දුම්රිය නුවරට ළඟා වන විට වේලාව දහවල් එකහමාරට පමණ ආසන්න විය. යොෂිකාට, ධනුෂ්කගේ උරහිස මත නින්ද ගොස් තිබිණි. ඇයට බාධා නොවන අයුරින් නොසැලී සිටි ධනුෂ්ක ඇගේ හිස සිප ගත්තේය.
යොෂිකා තිගැස්සී දෙනෙත් විවර කළේ ඇගේ මුහුණට දැනුණ ස්පර්ශය නිසාය. ඇය, ධනුෂ්කගේ උරහිසෙන් හිස එසවූයේ ලැජ්ජාවෙනි.
“සොරි…” ඇය මිමිණුවාය.
“හම්මේ… උරහිස් පත්තක් දාන්න වෙනවා…”
ධනුෂ්ක උරහිස පිරිමැද ගනිමින් කීවේය.
“යන්න අනේ…”
ඇය නෝක්කාඩුවෙන් කීවේ ඔහුගේ උරහිසට පහරක් ගසමිනි.
ඔහු සැහැල්ලුවෙන් සිනාසුණේ ඇයට සිප ගැනීම දැනී නොතිබුණු නිසාය. ඔහු දුම්රියෙන් පිටතට අඩිය තිබ්බේ හිරි අරිමිනි. සිතේ තිබුණේ අමුතුම සතුටකි.
“අපි කාලාම යමු නේද..? ටේ්‍රන් එක පිටත් වෙන්නේ තව පැයකින්…”
නුවරඑළිය බලා දුම්රිය ධාවනය වෙන වේලාව පරීක්ෂා කර බැලූ ධනුෂ්ක විමසුවේය.
“අම්මෝ ඔව්… මට පට්ටම බඩගිනියි..”
යොෂිකාට එක්වරම කියැවිණි. ධනුෂ්කට සිනා නැඟිණි. ඇය බැරෑරුම් යුවතියක ලෙස පෙනුණත් ඇගේ ඇතුළත සරළ සැහැල්ලු යුවතියක් ඇතැයි ඔහුට සිතිණි.
“බුදු අම්මෝ.. යමු යමු එහෙනම්…”
********************************************
ධනුෂ්ක හා යොෂිකා ගමන් කළේ නිවස හොඳින් නිරීක්ෂණය කරමිනි. එක්වරම එකතැන නැවතුණු යොෂිකා, ධනුෂ්කගේ අතින් තද කර ඇල්ලුවාය. ධනුෂ්ක ඇය දෙස බැලුවේ කුතුහලයෙනි. ඇගේ දෙනෙත් යොමු වී තිබුනේ බිත්තියේ ගසා තිබූ පින්තූරයක් වෙතය. ධනුෂ්ක ද එදෙස බැලුවේය. විශාල කර බිත්තියේ ගසා තිබූ පින්තූරය දෙස යොෂිකා බලා සිටියේ එහි තිබූ සුපුරුදු බව නිසාමය. පින්තූරය දුටු ධනුෂ්කගේ දෙනෙත් විසල් විය.
ඔවුන් දෙදෙනා මුහුණෙන් මුහුණ බලාගෙන නැවතත් පින්තූරය වෙතම දෙනෙත් යොමු කළහ. පඩිපෙළ නගිමින් සිටි කාන්තාව හැරී බැලුවේ ඔවුන් දෙදෙනාගේ නිහඬ බව දුටු නිසාය. ඔවුන්ගේ දෙනෙත් යොමු වී ඇති ඉසව්ව බැලූ කාන්තාව දිගු සුසුමක් හෙලුවාය. එම සුසුමේ හඬට යොෂිකා හා ධනුෂ්ක ඇය දෙස බැලූහ.
“හරිම ලස්සනයි.. ඇන්ටිගේ දුව ද මේ…?”
යොෂිකා වහා විමසුවාය.
“හ්ම්ම්.. මගේ ලොකු දුව…”
“ඇන්ටිට දුවලා දෙන්නෙක් ඉන්නවද එතකොට… එක්කෙනයි නේ ඉන්නවා කිව්වේ…”
“දෙන්නෙක් හිටියා.. ඒත් දැන් ඉන්නේ එක්කෙනයි…”
කාන්තාව කීවේ බිදුණු හඬිනි. යොෂිකා හා ධනුෂ්ක යළිත් මුහුණෙන් මුහුණ බලා ගත්හ. ධනුෂ්ක හිස සලමින් ඇයට සංඥා කළේය.
“ඇයි ඇන්ටි ලොකු දුවට මොකද වුණේ..?”
********************************************
ඔවුන් දෙදෙනාම එක්ව වාර්තාව යළිත් මුල සිට අගට කියෙව්වහ. සාමාන්‍යයෙන් මරණයක් සිදු වූ තැනකදී වාර්තා කළ යුතු සියලු තොරතුරු වාර්තාවේ ඇත්දැයි ඔවුහු බලන්නට වූහ.
එහි සැලකිය යුතු අඩු පාඩු රැසක් ඔවුන් දෙදෙනාට හමු විය.
“අතුල් පතුල් සටහන් අරගෙනම නෑනේ…?”
යොෂිකා පැවසුවේ කුතුහලයෙනි.
මරණයක් සිදු වූ අවස්ථාවක සොකෝ පොලිස් නිළධාරීන් පැමිණ ඒ අවට හොඳින් පරීක්ෂා කිරීම සිදු වේ. අවට කිසියම් සැක කටයුතු දෙයක් තිබේද, මරණය සිදු ව ඇත්තේ කෙසේද යන්න ඔවුන්ගේ පරීක්ෂාවට භාජනය වේ. මළ සිරුර මත හෝ අවට ඇඟිලි සලකුණු තිබේදැයි සොයා බැලේ. එම සලකුණු සහිත වාර්තා හඳුන්වන්නේ අතුල් පතුල් සටහන් ලෙසිනි.
එහෙත් සොහානිගේ මළ සිරුර තිබූ අවටින් කිසිදු සාක්කියක් හමුව නැතැයි වාර්තාවේ සටහන්ව තිබිණි. ඇඟිලි සලකුණු සම්බන්ධයෙන් ද කිසිදු වාර්තාවක් නොවිණි. ඔවුන් පැහැදිලි ලෙසින්ම මෙම මරණය බල්ලන්ගේ පහර දීමකින් සිදු වූ එකක් බවට තහවුරු කර තිබේ. එහෙත් මළ සිරුරේ ඇති තුවාල හා ලේ පැල්ලම් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොවිණි.
“ඔක්කොටම කලින් මේ රිපෝට් එක හදපු එකා අල්ලගන්න ඕනේ…”
ධනුෂ්ක කීවේය.
********************************************
එම දත්වල ලේ පැල්ලම් තිබී ඇති අතර ඒවා සොහානිටත් තවත් පුද්ගලයෙකුටත් අයත් ඒවා බවට එහි සඳහන්ව තිබිණි. ටෝගාගේ හෝ ටෝබිගේ රුධිර සාම්පලවලට එහි තිබූ සාම්පල නොගැලපිණි.
“කවුද අනේ මේ හැංගුණු මිනිහා…?”
යොෂිකා ඇසුවේ නොසන්සුන්වය.
“මට තේරෙන්නේ නෑ… හැබැයි එක දෙයක් මේ දත් ඇන්ද නිසා හරි මොන විදියකට හරි අර කියන මිනිහටත් තුවාලයක් වෙලා තියෙනවා… අනික ඇයි බල්ලට බොරු දත් දාලා තිබිලා තියෙන්නේ…?”
යොෂිකා හිස සැලුවේ කිසිවක් සිතා ගත නොහැකිවය.
“එක්කෝ දත් තිබිලා නෑ.. නැත්නම් තිබ්බට වැඩිය දරුණු දත් දාලා…”
Reviews
There are no reviews yet.