සිත් අහසට නුඹ ඇවිදින් – 8 වන කොටස


“අපිට එන්ගේජ්මන්ට් එකට සාරීස් බලන්න පුළුවන්ද….” වෙළඳසැල වෙත ගිය ශෙනුල් පැවසුවේ අප අසලට පැමිණි එහි සිටි සේවිකාවක අමතමිනි.


“මේ මිස්ටද සර් බලන්නේ….?”
“ඔව් මෙයාට තමයි….”
“මොනවගේ කලර් එකක් ද බලන්නෙ මිස්….” ඇය මගෙන් අසද්දී මම ඉවත බලාගත්තේ ඇය ඉදිරියේ ශෙනුල් අපහසුතාවට පත්කිරීමේ කුරිරු අපේක්‍ෂාවක් ද ඇතිවිය.
ශෙනුල් මගේ අතින් අල්ලා කොනිත්තනු දැනුණ ද මා එය නොදැනුණා සේ ඉවත බලා සිටියෙමි. පසුව ඔහු මගේ අත ගසා දමනු දැනිණි.
“මේ මිස්ට මැච් වෙන කලර් එකක් බලමු…. පින්ක්, ස්කයි බ්ලූ වගේ කලර්ස් නම් මැච් වෙයි නේද නංගි….” මගෙන් ප්‍රතිචාරයක් නොමැති තැන ඔහු පවසමින් සිටියේ මා කැමතිම වර්ණයන්ය. ඒ ගැනතරමක පුදුමයක් දැනුණු බැවින් මා හිස ඔසවා ඔහු දෙස බැලුව ද ඒ වන විට ඔහු සිටියේ ඉවත බලාගෙනය.
“එන්න සර්….” කී සේවිකාව ඉදිරියට ගමන් ගනිද්දී ශෙනුල් යළිත් මගේ අතින් ඇදගෙන ඇය පසුපස ගමන් කළේය.
“මේ මිස්ට නම් ඕනෙම කලර් එකක් මැච් වෙනව සර්…. මේ පර්පල් කලර් එකත් ලස්සනයි….” පවසමින් ඇය පෙන්වූයේ සුදු පැහැ ගල් අල්ලා වැඩ දැමූ තද දම් පැහැති අලංකාර සාරියකි.
මා එදෙස බලා යළිත් ඉවත බලාගත්තේ හිතේ අකමැත්තෙන් සිදුවන කසාදයකදී කැමති ආකාරයේ සාරියක් පමණක් තෝරාගෙන ඵලක් නැති බැවිනි.
ශෙනුල් සිටියේ වෙළඳ සේවිකාව විසින් අප ඉදිරියේ තැබූ රෝස, කහ, නිල්, සුදු ආදී නේක වර්ණයන්ගෙන් යුත් සාරි අතර අතරමංව මෙනි. ඒවාගේ සටහන්ව තිබුණේ ද අධික මිල ගණන් වූ අතර, ඔහුට මුදල් නම් ගැටලුවක් නොවන බව මා දැන සිටියෙමි.
අම්මා කී පරිදි ඔහු ව්‍යාපාර කිහිපයකම නිරත අයෙකි. ඔහු යළි මෙරටට පැමිණීමෙන් පසු දෙමාපියන් සමඟ කොළඹ පදිංචි වී ඇත්තේ ද ව්‍යාපාර කටයුතු වෙනුවෙනි.
“මේවලින් කැමති එකක් කියන්න බැරිද….” මා කල්පනාවේ යෙදී සිටියදී ඔහු ඇසුවේ මගේ දෙනෙතට එබෙමිනි. මා කිසිත් නොකියා සිටි ලෙසම ඉවත බලාගෙන සිටියෙමි.
අවසානයේ සාරියක් මෙන්ම එයට ගැළපෙන ආභරණ, සෙරෙප්පු පවා තේරුණේ ඔහුගේ කැමැත්ත අනුවය.
“තමුසෙ නම් මහ හිතුවක්කාර කෙල්ලෙක් සිතූ…. පොඩි කාලෙ වගේමයි….” ඔහු කීවේ වෙළඳසැලෙන් පිටතට පැමිණ මිලදී ගත් දෑ සහිත බෑගයන් මෝටර් රථයේ පිටුපස අසුනෙහි තබමිනි.
මා නිහඬවම එහි ඉදිරිපස අසුනට ගොඩවී දෑස් පියාගනිද්දී ඔහු ද එහා පසින් මෝටර් රථයට ගොඩවන හඬ ඇසිණි. ඒ සමඟම දැනුණේ ඔහුගේ අතක් මගේ උරහිස්වල මෙන්ම කුසෙහි ද ස්පර්ශ වන බවකි. තිගැස්සී දෙනෙත් හැර බලද්දී ඔහු සිටියේ මගේ දෙනෙතටම එබීගෙනය.
“සීට් බෙල්ට් එක දාගන්නවා…. බොරුවට නිදාගන්න කලින්….” ඔහු කීවේ මවෙතින් ඉවත් වෙමිනි. මම ඔහුට රවා බලා ආසන පටිය සකසා ගතිමි.
“පිස්සු කෙලිනව මදිවට තව රවන්නත් එනව මගුල….” ඔහු තනිව මුමුණමින් මෝටර් රථය පණගන්වද්දී මුවට නැගුණු සිනහව මා යටපත් කරගත්තේ අසීරුවෙනි.


අනතුරුව ප්‍රසිද්ධ ස්වර්ණාභරණ අලෙවිසැලකට මා සමඟම ගිය ඔහු රන් මුදු යුවලක් පවා ඇනවුම් කළේය.
නිවසට යන විට ගත මෙන්ම සිතද බොහෝ තෙහට්ටුවට පත්ව තිබූ නිසා මා වහා කාමරයට ගොස් දොර වසාගත්තත් ඔහු මව හා පියා සමඟ කතා බහ කරමින් දිවා ආහාරය ද ගනු ඇසිණි.
“අක්කි අර අයිය යන්න හදනව කියල අප්පච්චි ඔයාට පහළට කතා කළා….” මගේ කල්පනාව බිඳ වැටුණේ නැගනියගේ හඬිනි.
“මම ගිහින් එන්නම් සිතූ….” නැගනියගේ පණිවුඩය ලැබී විනාඩි කිහිපයකට පසු පහළට ගිය මට ඔහු සමුදුන්නේ නලල මත හාදුවක් ද තබමිනි.
දෙමාපියන් ඉදිරියේ ඔහු එසේ කරද්දී මා අපහසුතාවයට පත් නොවූයේ යැයි කිවහොත් එය බොරුවකි.
මා තිගැස්සී වට පිට බලද්දී අම්මාත් නංගීත් හිනැහෙමින් ඉවත බලනු පෙනිණි. අප්පච්චිගේ මුහුණේ වූයේ කිනම් හැඟීමක්ද යන්න තේරුම් ගැනීමට නොහැකි වුවත් ඔහු මා දෙසම බලා සිටියේය.
“ගිහින් එන්නම් අන්කල්…. යන්නම් ආන්ටි….” අම්මා හා අප්පච්චී අසලට පැමිණ ඔවුන්ට වැඳ සමුගත් ඔහු අනතුරුව නැගනිය අසලට පැමිණ ඇගේ හිස මත අතක් තැබුවේ “ගිහින් එන්නම් නංගී….” යැයි කියමිනි.
ඔහු නිවසින්ගිය පසුත් මා කළේ කාමරයට ගොස් තනිවීමය.
“ඒ අක්කි මේ සාරිය ගොඩක් වටිනව ඇති නේද….” සාරියක් මිලදී ගත් බව මට සිහිවූයේද කාමරයට පැමිණි නැගනිය අප රැගෙනැවිත් තිබූ බෑගයන් ඇද බලමින් පවසද්දීය.
හිස ඔසවා බලද්දී මා දුටුවේ ඇය අත තිබූ සුදු පැහැ ගල් අල්ලා හැඩ දැමූ රිදී පැහැති ඉතා අලංකාර මෙන්ම චාම් සාරියකි.
“කවුද මේක ඔයාද තේරුවේ….” ඇය ඇසුවේ මගේ මුහුණ මතම නෙත් තබාගනිමිනි.
“මම ඕක දැක්කෙත් දැන් නංගි….”
“ඇයි ඔයා ගියා නේද අරයත් එක්ක….”
“ගියාට මම පැත්තකට වෙලා හිටියා…. එයා තමයි ඔය සේරම ගත්තේ….”
“මොකක්…. මේ ඇත්තටම ඔයා කියන තරම් ඒ මනුස්සය නරකයිද අක්කි….”
“ඇයි එහෙම අහන්නේ….?”
“නැහැ ඒ අයිය දවස් දෙක තුනක්ම මෙහෙ ආවා…. මාත් එක්කත් හොඳට කතා කළා…. වැඩිපුරම කියන්නෙ ඔයාලගෙ පොඩි කාලෙ දේවල් ගැන…. එයා ඒ තරම් තමුසෙව මතක තියාගෙන ඉඳල තියෙනවා…. අනික මේවට මාර වියදමක්නෙ කරල තියෙන්නේ….?”
ඇය පැවසුවේ මා දෙස විමසිල්ලෙන් බලමිනි.
“එයා ගැන මේ ගෙදර අනිත් හැමෝටම වඩා මම දන්නව නංගි…. මහ බොරු කාරයෙක්…. හැමදේකම තියෙන්නෙ බොරුව…. ඒ බොරුවෙන් හැමෝම රවට්ටනවා….” රිදුම් දෙමින් තිබූ හිස දෙපස තෙරපමින් මම කීවෙමි.
“ඒත් ඉතින් ඔයාට දැන් කොහොමත් එයාව මැරි කරන්න වෙනවනෙ අක්කි….”
“බලමුකො….”
“මේ අක්කි ඔයා එන්ගේජ්මන්ට් එකට කලින් පැනල යන්න එහෙම ප්ලෑන් එකක් නෑ නේද…. එහෙම කළොත් අම්ම තමයි පවු….”


“ඇයි නංගි එහෙම කියන්නේ…..”
අක්කි මේකෙදි හිතුවක්කාරකමක් කළොත් ඒක බලාගන්නෙ අම්මත් එක්කයි කියල අප්පච්චි ඊයෙත් අම්මට කිව්වා….”
“ඒත් ඇයි අප්පච්චි එහෙම කිව්වේ….”
“නැන්ද සැරෙන් සැරේ ඇවිත් අප්පච්චිට කියනව මේ කසාදෙ ඉවරවෙනකම් ඔයාව ගෙදර ගෙනත් තියාගන්න…. නැත්නම් මේ පාරත් හිතුවක්කාරකමක් කරයි කියලා…. ඒ හැමවෙලේම අප්පච්චි සැර දාන්නෙ අම්මට….”
නැගනිය පැවසුවේ හිතට තවත් බරක් එක්කරමිනි. ගන්නා කවර තීරණයක් හෝ මෙවර ගත යුත්තේ අම්මා සහ නැගනිය ගැනත් සිතමිනි.

9 වන කොටසින් හමුවෙමු.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart