ආගම් ප්‍රචාරයට ලියැවුණු කතා
පෘතුග්‍රීසීන්ට ලංදේසීන්ට යටත්ව පැවැති ලංකාව සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසින්ගේ යටත් විජිතයක් බවට පත් විය. කොල්බෲක් කොමිසම 1833 වසරේදී දුන් නිර්දේශවලට අනුව ලංකාවේ පැවැත්වූ ඉංග්‍රීසි පරිපාලනය වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් පුහුණු කිරීමට නිර්දේශ ලැබිණි.
ඒ අනුව ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනයට අවසර ලැබුණු අතර, ඉගැන්වීම් වෙනුවෙන් පාසැල් පවත්වාගෙන ගියේ මිෂනාරීන්ය. මිෂනාරී ආයතන කිහිපයක්ම පැවැති අතර ඔවුන් මිෂනාරි පාසැල් ආරම්භ කර ලාංකික දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය දෙන්නට පටන් ගත්හ.
එහි අනෙක් අරමුණු වූයේ ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කිරීමය.
මේ සමඟම බොහෝ බෞද්ධයෝ ක්‍රිස්තියානි ආගම වැළඳගෙන මිෂනාරී පාසැල්වලින් ඉංග්‍රීසි ද උගෙන ගත්හ. ඉනික්බිති රජයේ රැකියා ලබා ගත්හ.
සිංහලේ පළමුවන නවකතාව යැයි හැඳින්වූ වාසනාවන්ත පවුල සහ කාලකණ්ණි පවුල යන කතාව රුවන් මල්දම සඟරාවට කොටස් වශයෙන් රචනා කළේ ඇල් අයිසෙක් ද සිල්වා නැමැති ලේඛකයෙකි. ඔහු එම කතාවෙන් කියාපෑවේ, ක්‍රිස්තියානි ආගම වැළඳගෙන ජීවත්වූ පවුල වාසනාවන්ත පවුලක් බවත් අනෙක් පවුල කාළකණ්ණි පවුලක් බවත්ය. පසුකලෙක මේ කතාව පවුල් දෙක නමින් කෘතියක් ලෙස ද මුද්‍රණය විය.
ඉන් පසුව, 1876 දී පමණ එච්. කන්නංගර දේවගැතිතුමා විසින් ග්‍රාම ප්‍රවෘත්තියක් නමින් තවත් කතාවක් ලියන ලද්දේය. එය ප්‍රකාශයට පත්කළේ ලංකා ආගමික පොත් ප්‍රචාරක සමිතියයි. මෙම කතාවෙන් ද වාසනාවන්ත පවුලක් හා කාලකණ්ණි පවුලක් ගැනම කියැවිණි. එහිද වාසනාවන්ත පවුල කිතුණු ආගම අදහන පවුලයි.
මේ කෘති දෙකේම අරමුනු වූයේ ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කිරීමයි. කෙසේ වුව ද මෙම කතා දෙකේම නවකතාවල අංග ලක්ෂණ අඩංගු වූ බැවින් සිංහල නවකතාවේ සමාරම්භක කෘති ලෙස බොහෝ විද්වතුන්ගේ අවධානයට යොමු විය.
මේ සමඟම බෞද්ධාගම රැක ගැනීම සඳහා ද පිරිසක් නැගී සිටියහ. අනගාරික ධර්මපාලතුමා එහි ලා මූලික වූයේය. පියදාස සිරිසේන සිය ප්‍රබන්ධ රචනා කරන්නේ මේ අවදියේය. ජයතිස්ස හා රොසලින් ඔහුගේ ප්‍රබන්ධයෙන් හමුවන්නේ බෞද්ධයෙකු හා ක්‍රිස්තියානි කාන්තාවකි. ජයතිස්ස රොසලින්ට ලියුම් ලියයි. ඒ ලියුම්වලින් කියවෙන්නේ ආල කතන්දර නොවේ. බුද්ධාගමේ වටිනාකමයි. බෞද්ධ පවුලේ සංසුන්කමයි. අන්තිමේදී රොසලින් බුද්ධාගම වැළඳගෙන රූපවතී ලෙස නම ද වෙනස් කර ගනී.
අලුත්ගමගේ සයිමන් ද සිල්වා මීනා ලියන්නේ 1905 වසරේදීය. එය ලංකාවේ පළමුවැනි නවකතාව ලෙස බොහෝ විද්වතුන් පිලිගන්නේ එය ලෝකයේ පළමු නවකතාව ලෙස සැළකෙන රොබින්සන් කෲසෝ මෙන්ම නූතන නවකතාවේ සියළු අංග ලක්ෂණවලින් සමන්විත කෘතියක් වූ බැවිනි.
ශාන්ත කුමාර විතාන.