මා දෙනෙත් හැරියේ මුහුණේ මස් පිඬුවලින් වලින් මෙන්ම තොල පැලීමෙන් ඇතිවූ තුවාලයෙන් දැනෙන වේදනාවෙන් මුහුණම පුපුරු ගසද්දීය. මතකයේ වූයේ මෝටර් රථයේ අසුනට හිස තබා දෙනෙත් පියාගත්තා පමණය. දෙනෙත් හැර බලද්දී ඉහළින් පෙනුණේ අලංකාර කැටයම් සහිත සිවිලිමකි.
“ආනේ ඇහැරුණාද දෝණි…. මම මේ බල බලා හිටියෙ සැරින් සැරේ…. හොඳ නින්දක හිටිය නිසා ඇහැරවන්නත් ලෝබ හිතුණා….”
“ආන්ටි ඔයා…. මං කොහෙද මේ ඉන්නේ….” මා පුදුමයට පත් කරමින් ඉදිරියේ සිටියේ ශෙනුල්ගේ මවය.
“පුතා ඔයාව තනියම බෝඩිමේ දාල එන්න බෑ කියල ගෙදර එක්කන් ඇවිත් දෝණි…. බයවෙන්න එපා…. මං ඉන්නවනේ….” එසේ නම් ඔහු මා නිවසටම රැගෙනවිත්ය.
එසේ නම් මට නින්ද යන්නට ඇත. ඉන්පසු සිදුවූ කිසිවක් හෝ මා මේ කාමරයට පැමිණි ආකාරයක් ද මතකයේ නොවිණි.
“ඒත් ඇන්ටි මම කොහොම ද මේ කාමරේට ආවේ….”
“පුතා උස්සගෙන ඇවිත් කාමරෙන්ම තියල තමයි දෝණි මට කතාකරල වෙච්ච දේ කිව්වෙත්…. මම ඒත් පුතාටත් බැන්නා…. එයා අප්පච්චිගෙ හැටි දැන දැනත් ඔයත් ඉන්න තැනක මේ දේවල් කියපු එක වැරදියිනෙ…. කෝ එන්නකො දූ වොෂ් එකක් දාන් එන්න…. ඊට පස්සෙ ආයෙමත් මූණ අයිස්වලින් තවමු…. මං පුතා යවල මූණෙ තැල්මට ගාන්න ජෙල් එකකුත් ගෙන්න ගත්තා….” ඇය කීවේ මා අතට තුවායක් සහ රාත්රී ඇඳුමක් ද ලබාදෙමිනි.
නාන කාමරයට ගොස් වතුර මල විවර කර ඒ යටට වූ සැනින් මට කෙඳිරි ගෑවුණේ මුහුණෙන් දැනුනු දැවිල්ල හේතුවෙනි. දිය නා ශෙනුල්ගේ මව ලබාදුන් රාත්රී ඇඳුමින් හා ඕවර් කෝටයෙන් සැරසුණු මා කාමරයට එද්දීත් ඇය සිටියේ කාමරයේය. මා ඇඳ මත වාඩි කරවූ ඇය අනතුරුව කළේ අයිස් කැට සහිත බෑගයක් ගෙන මාගේ මුහුණ ප්රවේශමෙන් තැවීමය. අනතුරුව ඇය මුහුණ මත ජෙල් වර්ගයක් ද ආලේප කරද්දී දැවිල්ල යටපත් වී මුහුණට දැනුණේ සිසිලකි.
“දැන් ඉතින් මේ කිරි එක බීල ටිකක් ඉන්නකෝ…. මම කන්න මොනව හරි හදන්නම්….”
එසේ කියමින් ශෙනුල්ගේ මව කාමරයෙන් පිටව ගිය ද සිතට දැනුණු තිගැස්ම තවමත් පහව ගියේ නැත.
ශෙනුල්ට අවැසි වන්නට ඇත්තේ නිවසට ගොස් මා හා මනුල අතර සම්බන්ධයක් ඇති බව පවසා බලහත්කාරයෙන් හෝ විවාහවීමට විය යුතුය. ඔහු වන්දනා රැවටූ ආකාරය දැන දැනත් මොහොතකට හෝ විශ්වාස කර ඔහු හා නිවසටයාම ගැන සිතට දැනුණේ දැඩි පසුතැවීමකි.
“දැන් කොහොමද සිතූ…. අනේ මං හිතුවෙ නෑ අබේනායක අංකල්ට ඒ තරම් කේන්ති යයි කියලා….” ශෙනුල් කාමරයට පැමිණියේ මා කල්පනා ලෝකයක ගිලී සිටියදීය.
දැනුණු කෝපයට සිතුනේ අතට හසුවන දෙයකින් ඔහු වෙත දමාගැසීමටය.
“ඔයා මැනර්ස් කියල දෙයක් දන්නෙ නැද්ද මිස්ටර් ශෙනුල්…. ගෑනු ළමෙක් ඉන්න කාමරේකට මේ විදියට කඩාපනින එක වැරදියි කියල තමුන් දන්නෙ නැද්ද….” මා කාමරයෙන් පිටතට නෑසෙන හඬින් නමුත් දැඩි ස්වරයෙන් අසද්දී ඔහු තිගැස්සෙනු පෙනිණි.
“සිතුලි…. ඇයි මේ….?”
“ඇයි මේ කියන්නෙ…. මම කියපු දේ වරදක් තියෙනවද….?”
“නෑ සිතූ සොරි…. මං ඒක එච්චර හිතුවෙ නෑ….”
“කොහොමත් ඔයා වැඩ කරන්නෙ හිතල මතල නෙවෙයිනෙ….”
“ඇයි මේ…. දැන් මම මොකක්ද කළේ….”
“මොනවද කළේ කියල මට වඩා හොඳට ඔයා දන්නව ඇතිනෙ ඉතින්…. ඔයා ප්ලෑන් කරපු දේත් ඒ විදියටම වුණානෙ….”
“මොකක්ද දැන් ප්ලෑන් එක….”
“ඇයි මට එෆෙයාර් එකක් තියෙනව කියල අපේ ගෙදරට කියන එක…. ඒක ගෙදරට කියන්න ඔයා මොන තරම් නම් ට්රයි කළාද නේද….? මුලින්ම ඔයාල අපේ ගෙදර ආව දවසෙ…. ඊට පස්සෙ අප්පච්චිට ෆොටෝස් වගයක් යවල තිබුණා…. ඒත් වැඩක් වුණේ නැති නිසා අද මාව අප්පච්චි ළඟටම අරන් ගිහින් කිව්වා…. අප්පච්චිගෙ කේන්තිය ගැනත් ඔයා දන්නවනෙ ඉතින්…. ඔයා දිනුවා….” මුලදී කෝපයෙන් කියාගෙන ගියත් අවසානය වන විට මගේ හඬද බොඳ වී දෙනෙතට කඳුළු උණා තිබිණි.
“දැන් ඔයා මේ කියන්නෙ ඒ දේ මම ප්ලෑන් කරල කළා කියලද සිතුලි….?”
“ඔව් මං කියන්නෙ එහෙම තමයි…. අනික ඔයා මට කිව්වෙ ඔයා නුවර යන නිසා මටත් ඔයත් එක්ක යන්න පුළුවන් කියලා…. ඒත් ඔයා ඔයාගෙ කිසිම වැඩකට ගියේ නෑ…. අපේ ගෙදරමනෙ හිටියේ…. ඒ කියන්නෙ ඉතින් අප්පච්චිට මේක කියන්නම තමයි එහෙ ගියේ….”
“අයියෝ සිතුලි මේ අහන්නකො….”
“නෑ නෑ මට මොනවත් අහන්න ඕනෙ නෑ…. මට දැන් යන්න ඕනෙ…. කෝ මගෙ ෆෝන් එක….”
“අනේ මේ ඔහොම ගිහින් තනියම බෝඩිමට වෙලා ඉන්න බෑනෙ…. අනික මේ මහ රෑ…. පණ්ඩිතය නොවී මෙහෙට වෙලා ඉන්නවා…. මං හෙට උදේට ගිහින් අරලින්නම්….”
“මට බෑ….”
“මොකද ඔච්චර හිතුවක්කාරකම ආ….” ඒ වන විට ඔහුගේ දෙනෙත් කෝපයෙන් රතුව තිබිණි.
“ඔව් මං හිතුවක්කාරයි තමයි…. ඉතින් හිතුවක්කාර නැති කෙල්ලෙක් හොයාගන්නවකො…. වාත වෙවී පස්සෙන් එන්නෙ නැතුව….”
“මොකද සිතූ වෙලා තියෙන්නෙ…. මෙච්චර පිස්සු නටන්නෙ ඔලුවවත් කොහෙ හරි වැදුණද…. නෑ නේද….” එවර ඔහු ඇසුවේ මුවෙහි මදහසක්ද ඇතිවය.
“කරුණාකරල මාව විහිළුවට ගන්න එපා මිස්ටර් ශෙනුල්…. ඔයාට ගෑනු ළමයින්ගෙ ජීවිත විහිළුවක් වුණාට මට මගේ ජීවිතේ විහිළුවක් නෙවෙයි….”
“ආවේශවෙලා වගේ කෑ ගහන්න එපා සිතූ….”
“එකපාරක් කිව්වනෙ…. මට යන්න ඕනෙ…. මගෙ ෆෝන් එක දෙන්න….. මම කැබ් එකක් දාගෙන යන්නම්….”
“අනේ මේ කන පලාගන්නෙ නැතුව ඉන්නවද….?”
“ඇයි අප්පච්චිට කියල පැලෙව්ව මදිද….?”
“මොනවද සිතූ මේ කියන්නෙ….”
“කියන්නෙ තමුන්ගෙ ඇත්ත…. හිතන්න එපා මං වන්දනා වගේ මෝඩයි කියලා…. එයා ඔයාගෙ බොරුවලට අහුවුණාට මං අහුවෙන්නෙ නෑ….”
“වන්දනා…. වන්දනා…. වන්දනා…. මොන මගුලක්ද හලෝ මේ….” ඔහු පිටව ගියේ කාමරයේ දොර වේගයෙන් වසා දමමිනි.
මා දොරෙහි අගුල ඇතුලතින් ලා ගනිමින් ඇඳට වැටී කොට්ටයක් බදාගත්තේ දෙනෙතට උනන කඳුළුවලට ඔහේ ගලායෑමට ඉඩදෙමිනි.
“දෝණි දෝණි…..” ශෙනුල්ගේ මවගේ කටහඬ කාමරයේ දොරට පිටතින් ඇසුණේ පැයකට පමණ පසුවය.
“දොර අරින්න දෝණි…. ඔයාගෙ අප්පච්චි ඇවිත්….” ඇය දොරට තට්ටු කරමින් කියනු ඇසෙද්දී දැනුණේ සිරුරම සීතල වන බවකි. මා විගසින් ගොස් කාමරයේ දොර විවෘත කළෙමි.
“අප්පච්චි ඇවිත්…. දෝණිට ගෙදර යන්න ලෑස්ති වෙන්නලු….”
“අප්පච්චි….”
“ඔව් දෝණි ලෑස්ති වෙන්නකො…. මම කෑම ලෑස්ති කරන්නම්…. කාලම යන්න දෙන්නත් එක්ක….” ඇය කීවේ මගේ දෑස් මගාරිමිනි.
මා සිට ඇත්තේ නිවසේ උඩුමහලේ බව දුටුවේ ද සූදානම් වී කාමරයෙන් පිටතට එන විටය.
“හොඳ වෙලාවට පුතා මෙයාව මෙහෙට ගෙනාවෙ…. බෝඩිමට යැව්වා නම් අර කොල්ලව ගෙන්නගෙන ඌ එක්ක යන්නත් බැරි නෑ…. ඒ තරම් හිතුවක්කාරයි….” පහළින් ඇසුණේ අප්පච්චිගේ හඬය.
“මං එහෙම දෙයක් නම් හිතුවෙ නෑ අංකල්…. නංගිව තනියම තියන්න බැහැ කියල හිතුණ නිසයි එකක් ආවෙ…. අංකල්ට නොකිය අපේ ගෙදර තියාගන්න එක හොඳ නෑ කියල හිතුණ නිසයි මම කෝල් එකක් දීල කිව්වෙ….”
එසේ නම් මා මෙහි සිටින බව අප්පච්චිට කියා ඇත්තේ ද ඔහුය.
“පුතා එහෙම කරපු එක හොඳයි…. දැන් මං මෙයාව එක්ක යනවා…. ආයෙ කසාදෙ වෙනකම් එයාට ගෙදරින් එළියට යන්න තහනම්….”
“ඒත් අංකල් එහෙම….”
“එහෙම නොකළොත් මේකි අපේ මූණුවල දැලිගාල තමයි පුතා පස්ස බලන්නෙ…. කවුද දන්නෙ ඔය යාළුවෙලා ඉන්නව කියන එකා කොහොම කෙනෙක්ද කියලවත්….”
“මං කියන්නෙ අංකල්….”
“පුතා මොනව කිව්වත් මං දැන් තීරණයක් අරන් ඉවරයි…. එයාට මේ අප්පච්චි එක්ක තවත් හිතුවක්කාරකම් කරන්න බෑ…. පුතාට බන්දල දුන්නට පස්සෙ පුතා කැමති විදියට මෙයාව හදාගන්න…. මෙයාට අපි බුරුල දුන්න නිසා තමයි මේ සේරම….”
15 වන කොටසින් හමුවෙමු