නිවන් සුව ලැබේවා මහත්මියනි
සිය පුංචි, සියුමැලි සිරුරට ඔරොත්තු නොදෙන තරමේ දැවැන්ත අභියෝගයන්ට මුහුණ දී ජය ගන්නා ගැහැනියක යකඩ ගැහැනිය ලෙස හැඳින්වීම ඇයට සම්මානයක් මිස කිසිසේත්ම අවමානයක්නම් නොවන්නේය. ඇය අපට ඔප්පු කර පෙන්වන්නේ ගැහැනියකගේ ආත්ම ශක්තිය භට හමුදාවකටවත් විනාශ කරන්නට නොහැකි බවය. මේ මෑතකදී ඇයට ඉන්දියාවේ ස්ත්රිශක්ති පදනම විසින් සම්මානයක් පිරිනමනු ලැබිණි. කාන්තාවන් වෙනුවෙන් කරන ලද සේවයට උපහාර වශයෙන් පිරිනමනු ලබන එම සම්මානය දිනා ගත් ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාව ඇය වන්නීය.
“ඒ සම්මානය පිරිනැමුවේ රුහුණු විශ්ව විද්‍යාලෙදි.. ස්ත්‍රී ශක්ති පදනමට අනුබද්ධිත රේඛා මෝදි සහ මහාචාර්ය රෙක්සිනා තමයි නියෝජිතවරුන් විදියට සම්බන්ධ වුණේ.. රුහුණු විශ්ව විද්‍යාලේ උපකුලපති ගාමිණි සේනානායක මහතා ප්‍රධාන ආරාධිතයා විදියට සහභාගි වුණා…” ඇය පැවසුවාය.
ඔව්.. ඇය විශේෂිත ගැහැනියකි. ඇගේ නම පවා පිළිබිඹු කරන්නේ එම විශේෂත්වයෙන් බිඳකි. අනුල ද සිල්වා… එය කාන්තා නමක් නොවන බැව් සැබෑය. අනුලා ද සිල්වා ලෙසින් එය වෙනස් කර ගන්නට ඇයට ඕනෑ තරම් ඉඩකඩ තිබිණි. එහෙත් ඇය එය තමන්ගේ අනන්‍යතාව බවට පත් කර ගන්නට තරම් බුද්ධිමත් වූවාය.
“උප්පැන්නෙ මගෙ නම ලියවෙනකොට ඇලපිල්ලක් අඩු වෙලා අනුල කියලා ලියවිලා තියෙන්නෙ.. හුඟක් දෙනෙක් කිව්වා අනුලා කියනවට වැඩිය අනුල කිව්වම ගණ හොඳයි කියලා.. ඉතින් මම එහෙමම පාවිච්චි කළා..” ඇය කියන්නේ සිනාසෙමිනි.
දුහුනෙකු ලෙසින් මා පුවත්පත් කලා ලෝකයට එබී බලමින් ්සිටියදී අත වනා මා කැඳවා මට එහි පුංචි ඉඩක් දෙන්නට තරම් කාරුණික හදැත්තියක වූ ආදරණීය අනුලක්කා රම්‍ය සෙවණට කැඳවන්නට ලැබීම පිළිබඳ ආඩම්බරය මා හද තුළ දෝර ගලන්නේය. කාලය කොතරම් වේගයෙන් ගලාගෙන ගියත් මේ සිටින්නේ ඒ අනුලක්කාමය. මුවේ රැඳී ඇත්තේ එදා මා දුටු අව්‍යාජ සිනාවමය.
මිහිර, තරුණී, හඳමාමා, වනිතාවිත්ති, ඇතුළු පුවත්පත් කිහිපයකම ප්‍රධාන කර්තෘ ධුරය හෙබවූයේත්, ආදරය බලා හිඳී, දෙවියන්ගේ අඩවිය, පිළිකා වාට්ටුව, තුන්වෙනි බිරිඳ, අත්තටු මැවිලා, රන් දිවයින, රතු සෙබලිය, කඳුකර මාවත, දුව නැතුව මං, හිතුවක්කාර කෙල්ල වැනි අපුරු පරිවර්තන, ගල් වරුසා ඇතුළු ස්වතන්ත්‍ර නිර්මාණ සියයකට අධික සංඛ්‍යාවක් ලිව්වේත් මේ සරල ගැහැනියමදැයි විටෙක මට සිතෙන්නේය.
අම්බලන්ගොඩ පොල් වත්තේ උපත ලද අනුල ද සිල්වා පවුලේ එකම දරුවා වූ බැවින් තාත්තාගේත්, අම්මාගේත් නොමඳ සුරතලයට බඳුන් වූවාය. ඔවුන් ඇය රැක ගත්තේ ඇසක් ලෙසිනි. එම නිසාම ගෙදරින් පිටට ගොස් ගමේ ළමුන් සමඟ කෙළිදෙලෙන් ගත කිරීමේ අවස්ථාව ඇයට අහිමි වූයේය.
“ගෙදර තනි ළමයා වීමයි, අම්මලාගේ ඇල්මබැල්ම වැඩි වීමයි හින්දා මම හුදෙකලා චරිතයක් බවට පත් වුණා.. මම පොත් කියවන්න ඇබ්බැහි වුණේ ඒ හුදෙකලා බව නැති කර ගන්න.. ඒ වගේම ඒ කාලෙ මම පුංචි පුංචි දේවල් ලිව්වා..” ඇය තමාගේ ලේඛන දිවිය ආරම්භ වූ ආකාරය සිහිපත් කරමින් පැවසුවාය.
ඇය ඉගෙන ගත්තේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් හා ප්‍රජාපතී විද්‍යාලයෙනි. සාමාන්‍ය පෙළ දක්වා ඇය ඉංග්‍රිසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබුවාය.
“අපි උසස් පෙළට ගිය කාලෙ තමයි සිංහල රාජ්‍ය භාෂාව බවට පත් වුණේ.. ඒ හින්දා උසස් පෙළට ඉගෙන ගත්තෙ සිංහලෙන්..” ඇය කීවාය.
සිංහල බසින් විභාගය ලියූ මුල්ම කණ්ඩායමට එක් වී පේරාදෙනිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙන්නට ඇයට හැකි වූයේය. එහෙත් විශ්ව විද්‍යාල අධ්‍යාපනයට නිර්දේශිත සිංහල පතපොත ඒ වන විටත් ලියැවී තිබුණේ නැත. එම නිසා ඔවුන්ට සිදු වූයේ ඉංග්‍රිසි පතපොත ඇසුරු කරමින් සිංහලෙන් ඉගෙන ගන්නටය. සාමාන්‍ය පෙළ දක්වා ඉංග්‍රිසියෙන් ඉගෙනගෙන තිබීම මෙන්ම පොත්පත් කියවීමට හුරු වී තිබීමත් මෙහිදී ඇයට මහඟු පිටිවහලක් වූයේය. ඇගේ ලිවීමේ හැකියාව වැඩිදියුණු වූයේ විශ්ව විද්‍යාල පරිසරයේදීය.
1964 වර්ෂයේදී ඇය විසින් ලියන ලද උන්මන්තකයෝ නවකතාව රිවිරැස පුවත්පතේ කොටස් වශයෙන් පළ වූයේය. එය අනුල ද සිල්වා ලියූ මුල්ම නවකතාව මෙන්ම රිවිරැස පුවත්පතේ පළ වූ මුල්ම නවකතාව ද වූයේය. එය එවකට පේරාදෙනියේ මහාචාර්ය වූ එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ ප්‍රශංසාවට පවා ලක් වුවත් සමහරු නම් දරුණු ලෙස විවේචනය කළේය. එහෙත් අනුල ද සිල්වා ඒවායින් තවත් පන්නරය ලැබුවාය. විශ්ව විද්‍යාලයෙන් පිට වූ විගසම ඇයට ගුරු පත් වීමක් ලැබිණි. නියාගම, හෑගල්ල විද්‍යාලවල ඇය මාස හය බැගින් ඉගැන්නුවත් ඇගේ සිත නිතරම කීවේ මේ ගුරු රස්සාව තමන්ට නොගැලපෙන බවය.
“හැමදාම සිංහලයි, ඉතිහාසෙයි උගන්න උගන්න ඉඳලා හරියන්නෙ නෑ..” අම්මාටත් එසේ කියූ අනුල ද සිල්වා ගුවන් විදුලිය, ලේක් හවුස් වැනි ආයතනවල තිබු ඇබෑර්තුවලට ඉල්ලුම්පත් යැව්වාය. “ඒත් අම්මලා හිතුවෙ ගෑනියකට හොඳටම ගැලපෙන රස්සාව ගුරුකම කියලා.. ඒ හින්දයි, මම කොළඹ එනවට අකැමැති හින්දයි සම්මුඛ පරීක්ෂණ වලට දන්වලා එවපු ලියුම් හැංගුවා..”
එහෙත් යම් තදබල අවශ්‍යතාවක් ඇත්නම් කෙසේ හෝ එය ඉටු කර ගන්නට මං පෑදෙන්නේය. ගුරු වෘත්තිය එපා වූ බැවින් ඇය එයින් සමු ගත්තාය. පාළුවත්, කම්මැලිකමත් නිසා නිවසට වී ඇය ගෙව්වේ බොහෝ නොසන්සුන් ජීවිතයකි.
“මෙහෙම ගියොත් මට පිස්සු හැදෙයි කියලා අම්මලට හිතෙන්න ඇති.. ඒ හින්දා ලේක්හවුස් එකේ පුවත්පත් කලාවේදීන් බඳවා ගන්න පැවැත්වුණ විභාගෙට යන්න ඉඩ දුන්නා..”
ඇය කියද්දී අභියෝගවලට මුහුණ දීමට ඇයට ඇති ශක්තිය එතැනින්ම පිළිබිඹු නොවන්නේදැයි මට සිතිණි. හතළිස් දෙනෙකෙු පමණ විභාගයට පෙනී සිටි අතර එයින් සමත් වූ අය සම්මුඛ පරීක්ෂණයකට කැඳවිණි.
“අපි හය දෙනෙක් සම්මුඛ පරීක්ෂණයට කැඳවලා තිබ්බා.. මමත් ගියා අම්මත් එක්ක.. අපි සෑහෙන වෙලාවක් ඉන්නකොට ශ්‍රීලාල් හික්කඩුව මහත්තයා ඇවිත් කිව්වා අද කළමනාකාර අධ්‍යක්ෂට සනීප නෑ.. ඒ හින්දා ඉන්ටර්වීව් එක තියන්නෙ නෑ කියලා.. මට හොඳටම තරහ ගියා.. එයා නැත්නම් වෙන කෙනෙකුට මේක කරන්න බැරිද..? අපරාදේ අපි හය දෙනෙක් මෙහෙම රස්තියාදු කළේ කියලා මම බැන්නා..” ඇය කීවේ සිනාසෙමිනි. සිරුරිනුත් පුංචි මේ 22 හැවිරිදි කෙල්ලගේ එඩිතර බව ගැන සියල්ලෝම පුදුම වූහ.
“අපරාදෙනෙ කට ගහගෙන ගියෙ.. දැන් ඉතින් රස්සාව ලැබෙන එකක් නෑ..” අම්මා ඇයට දොස් කීවේ ආපසු එන අතරතුරදීය. අනුල ද සිල්වාටත් එහෙමම සිතිණි.
එහෙත් ඇයට කිසිම පසුතැවිල්ලක් දැනුණේ නැත. ගත වූයේ දින දෙකක් පමණකි. සම්මුඛ පරීක්ෂණයක් නැතිවම ඇය රැකියාවට තෝරා ගත් බැව් දන්වා ලිපියක් ලැබිණි. ඉදින් ඇය පුවත්පත් කලාවේදිනියක ලෙස ලේක්හවුස් ආයතනයේ සේවයට එක් වූවාය.
“මිහිර පත්තරේ මම අවරුදු දහ අටක්ම වැඩ කළා.. ඇත්තටම ඒක හරිම විනෝදමත් කාලයක්.. අද වගේ පහසුකම් ඒ කාලෙ තිබුණෙ නෑනෙ.. පරිගණක තිබුණෙ නෑ.. මෙච්චර දියුණු මුද්‍රණ යන්ත්‍ර තිබුණෙ නෑ.. ඒ කාලෙ ඊයම් උණු කරලා ගල් අච්චුවට දාලා තමයි පින්තූර, අකුරු හැදුවේ.. අපිට වර්ණ පින්තූර බලන්න විදියක් තිබුණෙ නෑ.. ඒවා බලන්න වෙන්නෙ පත්‍රය මුද්‍රණය වෙද්දී… ඒ කාලෙ මිහිරේ මැද පිටුවේ වැලි බත කියලා විශේෂාංගයක් ගියා.. ඒකට පළ වෙන්නෙ වර්ණ පින්තූරයක්.. පත්තරේ මුද්‍රණය වෙද්දී කර්තෘ මණ්ඩලේ කවුරු හරි ගිහින් බලන්න ඕන.. මගේ ජ්‍යෙෂ්ඨයා හිටියෙ නැති හින්දා මම එදා උදේම ගියා පත්තරේ මුද්‍රණය වෙනවා බලන්න.. මෙන්න මැද පිටුවේ ජීවරාණිගේ පින්තූරයක් මුද්‍රණය වෙනවා වැලිබත චිත්‍රය වෙනුවට.. පත්තරේ මුද්‍රණය නවත්තන්න කියලා මම කෑ ගැහුවා.. ඒත්එයාල මම කණිෂ්ටයෙක් හින්ද ද කොහෙද එයාලා මට ඇහුම්කන් දුන්නෙ නෑ.. බල්ලගෙ වැඩේ බූරුවා කරන්න ඕන නෑ.. ඔයා පැත්තකට වෙලා ඉන්න කියලා මට කිව්වා.. දැන් ඉතින් මොනවා කරන්න ද..? ඒ කාලේ අද වගේ ත්‍රි වීලර් තිබුණෙ නෑනෙ.. හැබැයි මොරිස් මයිනර් ටැක්සි තිබුණා.. මම ටැක්සි එකක් අරගෙන මිහිර කර්තෘ ශ්‍රීලාල් ලියනගේ මහත්තයගෙ ගෙදරට ගිහින් සිද්ධිය කිව්වා.. එයා ඉක්මනට ඇවිත් මුද්‍රණය නවත්තලා අලුතෙන් පිටුවක් හදවලා තමයි පත්තරේ යැව්වෙ.. කවුරු වුණත් වරදක් පෙන්නලා දුන්නම පිළි ගන්න පුරුදු වෙන්න කියලා වගකිව යුත්තන්ට දොස් කිව්වා..” අනුල ද සිල්වා පැවසුවේ ඒ අත්දැකීම තමාට කිසිම දවසක අමතක නොවන බව ද සඳහන් කරමිනි.
එම සිද්ධියෙන් පිළිබිඹු වන්නේ පිරිමින් සමඟ වුවත් කරටකර වැඩ කරන්නට ඇය තුළ ඇති හැකියාව සහ අවශ්‍ය වේලාවේදී අවශ්‍ය තීරණය සැණෙකින් ගැනීමට ඇති ශක්තිය නොවන්නේදැයි මට සිතිණි.
“මොකක් හරි ගැටළුවක් ඇති වුණාම කවුරුවත් ගිහින් සභාපති එක්ක ඒක ගැන කතා කරන්නෙ නෑ.. ඒත් මම කෙලින්ම ගිහින් කතා කරනවා.. අනිත් අය එයාලගෙ ප්‍රශ්න ගැන කතා කරන්නත් යවන්නෙ මාව තමයි.. මම කොහොම හරි ඒවට විසඳුම් හොයාගෙන එනවා..”
“යකඩ ගෑනි කියලා නම පට බැඳුණේ ඒ හින්දා නේද..?” මා අසද්දී ඇය සිනාසී හිස සැලුවාය.
තරුණී පුවත්පතේ කර්තෘ පදවිය හිස් වූයේ ඇය මිහිරේ කර්තෘවරිය ලෙස සේවය කරද්දීය. එම පදවිය ලබා ගන්නට එතැන සේවය කළ කාන්තාවන් සිව් දෙනෙකු අතර තරඟයක් තිබූ බැවින් ගැටළුකාරී තත්වයක් මතු වූයේය.
“අනුලා තරුණී කර්තෘකම බාර ගන්න..” පාලක පක්ෂයෙන් කියනු ලැබිණි.
“අනේ මට බෑ.. මට මිහිර හොඳයි.. ඒක දාලා එන්න බෑ..” ඇය කොතෙකුත් කීවත් ඔවුන් ගේ අදහස වෙනස් වූයේ ්නැත. අනුල ද සිල්වාට මිහිර අත් හැර දමා විත් තරුණී බාර ගැනීමට සිදු වූයේය. අවුරුදු දෙක තුනක් එහි සේවය කළ ඇය ඉනික්බිතිව සම්බන්ධ වූයේ සිරිකත පුවත්පතටය.
“ටිකක් කාලයක් ඒකෙ ඉන්නකොට ජාතික තරුණ සේවා සභාවේ මාධ්‍ය සම්බන්ධීකාරක තනතුර ලැබුණා.. එතකොට චරිත රත්වත්තේ මහත්තයා තමයි සභාපති තනතුරේ හිටියෙ.. ඒකේ අවුරුදු අටක් විතරම වැඩ කළා.. ඒ තමයි චන්ද්‍රලේඛා, සෝමසිරි මැදගෙදර, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි වගේ තරුණ සේවා සභාව තුළින් බිහි වුණ ගායකගායිකාවන්ගෙ ස්වර්ණමය යුගය..” ඇය සිහිපත් කළාය.
අවුරුදු අටක් එහි සේවය කළාට පසුව අනුල ද සිල්වා ඉන් ඉවත් වී ලිට්ල්රෝස් ආයතනයෙන් ආරම්භ කළ හඳ මාමා ළමා පුවත්පතේ කතුවරිය ලෙස සේවය කළාය. ඇය වනිතාවිත්ති සඟරාවේ කතුවරිය වූයේ ඉනික්බිතිවය.
“පුංචි පුංචි ප්‍රශ්න ආව හින්දා මම වනිතාවිත්තියෙන් අයින් වෙලා ටික කලක් සිසුබිම ළමා පත්තරේ වැඩ කළා.. ඒ කාලේ මගේ දුව පදිංචි වෙලා හිටියෙ ඩුබායිවල.. ඇයට පුතා ලැබුණ කාලෙ මම ඩුබායි ගියා.. අවුරුදු දෙකක්ම එහෙ හිටියා… මම තිබ්බත දියණිය පොත පරිවර්තනය කළේ එහෙදි තමයි…” ඇය කියන්නීය.
ඇය විසින් ආදරයෙන් හදා වඩා ගනු ලැබූ ඒ මුනුපුරා අද චිත්‍ර ශිල්පියෙකි. ඇගේ පොත් කවර ගණනාවක්ම අඳින ලද්දේ ඔහු විසිනි. අනුල ද සිල්වා ගේ සැමියා වූයේ මහාචාර්ය සිරිපාල රූපසිංහය. ඔහු දැන් ජීවතුන් අතර නැත.
“ඔහු හමු වුණේ විශ්ව විද්‍යාලෙදි තමයි.. ඒත් විවාහ වුණේ නම් යෝජනාවකින්.. ඇත්තටම ඔහු හොඳ සැමියෙක් වුණ නිසා මිස නැත්නම් මට මෙච්චර දුර එන්න ලැබෙන්නෙ නෑ.. මාධ්‍ය ක්ෂේත්රය කියන්නෙ පැය අටක සේවයකින් පස්සෙ විවේක ගන්න පුළුවන් තැනක් නෙමෙයි.. හැම වෙලාවෙම කාර්යබහුලයි.. ඒ වගේම හමු වෙන පුද්ගලයන් විවිධයි.. හරිහරියට පිරිමි එක්ක ගැටෙන්න සිද්ද වෙනවා.. තනියම තැන්තැන්වලට යන්න වෙනවා.. මේ ස්වභාවය ඔහු හොඳින්ම තේරුම් අරගෙන හිටියා.. ඔහු කිසිම දවසක සැකයකින් ්මගෙ දිහා බලලා නෑ.. ” ඇය කියන්නීය.
ඇගේ දියණිය ආසිරි, ඉංජිනේරුවෙකු සමඟ විවාහ වී එතෙර පදිංචිව සිටින්නීය. ඇයට හැම සහයෝගයක්ම ලැබෙන්නේ පුතා දම්මිත්ගෙනි. දරුවන් පිළිබඳව හෝ ජීවිතය පිළිබඳව බරක් ඇයට නැත. ලේඛන වෘත්තියේ නියැලෙමින්, බණභාවනා කරමින් ඇය ගත කරන්නේ බොහෝ සැහැල්ලු ජීවිතයකි.
“මම ජීවිතේ කඩා වැටුණ අවස්ථා, අතිශයින් කම්පනයට පත් වුණ අවස්ථා නැතුවා නෙමෙයි.. ඒත් ඒ හැම දේකින්ම හිත හදාගෙන ආපහු ජිවිතේට මුහුණ දෙන්න තරම් ශක්තියක් මට තිබුණා..” ඇය කියද්දී මට සිහිපත් වූයේ සුනාමි ඛේදවාචකයයි.
ඇය ීජීවත් වන්නේ මෝදර සමුද්‍රාසන්න නිවසකය. සුනාමිය විසින් ඇය ආදරයෙන් ප්‍රවේසම් කරනු ලැබූ ඇගේ පුස්තකාලය එහෙම පිටින්ම බිලි ගනු ලැබිණි. ඇය මානසික අවපීඩන තත්වයකට පත් කරන්නට තරම් ඒ අත්දැකීම බිහිසුණු වූයේය.
“ඇත්තටම ඒක මතක් වෙනකොට තවමත් මගේ ඇඟ කිළිපොලා යනවා.. ඒ වගේ කම්පනයක්නම් ජීවිතේ කවමදාකවත් දැනිලා නෑ.. මම හැමදාම උදේට මුහුදු වෙරළේ ඇවිදින්න යනවා.. එදත් ඇවිදලා ගෙදරට ආවා විතරයි.. පුතත් කාරෙක හෝදලා ගේට්ටුව වහලා ගෙට ආවා.. එක පාරටම ලොකු සද්දයක් එක්ක මුහුද ගොඩට එද්දී අපි උඩ තට්ටුවට නැඟ ගත්තා.. ඒ හින්දා ජීවිත හානියක් වුණේ නෑ.. මගෙ ලේලි හොඳටම බය වෙලා සිහි නැතුව වැටුණා.. එතකෙට එයා අතේ තිබුණ රත්තරන් බඩු පොදියත් වතුරට වැටුණා.. පහළ තට්ටුවේ තිබුණ පිඟන් බඩු ඇරෙන්න අනිත් හැමදේම විනාශ වෙලා ගියා.. අවුරුදු ගණනාවක් තිස්සේ මම පරිස්සම් කරපු පොත්, පත්තර එක්කවත් ඉතුරු වුණේ නෑ.. මාස දෙක තුනක් යනකම් මම හිටියෙ පිස්සුවෙන් වගේ.. අපරාදෙ කියන්න බෑ ඒ වෙලාවේ මට හුඟක් දෙනෙක් උදව් කළා.. ප්‍රකාශකයෝ මගේ පොත් ප්‍රකාශයට පත් කළා විතරක් නෙමෙයි මං වෙනුවෙන් උපහාර උත්සවේකුත් තිබ්බා.. මගේ වටිනාම වස්තුව තමයි පොත්පත්.. ඒත් සමහරුන්ට දරු පවුල් පිටින්ම නැති වුණානෙ කියලා හිතලා මම කොහොම හරි ඒ කම්පනෙන් ගොඩ ආවා..” ඇය කියන්නීය.
ඇගේ ලේලිය නම් අදටත් මුහුදට දක්වන්නේ බියකි. ඇය විසින් ලියන ලද නන්ද හා සරණ යොවුන් නවකතාවට සම්මාන හිමි වූයේය. දිනක් ඇයට ලැබුණ ලියුමක වුයේ එම පොතේ කොටස් කපා අලවා, ඒ වටා නූල් ගැට ගසා හූනියමක ආකාරයට කරන ලද නිර්මාණයකි. එය දුටු විගස කම්පනයට පත් ඇගේ රුධිර පිඩනය වැඩි වී ඇයට රෝහල්ගත වෙන්නට සිදු වුයේය.
“ඔය වගේ හිත නොසන්සුන් කරන දේවල් නැතුවා නෙමෙයි.. ඒත් ආපහු හැරිලා බලනකොට මට හිතෙන්නෙ ජීවිතේ අර්ථවත් විදියට ගෙවුණා කියලා.. මගෙන් පුවත්පත්කලාව ඉගෙනගෙන අද හොඳ තැන්වල ඉන්න හුඟාක් දෙනෙක් මේ රටේ ඉන්නවා.. ඒකම කොච්චර සතුටට කාරණයක් ද..?” ඇය අසන්නේ තෘප්තිමත් මඳහසක් පාමිනි.
චන්දි කොඩිකාර