සිත් අහසට නුඹ ඇවිදින් – 15


“දැන් ඔය කතාව නවත්තල අපි කාල ඉමු නේද අබේ…. දෝණිටත් බඩගිනි ඇති….” ඒ ශෙනුල්ගේ මවගේ හඬය.
“බලන්න මානෙල්…. ඔයාල මේ ළමය ගැන තාමත් මෙච්චර හිතනවා…. මේකිට මොළේ නෑනෙ….”
“එහෙම කියන්නත් එපා අබේ…. ඒ ළමයටත් හේතුවක් ඇති…. අනික මම නම් හිතන්නෙ අපි දෙයක් කරද්දි දරුවන්ගෙ කැමැත්තත් අහන්න ඕනෙ…. අනිත් එක දැන් මෙයාල ගහල බැණල හදන්න පුළුවන් වයසෙ නෙවෙයිනෙ ඉන්නෙ…..”
“දරුවො කරන්න ඕනෙ දෙමව්පියො කියන දේවල්…. අපේ කාලෙ නම් අපි අම්මලගෙ තාත්තලගෙ වචනෙට පිටින් ගියේ නැහැ…. අපි එයාලට ඕනෙ කාලෙට හැමදේම හොයල දෙනව කියල දරුවො තේරුම් ගන්න ඕනෙ…. අනික මෙයාලගෙ කැමැත්ත කියලා පවුලට නොගැලපෙන දේවල්වලට ඉඩදෙන්න බෑනෙ….” අප්පච්චී පවසනු ඇසුණේ කෝපය මුසු හඬිනි.
“හැබැයි අබේ…. මට පුතා කියපු විදියට ඔය කියන දරුවගෙත් ඒ හැටි වරදක් පේන්න නෑලු…. දුවගෙ කැමැත්ත ඒක නම් ඒ ගැන හොයල බැලුවොත් නරකද….?” එසේ නම් ශෙනුල් සිදුවූ සියල්ල ඔහුගේ මව සමඟ ද පවසා ඇත.  
“එයාගෙ කැමැත්ත අකමැත්ත වැඩක් නෑ…. ශෙනුල් පුතා කැමතිනම් මේ කසාදෙ අනිවාර්යයෙන් වෙනවා…. මේවා අපි කාලෙකට කලින් ගත්ත තීරණ…. මම වචනෙ වෙනස් කරන මිනිහෙක් නෙවෙයි….”
“හරි හරි අබේ…. ඕකට මේ තරම් කෑගහන්න ඕනෙ නෑ…. දෝණිට ඇහුණොත් ඒ ළමය තවත් බයවෙයි…. දැන් අපි කාල ඉමුකො….”
“ කෝ ඉතින් පුතාගෙ අප්පච්චි තාම නෑනෙ….”


“එයාට අද ප්‍රයිවට් හොස්පිට්ල් දෙකකම චැනලින් තියෙනවා…. තව රෑ වෙයි….”
“කෝ දැන් අපේ එක්කෙනා….” මම සෙමෙන් පිටගැටපෙල බැස්සේ අප්පච්චි අසනු ඇසෙද්දීය.
මම දෙනෙත් බිමටම යොමාගෙන සිටියේ අප්පච්චිගේ මුහුණ බලන්නට තරම් ශක්තියක් නොවූ බැවිනි.
“කනවනම් කාල යමු….” ඔහු පැවසුවේ තරමක් දැඩි හඬිනි.
“මට බඩගිනි නෑ….”
“අනේ එහෙම බෑ දෝණි…. මම කවන්නද….?” ශෙනුල්ගේ මව ඇසුවේ මා අසලට පැමිණ මගේ හිස ද අතගාමිනි.
“මට එපා ඇන්ටි….”
“එපා නම් යමු…. මටත් දැන් කන්න බෑ…. එහෙනම් අපි ගිහින් එන්නම් මානෙල්….” ඔහු පැවසුවේ නිවසින් පිටතට බසිමිනි.
“ගිහින් එන්නම් ඇන්ටි….”
“පරිස්සමින් පුතේ…. අප්පච්චි මොනව කිව්වත් කටගහගෙන යන්න එපා….”
ශෙනුල් මා අසලට පැමිණියේ මා ඔහුගේ මව අසලින් ඈත්වෙද්දීමය.
“පරිස්සමින් බෝනික්කි…. ගිහින් කෝල් එකක් දෙන්න…. කිසිම දේකට කලබලවෙන්න එපා…. මෙන්න ෆෝන් එක….” ජංගම දුරකතනය මා අතට ලබාදුන් ඔහු පැවසුවේ මගේ හිස මත අතක්ද තබමිනි.
“බොහොම ස්තුතියි මේ කරපු හැමදේටම….” මා කීවේ ඔහු දෙස රවා බලමිනි.
“බෝනික්කි….”
ඔහු මගේ අතින් අල්ලන්නට උත්සාහ කරද්දී මා ඒ අත ඉවතට තල්ලු කරමින් ඔහු අසලින් ඉවත්වූයේ ඔහු දෙස රවා බලමිනි.
වෑන් රථය පැදවූයේ අප්පච්චිගේ රියදුරාය. ඔහු සිටි නිසාදෝ අප්පච්චි වාහනයට ගොඩ වූ පසු වචනයක් හෝ කීවේ නැත. මේ නිහඬබව කුණාටුවන පෙර නිමිති විය හැකි බව සිතෙද්දී මා හට සුසුමක් හෙළිණි. අප්පච්චි මා දෙස හැරී බැලුවේ ඒ සුසුමේ හඬට විය යුතුය.
“මොකද….?” ඔහු ඇසුවේ මා දෙස ඍජු බැල්මක් හෙලමිනි.
“මොනවත් නෑ අප්පච්චි….” ඔහුගේ බැල්ම දරාගත නොහැකි වූ තැන දෙනෙත් බිමට යොමමින් මම කීවෙමි.
“හ්ම්ම් යමුකො ගෙදර….” ඔහු කියනු ඇසිණි.
“ආ මේ එන්නෙ කුමාරිහාමි…. කොහෙද මල්ලි මෙයා ගිහින් හිටියෙ….” වෑන් රථයෙන් බැස නිවසට යද්දී ඇසුණේ නැන්දාගේ හඬය.
එසේ නම් නිවසේ සිදුවූ සියල්ල ගැන ඇය ද දැනුවත් බවට සැකයක් නැත.
“ශෙනුල් පුතා ඒ ගෙදර එක්ක ගිහින්….”
“දෙවියනේ බඳින්න කලින් මනමාලයගෙ ගෙදර යනවද වැදගත් පවුල්වල ගෑනු ළමයි….”
“මම ගියා නෙවෙයි නැන්දේ එයයි මාව අරන් ගිහින් තිබුණේ…. වැදගත් පවුල්වල පිරිමි ළමයි එහෙම කරනවද….?”
“කට වහගෙන යන්නයි කිව්වෙ ගෙට…. ඒ ළමය අරන් නොගිය නම් අපූරුවට අර යාළුවෙලා ඉන්න එකා ගෙන්නගෙන පැනල යයි…. රස්සාවට යන්න කියල ගෙදරින් පැනල ගිය එකීට කොල්ලෙක් එක්ක පැනල යන එක මහලොකු දෙයක් නෙවෙයිනෙ….” ඒ අප්පච්චීය.
“ඒකත් හැබෑව තමයි…. අර දරුවට මේකෙන්ම මේකි එපා නොවුණොත් ඇති…. අපරාදෙ එච්චර අපූරු පවුලක් නැති වුණොත්…. කොහොම හරි ඒ කොල්ලගෙ කරේ මේකි එල්ලුවෙ නැත්නම් ආයෙ ඒ වගේ පවුලක් හොයනව බොරු….”
“නැන්දෙ මේ…. මම මෙච්චර වෙලා ඉවසුවෙ ඔයා වැඩිහිටියෙක් නිසා…. මං ගැන මම බලාගන්නම්…. අනික ඒවට අම්ම අප්පච්චි ඉන්නවා…. අපේ දේවල්වලට පනින්නෙ නැතුව ඔයා පාඩුවෙ ඉන්නවද….?”
“ලොකූ….” ඒ අම්මාය. අප්පච්චිගේ කෝපයෙන් රතු වූ දෙනෙත් ද තිබුණේ මා වෙතමය.
“ඇයි අම්ම මෙයාල මට මෙහෙම කරන්නේ…. මොන පවක්ද මේ මං ගෙවන්නේ…. ඉපදුණ දවසෙ ඉඳන් අපි හිරකාරයො වගේ…. අයිය නම් නිදහස්වෙලා ගියා…. ඒත් අපි දෙන්නා….” මා කීවේ ඒ වන විටත් බිය මුසු දෙනෙතින් මා දෙස බලා සිටි නැගනිය දෙස ද බලමිනි.
“මොකක්ද ලොකූ දැන් උඹ කියන්නෙ ආ…. ආයෙත් මගෙන් ගුටි නොකා ලෑස්ති වෙයන් අර ළමයව කසාද බඳින්න…. එතකම් මේ ගෙදරින් එළියට අඩියක් තියන්න තහනම්…. තව සති දෙකයිනෙ තියෙන්නේ….” අප්පච්චී කාමරයට ගියේ සිය අවසන් තීරණය දැනුම් දෙමිනි.
“අනේ අම්මා අප්පච්චිට කියන්නකෝ…. ඒ මනුස්සය මට ගැළපෙන්නෙ නෑ…. අනික එයා ඔයාල හිතන තරම් හොඳ කෙනෙක් නෙවෙයි….”
“හරි ෂෝක්…. වෙන කොල්ලෙක් එක්ක නටනව මදිවට දැන් ඒ ළමයට වැරදි කියනවද…. අනේ මේ තමුන්ට ඕනෙ විදියට නෙවෙයි මේ දේවල් වෙන්නෙ මගේ මල්ලිට ඕනෙ විදියට…. දරුවො වුණාම දෙමව්පියන්ගෙ කීමට පිටින් යන්න හොඳ නෑ කියලවත් උගන්නල නෑනෙ මේ ළමයින්ට….” මා අසලටම පැමිණි නැන්දා පැවසුවේ අම්මා දෙස ද රවා බලමිනි.


මා කාමරයට ගොස් ඇඳට වැටුණේ රාත්‍රී ආහාරය හෝ නොගෙනමය. එසේ වුවද නෙතට නින්දක් නොවිණි. මගේ ඇස් පියවෙන්නට ඇත්තේ අළුයම් කාලය ද එළඹෙද්දීය.
උදෑසන මා අවදිවද්දී කාමරයට ආලෝකය පවා වැටී තිබිණි. කාමරයේ බිත්ති ඔරලෝසුවේ වේලාව සටහන්ව තිබුණේ උදෑසන නවය පසුවී විනාඩි 15ක් ලෙසය.
“අක්කි ඇහැරලාද…. අම්ම කිව්ව ඇහැරලාද බලන්න කියලා…. ඔයාගෙ තේ එක ප්ලාස්ක් එකේ…. ඉන්න මං ඒකත් අරන් එන්නම්….”
කාමරයට එබී බලා හැරී දිවගිය නැගනිය යළි පැමිණියේ තේ කෝප්පයක් ද රැගෙනය.
“මේ දැන් මොකද වෙන්නෙ අක්කේ…. අන්න අරය උදේම ඇවිත් අප්පච්චිවත් එක්කගෙන කොහෙද ගියා….”
“කවුද නංගී….”
“ශෙනුල් අයියා…. රෙජිස්ට්‍රාර් හම්බවෙලා කසාදෙ වැඩ ටික ලෑස්ති කරගන්න ඕනෙ කියනවත් ඇහුණා….?”
“ඒ කියන්නෙ මට මේකෙන් බේරෙන්න විදියක් ඇත්තෙම නැද්ද නංගි….”
“අනේ මන්දා අක්කේ අපි අයියටවත් කියමුද….?”
“වැඩක් නෑ නංගි…. එයා එයාට කැමති කෙනාවත් කසාද බැඳගෙන මෙතනින් ගැලවිලා ගියා ගියාමයි ආයෙ ආවෙවත් නෑ…. අනික එයා ශෙනුල්ගෙ යාළුවෙක්…. පහුගිය කාලෙ මගෙ විස්තර ශෙනුල්ට කියල තියෙන්නෙත් එයා….”
“එතකොට අර ඔයා යාළුවෙලා ඉන්න අයියා….”
“මොන….”
“ඇයි මෝඩියේ අර ෆොටෝවල ඉන්නේ…. ශෙනුල් අයියව මීට් වෙන්නත් ආව කිව්වේ….”
“අයියෝ ඒ මෝඩය මාව ශෙනුල්ගෙන් බේරගන්න ගහපු ප්ලෑන් එක නිසා තමයි නංගි මම මෙහෙම හිරකාරයෙක් වුණේ….”
“එතකොට ඒක බොරුවක්ද….? අයියෝ එතකොට බොරුවක් නිසාද ගුටිත් කෑවෙ….”
“කියල වැඩක් නෑ අප්පා…. මේක නම් මගෙ අපල කාලයක්….”
“ශෙනුල් අයියත් දුකෙන් හිටියෙ හැබැයි….”
“ඒ මොකෝ….”
“ඔයා තාම නිදි කිව්වාමතාම මූණෙ පාරවල් තියෙනවද නංගි කියලත් ඇහුවා…. එහෙම දෙයක් වෙයි කියල කවදාවත් හිතුවෙ නෑ කිව්වා….”
“අනේ එයාගෙ දුක…. එයා නිසා තමයි මේ සේරම….”
“මා කණ්ණාඩි මේසය මත තිබූ මගේ කුඩා බෑගය අතට ගත්තේ කාර්යාලයට ඇමතුමක් හෝ දියයුතු නිසාය. ඊයේ ශෙනුල් මගේ අතට දුන් ජංගම දුරකතනය මා දමාගත්තේ එම බෑගයට වුවත් ඒ වන විට එහි එය තිබුණේ නැත.
“නංගි මගෙ ෆෝන් එක….”
“ඒක අප්පච්චි ගත්තා අක්කේ….”
“මොකක්…. මට ඔෆිස් එකට කෝල් එකක් දෙන්නත් ඕනේ….”
“ගන්න කෝල් එකක් ගෙදර ෆෝන් එකෙන් ගන්න කිව්වා…. ඒකත් අප්පච්චි ගෙදර ආවට පස්සේ….”
සිතට දැනුණේ දරාගත නොහැකි කෝපයක් හා දුකක් වුවත් එන දෙයකට මුහුණ දෙනවා හැර කරන්නට අන් යමක් වූයේ නැත.
කාර්යාලය අමතා සති දෙකක් නිවාඩු ලබාගත්තේ හදිසියේ අසනීප වී ගමට ආ බව පවසමිනි. ජංගම දුරකතනය ද වූයේ අප්පච්චී අසල බැවින් මන්දිතා හෝ මනුල අමතා කිසිත් දැනුම්දීමේ හැකියාවක් වූයේ ද නැත.  

16 වන කොටසින් හමුවෙමු.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart