මන්දිතාගේ දුරකතනය නාද වූයේ ඒ අතරේය. ඇය එය හා සම්බන්ධ වූයේ මදෙස ද බලමිනි.
“හෙලෝ….”
“ආ ඔව් අයියේ…. ඉන්නවා….”
“නෑ නෑ එයා නම් තාම ආවෙ නෑ…. කොහෙ ගිහින්ද මන්දා….”
“හා හරි හරි බයවෙන්න එපා….”

“හා කන්න කියන්නම් මං බඩගින්නෙ තියන්නෙ නෑ….”
“හරි අයියේ…. ගුඩ් නයිට්…. බුදු සරණයි….”
ඇසුණේ ඇය පැවසූ එවදන් පමණි. කවුරුන් හෝ විමසුවේ මා සම්බන්ධයෙන් බව වැටහුණේ ඇය වරින් වර මදෙස බලමින් පිළිතුරු දුන් නිසාය.
“කවුද මන්දි…. ශෙනුල්ද….?”
“ඔව් ඔව් ශෙනුල් තමයි…. හොඳට බලාගන්නලු….”
“මට නිකමටවත් අරන් නෑ කෝල් එකක්….” මා කීවේ නෝක්කාඩු හඬිනි.
“ඇයි බං එපා කියල නේද ගෙදරින් ආවේ….” ඇය ඇසුවේ සමච්චලය මුසු හඬිනි.
කාලය ගෙවී යමින් අළුයම් කාලය උදා වෙමින් පැවතිය ද දෙනෙතට නින්දක් ළඟා නොවිණි.
“මන්දි…. දොර අරිනවද….?” ඇසුණේ කවුරුන් හෝ නවාතැනේ ප්‍රධාන දොරටුවට තට්ටු කරමින් පවසන හඬය.
මන්දිතා සිටියේ සුව නින්දකය.
“දොර අරින්න මන්දි මම වන්දනා….” මා තිගැස්සෙමින් ඇඳෙන් නැගී සිටියේ එම වදන් ඇසෙන විටදීය.
මා දොරටුව අසලට ගියේ මන්දිතා අවදි නොකරමය.

“සි…. සිතූ….” ඇය මදෙස බලා සිටියේ විසල් කරගත් දෙනෙතින් යුතුවය.
“ඔව් මම සිතූ තමයි…. දොර ඇරියට පස්සෙ ඇයි ඇතුලට එන්නෙ නැතුව බලාගෙන ඉන්නේ….” මා ඇසුවේ ඇයට නවාතැනට පිවිසීමට ඉඩ ලබාදෙමිනි.
“කවුද සිතූ….” මන්දිතා අවදිවූයේ වන්දනා කාමරය තුළට ඇතුළු වද්දීය. ඇගේ දෙනෙත් ද නතරව තිබුණේ වන්දනා අසලය.
“වන්දනා කොහෙද ඊයෙ හදිසියේ අතුරුදහන් වුණේ….” මන්දිතා ඇසුවේ තරමක් රළු හඬිනි.
“මේ…. මේ පොඩි හදිස්සියක් වෙලා එළියට ගියා මන්දි…. මෙයා ඇයි මෙහේ….” ඇය කීවේ මදෙස බලමිනි.
“ඇයි සිතූට මෙහෙ ඉන්න තහනම්ද….?”
“නෑ තහනම් නම් නෑ…. ශෙනුල්ට ඉතින් ගෑනු අතෑරලා පුරුදුයිනෙ…. මෙයාටත් එහෙම වුණාද කවුද දන්නේ….”
ඇය පැවසුවේ මා සිත කෝපයෙන් පුරවමිනි.
“අනේ වන්දනා මේ ශෙනුල් ගැන මම බලාගන්නම්…. තමුන් පුළුවන් නම් අනුන්ගෙ මිනිස්සුන්ගෙ පස්සෙන් එන එක නවත්තගන්නවද….?”
“වැඩේමයි මට පස්සෙන් එන්න….”
“වැඩක්ද නැද්ද කියන්න මම දන්නෙ නෑ…. ඒත් ශෙනුල්ගෙ අතේ එල්ලි එල්ලි කතා කර කර හිටියෙ තමුන්නෙ….”
“ශෙනුල්ම තමයි මාව මීට් වෙන්න ඕනෙ කියල ගෙන්නගත්තේ…..” දැනුණේ හිස මත අකුණු දහසක් පුපුරා ගියාක් බඳු හැඟීමකි.
වන්දනා හමුවූයේ අහම්බෙන් බව ශෙනුල් කී මොහොතේ සිට සිතට යම් සැනසීමක් දැනෙමින් තිබුණත් වන්දනාගේ වදන් ඇසීමෙන් පසු යළිත් සිත පුපුරු ගසමින් තිබිණි.
“බොරු කියන්න එපා වන්දනා…. ඒ බොරු…. කියන්නකො මන්දි…. මෙයා කියන්නෙ බොරු නේද….?”
“කලබල නොවී ඉන්න සිතූ…. කලබල වෙලා මේ වගේ ප්‍රශ්න විසඳන්න බෑනෙ….” මන්දිතා පැවසුවේ මා ඇගේ සිරුරට වාරු කරගනිමිනි.
“ශෙනුල් එහෙම කරයිද මන්දි…”
“ඔයා විශ්වාස කරන්න ඕනෙ එයාව මිස මෙයාව නෙවෙයි සිතූ…. ඒ ඔයාගෙ හස්බන්ඩ්….” ඇය කීවේ මගේ හිස පිරිමදිමිනි.
“ශෙනුල් මගේ හස්බන්ඩ් වෙන්න හිටිය කෙනා…. තමුසෙ නිසයි මට එයාව නැතිවුණේ….” ඇසුණේ වන්දනාගේ කෝපයෙන් පිරි හඬය. හිස උස්සා ඇය දෙස බලන්නට තරම් සිතට දිරියක් වූයේ නැත.
“සිතූ කාගෙන්වත් ශෙනුල්ව උදුරගත්තෙ නෑ වන්දනා….” මා වෙනුවට පිළිතුරු දුන්නේ මන්දිතාය.
“එයා ශෙනුල්ව මැරි කළේ මාත් එක්ක තිබුණ එෆෙයාර් එක ගැන දැනගෙන නෙවෙයිද එතකොට….” වන්දනා පවසනු ඇසුණේ සමච්චලය මුසු හඬකිනි.
“තමුන් එක්ක මගෙ එෆෙයාර් එකක් තිබුණෙ කවදද වන්දනා….” මා තිගැස්සෙමින් හිස එසවූයේ ඒ හඬ ඇසෙද්දීය.
“ශෙ…. ශෙනුල්….” වන්දනා මුමුණනු ඇසිණි.
“දැන් හරි…. දැන් කියන්න තියෙන දෙයක් කියන්න වන්දනා…. හැමදාම මේක හැංගි හැංගි කරන්නත් බෑනෙ නේද….?” මන්දිතා පැවසුවේ මා අතැර වන්දනා අසලට යමිනි.
වන්දනා අසල වූ පුටුවේ වාඩි වූයේ ඉකි ගසමිනි.
“සිතූ මාව මැරි කළා නෙවෙයි…. මමයි එයාව මැරි කළේ…. මම මගෙ ජීවිතේ ආදරේ කළේ සිතූට විතරයි…. ඒක තමුන් හොඳටම දන්නව වන්දනා…. දැන්වත් ඔය බොරු ඇඬිල්ලයි රඟපෑමයි නවත්ත ගන්නවා….” ශෙනුල් පැවසුවේ මා අසලට පැමිණ මගේ උරහිස වටා අතක් යවා ඒ සිරුරට තද කරගනිමිනි.
“දැන්වත් වුණේ මොකක්ද කියල මේ ගෑනිගෙන් අහගන්න සිතූ….” අනතුරුව ඔහු කීවේ මගේ නිකටින් අල්ලා මුහුණ ඉහළට ඔසවමිනි.
“සිතූ…. මං…. ශෙනුල්ට ආදරේ කළා…. ගොඩක්…. ඒත් ශෙනුල්….” මා වන්දනා දෙස බැලුවේ ඒ හඬ ඇසෙද්දීය.
ඇය සිටියේ මුහුණ දෝතින්ම වසාගෙනය. මා ඇය අසලට පියවර තැබුවේ ශෙනුල්ගෙන් මිදෙමිනි.
“කියන්න වන්දනා…. මට ඒ හැමදේම දැනගන්න ඕනේ….” මා ඇගේ උරහිස මත අත තබමින් කීවේ ඇය කුමක් කීවද එය අසා සිටින්නට ශක්තිය ලැබේවායි සිතමිනි.
32 වන කොටසින් හමුවෙමු.
ගොඩක් දවසකින් කතාව දාලා හරි ම සතුටුයි 💗💗💗