සිත් අහසට නුඹ ඇවිදින් – 23


“ආනේ සිතූ…. ඔයා අපිටත් හොරෙන් මැරි කළා නේද….?”
කාර්යාලයට ගිය සැනින් බොහෝ දෙනෙක් මා වටකරගෙන සුබ පතද්දී මා කළේ මවා ගත් සිනහවකින් ඒ සුබ පැතුම් පිළිගැනීමය.
“ආ මේ ඇවිත් තියෙන්නේ…. අපිත් දන්න කෙනෙක්වනෙ මෙයා මැරි කරල තියෙන්නේ….?”
වන්දනා හා ශෙනුල්ගේ සම්බන්ධය දැන සිටි කිහිප දෙනෙක්ම එතැනට එක්වූයේ එසේ කියමිනි.
“කියල වැඩක් නෑ ධම්මි…. පවු අර අහිංසකී යාළුවා කියල විශ්වාස කරගෙන සේරම දේවල් කිව්වෙ මෙයාට…. ඒත් මෙයා ඒකි යාළුවෙලා හිටපු කෙනාවම අල්ලගත්තා….”
“කවුරු එක්ක යාළුවෙලා හිටියත් මොකද බං ඌ සල්ලි ගහක්ලුනෙ ඉතින්….” ඔවුන් එකිනෙකා කතාවනු ඇසෙද්දී මට අවැසි වූයේ එතැන මගහැරයාමටය.


“අම්මෝ සිතූ…. උඹ ආවද බං…. ඉතින් ඉතින් වෙඩින් එකක් කිව්වෙත් නැති එකේ අපිට මොනවද ගෙනාවේ…. අද නම් මොනවත් නොදී බේරෙන්න හිතන්න එපා මචෝ….” මනුල එතැනට පැමිණියේ මා ගලවාගන්නට මෙනි.  
“ගෙනාවා ගෙනාවා…. ආ මෙන්න….”
මා ගෙන ආ පාර්සල් සියල්ල ඔහු වෙත දිගු කළේ ස්තුතිපූර්වක බැල්මක් ද සමඟය.
“අම්මට සිරි… අද නම් උදේට ආයෙ කන්න ඕනෙ නෑ….”
මනුල කීවේ වර්ග කිහිපයකම ආහාර අතට ගනිමිනි.
“යකෝ…. මූ නිකං ඉතියෝපියාවෙ ඉඳල ඇවිත් වගේනෙ…. අපිටත් තියල කාපං….” කාර්යාලයේ සෙස්සන්ද ඒ වටා රොක් වෙද්දී මම මගේ අසුනට පැමිණියෙමි.
“කොහොමද ඉතිං ජීවිතේ…. ශෙනුල් අවුලක් නැද්ද….?” මනුල මා අසලට පැමිණියේ දහවල ආහාර ගනිමින් සිටියදීය.
“එයා නම් එහෙම කියන්න තරම් අවුලක් නෑ මනූ…. ඒත් මගෙ හිතට හරි නෑ…. දැක්කනෙ අදත් අර කට්ටිය කියපු දේවල්….”
“ඒව නම් ගණන් ගන්න එපා බං…. ඇත්ත මොකක්ද කියල අපි දන්නවනෙ ඉතින්….”
“අපි දන්නව වුණාට අනිත් අය හිතාගෙන ඉන්නෙ වැරදියටනෙ මනූ…. එයාල කියන්නෙ මං සල්ලි නිසා ශෙනුල්ව අල්ලගත්ත වගේ කතා….”
“අනිත් උන් හිතන දෙයක් හිතපුවාවෙ…. උඹ ඒව හිතන්න එපා…. ඔය කතා කියන උන්ගෙ ජීවිත ගැන හොයල බැලුවොත් ඊට වඩා අවුල් ඇති…. අනික උන් ඉස්සරත් උඹ එක්ක හිටියෙත් නෑ…. වන්දනා එක්ක හිටියෙත් නෑ…. වන්දනාගෙ එෆෙයාර් එක නැතිවුණ කාලෙ උන් වන්දනාටත් එක එක කතා කිව්වා…. දැන් බොරුවට ඒකි ගැන කියවනවා….”
මනුල කීවේ මේසය මත වූ මගේ අතක් ද අල්ලා ගනිමිනි. ඔහු කියන්නා සේම  ඔවුන් සැමදා කළේ තවෙකෙකුගේ වැරදි සෙවීම පමණි. දිවා ආහාරය ගෙන මා යළිත් මගේ රාජකාරී මේසය අසලට ගියේ සති කිහිපයක නිවාඩුව නිසා කළ යුතු දෑ ගොඩ ගැසී තිබූ බැවිනි.
දුරකතනය නාද වෙමින් තිබුණේ වට්ස්ඇප් පණිවුඩ කිහිපයක් ලැබුණු බව අඟවමිනි. එම පණිවුඩ ලැබී තිබුණේ ශෙනුල්ගෙනි. එම පණිවුඩ විවෘත කර බලද්දී වායු සමීකරණය කර තිබූ කාර්යාලයේදීත් මට දහඩිය දමමින් තිබිණි.
ශෙනුල් එවා තිබුණේ මනුල මගේ අතින් අල්ලාගෙන සිටින ඡායාරූප කිහිපයකි. ඒ දිවා ආහාරය ගැනීමට ගිය අවස්ථාවේ ඔහු මගේ අතින් ඇල්ලූ අවස්ථාවය.
ශෙනුල් මට කාර්යාලයට පැමිණීමට අවසර දුන්නේ ද විවාහක කාන්තාවක් බව අමතක නොකරන ලෙස ට උපදෙස් දෙමිනි. මේවා කොහෙන්දැයි ඇසිය යුතු වුවත් මා ප්‍රතිචාරයක් නොදක්වාම දුරකතනය පසෙකින් තැබීමි.
“ඔෆිස් ඇරෙන වෙලාවට මං එන්නම් ගන්න….” එවර ඔහුගෙන් ලැබුණේ කෙටි පණිවුඩයකි.
වැඩ ගොඩ ගැසී තිබුණත් ඒවා කිරීමට තරම් මනස නිරවුල්ව තිබුණේ නැත.
“මොකද එක පාර අවුල් වුණේ…. කවුද මැසේජ් කළේ….”
මා අසලට පැමිණියේ මනුලය. එසේ නම් ඔහු සිට ඇත්තේ මා ගැන අවදානයෙනි.
මා කළේ ශෙනුල්ගෙන් ලැබී තිබූ ඡායාරූප විවෘත කර දුරකතනය ලිපි ගොනුවක් අතර තබා එය ඔහු වෙත පෑමය.
“ඒ කවුද බං සිතූ මේ චීත්ත වැඩ කරන්නේ…. අනික මේව ශෙනුල්ට යවන්න කවුද ශෙනුල්ගෙ නම්බර් එක දන්නේ….”
“හිතාගන්න බෑ මනුල…. ඔයා දැන් යන්න…. නැත්නම් අපි දැන් කතා කරන ෆොටෝසුත් එයාට යයි….”


“හරි මං පස්සෙ කෝල් එකක් දෙන්නම්…. අවුල් වෙන්න එපා අවුලක් වුණොත් මං ශෙනුල් එක්ක කතා කරන්නම් හරිද….?”
“හරි….”
කාර්යාලය නිමවීමෙන් පසු මා ගේට්ටුව අසලට වී සිටියේ ශෙනුල් පැමිණෙන තුරුය.
“ශෙනුල් එනවද එක්ක යන්න….?” මා අසලට පැමිණියේ මනුලය.
“ඔව් මනූ….”
“හරි මම යනව එහෙනම්…. අවුලක් වුණොත් කෝල් එකක් දීපං….” මා කළේ හිස දෙපසට වනා ඔහු කී දේ පිළිගැනීමය.
ශෙනුල්ගේ මෝටර් රථය මා අසලින් නැවතුණේ මනුල පිටව ගොස් මොහොතකට පසුවය. මා නිහඬවම ඊට ගොඩ වී ආසන පටිය ද පැළඳගතිමි. ශෙනුල් කුමක් හෝ පවසනු ඇතැයි සිතුණ ද එසේ වූයේ නැත. ඔහු කළේ නිහඬවම මෝටර් රථය ඉදිරියට ගැනීමය. මා වරක් ඔහු දෙස බැලුවත් ඔහු වෙනසක් නැතිවම මෝටර් රථය පදවමින් සිටියේය. අනතුරුව මා දෑස් වසාගත්තේ සිතෙහි වූ තිගැස්ම නිසාමය.
“මචං කොහෙටද යන්නේ…. යමු….” මා දෙනෙත් විවර කළේ ශෙනුල් මෝටර් රථයේ වේගය අඩු කරමින් කිසිවකුගෙන් විමසනු ඇසෙද්දීය.
මගේ හදවත නවතින්නාක් මෙන් දැනුණේ මෝටර් රථය අසල සිටින මනුල දකිද්දීය.
“අපි යන පැත්තටනෙ යන්නේ…. යමු….” ශෙනුල් පැවසුවේ මනුල අප දෙදෙනා දෙසම මාරුවෙන් මාරුවට බලද්දීය.
“දැන් බස් එකක් එනවා….”
“මේ මේකෙ ඉඩ තියෙන්නෙ…. නැගපං බං…. මගෙ වයිෆ්ගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ්ව දැක දැකත් පාරෙ දාල යන්න බෑනෙ….”
මනුල මෝටර් රථයට ගොඩවූයේ ශෙනුල්ගේ දැඩි පෙරැත්තය හමුවේය.
“ඉතිං කොහොමද මනුල….”
“මේ හොඳින් ඉන්නව ශෙනුල්….”
“හොඳින් නම් කමක් නෑ නේද සිතූ….” ශෙනුල් ඇසුවේ මගේ මුහුණටද එබෙමිනි.
“ආ මේ…. ඔව් ඔව්….” ඔහුගේ බැල්මට මගේ වචන ද පැටලිණි.
“සිතූ මට ක්ලයන්ට් කෙනෙක් මීට්වෙන්න තියෙනවා…. මං ඔයාව ගෙදරින් බස්සල යන්නම්…. ඒ ගමන් මනුලව ඩ්‍රොප් කරන්නම්….”
අනතුරුව ඔහු කියද්දී මා මෙන්ම මනුල ද තිගැස්සෙන්නට ඇත. එහෙත් ශෙනුල් කී දේ ප්‍රතික්‍ෂේප කිරීමේ හැකියාවක් අපට වූයේ ද නැත.
මා නිවස අසලින් බස්සවා ශෙනුල් ආපසු මෝටර් රථය හරවා ගත්තේ පැමිණියාට වඩා බොහෝ වේගයෙනි. අප ඡායාරූප දුටු පසු ඔහු සිටින්නේ කෝපයෙන් වන්නට ඇත. සිතට දැනෙමින් තිබුණේ බියකි.

24 වන කොටසින් හමුවෙමු. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart