“ආ ආවද…. රස්සාවකට කියල කොළඹ ගියේ මෙහෙ හිටියනම් කොල්ලො එක්ක නාඩගම් නටන්න බැරි නිසා වෙන්න ඇති නේද….?” මා නිවසට ගොඩවත්ම ඇසුණු හඬ ආලින්දයේ හාන්සි පුටුවට වී පුවත්පතක් බලමින් සිටි අප්පච්චිගේය.
“මොකක්ද අප්පච්චි….” මා කිසිත් නොදන්නා සේ අසද්දී අප්පච්චි කළේ අතෙහි තිබූ පුවත්පත අසල වූ ටීපෝවත් මතට අතහැර පුටුවෙන් නැගිට තම කාමරය වෙත යාමය.
මා තවත් මොහොතක් එලෙසම රැඳී සිටියේ අප්පච්චි ඊ ළඟට කුමක් කරනු ඇත්දැයි සිතාගත නොහැකිවය.
“මේ තියෙන්නෙ තමුන් එහෙට වෙලා නටන නාඩගම්….” ඔහු මා අසලටම පැමිණ මා වෙත විසි කළේ කඩදාසි මිටියකි. ඒවායේ තිබුණේ මා හා මනුල සිටි ඡායාරූප බොහොමයක පිටපත්ය. ඒවාද එකම දිනකදී ලබාගත් ඒවා නොවේ. අප දෙදෙනා තනිව සිටින ඡායාරූප මෙන්ම, මිතුරන් සමඟ අවන්හල්වලට ගොස් ආහාර ගත් අවස්ථාවල ඡායාරූප පවා ඒ අතර විය.
“මම එදා කිව්වෙ අප්පච්චි මෙයා මගේ යාළුවෙක්….”
“පාරවල් ගානෙ අත් අල්ලගෙන ඇවිදින්නෙ යාළුවෙක් නිසා වෙන්න ඇති….”
“ලොකූ අනේ ඔයා ආවද පුතේ…. මේ දරුව ආව විතරනෙ මහත්තයා…. අපි ඔය ගැන පස්සෙ කතා කරමු….” අම්මා පැමිණියේ අපගේ හඬ ඇසී විය යුතුය.
“ඔයාගෙ හුරතලේ නිසා තමයි මේ සේරම….” අනතුරුව ඔහු දොස් කියන්නට ගත්තේ අම්මාටය.
“අම්මට මොනවත් කියන්න එපා අප්පච්චි…. ඇත්තටම මම වරදක් කරල නෑ….”
“මේ කරල තියෙන හරිය මදැයි…. අපේ පරම්පරාවෙ කවුරුත් මේ වගේ අවනම්බුවක් කරල නෑ…. මේ ෆොටෝ තව කවුරු කවුරු දැකලද කවුද දන්නේ…. අර ජයනාත්ල මේව දැක්කොත් කරන්න ලෑස්ති වුණ කසාදෙත් නවත්තනවා…. එදත් අර ළමය ඇහුවෙ ඔය කොල්ල ගැන වෙන්න ඕනෙ මං හිතන්නේ….” අප්පච්චි කියද්දී මා නිහඬව සිටියේ අම්මාගේ තරවටු බැල්මක් මා වෙතම රැඳී තිබූ බැවිනි.
“දෝණි යමු ගෙට….” ඇය කීවේ මා අත තිබූ බෑගය ද ගනිමිනි.
“කසාදෙට ඕනෙ කරන දේවල් ගන්න යන්න අර ළමය තව ටිකකින් එයි…. ලබන මාසෙ කසාදෙ රෙජිස්ටර් කරනවා….” යළිත් ඇසුණේ අප්පච්චිගේ හඬය.
“අප්පච්චි…. මේ ලබන මාසේ….”
“ඔව් ලබන මාසෙ තමයි…. හිතුවක්කාරකමට රස්සාවකට ගියා වගේ හිතුවක්කාරකමට කසාදෙකුත් කරගන්නකම් බලාගෙන ඉන්න බෑනෙ…. ඒ නිසා මේක මම කියන විදියට වෙන්න ඕනේ….”
“ඇයි අම්ම අප්පච්චි මට මෙහෙම කරන්නේ….” සිතෙහි සිරව තිබූ වේදනාව දියවූයේ අම්මා අසලය.
“ඒ ඉතින් අප්පච්චිගෙ හැටිනෙ පුතේ…. ඒත් අප්පච්චි ඔයාලට වරදක් කරන්නෙ නෑ කියල මට හොඳටම විශ්වාසයි…. අනික ඒ දරුවත් නරක කෙනෙක් නෙවෙයිනෙ…. ඒ නිසා බය නැතුව ඉන්න….” ඇය පැවසුවේ මගේ හිස පිරිමදිමිනි.
“ඒත් අම්ම මේ හදිස්සියෙ කසාද බඳින්න පුළුවන්ද…. අනික පොඩි කාලෙ දැක්කට පස්සෙ මේ වෙනකම් නොදැකපු මනුස්සයෙක් හොඳයි කියල ඔය තරම් විශ්වාසෙන් කියන්නෙ කොහොමද….? කවුද දන්නෙ රට ඉන්න කාලෙයි ඊට පස්සෙයි මොන දේවල් කළාද කියලා….”
“ලොකු දුව දැන් හොඳටම ඇති කියෙව්වා….” මා තිගැස්සී ගියේ අප්පච්චිගේ හඬ ඇසෙද්දීය.
“ඒ ළමය වැදගත් පවුලක වැදගත් විදියට හැදුණු ළමයෙක්…. ඔය උඹලගෙ යාළුවො කියන උන් වගේ කෙල්ලො එක්ක පාරවල් ගානෙ නටන්නෙ නෑ…. ඒ ළමය කොළඹදි උඹව දැකලත් යෝජනාව කළේ දෙමාපියො එක්ක වැදගත් විදියට ගෙදරටම ඇවිත්…. ඒ නිසා දැන් ඔය කියවිල්ල නවත්තලා අර ළමය එන්න කලින් ලෑස්ති වුණොත් හොඳයි….”
මා කාමරය වෙත ඇවිද ගියේ නිහඬවමය. නිවස ඉදිරිපිට මෝටර් රථයක් නවත්වනු ඇසුණේ ඇඟ සෝදාගෙන අම්මා සාදා දුන් තේ කෝප්පය බොමින් සිටියදීය.
“ආ එන්න අයියේ….” ඇසුණේ නැගනියගේ හඬය.
“කෝ අක්ක ආවද නංගි….” ශෙනුල් ඒ ඔහුය.
“දැන් ටිකකට කලින් ආවෙ අයියේ….”
“අපරාදෙනෙ බස්වල රස්තියාදු වුණේ…. මගෙත් එක්ක එන්නත් තිබුණා…. ඒත් ඉතින් ඔයාගෙ හිතුවක්කාර අක්ක මාත් එක්ක එන්නෙ නෑ කියල දැන දැන කතා කරන්න බෑනෙ….” ඔහු කියනු ඇසුණේ දඟකාර හඬකිනි.
“අම්මයි අප්පච්චියි අල්ලගත්ත මදිවට මෙයා නංගිවත් අල්ලගන්නද කොහෙද හදන්නේ….” ඒ හඬ ඇසෙද්දීත් මට දැනුණේ කෝපයකි.
“වාඩිවෙලා ඉන්නකො අයියෙ…. අක්ක ලෑස්ති වෙනවා…. මං එන්න කියන්නම්….” නැගනිය පවසනු ඇසිණි.
“ආ පුතා…. කොහොමද ඉතින් බිස්නස් එහෙම….” ඒ අප්පච්චීය.
“වරදක් නෑ අංකල්…. තාම ඉතින් මම මෙහෙ බිස්නස්වලට අලුත්නේ…. ෆැක්ටරි එක නම් අවුලක් නැතිව යනවා…. නුවරඑළිය පැත්තෙන් ඉඩමක් අරන් ඕකිඩ් දාන්නත් හිතාගෙන ඉන්නවා…. අන්කල් දන්න තැනක් එහෙම තිබුණොත් කියන්නකො….”
“මමත් දන්න කීප දෙනෙක්ම එහෙ ඉන්නවා පුතා…. මං කියල තියන්නම්කෝ….”
“මම එයත් එක්ක තනියමද යන්න ඕනෙ අම්මා….” මා මව දෙස බැලුවේ අප්පච්චී ඔහු හා ව්‍යාපාර කටයුතු සම්බන්ධව කතාබහක යෙදෙනු ඇසෙද්දීය.
අප්පච්චීට ඔහු තෝරාගැනීමට එයම සෑහෙන්නට ඇත. ව්‍යාපාර කටයුතුවලට උනන්දු තරුණයන්ට ඔහු කවදත් දැක්වූයේ දැඩි කැමැත්තකි. අයියා ව්‍යාපාරවලට අකමැති වූ නිසා කණගාටුවෙන් සිටි ඔහු ව්‍යාපාරික කටයුතු කරන අයකු බෑණා කරගැනීමට ලැබීමත් වාසනාවක් ලෙස සලකනු නොඅනුමානය.
“අප්පච්චි කිව්වෙ ටිකක් කතා බහ කරල අඳුරගන්නත් එක්ක දෙන්නව තනියම යවන්න කියල පුතේ….”
“අනේ අම්මා…. මම නංගිවත් එක්කන් යන්නද….?”
“අප්පච්චිට කේන්ති යයි පුතේ…. අනික ඉතින් ඒ දරුව එක්ක ටිකක් තනියම ගියා කියල මොනව වෙනවද….”
“අර ළමය ඇවිත් දැන් සෑහෙන වෙලාවක්…. තාම මෙතනද….?” අප්පච්චී අප සිටි තැනටම පැමිණියේ මා ප්‍රමාද නිසා විය යුතුය.
“මේ ලොකූට තනියම යන්න බෑ කියලා චූටි දූත් එක්ක යන්න අහනවා….”
“ඇයි මෙයාට කොළඹදි විතරද තනි පංගලමෙ කොල්ලන්ගෙ අතිනුත් අල්ලන් රවුම් ගහන්න පුළුවන්…. මගෙ යකා අවුස්සගන්නෙ නැතුව ගිහින් ලෑස්ති වෙනව ලොකූ….” මා දෙස රවා බලමින් කී අප්පච්චී කාමරයෙන් පිටව යද්දී මා කළේ ඩෙනිම් කලිසමකට රෝස පැහැ අත් දිගු බ්ලවුසයක් ඇඳ සූදානම්වීමය. කොණ්ඩය ද ඉහළට කර ගැටගසා ගත් මා ආලින්දය දක්වා පැමිණ හිස නොඋස්සාම ආලින්දය පසු කළේ ඔහු මෙන්ම අප්පච්චි දෙස බැලීම පවා අපහසුවක් වූ නිසාවෙනි.
“අපි එහෙනම් ගිහින් එන්නම් අංකල්….” ශෙනුල් ද මා පසුපසින්ම පැමිණියේ අප්පච්චීට සමුදෙමිනි.
“ඒයි මොකද සද්ද නැත්තෙ… ගෑනු ළමය කතා පෙට්ටිය කොළඹ තියලද ආවෙ…. අර ඊයෙ වගේ කෑ ගහන්නකො….” ශෙනුල් කතා කළේ නිවසින් පිටව බොහෝ දුරක් ගිය පසුවය.
මා කිසිත් නොකියාම කවුළුවෙන් ඉවත බලා ගතිමි.
“ඒයි මේ…. බෝනික්කි….” ඔහුගේ හඬ බොහෝ හැඟුම්බර වී තිබිණි.
“බබා….” ඔහුම යළිත් කතා කළේ මගෙන් ප්‍රතිචාරයක් නොලැබුණු තැන විය යුතුය.
“අනේ ප්ලීස් ශෙනුල්…. ඔය වචනවලට වන්දනා රැවටුණාට මම නම් රැවටෙන්නෙ නෑ…. යන තැනක ඉක්මනින් ගිහින් ගන්න දෙයක් අරගෙන මාව ගෙදර ගිහින් දාන්න…. අනික මම නම් ඕව තෝරන්නෙ නෑ…. ඔයාට කැමති විදියට කැමති දෙයක් තෝරගන්න….”
“මේ මම…. සාරි තෝරන්න….” මෝටර් රථයේ වේගයද මදක් අඩු කරමින් මදෙස බැලූ ඔහු ඔහු ඇසුවේ පුදුමයෙනි.
“සාරි බැරිනම් ඕනෙ එකක් තෝරගන්න…. අනික බලෙන් මාව කසාද බැන්දාම මම ඔයාව මගෙ මහත්තය කියල පිළිඅරන් සුවච කීකරු බිරිඳක් වෙයි කියලනම් හිතන්න එපා….” මා පවසද්දී ඔහුගේ මුවෙහි මතුවූයේ සිනහවකි.
“කමක් නෑ…. ඔයා එහෙම වෙන්න එපා…. මම සුවච කීකරු ස්වාමි පුරුෂයෙක් වෙන්නම්කො….” ඔහු පැවසුවේ නගරයේ සුඛෝපභෝගී සාප්පු සංකීර්ණයක රථගාල වෙත මෝටර් රථය ඇතුළු කරමිනි.
“සුවච කීකරු…. හහ්….”
“ඔව් ඇයි බෑ කියලද හිතන්නේ….”
“වන්දනාටත් දෙන්න ඇති නේද මේ වගේ පොරොන්දු….”
“අනේ මේ විකාර කියවන්නෙ නැතුව බැහැල එනවා….. ගිහින් ගන්න තියෙන දේවල් අරගන්නවා…. මට තව වැඩ තියෙනවා….” ඔහු කීවේ මෝටර් රථය නවතා ඉන් බිමට බසිමිනි.
“කලිනුත් මම කිව්වනෙ…. මට ගන්න දෙයක් නෑ….” අනෙක් පස දොර විවෘත කර බිමට බසින අතරවාරයේ මම ද කීමි.
“හා එනවකො එහෙනම්….” මා අසලට පැමිණෙන අතරවාරයේම මෝටර් රථය අගුලුලමින් කී ඔහු ඉදිරියට ඇදුණේ මගේ අතකින් ද අල්ලා ගනිමිනි.
8 වන කොටසින් හමුවෙමු.
ලස්සන කතාවක්, වන්දනා බොරුවක් කරනවා වේන්ඩ බැරිද 😘