සිත් අහසට නුඹ ඇවිදින් – 16 කොටස


ශෙනුල් අප නිවසට පැමිණියේ විවාහ ගිවිසගැනීමට දින කිහිපයක් තිබියදීය. ඒ වන විට ආලින්දයේ සිටි මා ඔවුන්ගේ පැමිණීමත් සමඟ අසුනින් නැගී සිටියේ එහි සිටීමට සිතෙහි කැමැත්තක් නොවූ බැවිනි.
“මේ දරුවට ටිකක් කතා කරන්න ඕනෙලු….” මා පියවරක් ඉදිරියට තබද්දීම ඇසුණේ අප්පච්චිගේ හඬය.
මා බැලුවේ ශෙනුල් දෙසය. ඔහු හිසින් මට කතා කරමින් පියවර තැබුවේ නිවසින් පිටතටය. ඔහු නැවතුණේ අඹ ගස යට වූ බංකුව අසලය.
“වාඩිවෙන්න….” ඔහු එහි පසෙකින් වාඩිවූයේ මට අනෙක් පස පෙන්වමිනි.
“දැන් මොකක්ද ඔයාගෙ තීරණේ….”


“මගේ තීරණේ මොකක් වුණත් ඒ ගැන වෙන අය එක්ක කියල වැඩක් නෑ කියල මට දැන් තේරෙනවා මිස්ට ශෙනුල්…. කවුරුත් මං ගැන හිතන්නෙ නෑනෙ….”
“ඇයි එහෙම කියන්නෙ…. මම අදත් අන්කල් එක්ක ඔයයි අර බෝයි ගැනයි කතා කරන්න හැදුවා…. ඒත් එයා ඒ ගැන කතා කරන්නවත් කැමති නෑ….”
“බොරු කියන්න එපා…. ඔයා කවුද කියල මම දන්නවනේ….”
“ඔයා කැමති දෙයක් හිතාගන්න…. ඒත් මම කියන්නේ ඇත්ත…. මම අන්කල්ට පැහැදිලි කරල දෙන්න ගොඩක් උත්සාහ කළා…. ඒත් එයා එයාගෙ තීරණ වෙනස් කරන්නෙ නෑ…. එයා ගැන ඔයත් දන්නව ඇතිනේ…. එයා අපේ වෙඩින් එකට රෙඩි වෙනවා…. ඒත් අපේ අම්මයි තාත්තයි මට කිව්වා ඔයා එක්ක තව පාරක් කතා කරන්න කියලා…. බොරු කියන්න ඕනෙ නෑනෙ එදා වගේම අදත් මම ඔයාව මැරි කරන්න කැමතියි….”
“තව මොනව කතා කරන්නද….? ඔයාලට ඕනෙ දේවල් වෙයි….”  මා පැවසුවේ ඒ හැර අන් විකල්පයක් නොවන බැවිනි.
“ඔයා ඇත්තටමද ඔය කියන්නේ…. ඒත් එතකොට මනුල….” ශෙනුල් ඇසුවේ මගේ උරහිස මත අතක්ද තබමිනි.
මනුල සැබෑවටම මගේ පෙම්වතා වූයේ නම් තීරණයක් ගත හැකිව තිබිණි.
“මම හිතුවක්කාර වුණොත් ඒකෙනුත් තැලෙන්නෙ මගේ අම්මා…. ඒ නිසා මම අකමැත්තෙන් වුණත් මේ ගිනිගොඩට පනින්නම්…. දැන් හරිනේ…. මම ඇතුලට යන්නද….?”
“නවතින්න සිතූ…. එහෙනම් මම අපේ අම්මලට කියනවා ඔයා පරණ දේවල් අමතක කරල මේ කසාදෙට කැමතියි කියලා….”
“කියන්න….” මා පවසද්දී ඔහු මදෙස බලා සිටියේ පුදුමයෙන් මෙනි.
ජීවිතයේ අනපේක්‍ෂිත දිනයක උදාවේ මම ඔහුගේ පතිනිය වීමට නියමිතව සිටියෙමි. ශෙනුල් තේරූ සාරියෙන් මා හැඩකෙරුවේ නැගනියගේ මිතුරියක ද වන රූපලාවන්‍ය ශිල්පිනියක විසිනි. නැගනිය තේරූ අලුත්ම මෝස්තරයක් අනුව සාරි හැට්ටය ද මසා තිබිණි. විවාහය මගේ වුවද ඒ පිළිබඳ කිසිඳු හැඟීමක් මසිතෙහි නොවිණි.
දුරකතනය තිබුණේ අප්පච්චී සතුව බැවිනුත්, නිවසේ දුරකතනයෙන් ද ඇමතුම් ලබාගැනීම තහනම් වී තිබූ බැවිනුත් මන්දිතාට හෝ මනුලට මේ ගැන කිසිඳු විස්තරයක් ලබාදෙන්නට හැකිවූයේ නැත. නැගනිය සතුවද දුරකතනයක් නොවුණේ අප්පච්චී ඇයට දුරකතන භාවිතයට ඉඩනොදුන් බැවිනි.
“අක්කේ ඔයා අද නම් හරිම ලස්සනයි….” කාමරයට පැමිණියේ නැගනිය හා නැන්දාගේ දියනියයි.
“හිනාවෙලා ඉන්න අදවත්…. මොනව වුණත් අරයත් මාර ගති ආ…. පට්ට හැන්ඩියා….” සඳුනි පැවසුවේ මගේ මුහුණට එබෙමිනි.
පැමිණ සිටි පිරිස ඉදිරියේ මා මවාගත් සිනහවකින් පෙනී සිටියත් ශෙනුල් නම් සිටියේ දැඩි සතුටකින් බව පෙනෙන්නට තිබිණි.


විවාහ ගිවිසගැනීම සඳහා වන ප්‍රකාශය කියන අවස්ථාවේදීත්, විවාහය සඳහා අත්සන් තබද්දීත් සිතට දැඩි අපහසුතාවක් දැනුනත් කරන්නට අන් දෙයක් වූයේ නැත. සියල්ල නිමවූයේ මා නීතියෙන් ඔහුගේ බිරිඳ කරවමිනි.
ශෙනුල් හා ඡායාරූපවලට පෙනී සිටිද්දී පවා මා පත්වූයේ දැඩි අපහසුතාවකටය. ඡායාරූප ශිල්පියා පවසන ආකාරයට ඔහුට සමීප වෙමින් ඡායාරූප ගනිද්දී මැවි මැවී පෙනුණේ වන්දනාගේ මුහුණය. ශෙනුල් හා වූ සබඳතාවය බිඳී ගිය පසු ඇය හඬා වැටුණු ආකාරයය. යම් දිනෙක ඇය යළි මුණ ගැසුණොත් ඇයට මුහුණ දෙන්නේ කෙසේදැයි සිතීම පවා මට වේදනාවක් විය.
“පුතා අදම මෙයාව එහෙ එක්ක යනවනෙ නේද….?” පැමිණ සිටි නෑදෑයින් නිවසින් පිටව ගොස් අප පවුල් දෙකෙහි පිරිස පමණක් ඉතිරි වූ අවස්ථාවේ අප්පච්චි ඇසුවේ ශෙනුල්ගෙනි.
“අපට නම් ප්‍රශ්නයක් නැහැ අබේ…. ඒත් දෝණිත් ආස ඇති නේද මනමාලියක් වෙලාම මහත්තයගෙ ගෙදරට යන්න…. ඔයාලත් එහෙම කැමති ඇතිනෙ….” ඒ ශෙනුල්ගේ පියාය.
මාල හතක් දමා සුදු ඔසරියකින් සැරසී මනාලියක්වීමේ සිහිනය මට ද තිබූ නමුත් ඒ ශෙනුල් වැන්නෙකු සමඟ නොවේ.
“වෙඩින් එකක් අරන් චාරිත්‍ර කළා නම් හොඳයි තමයි….” අම්මා පැවසුවේ අප්පච්චී දෙස බලමිනි.
“දැන් ඉතින් දෙන්න කසාද බැඳල ඉවරනෙ…. අනික දෙන්නම කොළඹ ඉන්න එකේ ගෙදරටම කැන්දගෙන යන එක තමයි හොඳ…. මම හිතන්නෙ මල්ලි කැමතියි මෙයාගෙ බරෙන් නිදහස් වෙන්න….” නැන්දා පැවසුවේ සුපුරුදු අහංකාරකමිනි.
“ඔයාල කැමතිනම් අපිට ප්‍රශ්නයක් නෑ…. අපි දෝණිව එක්ක යන්නම්….” ඒ ශෙනුල්ගේ මවය.
“සිතූ ඔයා කැමතිද අදම අපේ ගෙදර යන්න….” ශෙනුල් ඇසුවේ මගේ අතකින්ද අල්ලා ගනිමිනි.
“එයාගෙ කැමැත්තට ඉඩදීල මට නම් තවත් එයාගෙ වගකීම ගන්න බෑ පුතා…. ඒ නිසා එයා ආයෙමත් ගිහින් එහේ බෝඩිම්වල ඉන්නවට මම කැමති නෑ…. වෙඩින් එකක් ගන්නව නම් රස්සාවෙන් අස්වෙලා ගෙදර ඉන්න ඕනේ….” අප්පච්චි අවසන් තීරණය දෙද්දී අම්මාත්, නංගීත් නිහඬවම සිටි නමුත් ඔවුන් විටින් විට නෙතට උනන කඳුළු පිසලනු පෙනිණි.
“මම…. මම…. ඔයාලගෙ ගෙදර එන්නම්…. හැබැයි මට ජොබ් එකෙන් අයින් වෙන්න නම් කියන්න එපා….”
“නැහැ ඔයා ජොබ් එක කරන එක අපට ප්‍රශ්නයක් නෙවෙයි දූ…. හැබැයි ඔයත් මතක තියාගන්න ඕනෙ දැන් ඔයා මැරි කරපු කෙනෙක් කියලා…. මම කියන්නෙ මොකක්ද කියල ඔයාට තේරෙනව ඇතිනෙ….” ශෙනුල්ගේ පියා පැවසුවේ මගේ හිස ද අතගාමිනි.
“ඔව් මට තේරෙනව අංකල්….”
“දැන් අංකල් නෙවෙයි දෝණි…. අපි දෙන්නට අම්ම, තාත්ත කියන්න….” ඒ ශෙනුල්ගේ මවය.
“බලනව මේ මිනිස්සු පරණ දේවල් අමතක කරල තමුන්ව භාරගත්ත එකම කොයිතරම් දෙයක්ද…. මම හිතුවෙ දීගයක් දෙන්නවත් බැරිවෙයි කියලා නටල තියෙන නැටුම්වල හැටියට…. දැන්වත් වැදගත් විදියට හිටියොත් හොඳයි….” නැන්දණිය කියද්දී මට සිතුණේ අතට හසුවන දෙයකින් ඇයට පහරදෙන්නටය.
“දැන් ඔය කතා වැඩක් නෑ නේද මාලතී අක්කේ…. ඔය වයසට හිතට ආදරේ දැනෙන එක සම්බන්ධකම් පටන් ගන්න එක සාමාන්‍යයි…. එහෙම යාළුවෙන හැමෝටම එකතුවෙන්න ලැබෙන්නෙත් නෑ…. ඒ දේවල් මහලොකුවට හිතන්න තරම් අපිට හණමිටි අදහස් නෑ….” ශෙනුල්ගේ පියා පවසද්දී මට ඔහු ගැන දැනුණේ මහත් වූ ගෞරවයකි. ඔහු වැනි පියකු අපටත් සිටියේ නම් කියා ද සිතිණි.
අප ශෙනුල්ගේ නිවසට යන විට රාත්‍රිය ද උදා වී තිබිණි. මා ශෙනුල්ගේ කාමරයට කැඳවාගෙන ගොස් ඇඳ සිටි සාරිය හා කොණ්ඩා මෝස්තරය ගලවා ගන්නට උදව් කළේ ඔහුගේ මවය.
“අදට කෑම මොනව හරි ඕඩර් කරල ගෙන්නගමු දෝණි…. හෙට ඉඳල පුළුවන්නෙ අපි දෙන්නටම එකතුවෙලා උයාගන්න….” එසේ කී ඇය කාමරයෙන් පිටව ගියේ මගේ හිස ද අතගාමිනි.
“තාම වොෂ් දැම්මෙ නැද්ද….?” අසමින් ශෙනුල් කාමරයට එද්දී මා තිගැස්සී ගියේ නැතැයි කිවහොත් බොරුවකි.
“නෑ…. මේ යන්න හැදුවේ….”
“එහෙනම් ඔයා මුලින් වොෂ් දාගන්න…. නානවනම් හොට් වෝටර්වලින් නාන්න….”
ශෙනුල් කීවද මා සීතල ජලයෙන්ම දිය නා ගත්තේ උණු ජලයෙන් දියනෑමට මා කවදත් ප්‍රිය නොකළ බැවිනි. එමෙන්ම ඔහු කියනා දේ අසන්නට අවශ්‍යතාවක් ද මට නොවිණි.  අනතුරුව රැගෙන ආ ගවුම ද ඇඳ ගත් මා ඉන් පිටතට එද්දී ශෙනුල් කාමරයේ සිටියේ නැත.
“මම පහලින් වොෂ් එකක් දාගෙන ආවා…. ආ මෙන්න ඔයාගෙ ෆෝන් එක…. හැබැයි ඉතින් මීට පස්සෙ අර මනුල ද කවුද එක්ක තියෙන සම්බන්ධකම් අඩුකරන්න ඕනේ…. මොකද දැන් ඔයා මගෙ වයිෆ්….” ඔහු කීවේ තරමක් දැඩි ස්වරයකිනි.
“මේ අහන්න මිස්ටර් ශෙනුල්…. මේ කසාදෙ වුණේ ඔයාගෙ කැමැත්තට මිස මගෙ කැමැත්තට නෙවෙයි…. බලෙන් කසාද බැඳගත්තට ඔයාට මගෙ හිත බලෙන් ගන්න බෑ….” මා ද කීවේ ඔහුට නොදෙවෙනි ස්වරයකිනි.
“මොකක්ද කිව්වෙ….?”
“කිව්වෙ ඔයාට ඇහුණ දේ තමයි…. මට නීති දාන්නනම් එන්න එපා…. මං දන්නව ඉන්න ඕනෙ කොහොමද කියලා…. මට හොඳ මූණ පෙන්නල උදව් කරන්නම් කියලා අනිත් පැත්තෙන් අප්පච්චිට කේලම් කියලා දැන් කොහොම හරි මාව කසාද බැන්දනෙ…. දැන් මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න….”
“ඔව්…. කසාද බැන්ද වගේම තමයි ඉස්සරහට වෙන්නෙත් මට ඕනෙ දේවල්මයි කියල මතක තියාගන්නව සිතුලි…. හොඳින් කතා කළාම කරේ නගින්න ඇවිත් තමුසෙ මගෙන් ගුටි කන්න එපා….”
“ඔය සද්දවලට වන්දනා බයවෙන්න ඇති…. හැබැයි මම බය නෑ…..” කී මම කාමරයෙන් පිටතට විත් පඩිපෙල බැස පහත මාලයට ආවේ ඔහු හා තවදුරටත් එහි රැඳී සිටීම අපහසු වූ බැවිනි. මා යන විට ශෙනුල්ගේ මව හා පියා සිටියේ ආලින්දයට වී රූපවාහිනී නරඹමිනි.
“ඇයි දෝනි ඔයාට බඩගිනිද….? මේ ළඟ ඉඳිආප්ප හදන තැනකට කතා කළා… දැන් ගේනව ඇති…. එතකම් කිරි එකක් හදල දෙන්නද….?”
“ඕනෙ නෑ අම්මා…. බඩගිනි නෑ….” මම ද ඔවුන් අසල වූ පුටුවකට බර වුණෙමි.

17 වන කොටසින් හමුවෙමු.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart