“මතක..”
පොතේ නම කියවූ අමන්දා එහි මුල් පිටු කිහිපය එකින් එක පෙරලුවත් ඒ කිසි තැනක ඔහුගේ ලිපිනය සටහන්ව තිබුණේ නැත.
“ඇඩ්‍රස් එක නැහැ මිස්..”
අමන්දා කීවේ අපේක්ෂා භංගත්වයෙනි. එහෙත් ඇයට මේ පොත තමන් සන්තක කර ගැනීමට අවශ්‍ය විය.
“මිස් මට බැරිද මේ පොත පොටෝ කොපි ගහගන්න..”
අමන්දා ඇසුවාය.
“පුළුවන්..”
“දැන්..?”
“ඔව්.. දැන් පුළුවන්.. අපේ පොටෝ කොපි මැෂින් එක තියෙන්නෙ පහළ තට්ටුවෙ. එතනට යන්න.. අපේ කෙනෙක් අතේ මම පොත යවල පොටෝ කොපි ගහන්න කියන්නම්.. හැබැයි රුපියල් පන්සීයක්වත් වියදම් වෙයි..”
“ඒකට කමක් නෑ..”
මතක පොතේ ලියැවුණු කවි එකින් එක කියවන තෙක් අමන්දාට ඉවසිල්ලක් නොවීය.
“සමහර විට මං ගැනත් ලියවිලා ඇති..”
ඇය තමන්ටම කියා ගනිමින් පහළ තට්ටුව වෙත ගියේ මතක, අමතක නොවන ලෙස පොටෝ කොපි කර ගැනීමටය.
“නිර්මාන් අයියෙ දැන් කොහොමද මං ඔයාව හොයා ගන්නෙ..’ අමන්දා තමන්ගෙන්ම අසා ගත්තාය.
********************************
මල්
රොබරෝසියා ගහක් ගානේ
මල් පිපී අතු ඉති පුරා
පාට සේදුණු කුසුම් ගිලිහේ
පවන් දහරේ සැරිසරා..
බිම වැටෙන මල් ඉගිල යන්නේ
මල් පලස් මත සීරුවෙන්
ආදරේ කළ මලක් සොයමින්
තුරුලු වෙන්නයි ආදරෙන්..
ආදරේ දුන් මලට ළංවී
ආයෙමත් දී හාදුවක්
කොඳුර කොඳුරා කියනවා ඇති
මල් පිපීමත් ප්‍රේමයක්
****************************
“කවුද අප්පා එහෙම තැනකට යන්න කතා කළේ?”
“එහෙමනම් කොහෙ යන්නද කතා කළේ?“
“බය වෙන්න එපා කෙල්ලෙ.. මං ඔයාව වැරදි තැනකට ගෙනියන්න නෙවි කතා කළේ..”
නිර්මාන් කීවේය. “මට එක පාරටම වික්ටර් රත්නායක කියන අර සිංදුව මතක් වුණා..
අපි ඈතට ඈතට පා නගලා
ඝන වනන්තරේ
අතරමං වෙමු
වසන්ත මල් ගොමුවේ..
ඉතින් මටත් හිතුණා එහෙම දුර ගමනක් යන්න..”
“ඔයාට නම් ඇත්තටම පිස්සු..”
අමන්දා කීවේ කට පුරා සිනාසෙමිනි. “මං හොඳටම බයවුණා”
“මගෙ රත්තරංට වරදක් විය හැකි කිසිම දෙයක් මං කරන්නෙ තියා කරන්න හිතන්නෙවත් නෑ කියලා ඔයා දන්නෙ නැද්ද..?”
නිර්මාන් ඇසුවේය.
Reviews
There are no reviews yet.