නිවන් සුව ලැබේවා මහත්මිය
ගුරු පවුලක දරුවෙකු වී ඉපදෙන්නට ලැබීම එක අතකින් වාසනාවකි. අනෙක් අතින් අවාසනාවකි. දැන උගත් මව්පිය දෙපළකගේ දරුවන් වීම වාසනාවය. අවාසනාව වන්නේ ඔවුන් පළාතෙන් පළාතට මාරු වෙද්දී ඔවුන් කැටුව නොගොස් තනිව නවාතැන් පොළවල රැඳී සිටින්නට සිදු වීමය. සෝමා විනීතා තෝල්කමුදලිගේටත් ඒ ඉරණමට මුහුණ දෙන්නට සිදු වූයේය. සහෝදර සහෝදරියන් එකොළොස් දෙනෙකුගෙන් යුතු පුවලේ බඩ පිස්සිය වූයේ සෝමාය. ආදරේට සියලු දෙනාම ඇය ඇමතුවේ සුදු හාමිනේ වශයෙනි.
“අපි වැඩිපුරම හිටියේ ඉස්කෝලවල ගුරු නිවාසේ.. පුංචි කාල් මං දණ ගාගෙන ගියෙත් ඉස්කෝලෙට..” අතීත මතකය අවදි කරවමින් සෝමා පැවසුවාය.
1946 අප්‍රේල් 27 දා දකුණු පළාතේ බෙලි අත්ත ගමේ ඉපදුණු සෝමාගේ තාත්තා විදුහල්පතිවරයෙකි. අම්මා උපගුරුවරියකි. ඇගේ ලොකු අක්කා ඇයට වඩා අවුරුදු 18ක් වැඩිමහලුය. ඇය ළඟම අයියාත් ඇයත් අතර වයස පරතරය අවුරදු 8 ක් විණි.
“ඇත්තටම ඒ වයස පරතරය හින්දම මම තනියෙන් හැදුණේ වැඩුණේ.. මගේ වයසට බැහැලා මගෙත් එක්ක සෙල්ලම් කරන්න කවුරුවත් හිටියෙ නෑ.. ඒ හින්දා මම හැමදාම තනිකමෙන් පීඩා වින්දා..” එහෙත් ලේඛිකාවක වශයෙන් ඇය මෙතරම් දුරක් රැගෙන ආවේ ඒ තනිකම විසිනි. එම නිසාම පසුකාලීනව තනිකම ඇයට ආශීර්වාදයක් වූයේය.
“ඒ කාලෙදි අපිට දැන් කාලේ වගේ කඩෙන් ගේන වයිවාරන්න සෙල්ලම් බඩු තිබුණෙ නෑ.. මට තිබුණේ ලොකු අක්කා මහලා දුන්න රෙදි බෝනික්කා විතරයි.. මම හැම සෙල්ලමක්ම කළේ බෝනික්කත් එක්ක.. ” සෝමා කියන්නීය.
බෙලි අත්ත මහා විද්‍යාලය, බෝපාගොඩ විද්‍යාලය, මාතර සුජාතා බාලිකා විද්‍යාලය, මාතර කුඩා කුසුම් කන්‍යාරාමය ඇය ඉගෙන ගත් පාසැල්ය. “බෝපාගොඩ ඉස්කෝලේ තියෙන්නෙ හරිම කන්දක් උඩ හරිම ලස්සන තැනක.. පහළින් නිල්වලා ගඟ ගලාගෙන යනවා.. මේ ඉස්කෝලේ ඉන්න කාලේ රෙදි බෝනික්කට අමතරව මට යාළුවෙක් හිටියා.. ඒ පූසෙක්.. මම පූසා ඔඩාක්කුවේ තියාගෙන නළවනවා.. ඌ නිදා ගන්නෙත් මගෙ ඇඳේමයි.. මේ හින්දා මට පීනස හැදෙන්න පටන් ගත්තා.. අපේ අයියලා මට හොරෙන් ඌව අරගෙන ගිහින් ගඟෙන් එහා පැත්තට දාලා ඇවිත්.. එදා තරම් දුක හිතුණ දවසක් මගේ ජීවිතේ තවත් තිබුණේ නැ.. මම හොඳටෝම ඇඬුවා..” එසේ කියද්දී ඇගේ කටහඬ දුක්බර වී තිබිණි.
මීට දශක හයකට පමණ පෙර අතීතයේදී ඇය මොන තරම් දුක් වෙන්නට ඇද්දැයි මම කල්පනා කළෙමි. “තවත් සිද්ධියක් මට හොඳට මතකයි..” මගේ කල්පනාවලියට දුරදිග යන්නට ඉඩ නොදී සෝමා නැවතත් කටහඬ අවදි කළාය. “එතකොට අම්මයි, තාත්තයි ඉගැන්නුවේ ජුලම්පිටිය ඉස්කෝලේ.. මම ඉස්කෝලේ යන්නෙ නෑ.. ඒත් ඉතින් හිටියෙ ගුරු නිවාසේ හින්දා මාත් හැම වෙලාවෙම ඉස්කෝලෙම තමයි ඉන්නෙ.. මේ ඉස්කෝලෙට හරි ප්‍රියමනාප තරුණ ගුරුවරයෙක් ආවා.. එයත් නැවතුණේ ඉස්කෝලේම කාමරේක.. අපි එයාට කතා කළේ ඉස්කෝලේ අයියා කියලා.. මේ ඉස්කෝලේ අයියා මට හරි ආදරෙයි.. මම හෝඩියේ පන්තියේ ළමයි එක්කරගෙන ඇවිත් ඉස්කෝලේ ඉස්සරහ තිබ්බ fාලකු නුග ගහ යට සෙල්ලම් බත් උයනවා.. ඉස්කෝලේ ළමයි මේ විදියට එක්කරගෙන එනවට අපේ අම්මා හරි තරහයි.. එයා වේවැලත් අරගෙන එනකොට මම දුවලා ගිහින් හැංගෙන්නෙ ඉස්කෝලේ අයියගෙ තුරුල්ලෙ.. එයා මාව අම්මගෙ දඬුවමින් බේරා ගත්තා.. පස්සෙ කාලෙක අපේ ලොකු අක්කා විවාහ වුණේ ඒ ඉස්කෝලේ අයියත් එක්ක තමයි..”
විවාහයෙන් පසුව අක්කාත්, ඉස්කෝලේ අයියාත් පදිංචි වුණේ බෙලි අත්තේ ඔිවිලානේ පිහිටි සෝමලාගේ මහගෙදරය. ඇයට ඔවුන් දෙදෙනා දෙවන දෙමව්පියන් බඳු වුයේය. අම්මලා පාසැලින් පාසැලට යද්දී සෝමා නැවතුණේ ඔවුන් දෙදෙනා සමඟය. ලොකු අක්කාගේ දරුවන් හා සෙල්ලම් කළ යුගය අදටත් ඇයට හොඳින් මතකය.
“හඳ පායන රෑට සුදුවැලි මිදුල හරිම ලස්සනයි.. සේපාලිකා මල් මිදුල පුරාම විසිරෙනවා.. අපි මිදුලට වෙලා කවි සින්දු කියනවා.. අපේ අත්තම්මත් ඒ කාලේ අපිත් එක්ක හිටියෙ.. එයත් අපිත් එක්ක එකතු වෙනවා.. ඇය රජයේ ගුරුවරියක් fානවුණත් මුළු ගමටම ගුරුවරියක් වුණා.. ඒ හින්දා ඇය හැඳින්වුණේ මහගෙදර ඉස්කොf්ලේ හාමිනේ කියලා..”
උඩ රට කාන්තාවක වු අත්තම්මා ඒ ගමට පැමිණ ඇත්තේ අත් දිග හැට්ටයත් දිග සායත් ඇඳගෙන අශ්ව කරත්තයෙන් බැව් තාත්තා කියු ආකාරය සෝමාට මතකය. ඇයට මිහිරි කටහඬක් තිබිණි. එ ්කාලයේ ග්රැමපෝනයක් තිබුණේ සෝමලාගේ නිවසේ පමණකි. එම නිසාම පවුලේ සියලු දෙනාම එක් වෙන දවස ඉතා ප්රිතිමත් වුයේය. ඔවුහු සියලු දෙනාම එක් වී සංගීත සාජ්ජ පැවැත්වුහ. “සඳපානේ වැලි තලා සුර කුමරියො මල් සලා මිහිරි ලලිත ගී ගයා නටති මේ රැයේ..” එකල ගායනා කළ ගීතයක කොටසක් සෝමා ගායනා කළේ මගේ ඉල්ලීමටය. ඇයටත් ඇත්තේ ඇගේ ්අත්තම්මාට තිබුණායයි කියන ආකාරයේ මිහිරි කටහඬක්යයි මට සිතිණි.
“ඒත් දැන් අපිට ඒ මහගෙදර නෑ.. මාතර කතරගම රේල් පාර හදන්න අපේ මහ ගෙදරත් කඩලා දැම්මා.. ඇත්තටම අපේ සිහිවටන බොfාහමයක් රැඳිලා තිබුණ ඒ ගෙදර පස් ගොඩක් වෙලා තියෙනවා දකිද්දි හිතට දැනුණ දුක විස්තර කරන්න වචන නැති තරමයි.. තවම රේල් පාර හැදිලත් නෑ.. ” ඇය පැවසුවේ නෙතට ඉනූ කඳුළක් ඔසරි පොටින් තෙතමාත්තු කර ගනිමිනි. මිනිසුන් විසින් ආදරයෙන් සුරැකි මොන තරම් දේවල් සංවර්ධනය වෙනුවෙන් කැප කරන්නට සිදු වන්නේදැයි මට සිතිණි.
ඒ කාලයේ සාමාන්‍ය පෙළ විභාගය හැඳින්වුණේ ඇස්. ඇස්. සී යනුවෙනි. ඇස්. ඇස්. සී විභාගයට පෙනී සිටියාට පසුව ශිෂ්‍ය ගුරු විභාගයට ලියන්නට අවස්ථාව තිබේ. ගුරුවරුන්ගේ දරුවන්ට සම්මුඛ පරීක්ෂණයේදී වැඩිපුර ලකුණු හිමි වෙයි. සෝමාට ද ශිෂ්‍ය ගුරුවරියක වීමේ ආශාව ඇති වූයේය.
උසස් පෙළ හෙවත් එච් ඇස් සී විභාගයට ලිවීමෙන් අනතුරුව ශිෂ්‍ය ගුරු විභාගයට ලියන්නට ඇය ඉටාගෙන සිටියාය. එවකට ශිෂ්‍ය ගුරුවරයෙකුට රුපියල් සියයක වැටුපක් ලැබිණි. එහෙත් ඇගේ ඉරණම කැරකුණේ ඇය සිහිනෙකින්වත් නොසිතූ පැත්තකටය.
“අපේ අම්මා හරියට කේන්දර විශ්වාස කරපු කෙනෙක්.. මාස දෙක තුනකට සැරයක් අපේ නෑදෑයෙක් වුණ ජ්‍යෝතීර්වේදියෙක් ගෙන්නලා අපි හැමෝගෙම කේන්දර බලවනවා.. ඒවයින් අපල උපද්‍රව ගැන කියවෙනවානම් ඒවා දුරු කරන්න නොයෙක් දේවල් කරනවා.. අපේ තාත්තට ඒවා රුස්සන්නෙ නෑ.. ඔහු නොපෙනෙන බලවේග විශ්වාස කරපු කෙනෙක් නෙමෙයි.. අපි මැතුරුම්වලට වුවමනා කරන මල් බුලත් තට්ටු එහෙම ලෑස්ති කරනකොට හාන්සි පුටුවේ දිගෑදිලා පත්තරේ බල බලා ඉන්න තාත්තා ඔළුව උස්සලා බලනවා. “සුදු හාමිනේ ඕකට තව එක දෙයක් අඩුයි..” තාත්තා කියන්නෙ හිනා වෙලා. “ඒ මොකක්ද..?” මං අහන්නෙ පුදුමෙන්.. “අං තට්ටුවක්..” තාත්තා කියන්නෙ අම්මට ඇනුම් පදයක් විදියට.. එතකොට මට fාහඳටම හිනා යනවා.. අම්මට එන්නේ පුදුමාකාර කේන්තියක්..” සෝමා කියද්දී මට ඒ දර්ශනය සිතේ ඇඳ ගැනීමට හැකි වූයේය.
ඇය විසින් ලියන ලද සුදු හාමිනේ පොතේ ද මේ විස්තර මෙලෙසින්ම ඇති බැව් මට සිහිපත් වූයේය. ඇගේ කේන්දරයේ පාපී ග්‍රහයන් ඇති බැවින් හොඳින් කේන්දර ගලපා මිස නැත්නම් ඇය විවාහ කර නොදෙන ලෙස ජ්‍යෝතීර්වේදියා විසින් ඇගේ අම්මාට කියනු ලැබ තිබිණි. සෝමා උසස් පෙළ විභාගයට ලියා අවසන් වූ දා පටන්ම ඇගේ අම්මා ඇයට මනාලයන් සොයන්නට පටන් ගත්තාය. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සේවය කළ එම්. ඒ. එස් පෙරේරාගේත් කේන්දරයේ පාපී ග්‍රහයෝ සිටියහ. එම නිසාම ඔහුගේ විවාහයත් ප්‍රමාද වෙමින් පැවතිණි. මනාලියන් 25 දෙනෙකු බැලුවේ වි නමුත් ඔවුන් එකෙක්වත් නොගැලපුණ බැවින් ඔහු 26 වන මනාලිය බලන්නට සෝමාගේ නිවසට පැමිණියේය. පුදුමයකට මෙන් ඇයට ඔහුගේ සිත ගියේය. කේන්දර ද හොඳින් ගැලපිණි. 1966 වසරේදී එවකට 20 හැවිරිදි වූ සෝමාත් 27 හැවිරිදි වු පෙරේරාත් අතර විවාහය සිදු වූයේය. පවුලේ එකම පුතු වූ ඔහුට බොහෝ දේපොළ තිබු බැවින් ලේලිය ශිෂ්‍ය ගුරුවරියක වෙනවාට ඇගේ නැන්දම්මා කැමති වූයේ නැත. පතිකුලයට ගියාට පසුව සෝමා විනීතා තෝල්ක මුදලිගේ සෝමා ටී. පෙරේරා ලෙසින් සිය නම් භාවිතා කරන්නට පටන් ගත්තාය.
“මම විවාහ වෙලා ආවේ මහරගම පතිරගොඩ මහා රබර් වත්තක් මැද්දෙ තිබ්බ ලොකු පාළු ගෙදරකට.. ඇත්තටම ඒක නුහුරු පරිසරයක්.. ඒ පරිසරේට හුරු වෙන්න මට fාකහෙත්ම පුළුවන්කමක් තිබුණෙ නෑ.. ඒ විතරක් නෙමෙයි මට ගෙදර වැඩත් කිසිම දෙයක් බෑ.. මම වැඩිපුර හිටියෙ බෝඩිම්වලනෙ.. ගෙදර වැඩ පුරුදු වෙන්න ඉස්සර කසාද බඳින්න සිද්ද වුණා.. මිරිස් ටිකක් අඹරන එක, පොල් බෑයක් ගාන එක මම දැක්කේ මහා ලොකු රාජකාරි විදියට.. නැන්දම්මා හැම වෙලාවෙම මට ඇනුම් පද කිව්වා.. මං ඇඬුව තරම් කෙළවරක් නෑ.. ඒ කාලේ විනෝද මාධ්‍යයකට තිබ්බෙ රේඩියෝ එක විතරයි.. ඒත් මං රේඩියෝව අහනවාටත් නැන්දම්මා කැමති වුණේ නෑ.. අපේ මහත්තයාගේ තාත්තා නැති වෙලා.. අම්මා තමයි හැම දෙයක්ම බලා කියා ගත්තෙ.. අපේ අම්මා මට උදව්වට එවපු ගැනු කෙනත් අරගෙන නැන්දම්මා වත්තට යන්නෙ රේඩියො එකත් වහලා.. ඊට පස්සෙ ඒක දාන්න තරම් එඩිතරකමක් මට තිබුණෙ නෑ.. මගෙ හිත හැම වෙලාවෙම කිව්වෙ ගෙදර පලයන් කියලමයි..”
එහෙත් හැම දෙනාගේම ආත්ම ගෞරවය වෙනුවෙන් සෝමා ඉවසුවාය. එහෙත් ඇගේ ඇස්වල නිරන්තරයෙන්ම රැඳුණේ කඳුළුමය. මේ අතර හුදෙකලා ජීවිතයේ කාන්සිය මකා ගන්නට මඟක් ඇයට උදා වූයේය. කුඩා කල සිටම ඇගේ විනෝදාංශය වූයේ fාපත් කියවීමය . එම නිසාම ඇයට හොඳින් ලියන්නට හැකියාව තිබිණි. නිවසේ තිබූ සී ආර් පොත් ගොන්නෙන් එකක් ගත් ඇය ලියන්නට පටන් ගත්තාය. මුලදීම ඇයට ලියැවුණේ අඳුරුයයි ඇය විසින් සැළකෙන ඇගේ ජීවිතය පිළීබඳ කවි පෙළකි. ඇය එය නම් කළේ ද අඳුර වශයෙනි.
ඇය ලියන දේවල් වනිතාවිත්ති, සිරිකත වැනි පුවත්පත්වල පළ වූයේය. ඇය ගුවන් විදුලියේ දයා ද අල්විස්, රත්නාලංකා අබේවික්‍රම, තිලකා රණසිංහ ආදී ජනප්‍රිය ශිල්පිනියන් මෙහෙයවූ කාන්තා වැඩ සටහන්වලට ද ලිව්වාය.
“ගෑනුන්ට තියෙන්නෙ කුරුටු ගගා ඉන්න එක ද..? ගෙදර වැඩ නැද්ද..?” ආදී වශයෙන් මුල් කාලයේදී සෝමාට බැණ වැදුණ නැන්දම්මා ඇගේ නම පුවත්පත්වල දකිද්දී, ගුවන් විදුලියෙන් ඇසෙද්දී ටික ටික වෙනස් වූවාය.
අන්තිමේදී සෝමා ලියන කල ඇයට තේ කෝප්පයක් සාදා ගෙනැව්ත් දෙන්නට තරම් නැන්දම්මා කරුණෘවන්ත වූවාය. දරවන් ලැබෙන්නට සිටි කාලයේදී හිඳගෙන සිටියදී ඇගේ දෙපතුල් ඉදිමෙන්නට පටන් ගනියි. ඇයට දෙපා ඔසවා තබා ගන්නට පොඩි බංකුවක් ගෙනැවිත් තබන ලද්දේ නැන්දම්මා විසිනි. ඇය මොනවා කිව්වත්, කළත් තනියම අඬ අඬා ඒවා විඳ දරා ගත්තා මිසක සෝමා නැන්දම්මා හා ගැටුම් ඇති කර ගත්තේ නැත. පසුකාලීනව ඇය බොහෝ යහපත් තැනැත්තියක වුයේ එම නිසා විය යුතුය. කාලය ගෙවී යද්දී තවත් බොහෝ දේවල් වෙනස් වූයේය. සෝමා දරු දෙදෙනෙකුගේ මවක් වූවාය. ඔවුන් පදිංචිව සිටි මහරගම ඉඩම විකුණා දමා ඔවුහු මාකොළ ප්‍රදේශයේ පදිංචියට පැමිණියහ. සෝමාගේ සැමියා පවුලේ එකම දරුවා වූ බැවින් නැන්දම්මා ද ඔවුන්ගේ නිවසේ පදිංචියට ආවාය. ඇගෙන් සෝමා ලද උදව් උපකාර අසීමිතය. ඇය ද සිය මවට කරන උවටැන් සියල්ල නැන්දම්මා වෙනුවෙන් කළාය. ඒ අතරම දිග්නදිගටම පුවත්පත්වලට ලිව්වාය.
“නවලිය පත්තරේ පටන් ගත්තේ එක්දහස් නමසිය අසු ගණන්වල.. ඒකේ කර්තෘ ප්‍රියංගනී ගුණවර්ධන මට ලියුමක් එවලා තිබුණා ඇවිත් හම්බ වෙන්න කියලා.. ඇය මට කිව්වා ගෙවීමකුත් කරන්නම් පත්තරේට ලියන්න හැබැයි අනිත් පත්තරවලට ලියන්න එපා කියලා.. මම කැමති වුණා.. ඇය එඩ්ිමන් රණසිංහ මහතතයාටත් මාව ඟදුුන්වලා දුන්නා.. මම වෘත්තීය පුවත්පත් කලාවට යොමු වුණේ ඒ විදියට තමයි.. සෑහෙන කාලයක් මම මෙහෙම ලියනකොට දවසක් ප්‍රියංගනී මට කිව්වා ලියපු නවකතාවක් තියෙනවා නම් ගේන්න නවකතාවක් පළ කරන්න අවස්ථාව තියෙනවා කියලා.. මට දැනුණ සතුට නිම්හිම් නෑ.. මම පහුවදාම මම ලියලා තිබුණ නවකතාවකුත් අරගෙන නවලියට ගියා.. මගෙ ළඟම මේසේ හිටිය ජයන්ත චන්ද්‍රසිරි නවකතාව බලලා හු`ාගක් සතුටු වුණා.. ඔහුම කතාවට නමත් දැම්මා දුවිලි මාවත කියලා.. ඉතින් මම ගෙදර ඇවිත් ලහිලහියේ ඉතුරු කොටස් ටිකත් ලිව්වා.. ඒ දවස්වල මහත්තයා ශීෂ්යත්වෙකට රට ගිහින් හිටියේ.. දරුවොත් බලාගෙන මම බොහොම අමාරුවෙන් නවකතාව ලියා ගත්තේ.. මහත්තයා ආපහු එනකොට මගේ නවකතාවක් පත්තරේ යනවා දැකලා කොච්චර සතුටු වෙයි ද හිත හිතා මම නවලියට ගියා.. ඒත් මොකක්ද වෙලා තිබ්බේ..? ස්වාධීන ලේඛිකාවක් ඇගේ නවකතාව පල කරන්න කියලා පිණ්සෙණ්ඩු වුණ හින්දා පළ කරන්න සුදානම් කරලා තිබුණ මගේ නවකතාව අයින් කරලා… ඇත්තටම එදා තරම් මම කඩා වැටුණ දවසක් තවත් නෑ..” සිය වෘත්තීය ජීවිතයේ අත්දැකීම් මා හමුවේ දිග හරිමින් සෝමා පැවසුවාය.
ඇය කාර්යාලයෙන් පිට වුයේ හොඳටම හඬමිනි. තමාට සිදු වූ අසාධාරණයෙන් පසුව තව දුරටත් එහි සේවය කරන්නට ඇයට හිත හදා ගත නොහැකි වූයේය. ඇයට හිතවත් යතුරු ලියන්නියක් පසුපස දිව ආවාය.
“ඔහොම අඬ අඬා ඔෆිස් එකෙන් එළියට යන්න බෑනෙ.. ඔයා ටිකක් වෙලා වාඩි වෙලා ඉඳලා යන්න..” ඇය පැවුසවාය. ඇයට කීකරු වුණ සෝමා පිළි ගැනීම් අංශයේ වාඩි වී එතැන තිබූ දිවයින පුවත්පතක් කියවන්නට වුවාය.
මැද පෙරදිග නම් පුවත්පතකට ලේඛක ලේඛීකාවන් බඳවා ගන්නා බවට සඳහන් දැන්වීමක් ඇයට දකින්නට ලැබිණි. සෝමාගේ දුක්බර සිතට එය මහා අස්වැසිල්ලක් විණි. එහි වූයේ දිවයින කාර්යාලය ආසන්නයේම ලිපිනයකි. සැණින් සිතට නැගුණ සිතුවිල්ලකට අනුව ඇය එහි ගියාය.
“දන්නෙම නැතුව මම ගිහින් තිබුණේ මල්ටිපැක්ස් ආයතනයට.. ඒ කාලේ කුමරි, රැජින කළේ ඒ ආයතනයෙන් තමයි.. ප්‍රධාන කර්තෘ වුණේ බන්දුල පද්මකුමාර මහත්තයා.. මැද පෙරදිග පුවත්පත පටන් ගන්න සැලසුම් කරලා තිබුණෙත් ඒ මහත්තයාමයි. එහෙදි මට අර්නස්ට් වඩුගේ, තිලක් සේනාසිංහ, කුමාර සිරිවර්ධන, ප්‍රදීප් කුමාර බාලසූරිය ඇතුළු හුඟක් දෙනෙක් හම්බ වුණා.. ඉතින් පද්මකුමාර මහත්තයා මට කිව්වා පවුල් ප්‍රශ්න ගැන ලිපියක් ලියන්න කියලා.. මම ගෙයි ගින්දර කියලා ඒ වෙලාවෙම එකක් ලියලා දුන්නා.. ඒකෙන් පැහැදීමට පත් වුණ ඒ මහත්තයා මට රැජිනටත් ඒ විදියෙම ලිපි පෙළක් ලියන්න කිව්වා.. මම නවලියෙන් අයින් වෙලා මල්ටිපැක්ස් ආයතනයට බැඳුණේ ඒ විදියටයි.. සසල සිතක්, සිතූ සිත්තම් ඇතුළු නවකතා කීපයක්ම මම ලිව්වා..”
මේ අතරේ බන්දුල පද්මකුමාර මහතා මල්ටිපැක්ස් ආයතනයෙන් ඉවත් වී සුමති ආයතනයට බැ`ඳී අරලිය පුවත්පත පටන් ගත්තේය. රැජිනත් ඒ ආයතනයටම ගත්තේ ඔහු කර්තාත්වය දැරූ බැවිනි. සෝමාත් ඒ ආයතනයට එක් වුවාය. ගුරු ගෙදරක කතාවක්, ඉර හඳ යට හමු වී, සිහින දනව්ව ආදී නවකතා ඇය ලිව්වේ අරලිය පුවත්පතටය. ඒ අතරේ සුමති ආයතනයෙන් ආරම්භ කළ කුමුදු පුවත්පතටත් ඇය ලිව්වාය. එකම නමින් ලිපි කිහිපයක් ලිවීම සුදුසු නැති බැවින් ඇය නම් කිහිපයක්ම භාවිතා කළාය.
“ප්‍රියංගනී තමයි මාව ක්ෂේත්රයට ගෙනාවේ.. ඒත් මගේ හැකියාවන් අඳුනා ගත්තේ බන්දුල පද්ම කුමාර මහත්තයා.. ඒ දෙන්නටම මම ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕන..” ඇය කියන්නීය. සැහෙන කලක් ගත වෙද්දී සෝමාට සුමති ආයතතනය එපා වෙන සිදු වීමක් ඇති වූයේය. ඒ ඇය විසින් කියන ලදැයි සැක කෙරුණ, එහෙත් ඇය කවදාවත් නොකී කේළමක් පිළිබඳ පුවතකි. එයින් බොහෝ කළකිරුණ ඇය සේවයෙන් ඉවත් වූවාය. ඒ වන විට අර්නස්ට් වඩුගේ මහතා විසින් රස ප්‍රකාශන ආයතනය පටන් ගනු ලැබ තිබිණි. සෝමා ඊ ළඟට එක් වූයේ ඒ ආයතනයටය. එයින් පළ කෙරුණ සුවඳ, බිරිඳ පුවත්පත්වලට ඇය බොහෝ ලිපි හා නවකතා ලිව්වාය. එකල රස ප්‍රකාශන ආයතනයේ ප්‍රධාන උප කර්තෘ ධුරය දරන ලද්දේ මා විසිනි. සෝමා ටී පෙරේරා දුටු මොහොතේ සිටම මා හා බොහෝ හිතවත් වුවාය. අප සියලු දෙනාටම ඇය සෝමා ඇන්ටි වූයේ ඇය මවකගේ දයාවෙන් සියල්ලන්ටම සැළකු බැවිනි. ඇය ඇන්දේ ඔසරිය හෝ සාරිය පමණකි. ඇගේ හැම සාරි පොටකම කෙළවරේ මවිසින් ලියන ලද යමක් වූ බැව් මට මතකය. මට බත් කටක් කවා මිස නැත්නම් ඇය කවදාවත් කෑවේ නැත. මා වැඩක සිටියත් ඇය එතැනටම පැමිණ බත් කට කවා ගියාය. ඇයට ඇත්තේ ඒ තරම්ම දයාබර හදවතකි. මා ඒ ආයතනයෙන් ඉවත් වී ටික කලකට පසුව සෝමා ටී පෙfරේරා ද ඉන් ඉවත් වී ප්‍රදීප් කුමාර බාලසූරියගේ කර්තෘත්වයෙන් පළ වූ සඳරේණු පුවත්පතේ සේවයට ගියාය. ඉනික්බිතිව ඒ අයාතනයෙන් පළ කළ ශ්රීයාවී පුවත්පතේ කර්තෘ ධුරය දරන ලද්දේ ද ඇය විසිනි.
“ඔය හැම දේම කරගෙන, අවුලක් නැතුව පවුල් ජීවිතෙත් ගෙවාගෙන, දරුවෝ දෙන්නත් හදා වඩා ගත්තෙ කොහොමද..?” මම ඇසීමි. “මගේ මහත්තයා මට ලොකු හයියක් වුණා.. ඒ වගේම නැන්දම්මා මට උදව් කළා.. මම දරුවෝ එක්ක වැඩිපුර කාලයක් ගෙවන්න පුළුවන් විදියට මගේ කාලය කළමනාකරණය කරගෙනයි හැමදේම කළේ.. මගේ දුවයි පුතයි හොඳට ඉගෙන ගත්තා.. පුතා ඖෂධවේදියෙක්.. දුව රූප ලාවන්‍ය ශිල්පිනියක්.. මගේ ලේලි මාණ්ඩලික හෙදියක්.. බෑනා ව්‍යාපාරිකයෙක්..” සෝමා කියන්නේ බොහෝ තෘප්තියෙනි.
ඇය දැන් අත්තම්මා කෙනෙකි. සිය මුණුපුරු මිනිපිරියන් ගැන ඇය කතා කරන්නේ දැඩි ආදරයෙන් හා ආඩම්බරයෙනි.
“මගේ පුතාගේ ලොකු පුතා ඒ නවයක් අරගෙන සාමාන්‍ය පෙළ සමත් වෙලා දැන් ජීව විද්‍යා අංශයෙන් ඉගෙනුම ලබනවා.. දුව ඉගෙන ගන්නෙ ගණිත අංශයෙන්.. බලා පුතා 8 වෙනි ශ්‍රේණියේ.. දුවගේ දුව මේ සැරේ සාමාන්‍ය පෙළ විභාගය ලියනවා.. දැන් මම ජීවිතේ දිහා බලන්නෙ අත්තම්මා කෙනෙකුගෙ ඇස්වලින්..”
“ඔබේ බාල කාලෙයි, ඔබේ මුනුපුරු මිනිපිරියන්ගෙ බාල කාලෙයි අතරේ වෙනස ගැන හිතෙන්නෙ කොහොමද..?”
“ඇත්තටම අපි පුංචි කාලේ අපිට සෙල්ලම් කරන්න ඕන තරම් නිදහස තිබුණා.. සුන්දර පරිසරයක් තිබුණා.. ඒත අද කාලෙ දරුවෝ යාන්ත්‍රික වෙලා.. තාක්ෂණයට වහල් වෙලා.. ඔවුන්ට සුන්දරත්වය විඳින්න පරිසරයක් නෑ.. තිබුණත් වෙලාවකුත් නෑ.. ඒ තරමටම කාර්යබහුල වෙලා.. මට වෙලාවකට ඔවුන් ගැන මහා කණගාටුවක් දැනෙනවා..” ඇය පැවසුවේ හූල්ලමිනි.
“හැඳි නොගා හදන fාහද්දයි, දඬුවම් නොදී හදන දරුවයි දෙකම එකයි කියලා කතාවක් සමාජf් තියෙනවා.. අත්තම්මා කෙනෙක් විදියට ඔබ හිතන්නේ කොfාහමද..? දරුවන්ට දඬුවම් දිය යුතු ද..?”
“ඔව්.. වැරදි කළාම දඬුවම් දිය යුතුයි.. ඒ ඔවුන්ගේ හිත්වලට ඒ වරදේ ස්වභාවය අවබෝධ වෙන විදියට මිසක් තදබල ශාරිරික දඬුවම් නෙමෙයි.. ඒ කාලේ මගේ දරුවන් දෙන්නට ඔවුන්ගේ තාත්තා තදබල ශාරීරික දඬුවම් දීලා තියෙනවා.. මට මතකයි දවසක් පුතා කරපු වරදකට තාත්තා ඉණේ බඳින පටියෙන් පිට හරහට ගැහැව්වා පාරවල් හිටින්න.. මටවත් ඔහු බේරා ගන්න පුූළුවන් වුණේ නෑ.. තවත් දවසක පුතා මිදුලේ තිබුණ ජෑම් ගහට නැංගා කියලා පොරව ගෙනල්ලා ගහ මුලින්ම කපලා දැම්මා.. අදටත් පුතාට ගහකට නගින්න පුළුවන්කමක් නෑ.. දුවටත් ඒ වගේ දඬුවම් දීලා තියෙනවා.. මම නම් දරුවෝ එක්ක යාළුවෝ වගේ හිටියා.. ඒත් ඕනවට වැඩිය නිදහස දුන්නෙ නෑ.. තාත්තා වගේ තදබල දඬුවම් දුන්නෙත් නෑ..”
“ඒ දඬුවම් ගැන අද ඔවුන් fාමනවද කියන්නෙ..?”
“ඇත්තටම ඔවුන් ඒ ගැන කිසිම තරහක් නෑ.. මේ ළඟදිත් පුතා කිව්වා ඒ කාලේ ලැබුණ දඬුවම් හින්දා අදටත් සමහර වැරදි කරන්න තියා හිතන්නත් බයයි කියලා.. ඒත් ඒ වගේ ශාරීරික දඬුවම් එදත් මං අනුමත කළේ නෑ.. අදත් එහෙමයි.. මගේ මුනුපුරු මිනිපිරියන්ට ඔවුන්ගේ දෙමව්පියන් දඬුවම් කළොත් එහෙම මට ලොකු දුකක් වගේම තරහකුත් දැනෙනවා..” ඇය පැවසුවේ අත්තම්මලාගේ නියම් ස්වභාවය විදහා දක්වමිනි.
“ඔබ යම් යම් අවස්ථාවල නැන්දම්මා වෙතින් හිත රිදවා ගත්තනෙ.. ඉතින් ඔබ ලේලිට සළකන්නේ කොහොමද..? ” මම අතුරු ප්‍රශ්නයක් නැගීමි.
“ලේලි මට දුවෙක් වගේ.. පෝය දවසට මායි මහත්තයයි සිල් ගන්නා බෞද්ධයා නාලිකාවට යනවා.. අපි දෙන්නා ගිහින් ඇරලන්නෙයි, ආපහු එක්ක එන්නෙයි පුතයි ලේලියි තමයි.. අපි දෙන්නව දඹදිව යැව්වෙත් ලේලිගෙ වියදමින්.. ඇත්තටම දරු මුනුපුරන් වට කරගෙන අපි දෙන්නා ගෙවන්නෙ බොහොම සැහැල්ලු තෘප්තිමත් ජීවිතයක්.. ඉතින් ජීවත් වෙනවා කියන්නෙ ඒක නෙමෙයි නම් වෙන මොකක්ද..?” ඇය විමසන්නේ සුපුරුදු දයාබර සිනාව පාමිනි.
චන්දි කොඩිකාර