කාර්යාලයේ දොර අසළට යද්දී දුටු දසුනින් ඇය බලවත් විස්මයට පත් වූවාය. ඇගේ දෑස මෙන්ම මුව ද ඇරිණි. තිමිර දොරට පිටුපා ජනේලය අසළ සිටගෙන පොද වැස්ස දෙස බලා සිටියේය. මෙතෙක් රෝද පුටුවට සීමා වී සිටි ඔහු මෙලෙස නැඟිට්ටේ කෙසේදැයි ඇයට සිතා ගැනීමටවත් නොහැකි විණි.
“තිමිරයියා..” ඇයට කෑ ගැසිණි.
ඔහු හෙමින් සීරුවේ ආපසු හැරුණේය. සඳලි විවර වූ මුව අත්ලෙන් වසා ගත්තාය. තිමිරගේ මුහුණුවර හා උස මහත තිබුණේ වී නමුදු එතැන සිටියේ මුලුමනින්ම ආගන්තුකයෙකි.
********************************************************
අනතුරක පෙර ලකුණු දුටු බැවින් ඇය වහා නැඟී සිටියාය. ඇගේ හදවත පිටතට ඇසෙන තරම් වේගයෙන් ගැහෙන්නට විය. එහෙත් ඇයට එතැනින් පලා යාමට ඉඩක් නොලැබිණි. අසුරු සැණෙකින් ඔහු ඇය සිය තුරුලට ඇද ගත්තේය. සිදු වූයේ කුමක්දැයි සිතා ගන්නටත් පෙරම ඔහු ගේ දෙතොල ඇගේ මුහුණ පුරා සැරිසරන්නට වූයේය. මොහොතක් අන්දමන්දව සිටි සඳලි ඊළඟ මොහොතේ වෙර යොදා ඔහු ඉවතට තල්ලු කළාය. ඔහු ඒ දෑත තරයේ ග්රහණය කොට ගත්තේය.
“අතාරින්නයි කීවේ මාව..”
සඳලි කීවේ දත්මිටි කමිනි. එහෙත් සිලිලාරට එවදන් ශ්රවණය වූ බවක්වත් නොපෙනිණි. ඔහු නැවත වරක් ඇගේ මුහුණට මුහුණ ළං කළේය. කෝපයෙන් දැවෙන්නට වූ සඳලි දිගු හුස්මක් ගත්තාය. ඊළඟ මොහොතේ දණහිස ළඟින් කකුල නැමූ ඇය ඔහුගේ යටි බඩ පෙදෙසට වේගවත් පහරක් දුන්නාය.
“ඌහ් අම්මෝ..” ඔහුට කෑ ගැසුණේත් ඇගේ දෑත ඔහුගේ ග්රහණයෙන් මිදුණේත් එක්වරමය.
********************************************************
“ඔයා මොනවද මේ කියන්නේ සඳලි..? මට කාගෙවත් අනුකම්පාවක් ඕන කරන්නේ නෑ..” ඔහු උදහසින් කීවේය. සඳලි ඔහු ඉදිරිපිට සිටගෙන සෘජුවම ඔහුගේ මුහුණ දෙස බැලුවාය.
“නැත්තේ නෑ තිමිර අයියෙ… ඔයා කවදාවත් පරදින්නේ නැති කෙනෙක් කියලා සිලිලාර මට කිව්වා.. රෝද පුටුවෙ ඉන්න තාක් කල් ඔයාට තරඟයක් නෑ.. හැමෝම ඔයාට අනුකම්පා කරනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙත් නෑ..”
ඇය දයා විරහිතව කීවාය. සිත රිදෙන කල තිමිර එතුළින් ශක්තිය ලබන බව සිලිලාර කීවේය. ඇය එවදන් විශ්වාස කළාය. සිය සොහොයුරා ගැන කාටත් වඩා හොඳින් දැන සිටියේ සිලිලාරය.
“සඳලි මට ඇවිදින්න බෑ.. පුළුවන් වුනා නම් මම මෙහෙම ඉන්නවද..?” තිමිර කීවේ රෝද පුටුවේ අතට මිට මොළවා පහරක් ගසමිනි.
Reviews
There are no reviews yet.