ඔහු කවියෙක්, ගීත රචකයෙක්, නවකතා රචකයෙක්, චාරිකා සටහන් ලියන්නෙක්. ඉරිදා ලංකාදීප පුවත්පතේ විශේෂාංග කර්තෘවරයෙකු වශයෙන් සේවය කරන ඔහු නමින් ශාන්ත කුමාර විතාන. ඒත් වැඩිදෙනෙක් ඔහුව හඳුනන්නේ ‘ශකුවි’ යන නමින්.
ශකුවි කැමැතිම පොත ගැන දැන ගන්න අපි ඔහු සමඟ කතා කළා.
මම එතකොට හිටියෙ උසස්පෙළ පංතියේ. මාස දෙක තුනකට වතාවක්, මගේ ශිෂ්‍යත්වෙට හිමි ශිෂ්‍යාධාර අරමුදල ලැබෙනවා. මාසෙකට රුපියල් තිස්පහ ගාණේ. ඉතිං මේ විදිහට සල්ලි ලැබුණාම මම ගම්පහ ලීලා පොත්හලට ගිහින් පොතක් මිලදී ගන්නවා.

අසිරිමත් කුරුලු ලෝකය, ලස්සන ශ්‍රී ලංකා, ගොළු හදවත, තුෂාරයෙන් වැසුණු සඳක්, කෝ මගේ දරුවෝ අනේ, විල්පත්තු සිහිවටනය, අඟහරු ලොවෙන් ආ මිනිහා, චන්ද්‍ර සංචාරකයෝ, ඒ විදියට ගත්ත පොත්.
මේ අතරින් ලස්සන ශ්‍රී ලංකා පොත ගැන මං අද කතා කරනවා. එවකට ලංකාදීප පත්තරේ ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වුනු රත්නපාල විතාන තමයි මේ පොත ලියලා තියෙන්නේ. පිපුණු රෝස මලක පිංතූරයකින් සැකසුණු පිටකවරයකින් යුතු වූ ඒ පොතේ තිබුණේ ලංකාවේ ලස්සන තැන් කිහිපයකට ගිය සංචාර ගැන තොරතුරුයි.

ඒ වෙනකොට ලංකාවේ ලස්සන තැන් කිසිවකට ගිහින් නොතිබුණු මම ඒ පොතෙන්, රත්නපාල විතානත් එක්ක ලංකාව පුරා ගියා.
ස්වර්ණමාලි ජාතියට සෙවණ වැටුණු හැටි, මිහිපිට ගොඩනැඟූ කවි්යක්, රිදීපාට අපේ වෙලේ, ලෝකාන්ත වෘතාන්තය, දෙහිවල ලෝකය, දුන්හිඳ ගීය, වනාන්තර ගතවීම, මනමෝහන දර්ශනාත්, ආදරය ඉතිහාස ගතවූ තැනක් මේ පොතට ඇතුළත් වුණු පරිච්ඡේද. ඒ පරිච්ඡේදවලින් කියැවුණේ රුවන් මාලිගාව, ජයශ්‍රී බෝධීන් වහන්සේ, මිහින්තලය, සීගිරිය, මුහුදු වෙරළ, හෝටර්න් තැන්න, දෙහිවල සතුන්වත්ත, දුන්හිඳ ඇල්ල, යාල, උඩරට නැට්ටුවා, රන්මසු උයන ගැන.
හැබැයි මේ කිසිම ලියවිල්ලක් වාර්තාවක් නෙවෙයි. තාම ලියවිල්ලක්ම අපූරු විශේෂාංගයක් විදිහට පුවත්පත් පිටුවකට සැරැසිල්ලක් ලේඛකයා ඔහු දැකපු ලස්සන කියනවා නෙමේ, අපේ අතින් අල්ලගෙන ඒ තැන්වලට එක්කගෙන යනවා. ඇඟිල්ලෙන් ඇනලා ඒ ලස්සන පෙන්නනවා. පරිසරය ගැන ලියන්නේ කොහොමද කියලා මං ඉගෙනගත්තේ මේ පොතෙන්.
පස්සේ කාලෙක ඉරිදා ලංකාදීප පත්තරෙන් සංචාරක ලිපි ලියන්නෙක් බවට පත්වුණු මම මගේම ශෛලියක් ගොඩනඟා ගන්න කලින් රත්නපාල විතාන ලියපු ශෛලිය අනුකරණය කළා කිව්වොත් වැරැද්දක් නැහැ. මම ලියපු කිඳුරු කොදෙව්ව පොතේ ආ ලිපි රචනාවලට රත්නපාල විතානගේ ලේඛන ශෛලිය ගොඩක් දුරට බලපෑ බව මට මතකයි.
අදටත් මාස කීපයකට සැරයක් මම ලස්සන ශ්‍රී ලංකා පොත අතට අරගෙන ලිපියක් දෙකක්, කියවන්නේ කිසියම් චමත්කාරයෙකුත් හිතට තුරුලු කරගෙන.