටර් රථයේ තිබියදීමය.
“ආ මේ ආවෙ දෙන්න…. අපි ඒත් හිතුවා අද එන එකක් නැද්ද කියලත්…. කෝ දෝණි පුතා….” මා පසුපස හැරී ශෙනුල් කොහේදැයි බැලුවේත් ඔහුගේ පියා විමසද්දීය.
“ඔන්න දෝණි පීස කන්න ඕනෙ කිව්වයි කියල පුතා කෝල් කරපු නිසා මං ඕඩර් කළා…. දැන් එයි….” ඒ ශෙනුල්ගේ මවය.
“අම්ම මේ මම….”
“ඔව් ඇයි ඔයා ගෙදරින් එද්දි කිව්වෙ පීස වගේ දෙයක් කන්න තිබුණ නම් හොඳයි කියලා…. මං ඉතින් අම්මට ඕඩර් කරන්න කිව්වා….” ශෙනුල් පැමිණියේ මා නිවසින් රැගෙන ආ දෑ සහිත බෑග ද දෑතින්ම එල්ලාගෙනය.
“පීසා….” මා එසේ කියමින් ශෙනුල් දෙස බලද්දී ඔහු ඇසක් වසා ඉඟි කරමින් කීවේ කිසිත් නොකියන ලෙසය.
“මේ අපි වොෂ් දාන් එමු කෑම ගේන්න කලින්…. ඔහොම පෙරේති වගේ කන්නද බලන් ඉන්නේ….?” අනතුරුව ඔහු කීවේ මගේ අතකින් ඇදගෙන උඩුමහලට යමිනි.
“ඔයා ඇයි අම්මට කිව්වෙ පීසා ඕඩර් කරන්න කියලා….”
“ආසම කෑමක්ලුනේ…. ඒ නිසා අරන් දෙන්න හිතුවා….”
“කොහොමද දන්නෙ මම පීසා කන්න කැමතියි කියලා….”
“එහෙම තමයි හස්බන්ඩ් කෙනෙක් වුණාම තමන්ගෙ වයිෆ් කැමති අකමැති දේවල් ගැන දැනගෙන ඉන්න ඕනේ….” ඔහු මා කැමති දෑ ගැන නැගනියගෙන් හෝ අම්මාගෙන් අසාගන්නට ඇත.
“මම එහෙම හිතුවට ඉතින් මගෙ වයිෆ් නම් මං කැමති අකමැති දේවල් මොනවත් දන්නෙ නෑ මම හිතන්නේ….” යළිත් ඔහු කීවේ දුක් මුසු හඬකිනි.
“කලින් මොනව කළත් මට නම් හිතෙන්නෙ ශෙනුල් අයිය හුඟක් හොඳ කෙනෙක් අක්කි…. දැන් බලන්න ඔයා මනුල අයිය එක්ක යාළු වෙලා හිටිය කියල හිතාගෙන හිටියත් ශෙනුල් අයිය ඔයාට ජොබ් එකට යන්නත් දෙනවනේ…. ඒ කියන්නේ මොන තරම් ඔයාගෙ කැමැත්ත ගැන හිතනවද….? අනික එයා ඔයාට ගොඩක් ආදරෙයි අක්කි…. ඔයා ගැන මාර විදියට හිතනවා….” සිහිවූයේ නැගනියගේ වදන්ය.
“ඒයි ඒ පාර මොනවද කල්පනා කරන්නේ…. ඔයා මුලින්ම වොෂ් දානවද….?” ශෙනුල් එබුණේ මගේ මුහුණටය.
“හා මම යන්නම්….” කී මා නාන කාමරයට වැදුණේ තුවායක් මෙන්ම ඇඳුම් කිහිපයක් ද රැගෙනය.
මා ඇඳ සිටියේ නිවසෙන් යළි එන්නට පෙර ඇඟ සෝදාගෙන ඇඳගත් නැගනියගේ ගවුමකි. එය තරමක් සිර නිසාම පිටුපස වූ ෂිපරය ඇය දැමුවේ ද අමාරුවෙනි. තරු විසිවුණේ යළිත් එය ගලවාගත යුතු බව සිහිවෙද්දීය. අත පිටුපසට යවමින් එය ගලවා ගැනීමට කොතරම් උත්සාහ කළත් සියලු උත්සාහ අසාර්ථක වෙද්දී මා සිටියේ කළ යුත්තේ කුමක්දැයි සිතමිනි. ශෙනුල්ගේ මව සොයා ගොස් උපකාර ඉල්ලීමට ද නොහැකිය. ශෙනුල් ඔහු නම් තවමත් ඇත්තේ කාමරයේය.
මා නාන කාමරයේ දොර ඇරගෙන යළිත් කාමරයට පැමිණියේ කතුරක් ගෙන කපා දමා හෝ ගවුම ගලවා ගන්නට සිතමිනි.  
“සිතූ ඇයි….” ඇඳ මතට වී ජංගම දුරකතනය ඔබමින් සිටි ශෙනුල් මා දෙස බැලුවේ ප්‍රශ්නාර්ථය රැඳි මුහුණිනි.
“අයියේ මේ….”
“ඔව් ඇයි සිතූ…. බයවෙලා වගේනෙ මොකද වුණේ….? බාත්රූම් එකේ මොකෙක් හරි සතෙකවත් ඉන්නවද….?” ඔහු ඇසුවේ නාන කාමරය වෙත යමිනි.
“නෑ නෑ…. සතෙක් නෑ….”
“එහෙනම්….”
“අනේ මට මේ….”
“ඔව් කියන්න ළමයො මොකක්ද….? ඔයා මාවත් බය කරනවා….”
“නෑ මේ ගවුමෙ ෂිපර් එක….” මා කියද්දීම ඔහු හිනැහුණේ මහ හඬිනි. මා කළේ ඔහු දෙස රවා බැලීමය.
“ඇයි වදේ දැන් ඒකටත් මට ද රවන්නේ….”
“හරි මේක පොඩ්ඩක් ගලවල දෙන්න බෑද….?”
“පොඩ්ඩක් නෙවෙයි සේරම ගලවල දෙන්නම්…. කෝ අනිත් පැත්ත හැරෙන්න….” ඔහු කීවේ මගේ උරහිස් මතින් දෑත් තබමිනි.
“නෑ නෑ සේරම එපා…. පොඩ්ඩක් ගලවන්නකො…. මට ඉතිරි ටික ගලවගන්න පුළුවන්….”
“අපෝ හා හා…. කෝ හැරෙනවා ඉතින් කෝලම….” ඔහු කීවේ මා ඔහුට පිටුපා සිටින සේ හරවා ගනිමිනි. ෂිපරය මදක් පහළට කළ ඔහු මේ ඇතිදැයි අසන තුරුත් මා සිටියේ එලෙසමය.
නැගනිය පවසන්නාක් මෙන් ඔහු කොතරම් ආදරණීයදැයි සිතෙද්දී සිතුණේ එලෙසින්ම අනෙක් පස හැරී ඒ ලය මත මුහුණ හොවාගන්නටය.

21 වන කොටසින් හමුවෙමු.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart