“බය වෙන්න එපා චාමි.. අපේ අම්මයි තාත්තයි හරි හොඳයි.. එයාලා කවදාවත් ඔයාට වෙනස්කමක් කරන්නෙ නෑ කියලා මට හොඳටම විශ්වාසයි..”
තාරක මා තුරුළු කරගෙන කීවේ දස වෙනි වතාවට විය යුතුය.
එහෙත් මා සිටියේ බියෙන් සැලෙමිනි. ඔහුගේ අම්මාටත් තාත්තාටත් සොයුරියන්ටත් කෙසේ මුහුණ දිය යුතුදැයි මා දැන සිටියේ නැත. දහ අට වසරක් තිස්සේ කිසිදු දුකක් පීඩාවක් දැනෙන්නට ඉඩ නොදී හදා වඩා ගත් ආදරණීය දෙමව්පියන්ට පිටු පා හිතුවක්කාරකමට දීග ආ මා බඳු යුවතියන් හැම කෙනෙකුටම ඒ පීඩාව දැනෙනවා විය යුතුයයි මට සිතිණි. අම්මලාට රහසින් පාසැල් නිල ඇඳුම පිටින්ම තාරක සමඟ එන්නට තරම් මම දැඩි සිතැත්තියක වූයෙමි. එහෙත් මේ මොහොතේ ඒ දැඩි සිත උණු වී කඳුළැලි ලෙසින් මගේ ඇස්වලින් කඩා හැලෙමින් තිබිණි.
****************************************
“මං දන්නවා චාමි.. ඔයාලගෙ ගෙදර අය කවදාවත් අපේ ගෙදර අය තරම් නපුරු වෙන්නෙ නෑ.. අපි දෙන්නගෙ ලව් එෆෙයාර් එක දැන ගත්ත වෙලාවෙත් එයාලා ඒක නවත්තන්න කියලා අපිට කිව්වෙ ගහලබැනලා නෙමෙයිනෙ.. මට දැන් හිතෙනවා ඔච්චර හොඳ මිනිස්සුන්ගෙන් ඔයාව වෙන් කරගෙන ඇවිත් මම කළේ ලොකු වරදක් කියලා.. මෙච්චර කල් නොබැන්නට දැන්නම් එයාලා මට සාප කරනවත් ඇති..”
ඔහු මා තරයේ තුරුළු කරගෙන බිඳුණ හඬින් කීවේය.
“මොනවා වුණත් දැන් අපිට ආපහු හැරෙන්න බෑනෙ තාරු.. හැම දෙයක්ම කොහොම හරි විඳ දරාගෙන අපි ජීවත් වෙමු..”
මම පරිණත ස්වරයෙන් පැවසීමි.
කොහොමටත් මා පවුලේ ලොකු අක්කාය. මේ වන තුරුම පාසැල් ගියත් වැඩිහිටියෙකු ලෙසින් මිස ලාබාල යුවතියක ලෙස හැසිරෙන්නට කුඩා කලදීවත් මට ඉඩ ලැබී තිබුණේ නැත. එහෙත් මම තාරක අබියස සුරතල් වෙන්නට ලොල් වීමි. මා මේ පුංචි කාමරයට කොටු කරන ලද්දේත් ඒ ආශාව විසින්ම නොවන්නේ ද..?
****************************************
පුවත්පත රැගෙන ඔහුගේ මුහුණට දමා ගසන්නට මට වුවමනා විණි ද, එයට අවසරයක් නුදුන් ඔහු එසේ කියා පන්තියෙන් පිට වී ගියේය. සිසුන් එකා දෙන්නා පන්තියට පැමිණෙන්නට වූ බැවින් මට තව දුරටත් මිගාරගේ හැසිරීම පිළිබඳව කරදර වෙමින් සිටින්නට ඉඩක් ලැබුණේ නැත. එහෙත් දවස පුරාම මා සිටියේ සිහිනෙන් ඇවිදින්නාක් බඳු මානසිකත්වයකින් යුතුවය. මම වරින්වර මිගාරගේ දෙතොල් පහස ලද කම්මුල අතින් පිරිමැද ගතිමි. මා පොතක් ගැනීමට බෑගය තුළට අත පෙව්වේ එතුළ විසකුරු සර්පයෙකු සිටින කලෙක මෙන් තැති ගැන්මෙන් යුතුවය.
සුපුරුදු ලෙසම මිගාර වරින්වර මා දෙස බැලීය. මගේ නොසන්සුන් හැසිරීම ඔහුට විනෝදයක් වී ඇති බැව් වැටහුණ විට මම බොහෝ කෝපයට පත් වීමි. වරෙක ඔහු මදෙස බලා දෙතොල් උල් කර කම්මුල පිරිමැද ගත්තේය. තවත් වරෙක ඉඟියෙන් මගේ බෑගය දැක්වීය.
“මෝඩයා..” මුමුණමින් මම දත් සැපීමි.
****************************************
“එහෙම නොවෙන්න පැක් කරන ක්‍රම තියෙනවා අත්තම්මා.. මගෙ යාළුවෙක් ඉන්නවා මාතර.. එයා මාළු ඇඹුල්තියල් හදන්නෙ.. ලංකාවේ ඕනම තැනකට කිව්ව වෙලාවට ඩිලිවර් කරනවා.. එයා ඒකෙන් සෑහෙන්න හම්බ කරනවා..”
ජීවන් මගේ සිත තුළ ඇවිලවූ බලාපොරොත්තුවේ ගින්නට පිදුරු දැම්මේය.
“ඔයා මට කෑම ටික හදලා දුන්නොත් ඇති චාමි.. ඕඩර්ස් ගන්න එකයි, ඩිලිවරි පැත්තයි මම බලා ගන්නම්.. ලාබෙ අපි දෙන්නා බෙදා ගනිමු..”
මගේ සිත තුළ ක්ෂණික දීප්තියක් ඇති වූයේය. එළඹෙමින් ඇත්තේ මැෂිමක් ගැනීමට මුදල් සොයා ගැනීමේ අවස්ථාව නොවේදැයි මට සිතිණි. එහෙත් තාරකගේ අදහස් නොවිමසා තීරණයක් ගන්නට මට පුළුවන්කමක් තිබුණේ නැත.
Reviews
There are no reviews yet.