“කවුද බබී තමුසෙගේ බෝයිෆ්‍රෙන්ඩ්..? අපි දන්නේ නෑනේ එහෙම කෙනෙක් ගැන..”
ඇය යටැසින් බලා සිනාවක් පෑවේ ප්‍රභාෂි දෙස ද බැල්මක් හෙලමිනි.
“යමුකෝ පෙන්නන්න.. හැබැයි ළඟට එන්න එපා..”
ආසිරි කුතුහලයෙන් දෙනෙත් කුඩා කළත් ඇය ගණනකට නොගෙන ඉදිරියට ගියාය.
“මෙතන ඔහොම ඉන්න..”
පිරිසට සංඥා කළ ආසිරිනි ඉන් මඳක් දුරින් පිහිටි මඩුවේ කලබලකාරීව හැසිරෙමින් සිටින ඇත් පැටවා දෙසට ගියාය. ඔහුව පාලනය කර ගන්නට කිහිප දෙනෙකුම උත්සාහ කරමින් සිටියත් පොල් අතු හා කිතුල් අතු දස අත විසි කරමින් වේගයෙන් හිස ද වනමින් ඔහු සිටියේ කිසිවෙකු ගණනකට නොගෙනය.
“රාජු…”
ඇය මුදු හඬකින් පවසද්දීම ඔහු අතු විසි කිරීම නැවත්තුවත් හිස වැනීම නොනැවැත්වීය.
“අම්මෝ ආවද..? ඔයාම බලා ගන්න.. ”
රාජු සමඟ ඔට්ටු වෙමින් සිටි වේලු හා දෙව්මි එතැනින් ඉවතට වූයේ ආසිරිනිට, රාජු අසළට ළං වීමට ඉඩ දෙමිනි.
“මොකද රාජු මේ කලබලේ..?”
ඇය ඔහු අසළට ගියත්, රාජු හොඬවැලෙන් ඇය තල්ලු කරමින් අඩියක් පසුපසට වූයේය.
*******************************
යුවතියන් තිදෙනා බලෙන්ම මෙන් හරිත වැළඳගෙන කොපුල් ද සිප ගත්තේ ඔහු නිහඬවම බලා සිටියදීය. මොරීන්, දෙව්සිත් සමඟම ගැවසුණත් නිපුණිගේ හා කෞමදිගේ වැඩි අවධානයක් තිබුණේ හරිත වෙතය.
“හරී.. ඇයි අනේ ඔයා ගොළු කසාය බීලා වගේ ඉන්නේ..?”
ආහාර ගන්නා අතරතුර කෞමදි සැබෑ උනන්දුවකින් ඇසුවේ සියලු දෙනා සිනා ගන්වමිනි. හරිත පෙනෙන නොපෙනෙන අන්දමේ සිනාවක් පා මහීෂ දෙස බැලුවේය.
“ගොළුයි වගේ හිටියට ගොළු නෑ..”
මහීෂ කෙලිලොල් ස්වරයෙන් පැවසුවේය.
“අඩෝ ලැජ්ජා වෙන්න එපා.. උඹ අපේ ආරක්ෂාවට ආවට කමක් නෑ.. යාළු ෆිට් එකේ ඉඳපං.. පේනවනේ මේ සේනාරත්නයි.. ගනේෂුයි දෙන්නා.. බය නැතුව කතා කරපං..”
මෛත්‍රී සිනාසෙමින් පැවසුවේ ඔවුන්ගේ මේසයේ කෙළවර පුටු දෙකක අසුන්ගෙන සිටි ආරක්ෂයින් යුගල පෙන්වමිනි.
“එහෙම ප්‍රශ්නයක් නෑ සර්.. මේ මගේ විදිය..”
හරිත සිය දෙනෙත් යළි ආහාර පිඟාන මතට යොමු කර ගත්තේය. අවන්හලෙන් ඔවුන් පිට වෙද්දී කෞමදි හා නිපුණි ඩිෆෙන්ඩර් රථයට නැඟුණේ බලහත්කාරයෙන් මෙනි. ඔවුන් හරිත අසළින්ම අසුන් ගැනීමට සැරසුණත් ඔහු සැණින් ඉදිරි අසුනට ගොඩ වූයේ සේනාරත්නට වෑන් රථයට යන ලෙස සංඥා කරමිනි.
ඒ මොහොතේ සිට යුවතියන් දෙදෙනා වරින් වර හරිත සමඟින් fදාඩමලු වෙන්නට උත්සාහ කළත් ඔහුගේ අවධානය ඔවුන් වෙත යොමු නොවිණි. යුවතියන් මහීෂ හා ගනේෂ් සමඟින් කතා කරමින් පැමිණියේ වරින් වර හරිත වෙතට නැඹුරු වෙමිනි.
***********************
දකුණු උරහිසේ සිටම අත වේදනා දෙන්නට වූයෙන් ඇය උරහිස පිරිමැද ගත්තාය.
“ඇයි..?”
ඇගේ ඉරියව් ගැන විමසිලිමත් වූ හරිත විමසුවේ කුතුහලයෙනි.
“අත ඇදුම් කනවා.. බෙල්ලේ ඉඳලම කැක්කුමයි..”
“මසාජ් කරන්නද මම චුට්ටක්..?”
ඇය දෙසට සෘජුවම එල්ල වූ බැල්මේ තිබුණේ විශ්වාසවන්ත බවකි. මොහොතක් ඔහුගේ දෑස් දෙසම බලා සිටි ඇය සෙමෙන් හිස සැලුවාය. ඇගේ සිරුර ඉදිරියෙන් සිය සුරත ගෙන ගිය ඔහු මෘදු ලෙස ගෙල, උරහිස හා අත් බාහු සම්බාහනය කරන්නට වූයේ ඇයට සහනයක් ගෙන දෙමිනි. කෙමෙන් කෙමෙන් සම්බාහනය මෘදු පිරිමැදීම්වලට පෙරලෙද්දී ඇයට ඉබේටම හුස්මක් හෙලිණි. ගෙලෙහි සිට උරහිසට ඔහුගේ සුරත දිව යද්දී ඇය උරහිස හකුලවමින් ගෙලෙන් ඔහුගේ අත තද කළාය. ඔවුන්ගේ සිව්නෙත් පැටලිණි. හුස්ම ද තරමක් වේගවත් විය.
“මහී, වාහනේ පොඩ්ඩක් අයින් කරලා නවත්තපං.. තේ එකක් බොන්න තැනකින්..”
ආයාසයෙන් හඬ අවදි කරමින් පැවසූ ඔහු ඇගේ අත සෙමෙන් පිරිමදින්නට විය. වාහනයේ කණ්ණාඩියෙන් පිටුපස අසුන දෙස බැලූ මහීෂගේ සරදම් සහගත බැල්ම හෝ හිනාව හරිතට වගක් නොවිණි.
Reviews
There are no reviews yet.