දෙවන්මිනී කොතරම් අකමැති වුවත් අඹන් පොල ව්‍යාපාරයේ සුභ සාධක සංගමයට ආධාර පිණිස පැවැත්වෙන සංගීත ප්‍රසංගයට යන්නට සිදුවේ. තුනයි තිහ සහ හයයි තිහ දර්ශන වාර දෙකකි.
” දේවො ඔයාට ලස්සන අර මොනර නිල් කිට් එක ඒ නිසා ඒ කිට් අඳිමු වෙන කවදටත් වඩා ලස්සනට එදාට ඉන්න ඕනෙ ඔයා. “
” තව කිට් එකක් ගෙනියන්න ඕනද ෂෝස් දෙකට ?’
“පිස්සුද? තුනයි තිහේ ෂෝ එක ඉවර වෙලා එළියට ඇවිල්ලා අපිට තේ එකක්වත් බොන්න හම්බ වෙන්නේ නැහැ. කට්ටිය අපිව වට කරගන්නවා . සෙල්ෆි ගනියි. අත්සන් ඉල්ලයි බලන්නකෝ. “
ඇයට නම් ඒ ප්‍රසංගය සිහිවද්දීත් හිස කැක්කුමක් එයි.
” අනේ මන්දා සඳකැලුම් මට නම් ටිකක් බයයි. මාව සවුත්තු වෙයිද මන්දා .”
” සවුත්තු වෙන්න…? ඇයි ඒ? බයවෙන්න එපා. ඕන දේකට මං ඉන්නවා . ඔයාට කිසිම අඩුපාඩුවක් මදි පුංච්කමක් වෙන්න දෙන්නේ නැහැ.”
ඔවුන් දෙදෙනා දෙකයි හතලිස් පහ පමණ වද්දී ප්‍රසංගය පවතින ශාලාවට ගියහ. අතුරු සිදුරු නැතුව ශාලාව පිරී ඇතැයි දැණුණේ නවතා තිබූ වාහන දුටුවිටය.
*****************************************
සුපුරුදු පරිදි වේදිකාවට ගොඩ වෙන්නට පෙර ඇය ඔහුට වැන්දාය. ඔහු ඇගේ හිසට අත තැබුවේය. රුවන්මිණි සහ පිරිස ඇස් දෙක ලොකු කරගෙන බලා සිටියහ. ඔහු අත දිගු කරද්දී ඇය අනෙක් අතට අත්වාරුව ගෙන ඔහුගේ අතට වාරුවෙමින් පඩිපෙළ නැග තිර රෙද්දට මුවාවී සිටියාය. නිවේදකයා සහාය ගායනා ලෙස ඇය හදුන්වා දුන්නේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපය ලැබූ ආකාරය දැනට සඳකැලුම් සමග ගයා ඇති ගීතයේ ජනප්‍රියතාවය ආදීයය ටිකවේලාවක් ගෙන වර්ණනා කළේ සඳකැලුම් දන්වා ඇති පරිදිය. සෑම වේදිකාවකටම ගොඩ වෙද්දීම ඇගේ අතින් අල්වාගෙන යෑම පුරුද්දක් වී ඇත. ඒ ලෙසම එදිනද ඇගේ අතින් අල්වාගෙන ගොස් ඇයට වාඩිවන්නට තනා ඇති තැන වාඩි කර ඇගේ අතින් අත්වාරුව ගෙන ඇයට පහසුවෙන් ගන්නට හැකි වන ලෙස පසෙක තැබුවේය. ඔවුන් දෙදෙනා වේදිකාවෙන් පෙනෙන්නට ගත් වේලේ සිට ඇය වාඩිවනතුරුම එක ලෙසට අත්පොළන් හඬ ආදිය පැවතුණි . ඇයට සතුටක් දැනුනි . ඔහු ඔහුගේ ප්‍රථම ගීතය ආරම්භ කරන්නට සැරසෙද්දී ඇය වේදිකාව ඉදිරිපස බැලුවාය. එහි අම්මාත් තාත්තාත් වාඩිවී සිටියහ. ඔවුන්ගේ දෑස් ඇය වෙත යොමු වී තිබුණු අතර ඇයට ඔවුන්ගේ දෑස් ඇත්තේ කොහේදැයි පැහැදිලිව සිතා ගන්නට නොහැකි විය.
විවාහ වී ගියාට පසු මුල්වරට ඔවුන් දුටුවේ අදය. ඇගේ ඇසට කදුළු උනන්නට මෙන් එයි. අම්මාත් තාත්තාත් අසලින් රන් අය්යා සහ ඔහුගේ බිරිඳ විය. අක්කාත් අයියාත් මෙහි සංදර්ශනයේ වැඩ හා කාර්යබහුල නිසා වාඩිවෙන්නට නැතුවා විය හැක. අම්මා තාත්තා දෙසට නැවී යමක් කීවාය. තාත්තාද හිස නවා අසා සිටියේය. දෙවැනි ගීතය ලෙසට කීවේ ඔවුන් දෙදෙනාගේ මෑතදි ආ ප්‍රථම ගීතයය. මේ දිනවල අතිශයින් ජනප්‍රිය ඒ ගීය නිවේදකයා හඳුන්වා දෙද්දී ප්‍රේක්ෂකාගාරයෙන් දැඩි ප්‍රතිචාරයක් ආවේය. සඳකැලුම් සුපුරුදු ලෙස ඇය වෙත පැමිණ අත් වාරුව ලබාදී ඔහුගේ අත දිගු කළේය. හැමදාම වාගෙ ඇගේ දෑස් කඳුළින් පිරුණේ ඔහුගේ මේ ආරක්ෂාව රැකවරණය ගැනය. එය බොහෝ විට ඇයව සංවේදී කරයි. ගීතය ඇරඹුනි. ඇයට අම්මා තාත්තා දෙස බැලූණි. දෙදෙනාම වේදිකාව මත දෑස් තබාගෙන සිටිති. ඒ තමා දෙස ද ඔහු දෙසද කියා තේරුම් ගත නොහැක්කේය. ගීත විස්සක් ප්‍රසංගයට තෝරාගෙන තිබුණි ගීත දහයක්. අවසානයේ විනාඩි පහළවක විවේකයක් විය ඇඳුම් මාරු කරන්නට දෙපස කාමර දෙකක් විය.
Reviews
There are no reviews yet.