දේව! නුඹ නිශ්ශබ්ද විය යුතුයි දැන්! ගැටළුව කළලය විනාශ වීම නොවේ”
ධීරේෂ්වර ගේ හඬ ගැඹුරුය, විධානාත්මකය. දේවනාථගේ දෑස් විස්මයෙන් විසල් වන විට මහරජුගේ වතේ ඇඳී මැකී ගියේ වේදනාත්මක හසරැල්ලකි.
“කළලය! නුඹට එය හුදෙක් කළලයක් වූවාට මට එසේ නොවේ අයියණ්ඩි!! නුඹ කෙසේද රාක්ෂයකු වූයේ?”
දේවනාථ ගේ හඬ ඉතා උස්ව ඇසිණි. එහි වූයේ චෝදනාවකි. ධීරේෂ්වර සිය දෑස් දේවනාථ වෙත යොමු කළේය.
“මම රාක්ෂයෙක් බව නු,ඹට අමතකව ඇති හැඩයි යුවරජ දේවනාථ.නන්දනියගේ කුසේ වැඩුණ කළලය විනාශ වූයේ අමානුෂික සිදුවීමක් නිසා. මට හසු නොවූ කවරක් හෝ සිදුව තිබෙනවා. මට ගැටළුව වන්නේ එයයි.නුඹලා මෙන් සියල්ලට හැඬූ පමණින් පඬුවස්නුවර ආරක්ෂාව තහවුරු නොවේ!”
*******************************
ඇගේ ගෙලට සියුම් වේදනාවක් දැනෙන විට ශහ්නූර් දෑස් විවර කළාය. හුස්ම ගැනීමේ අපහසුවක් දැනෙනා විට ඕ පසුපසට බර වූයේ දිගාවනු පිණිසය. එහෙත් රළු පපුතුරකින් බාධකයක් හටගති.
ධීරේෂ්වර ගේ අතෙහි වූයේ දුනුවායකු විසින් ශහ්නූර්ට පසුපසින් වූ වෘක්ෂය වෙත එවන ලද හීසරයක දවටන ලද පණිවුඩයයි. ඒ ඇගේ ගෙල ස්පර්ෂ කර යන මොහොත වන විට ධීරේෂ්වර ගේ හදෙහි පැවති කලබල ස්වභාවය වියැකී තිබිණි.
පණිවුඩය විසින් යළි අරඹන්නට තනන ගින්න ගැන ඔහුට නිනව්වක් නොවිණි. ඔහු බලා සිටියේ හෝරා කාලක පමණ සිට භාවනාවෙන් එපිටට ගොස් බියව කෙඳිරි ගාමින් සිටි සිය සුරූපී කුඩා බිරිය දෙසය. එක් වරම ඩාදියෙන් තෙත් වූ ඈ කෑ ගැසූ අයුරුද යමෙක් වැලඳගත් අයුරුද නිරීක්ෂණය කළ ඔහු ඒ කුමක්දැයි හඳුනා ගන්නට උත්සාහ කළේය.
ඉන් මොහොතකට පසු, ඈ එක්වරම දුනුවායන් පණිවුඩ ස්ථානගත කරනා වෘක්ෂය මුවා කරගත්තේ එම හීසරය ඇගේ ගෙලෙහි ගෑවී නොගෑවී කඳ පසාරු කරගන්නා මොහොතේය.
ධීරේෂ්වර ඇගේ ගෙලෙන් අල්වා ඉවත් නොකළේ නම්, යුවතියගේ ගෙල සිදුරුව යන්නට ඉඩ තිබිණි.
ශහ්නූර් දෑස් විවර කළාය.දැනුනු උණුසුම ට අනුව ඒ ධීරේෂ්වර වග වටහා ගත් ඈ ඔහුව තවත් වැළඳගත්තේ මොහොතකට පෙර දුටු ම්ලේච්ඡ දසුනින් කැළඹෙමිනි.
ඔහුගේ ළයෙහි උණුසුම ඈ සන්සුන් කරන්නාක් මෙන් ඇයට දැනිනි. ඔහු සිටියේ ඇය ගැන තැවිල්ලෙනි. කුඩා යුවතිය කුමන ආකාරයේ ශක්තියකින් හෙබි තැනැත්තියක්ද යන්න වැටහීමක් නොවුණද, ඇගේ අභ්‍යන්තර චිත්ත ශක්තිය ඇගේ පරිණතභාවයට වඩා ඉහළින් පවතින්නක් වග ඔහු වටහා ගත්තේය. මිර්සා හෙවත් ඇගේ පියා, කලක් හෙළයේ ජීවත්ව ඇති වගත්, පසුව හිමාලය කඳු වැටිය ආශ්‍රිතව දිවිය ගෙවා ඇති වගත් එහිදී ඔහු භාවනා ක්‍රම ප්‍රගුණ කොට ඇති වගත් පමණක් දැන සිටි ධීරේෂ්වර, ශහ්නූර් ගැන වද වූයේය. ඈ තවමත් කුඩා යුවතියක් මිස මායාකාරියක හෝ බැමිණියක වන්නට සූදානම් තැනැත්තියක් නොවේ. ඈ වඩා සුන්දර සිනහසෙන විටය. ඈ ළාමකය, සියුමැලිය. එහෙත් ඇගේ බලය ගැන අවතක්සේරු නොකළ යුතු වග ද ඔහු දැන සිටියේය. යුවතියගේ සිරුරට දරන්නට බැරි තරම් බලයක් ඈ සතු වග පමණක් ඔහුට දැනිනි.
“ස්වාමී, ඔවුන් ඔහුව මරා දමාවි. ඔහු බියවෙලා”
Reviews
There are no reviews yet.