“ආ ලොකූ…. උඹ දැන් හිතාගෙන ඉන්නෙ උඹට ඕනෙ විදියට නටන්නද….? ඇයි උඹේ අම්ම අප්පච්චි මැරිලද….?” මා පඩිපෙල බැස ආලින්දයට පය තබන විටම මා වෙතට වේගයෙන් පැමිණි අප්පච්චි පැවසුවේ මගේ කම්මුල වෙත වේගවත් පහරක් එල්ල කරමිනි.
“අන්කල් ප්ලීස් කලබල වෙන්න එපා….” ශෙනුල් අප්පච්චි වෙත පැමිණ ඔහු අල්ලා ගමිනින් පැවසුවේ ඒ පහරින් විසි වී ගිය මා අසල වූ පුටුවකට අත ගසා බිම නොවැටී බේරෙද්දීය.
“අනේ මොකද මේ….” අම්මා ද කුස්සියේ සිට දිව එද්දී නැගනිය ද පැමිණ මා වැළඳගත්තාය.
“මේකි හිතන් ඉන්නෙ අපිව රවට්ටලා තනි කැමැත්තට කසාදයක් කරගන්න වෙන්න ඇති…. මේ දරුව හොඳ වෙලාවට ඇවිත් මට මේක කිව්වේ….” අප්පච්චි කියද්දී මා එක්වරම බැලුවේ ශෙනුල් දෙසය. ඔහුද මා දෙස බැලුවේ තිගැස්සෙමිනි.
“කලබල නොවී මොකක්ද වෙලා තියෙන්නෙ කියල කියන්නකො මහත්තයා….” අම්මා පැවසුවේ අප්පච්චිගේ අතක එල්ලෙමිනි.
“අර යාළුවෙක් යාළුවෙක් කියන එකා එක්ක මේකිගෙ සම්බන්ධයක් තියෙනව කියන්නේ…. ඒ නිසා මේ දරුවව බඳින්න බෑ කියනවලු…. හොඳට මතක තියාගනිං….. මේ අප්පච්චි ජීවත් වෙලා ඉන්නකං ඒව කරන්න ලැබෙන්නෙ නෑ….” අම්මාව ද තල්ලු කරමින් ඔහු යළිත් පැමිණියේ මා අසලටය.
“අන්කල්…. එපා අංකල්….” ශෙනුල් පැමිණ ඔහුව නැවතීමට උත්සාහ කළ ද එය පහසු වූයේ නැත. යළිත් මට කම්මුල් පාරක් වැදුණේ මුවට ලේ රසයක් ද දැනෙද්දීය.
“අප්පච්චි එපා….” නැගනිය මා වැළඳ ගනිමින් හඬා වැටෙද්දී මා කළේ ඇය ද තල්ලු කර දමා ඔහු ඉදිරියටම යාමය.
“දැන් එතකොට මගෙ කසාදෙ වෙන්න ඕනෙ මම කැමති කෙනෙක් එක්ක නෙවෙයිද අප්පච්චි….”
“ලොකූ…. අනේ එපා පුතේ….” අම්මාගේ හඬ ඇසුණේත් කම්මුල පුපරුගසන්නට අප්පච්චීගෙන් තවත් කම්මුල් පහරක් ලැබුණේත් එක්විටය.
“ගහන්න…. තව ගහන්න…. ඔයා අප්පච්චි වුණත් එහෙම මම අකමැති කෙනෙකුට බලෙන් බන්දන්න බෑ….”
“මොකක්ද උඹ කිව්වෙ….” කියමින් ඔහු අල්ලා ගත්තේ මගේ කොණ්ඩයෙනි.
කොණ්ඩයෙන් ඇද ඔහු මා තල්ලු කළේ විසිවී ගිය මගේ හිස ද බිත්තියේ වදින අයුරිනි.
“අනේ ඕක නවත්තන්න දෙයියනේ….” යළිත් අම්මාගේ හඬ ඇසිණි. අප්පච්චි මෙතරම් කේන්තියෙන් හැසිරෙනු මා දුටුවේ ජීවිතයේ පළමු වරටය.
“අන්කල් එපා….” අප්පච්චි යළිත් මවෙතට එද්දී ශෙනුල් සිටගත්තේ මා හා ඔහු අතරිනි. අනතුරුව ඔහු කළේ බිත්තිය පාමුල වැටී සිටි මා ඔසවා සිය ගතට වාරු කරගැනීමය.
“පුතා පැත්තකට වෙන්න…. මුන්ට මම බුරුල දුන්න වැඩියි…. මගෙ දේවල් බලාගනියි කියල හිතාගෙන හිටිය හිතුවක්කාරෙට එකා රටිනුත් ගියා…. දැන් මේකි….”
“අන්කල් ප්ලීස්…. මම සිතූ එක්ක කතා කරන්නම්…. දැන් ඇති….” ශෙනුල් මා සිය ගතට තවත් තදකර ගනිද්දී අම්මාද පැමිණ මා වැළඳගෙන හඬා වැටුණාය.
“අඬනව ඉතින් දැන් අඬනවා…. තමුසෙගෙ හුරතලේ තමයි සුධර්මා මේ සේරටම මුල…. හොඳට මතක තියාගනිල්ලා…. මේකිගෙ කසාදෙ අපි ලෑස්ති කරපු විදියට ශෙනුල් පුතා එක්කමයි වෙන්න ඕනෙ…. එහෙම නොවුණොත් මේකිත් එක්ක උඹලත් මේ ගෙදරින් යන්න ලෑස්ති වෙයල්ලා….” කී අප්පච්චි වේගයෙන් අප අතරින් ඉවතට ඇවිද යද්දී අම්මා කළේ මගේ මුහුණ අතගාමින් තවදුරටක් හඬා වැටීමය.
“අනේ පුතේ…. මේ ළමයගෙ මූණ තුවාලත් වෙලා….” අම්මා හඬා වැටෙමින් කීවත් මගේ නෙතින් එක් කඳුළක් හෝ නොවට්ටන්නට මම ප්‍රවේශම්වීමි. ශෙනුල් ඉදිරියේ දුර්වලවීමේ අවශ්‍යතාවයක් කිසිසේත්ම මට තිබුණේ නැත.
“රිදෙනවද බෝනික්කි…. අයිස් ටිකක් ගේන්නකො නංගී….” මා තවදුරටත් සිටින්නේ ඔහුගේ ලයට මුහුණ ඔබාගෙන බව සිහිවූයේ ඔහු මගේ මුහුණට අත තබා කියද්දීය.
මා ඔහුගෙන් ඉවත්වීමට උත්සාය කළත් ඔහු කළේ තවත් මා ඔහුවෙතට ගෙන නැගනිය රෙදි කැබැල්ලක ඔතා ගෙනා අයිස් කැට ප්‍රවේශමෙන් මගේ මුහුණ මත තැබීමය.
“එපා….” මා කළේ සිරුරේ ඉතිරිව තිබූ මුළු ශක්තියම යොදා ඔහු තල්ලු කර දැමීමය.
“දැන් මොකටද අයිස් කැට කියන්නේ…. ඔයාට සතුටු ඇතිනෙ දැන්…. මේකටනෙ මාව ගෙදර එක්ක ඇවිත් අප්පච්චිට කේලම් කිව්වෙ නෙහ්….” අනතුරුව මා ඇසුවේ ඔහුගේ කමිසයේ කොලරයෙන් ද අල්ලා සොලවමිනි.
“පිස්සුද සිතූ…. ඔයා මොනවද මේ කියන්නේ….” ‘
“කියන්නෙද…. මං මේ කියන්නෙ තමුන් කරපු දේ තමයි මනුස්සයෝ….”
“අනේ ලොකූ…. කෑ ගහන්න එපා පුතේ…. අප්පච්චිට ඇහුණොත් ආයෙත් එයි….”
“එන්න කියන්න අම්මා…. ඇවිත් මාව මරලම දාන්න කියන්න…. දකින දකින කෙල්ලො රවට්ටන එකෙක්ට මාව දෙනවට වඩා ඒක හොඳයි….” මා කෑ ගැසුවේ අසල වූ සෝපාව මත වැටී මහ හඬින් හඬා වැටෙමිනි.
“මොනවද පුතේ මේ කියන්නේ….”
“ඒක අහගන්න අම්මලා මේ බෑණා කරගන්න හදන කෙනාගෙන්….”
“සිතුලි…. නවත්තනව දැන් ඕක…. බොරුවට කියවල අප්පච්චිගෙන් ආයෙත් ගුටි කන්නද ඕනෙ….” ශෙනුල් පැවසුවේ මා අසලින් වාඩි වී යළිත් මා සිය ගතට වාරු කරගන්නට උත්සාහ කරමිනි.
“ඇයි අහන් ඉන්න අමාරුයිද කරපුව කියද්දී….” මා ඇසුවේ ඔහු දෙස සමච්චලය මුසු බැල්මක් හෙළමිනි.
“සිතූ ප්ලීස්…. දැන් ඇති ඔය කතාව….” ඔහු කීවේ පහත් හඬකිනි.
කියන්නට තවත් බොහෝ දේ සිතෙහි වූ නමුත් මේ මොහොතේ ඔහු හා තවත් පැටලෙන්නට සිතක් වූයේ නැත.
“මට යන්න ඕනෙ…. මාව ගිහින් දාන්න….”
අවැසි වූයේ හැකි ඉක්මනින් නවාතැනට ගොස් නිදහසේ හඬා වැටෙන්නටය.
“ඒත් අද මන්දිතාත් නැහැ නේද…. ගිහින් ඔයාට තනියම ඔහොම ඉන්න බෑනෙ සිතූ….” ඔහු කීවේ අත වූ අයිස් කැට මගේ තොල පැලී ඇති ස්ථානයේ යළිත් තබමිනි.
“මට පුළුවන්….”
“අනේ අද ඉඳල යන්න දෝණි…. ඔහොම යන්නෙ කොහොමද….?”
“මට අප්පච්චි මෙහෙම කළට පස්සෙ කොහොමද ඉන්නෙ අම්මා….”
“හරි හරි අපි යමු…. මම මෙයාව බලාගන්නම් ඇන්ටි…. බයවෙන්න එපා…. යන්න කලින් මොනව හරි කූල් දෙයක් බීල යමුද ම්ම්ම්….” අනතුරුව ශෙනුල් ඇසුවේ මගේ අතකින්ද අල්ලා ගනිමිනි.
“බෑ මට ඕනෙ නෑ….” මා කීවේ ශෙනුල්ගේ අතද ගසා දමා නිවසින් එළියට බසිමිනි.
මා ශෙනුල්ගේ මෝටර් රථය අසලට ඇවිද යද්දී ශෙනුල් මා පසුපසින් ආවේ මගේ බෑගය ද රැගෙනය.
“මූණම රතු වෙලා….” යන ගමන් මේකෙන් මූණ පොඩ්ඩක් තවාගන්න….” ඔහු කීවේ මෝටර් රථයට ගොඩවීමෙන් පසු මගේ ආසනපටිය ද පළඳවා අයිස් කැට සහිත බෑගය මගේ අතට දෙමිනි.
“ඕනෙ නෑ…. ඔයාට ඕනෙ දේ වුණානෙ…. දැන් සතුටුවෙන්න ඉතිං….”
“කටට එන හැමදේම කියවන්න එපා සිතූ…. මෙහෙම දෙයක් වෙයි කියල දන්නවනම් මං කීයටවත් ඔයා අරන් මේ ගමන එන්නෙ නෑ….”
“අනේ බොරු කියන්න එපා ශෙනුල්…. තමුන්ගෙ හැටි දැන දැන දවසකට හරි විශ්වාස කරපු මමයි වැරදි…. ෂිට්….”
“කටවහගන්නව සිතූ….”
“ඇයි ඔයත් මට ගහන්නද…. ගහනව ඉතින්…. තමුසෙ අපේ අප්පච්චිට කේලම් කියල කොහොම හරි මාව බඳින්න වෙන්න ඇති නේද හිතන් ඉන්නේ….”
“අයියෝ ඕක නවත්තගන්නවද….? අනික මොකක්ද ඔය කතා කරන විදිය ආ….?” ඔහු ඇසුවේ ස්ටියරින් වීලයට වේගවත් පහරක් එල්ල කර මෝටර් රථය පණගන්වා ගනිමිනි.
සියල්ල ඔහු නිසා වූ පසුත් ඔහු සමඟම මෙලෙස යන්නට සිදුවීම ගැන සිතෙහි වූයේ කණගාටුවකි.
“මම ඔයා එක්ක මෙහෙම යන්නෙත් මේ විදියට බස් එකේ යන්න ලැජ්ජ නිසා මිසක් ඔයත් එක්ක යන්න තියෙන ආසාවකට නෙවෙයි හරිද….?”
“හරි හරි…. මේ දේවල් වුණේ මං නිසයි කියල හිතනව නම් මට සමාවෙන්න….” ඔහු කීවේ සුසුමක් ද හෙළමිනි.
වේගයෙන් මෝටර් රථය ඉදිරියට ඇදෙද්දීත් වෙනදා මෙන් බියක් දැනුණේ නැත. විටින් විට නෙතට ඉනූ කඳුළු මා පිටි අත්ලෙන් පිසදැමූයේ බෑගය ඇද බැලුවත් එහි ලේන්සුවක් හෝ ටිෂූ පැකට්ටුවක් නොතිබූ බැවිනි.
“ආ….” ඔහු මෝටර් රථයේ පිටුපස තිබූ ටිෂූ සහිත පෙට්ටිය ගෙන තැබුවේ මගේ උකුල මතිනි.
මා කිසිත් නොකියා එහි වූ ටිෂූ කිහිපයක් ගෙන මුහුණ පිසදා ගතිමි.
“තව මදිද හීල්ලුවා….” තවත් දුරක් ගිය පසු ඔහු ඇසුවේ මෝටර් රථයේ වේගය මදක් අඩුකර මගේ මුහුණට ද එබෙමිනි.
මම කිසිත් නොකියාම අසුනට හේත්තු වී දෙනෙත් පියාගතිමි.
14 වන කොටසින් හමුවෙමු.